‍පොදු ජනතාව මත බර පටවන සහනාධාර සහ ඡන්ද ‍පොරොන්දු

0
654

රටට හොඳ ආර්ථික කළමනාකරණයක් අත්‍යවශ්‍ය බව දක්වන පාත්ෆයින්ඩර් පදනම ඉදිරි මහ මැතිවරණයේදී දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කරන ‍පොරොන්දු ඉටු කිරීමට වැය කරන වියදම යන බලවත් කරුණ ඉදිරියට ගෙන එම පිරිවැය සොයා ගන්නේ කොතැනින්දැයි රටට හෙළි කරන්නට බල කිරීමක් අවශ්‍ය බව අවධාරණය කරයි. ජනමාධ්‍ය පමණක් නොව වාණිජ මණ්ඩලය හා මැතිවරණ නිරීක්ෂණ සංවිධානයන්ද ඇතුළත් සිවිල් සංවිධාන මෙරට දේශපාලනඥයන් සහ පක්ෂ නායකයින් ප්‍රශ්න කර ඡන්ද දායකයින් දැනුම්වත් කරන්නට පියවර ගැනීම අවශ්‍ය බව ද දක්වයි. මැතිවරණ ‍පොරොන්දුවල මිථ්‍යාව පුපුරුවා හැරීම මැයෙන් ප්‍රකාශයක් නිකුත් කරන පාත්ෆයින්ඩර් ආර්ථික පර්යේෂණ ආයතනය දේශපාලනඥයන් මෙම සහන රටට හෝ ජනතාවට බරක් නැති බව පෙන්වන්නට නිදහස ලැබ දා සිට උත්සාහ කරන නමුත් එයින් සෘජු බර පමණක් නොව එහි ආවස්ථික පිරිවැය ද මහජනතාවට දරන්නට සිදුවන බව පෙන්වා දෙයි. එම ප්‍රකාශය මෙසේය.
ජනතාව වෙනුවෙන් නොමි‍ලේ හෝ සහනාධාර වශයෙන් එදිනෙදා අවශ්‍යතා ලබා දීමට සූදානම් බව නිදහසට පසු බලයට පත් සෑම දේශපාලන පක්ෂයක්ම පාහේ සිය මැතිවරණ ප්‍රකාශන මගින් පුන පුනා කියා සිටියි. මේවා නිකම් ලැබෙන ‍පොදු ජනතාවට හෝ රටට බරක් නැති යමක් ලෙස පෙන්වා දෙන්නේ දේශපාලනඥයන්ය. සහනාධාර සහ දීමනා ලබාදීමේ පිරිවැය හෝ එසේ සැපයීමට ආණ්ඩුවක් ආදායම් උපයාගන්නේ කෙසේද යන්න කිසියම් හෝ අවස්ථාවක විග්‍රහ කරන්නට දේශපාලන නායකයෝ උනන්දු නොවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඡන්ද කාලයේදී ‍පොරොන්දු වන බඩු මිල අඩු කිරීම, රජයේ සේවක වැටුප් ඉහළ දැමීම. දුප්පත් අය වෙනුවෙන් දීමනා වැඩි කිරීම. ‍පොහොර සහනාධාරය සැපයීම වැනි දෑ නිකම්ම නිකං දෙන, රටේ ජනතාවට හෝ සමස්ත ආර්ථිකයට බරක් නොපැටවෙන එකක් ලෙසය සාමාන්‍ය ජනතාව විශ්වාස කරන්නට පෙළඹී සිටී.
පාර්ලිමේන්තු මැතිවරණය ළංවෙත්ම යළිත් මෙරට දේශපාලන පක්ෂය නිකං දෙන, සහනාධාර හෝ ලාබෙට දෙන බවට ඡන්ද ‍පොරොන්දු පිරිවරා ගෙන ඔබ වෙත හඹා එනු නියතය. 1960 ගණන්වල සිට දේශපාලන පක්ෂ ඇදහිය නොහැකි තරම් බඩුමිල අඩු කිරීම්,  සහන මලු සහ වෙනත් දීමනා ලබාදෙන බවට ‍පොරොන්දු වූ වාර අපමණය. මේවාට උදාහරණ ලෙස හඳෙන් හෝ හාල් ගෙනත් දීම.
දූෂණය  නාස්තිය නැතිකොට රු. 3.50 පාන් රාත්තල දීම. ගෙවීමකින් තොර අධිවේගී මාර්ග ලබාදීම, සියලු රාජ්‍ය සේවකයන්ට රු. 10,000ක වැටුප් වැඩි කිරීම, විශ්‍රාමිකයන්ට, සමෘද්ධිලාභීන්ට සහ තවත් විවිධ ජන කොටස්වල දීමනා වැඩි කිරීම මෙන්ම ධීවර කාර්මිකයන්ට සහ ත්‍රීවීලර් රියැදුරන්ට ඉන්ධන සහනාධාර යනාදිය ඇතුළත් වේ. දේශපාලන නායකයන් දැන දැනම මගහැර ඇත්තේ මෙවැනි දීමනා සහ සහනාධාරවල අනිසි ප්‍රතිඵල සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම බලපාන ආකාරයයි.
ජන්ද ව්‍යාපාරවල ‍පොරොන්දු වන සහන මලුවල පිරිවැය මැතිවරණ ‍පොරොන්දු දීම සඳහා රජයට දැරීමට සිදුවන පිරිවැය නිවැරදිව ගණනය කොට මහජනතාවට ඉදිරිපත් කිරීමට දේශපාලන නායකයන් ක්‍රියාත්මක විය යුතු යැයි පාත්ෆයින්ඩර් පදනම තරයේ විශ්වාස කරයි. කෙසේ වුවද මෙවැනි දේශපාලන සහන මලුවල සෘජු සහ පැහැදිලිව දෘශ්‍යමානවන පිරිවැය මෙන්ම වක්‍ර පිරිවැයද අදෘෂ්‍ය ආවස්ථික පිරිවැයක්ද දැරීමට සිදුවේ. මෙහිලා ආවස්ථික පිරිවැය යනුවෙන් සඳහන් කළ හැක්කේ සහනාධාර, මිල අඩු කිරීම් හෝ වෙනත් ආකාර දීමනා සඳහා යන වියදම වෙනුවට එම මුදලින් අධ්‍යාපන, සෞඛ්‍ය, මහා මාර්ග වැනි අත්‍යවශ්‍ය ක්‍ෂේත්‍රවල රජයේ  ආයෝජන  වැඩි කිරීමට ඇති හැකියාවයි. ආණ්ඩු කරන්නේ දේශපාලනය තුළින් එය අමතක කිරීමය.
මේ තත්ත්වයට අමතරව රජය මගින් දෙනු ලබන මැතිවරණ සහනාධාර තුළින් ආර්ථිකයක සම්පත් බෙදීයාම සහ වෙළෙඳපළ විකෘති තත්ත්වයක් ඇති කරන්නේය. උදාහරණයක් ලෙස ‍පොහොර සහනාධාරයට රජය වැය කරන මුදල පහසුවෙන් ගණනය කළ හැකි වුවත් එමගින් සිදුවන ආර්ථිකයේ විවිධාකාරයේ විෂමතා ගණනය කිරීම පහසු නොවනු ඇත. විශේෂයෙන් දිගු කාලීනව ලාභදායී නොවන, ගොවි  ජනතාවගේ දූ දරුවන් රැඳී පවත්වාගෙන යන්නට අකැමැති වගාවන් හි එනම් ඵලදායිතාවයෙන් තොර සහ ඉහල ජීවන මට්ටමක් පවත්වා ගත නොහැකි ක්‍ෂේත්‍රයක ග්‍රාමීය තරුණ පෙළ බැඳ තබා ගැනීමට ‍පොහොර සහනාධාරය අනුබල දෙන්නේ යැයි තර්ක කළ හැකියි. එසේම යම් ආණ්ඩුවක් විසින් රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට යෝජනා කරන්නේ නම් ඒ සඳහා රජයට දැරීමට සිදුවන වියදම සහ එම වියදම  පියවා ගැනීමට  රජය ආදායම් මාර්ග ලබාගන්නේ කෙසේද යන්න මහජනතාවට පැහැදිලිව ප්‍රකාශ කළ යුතුය.

උදාහරණයක් ලෙස රජයේ සේවකයන්ගේ මාසික වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට ඡන්ද ‍පොරොන්දුවක් දෙන්නේ නම් ඒ සඳහා යන රජයේ වාර්ෂික  වියදම පහසුවෙන් ගණනය කළ හැක. එනම් ආසන්න වශයෙන් මිලියන 1.3ක් වන රජයේ සේවකයින් වෙනුවෙන් අවුරුද්දකට රු. මිලියන 156,000 වියදමක් වේ. මෙය අමතර එකක් වන අතර එකී රජයේ වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායම් මාර්ග සෘජු හෝ වක්‍ර බදු පැනවීමෙන් ලබා ගැනීමේදී නැවතත් එය මහජනතාවගේ ආදායමට හා භාණ්ඩ මිල කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරයි.
මාධ්‍ය හා සිවිල් සංවිධානවල කාර්යභාරය පාත්ෆයින්ඩර් පදනම මගින් එළිදැක්වූ සියලු දේශපාලන පක්ෂ සඳහා ලබාදීමට බලා‍පොරොත්තු වන “සැමට ‍පොදු සමෘද්ධියක් කරා ඉදිරිමග සැලසුම් කරමු” යන ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් මෙම අභියෝගාත්මක පදනම විශේෂිත කරුණක් ලෙස හුවා දක්වන ලදී. එනම් සියලු ඡන්ද අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති සිය ප්‍රකාශන තුළ එම පක්ෂ යෝජනා කරන සුභසාධක කටයුතුවල සවිස්තරාත්මක පිරිවැය අතිරේක ප්‍රකාශයක් ඇතුළත් කළ යුතු බවය. එයට පසුබිම් වන හේතුව නම් මෙම කාරණාව හොඳ ආර්ථික කළමනාකරණයක් සඳහා අත්‍යවශ්‍ය බවට පාත්ෆයින්ඩර් පදනම තරයේ විශ්වාස කරන හෙයිනි. එහෙයින්  මහජනතාවගෙන්, ජනමාධ්‍යයන්ගෙන් හා වාණිජ මණ්ඩලය හා මැතිවරණ නිරීක්ෂණ සංවිධානයන් ද ඇතුළත් සිවිල් සංවිධානයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම බලවත් කරුණ ඉදිරියට ගෙන දේශපාලන පක්ෂ හා ඒවායේ නායකයින්ට සහන ප්‍රකාශයට පත්කරන විට එය ක්‍රියාත්මක කිරීම සඳහා පිරිවැය කොපමණද? ඒවා සොයාගන්නේ කොතැනින්දැයි දැනුම් දෙන්නට ඔවුන්ට බලකරන ලෙසය.

විධායක අධ්‍යක්ෂ
ලක්ෂ්මන් සිරිවර්ධන
පාත්ෆයින්ඩර්
ආර්ථික පර්යේෂණ ආයතනය

Source : Lakbima