සැමියාගේ සිරුර බර වැඩි නම් කසාදය කටු ගානවා ද? – Divorce get close with over body weight

0
8804

කසාද බඳින්න කලින් දෙන්නට දෙන්නා පොරොන්දු වෙන්නේ පණට පණ වගේ ආදරෙයි කියලයි. ඒත් ටිකක් කල් යනකොට හමේ පාට මැකෙන කොට, ඇ‍‍ඟේ හැඩය වෙනස් වෙන කොට, අර කියාපු ආදරේ ටිකෙන් ටික හෑල්ලු වෙනවා.

තමන්ගේ සැමියාගේ සිරුර බර වැඩියි කියලා එක්තරා බිරියක් කසාදය අතහරින්නට තීරණය කළා. නමුත් ඒ බිරියට වඩා සැමියා ආදරයට ආදරය කළා. අන්න ඒ නිසා ඔහු රාත්තල් 560ක් බර තම සිරුර පාපැදියක තබාගෙන ඇමෙරිකාව පුරා අව්, වැසි, ශීතල, උණුසුම දරාගෙන චාරිකා කරන්න පටන් ගත්තා. අන්තිමේදී ඔහු ඇ‍‍ඟේ බරත් අඩු කරගෙන ඇ‍ඟේ ආදරයත් යළි දිනා ගත්තා. මේ කතාව අහන්න ලැබෙන්නේ ඇමෙරිකාවෙන්.

ඇමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ නගරයක උපන් එරික් හයිට්ස් වෘත්තියෙන් කලාකරුවෙක්. විවාහ වන විට කඩවසම් දේහධාරී පුද්ගලයෙක්. එහෙත් කෙමෙන් කෙමෙන් සිරුරේ බර වැඩි වුණේ ඔහුටත් හොරෙන්. සිරුරේ බර වැඩි වෙන්න වෙන්න බිරියගේ ආදරයත් සැලකිල්ලත් අඩු වුණොත් ඔහුට හොරෙන්.

පසුගිය වසරේ ගිම්හානය එළැඹෙද්දී එරික‍්ගේ බර රාත්තල් 560 දක්වා ඉහළ ගියා. ‘තව දුරටත් මේ දීගේ කන්න බෑ’ කියලා බිරිය ඔහු හැරදා යන්න ගියා.

පණට පණ වගේ ආදරය කළ බිරිය තමා හැර යන තුරුම එරික්ට තමන්ගේ සිරුරේ බර වැඩි වීම පාලනය කරගන්නට කිසිම වුවමනාවක් තිබුණේ නෑ. තමා දැඩි ලෙස ආදරය කළ බිරිය යළි ලබා ගන්නට වහාම යමක් කළ යුතු බව ඔහුට දැනුණා. ඔහු ඒ සඳහා තෝරා ගත්තේ අපූරු පිළියමක්. කවුරුවත් ලේසියෙන් කරන්නට නොසිතෙන අභියෝගාත්මක ව්‍යායාමයක්. සිතත් ගතත් සැහැල්ලු කරවන ක්‍රීඩාවක්.

ඇමෙරිකානු මහාද්වීපයේ උතුරු කොණේ සිට දකුණු කොණ දක්වා පාපැදි සවාරියක් යන්නට ඔහු තීරණය කළා. ඒ ගමනේ අතරමඟදී ජීවිතයට එකතු වන අත්දැකීම් ඇසුරෙන් පොතක් ලියන්නටත් ඔහු සිතුවා. එක ගලෙන්ම කුරුල්ලන් දෙන්නෙක් මරා ගන්නට සිතූ එරික් තම අදහස පිළිබඳ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබුවා. ඒ සඳහා ඔහු ලද ප්‍රතිචාර බොහොම උණුසුම්. උනන්දු කරවනසුලු ඒවා. ලොව නන් දෙසින් ඔහු වෙත සුබ පැතුම් ගලා ආවා. එලෙස සුබ පැතූවන් අතර සිය බිරියත් සිටීම ඔහුගේ උද්‍යෝගය තව තවත් වැඩි කළා.

බොහෝ දෙනකු සිතූයේ එරික් සිය කාර්යයට හොඳ ප්‍රචාරයක් ලබා ගෙන මාසයක් දෙකක් යන විට අදහස අත්හැර දමනු ඇතැයි කියායි. එහෙත් එය එසේ වූයේ නෑ. සිය දැඩි උත්සාහයත් ආත්ම ශක්තියත් විදහාපාමින් දහසක් බාධක මැඬගෙන එරික් තවමත් රට හරහා බයිසිකලය පදිනවා.

ඔහුගේ සවාරිය අරඹා මේ වන විට මාස පහක් ගතවෙලා. ඔහුගේ සවාරිය ගැන උනන්දු වෙන ඔහු දිරිමත් කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඥාතින්, හිතමිතුරන්, ක්‍රීඩා ලෝලීන් මෙන්ම මාධ්‍යවේදීන් ද ඒ අතර වෙනවා. එරික්ගේ මේ අභියෝගාත්මක පාපැදි සවාරිය ගැන එක් මාධ්‍යවේදියකු ඔහුගේ අදහස් විමසුවා.

ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට පාපැදිය පැද යන විට ඔබට අත් විඳින්නට සිදු වූයේ කවරාකාර අභියෝගවලට දැයි ඒ මාධ්‍යවේදියා එරික් ගෙන් ඇසුවා.

පළමුවෙන්ම අධික ශීතලට මට මුහුණ දෙන්නට සිදු වුණා. ලැන්කැස්ටර් නගරයට ළඟා වන විට දැඩි හිම කුණාටු සහිත කටුක ශීතලට මා හසු වුණා. එවිට මට සහාය දක්වන්නන් පැවැසුවේ මා දකුණ බලා ගමන් කළ යුතු බවයි. ඒ අනුව මා දැන් ෆ්ලොරිඩාවේ දකුණුපස වෙරළාසන්න බලා ගමන් කරනවා. එරික් පිළිතුරු දුන්නා.

සිරුරේ බර අඩු කරගන්නට දිවීම හෝ ඇවිදීම වෙනුවට පාපැදි පැදීම තෝරා ගත්තේ ඇයිදැයි මාධ්‍යවේදියා ඔහුගෙන් ඇසුවා.

“ඒ වන විට මට කාර් එකෙන් බැහැලා බඩුවක් ගන්නට සුපර් මාර්කට් එකටවත් ඇවිදගන්න බෑ. තැනින් තැන නතර නොවී. කකුල් රිදෙනවා. යටි පතුල් ඇදුම් කනවා. එන්න එන්නම මගේ බර වැඩි වෙනවා. කුමක් හෝ ඉක්මනින්ම කරන්නට මට හිතුණේ මගේ බිරිය මා හැර ගිය නිසයි. රට හරහා සවාරියක් යෑමෙන් ගතත් සිතත් දෙකම සුවපත් වේ යැයි මට සිතුණා යැයි එරික් පිළිතුරු දුන්නා.

මේ වන විට එරික් කොතරම් දුරක් ගෙවා ඇත්දැයි ඔහු හරියටම සටහන් තබාගෙන නෑ. මගේ ගමනෙහි අරමුණ සැතැපුම් ගණන වැඩි කර ගැනීම නොවෙයි. ව්‍යායාමය සහ අත්දැකීම් ලබාගැනීමයි. ඒ ඇසුරෙන් මම කතාවක් ලියනවා. මුලදී මාසයක් පුරා ගමන් කළ දුර ප්‍රමාණය දැන් මම සතියකින් යනවා. මුලින්ම මට එතරම් දුරක් එක දිගට පාපැදිය පදින්නට හැකි වුණේ නෑ. බොහොම ටික දුරක් ගිහින් බිමට බහිනවා. බැහැලත් මම නතර වෙන්නේ නෑ. බයිසිකලය තල්ලු කරගෙන ඉදිරියට හෙමෙන් ගමන් කරනවා. දවසකට යන්නට හැකි උපරීම දුර මා ගමන් කරනවා. ගමන නතර කරන්නේ සහ නිදා ගැනීමට සහ ශාරීරික අවශ්‍යතා සඳහා පමණයි ඔහු කියනවා.,,

ඔහු නවාතැන් ගන්නේ මිල අඩු හෝටල්වල. බොහෝ විට ඔහු රාත්‍රිය ගතකරන්නේ පල්ලියක් අසල හෝ සුරක්ෂිත පෙදෙසක කූඩාරමක් අටවාගෙන. ඔහුට නවාතැන් ගන්න සුව පහසු තැන් සොයා ගන්න අපහසුකම මෙන්ම දරුණු හිම කුණාටු සහිත කාලගුණයෙනුත් බේරෙන්නට පහසු නොවූ බවයි ඔහු පවසන්නේ.

මේ වන විට ඔහුගේ බර රාත්තල් සියයකින් පමණ අඩු වෙලා. ඒත් නිතිපතා බර කිරාගන්නට ඔහුට ඉඩ ලැබෙන්නේ නෑ.

“ඉස්සර මම හරි විශාලයි. හෙලවෙන්නත් අපහසුයි. ඒත් දැන් මම තරමක් කෙට්ටුයි. ඉක්මනින් ඇවිදින්නත් පුළුවන්. ගත වගේම හිතත් සැහැල්ලුයි,, එරික් කියනවා.

ඒ කියන්නේ හැරගිය බිරිය ඔබ සොයා ඇවිදින් ද?

“ඇත්තෙන්ම ඔව්. මම ව්‍යායාමය අරඹපු මුල් මාසෙ අගදීම ඈ යළිත් මා සොයා ආවා. ඇගේ ආදරය මා තව තවත් උනන්දු කරවනවා. එපමණක් නොවෙයි, මගේ පොත ලියන්නටත් ඈ මට සහාය වෙනවා,, එරික් පවසන්නේ උද්‍යෝගයෙන් යුතුවයි.

2016 වසර පිළිබඳ ඔහුගේ පැතුම වන්නේ බටහිර බලා ගමන් කිරීමයි. ඔහුගේ චාරිකාවේ අවසාන ඉලක්කය එයයි. 2016 මැයි මාසයේදී ඔහු සිය පාපැදි සවාරිය නිමා කරන්නට අපේක්ෂා කරනවා.

ස්ථුලතාවයෙන් නැතිනම් අධි බරෙන් පෙළෙන ඔබ වැනි පාපැදි පදින්නට රිසි අනෙක් අයට ඔබ දෙන අවවාදය කුමක්දැයි මාධ්‍යවේදියා ඔහුගෙන් ඇසුවා.

“රෝද හොඳට සවිමත් හොඳ පාපැදියක් තෝරා ගන්න. හොඳම බයිසිකලයක් නැත්නම්, දැනට ඔබ සතු පාපැදියෙන් ගමන අරඹන්න. අව්, වැසි, උණුසුම හෝ කුනාටු වැනි කුමන බාධක පැමිණිය ද ඒ සියල්ල මැඬගෙන ඉදිරියටම යන්න. දිනකට යා හැකි තරම් දුරක් ඉලක්ක කර ගන්න. මඳ දුරක් ගොස් කෙටි විවේකයක් ගන්න. කෙටි විවේක ලබා ගනිමින් වුවද අපේක්ෂිත ඉලක්කය කරා ළඟා වන තුරුම බයිසිකලය පදිමින් හෝ තල්ලු කරමින් ගමන් කරන්න. ඉක්මනින්ම ඔබේ බර අඩු වේවි. බර අඩු වන විට ගත සිත සැහැල්ලු වේවි. ඒ සැහැල්ලුව නිසාම ඔබේ වේගය වැඩි වේවි. ඒ අනුව ඔබ හිතුවාටත් වඩා කලින් අපේක්ෂිත ඉලක්කය කරා ඔබ ළඟා වනු නිසැකයි,, එරික් පවසන්නේ හැබෑම සතුටින්.