ඇඟ ඇතුළේ තිබිය යුතු දැ තිබුණේ එළියේ…

0
1822

මඩකලපුව ශික්‍ෂණ රෝහලේ උපත ලද දින නවයක්‌ වයසැති බිළිඳු දරුවකුට සිදු කළ විස්‌මිත සැත්කමක්‌ පිළිබඳව පසුගියදා අපට අසන්නට ලැබිණි.

මඩකලපුව, මන්චන් තොඩුවායි, නව පාලමුණෙයි පාර පදිංචි 37 හැවිරිදි කාන්තාවක වන එම්. බී. අමිතා බේගම් මහත්මිය ඇගේ සිව්වැනි දරු ප්‍රසූතිය සිදු කරන ලද්දේ මඩකලපුව ශික්‍ෂණ රෝහලේදී පසුගිය පෙබරවාරි 20 වැනි දිනය.

ගැහැනු දරුවන් තිදෙනකුගේ මවක වන ඇයට මෙවර ලැබුණේ පුතෙකි. තම කැදැල්ලට පිරිමි දරුවකු ලැබීම අමිතාට පමණක්‌ නොව ඇගේ සැමියා වන රාසික්‌ මොහොමඩ්ට ද නොමඳ සතුට ගෙන දෙන කාරණයක්‌ වූවාට සැක නැත.

එහෙත් දරුවා ඉපිද මඳ වේලාවක්‌ ගත වෙද්දී ඔවුනගේ සතුට පහව යන අමිහිරි ආරංචියක්‌ සූතිකාගාරය දෙසින් අසන්නට ලැබිණි. එනම් එම බිළිඳාගේ උපතින්ම දක්‌නට තිබූ අසාමාන්‍ය රෝගීතාවක්‌ පිළිබඳව වෛද්‍යවරුන් විසින් වාර්තා කිරීමයි. තවත් විදියකින් කිවහොත් ඔවුන්ගේ අලුත උපන් දරුවාගේ මුත්‍රාශය ඇතුළු ශරීර අභ්‍යන්තරයෙහි පිහිටා තිබිය යුතු අවයව පද්ධතිය අසාමාන්‍ය ලෙස ශරීරයේ පිටත පිහිටීමයි. එය දැකීම වෛද්‍යවරුන් ද මවිතයට පත් කරවන කාරණයක්‌ වූ අතර බිළිඳා ජීවත් කරවීම සඳහා සැත්කමක්‌ මගින් එම මුත්‍රාශය ඇතුළු අවයව පද්ධතිය ශරීර අභ්‍යන්තරයට ඇතුළු කළ යුතුය යන්න විශේෂඥ වෛද්‍ය නිගමනය විය.

බොහෝ විට උපදින දරුවන් 30,000, 50,000 ත් අතරින් එක්‌ අයකු පමණ හමුවන බව කියන මෙවැනි අසාමාන්‍ය පිහිටීම් සහිත දරුවන් ශල්‍ය වෛද්‍ය විශේෂඥයන්ට පවා විරල අත්දැකීම් බව කියති.

මඩකලපුව ශික්‍ෂණ රෝහලේ උපත ලද අප කථානායක දරුවාගේ සැත්කම සිදු කිරීමේ වගකීම කරට ගත් විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායමේ ප්‍රධානියා වනුයේ ළමා ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සම්පත් හේරත් මහතා ය. සිය ශල්‍ය වෛද්‍ය වෘත්තික ජීවිතයේ ප්‍රථම අත්දැකීම ද මෙම දුර්ලබ සැත්කම බව එහි තොරතුරු සොයා ගිය ගමනේදී ඔහු අප හමුවේ කියා සිටියේය. ඉතාමත්ම අඩු පහසුකම් සහිත රෝහලකදී මෙවැනි සැත්කමක්‌ සාර්ථක ලෙස සිදු කිරීමට ලැබීම පිළිබඳව තමන් ඉමහත් සතුටට පත්වන බවද වෛද්‍ය සම්පත් හේaරත් මහතා කීය.

අලුත උපන් බිළිඳාගේ ශරීර අභ්‍යන්තරයෙහි පිහිටා තිබිය යුතු එහෙත් අසාමාන්‍ය ලෙස ශරීරයේ පිටත පිහිටි මුත්‍රාශය ඇතුළු අවයව පද්ධතිය සැත්කමක්‌ මගින් නැවත සිරුරේ නිසිතැන ස්‌ථාපිත කිරීම සඳහා මඩකලපුව ශික්‍ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හෙද හෙදි කාර්ය මණ්‌ඩල ඇතුළුව බොහෝ පිsරිසක්‌ දායක වී තිබේ.

පුරා පැය හතකට ආසන්න කාලයක්‌ සිදු කළ බව කියන මෙම දුලබ සැත්කම වෙනුවෙන් කැපවූ පිරිස අතුරින් නිර්වින්දන ශල්‍ය වෛද්‍ය විශේෂඥ එස්‌. මදනලගන්, විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය කෞෂල්‍ය කරුණාරත්න, නව ජන්ම ළමා විශේෂඥ වෛද්‍ය චිත්‍රා වමදවන්, සහය වෛද්‍යවරුන් වන වෛද්‍ය සනුජ ප්‍රනාන්දු, වෛද්‍ය එස්‌. බාලසෙන්තූරන් යන මහත්ම මහත්මීහු ද හෙද හෙදි කාර්ය මණ්‌ඩලය වෙත නොමඳ ස්‌තුතිය හා ගෞරවය හිමිවිය යුතු බව ළමා ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සම්පත් හේරත් මහතා පැවැසීය. එමෙන්ම මෙම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එම්. එස්‌. ඉබ්‍රාලෙබ්බේ මහතාගේ මග පෙන්වීම මෙම සැත්කම සාර්ථක කර ගැනීමට මහෝපකාරී වූ බවද සම්පත් හේරත් මහතා සඳහන් කළේය.

මඩකලපුව ශික්‍ෂණ රෝහලේ සිදු කළ දුලබ විස්‌මිත සැත්කම පිළිබඳව ආරංචිය ලැබ, ඒ පිළිබඳව තොරතුරු සොයා අප එහි යන දිනය වනවිට ඉකුත් අඟහරුවාදාට (22 දා) සති තුනක පමණ කාලයක්‌ ගත වී තිබුණි.

සැත්කමින් පසුව දරුවා මේ වනවිට මැනවින් සුවය ලබා සිටින බව වෛද්‍ය සම්පත් හේරත් මහතා අප සමඟ පැවසුවේ උතුරා යන සතුටකින් යුතුවය.

ඒ පිළිබඳව ඔහු සිය කටහඬ අවදි කළේ මේ අන්දමටයි.

මුත්‍රාශය ඇතුළු අවයව පද්ධතිය ශරීරයේ පිටත පිහිටා තිබූ මෙම දරුවාගේ එම අවයව නැවත සාමාන්‍ය ලෙස සකස්‌ කිරීම අප සැත්කමක්‌ මගින් සිදු කළා.

ඒ සඳහා පැය හතකට ආසන්න කාලයක්‌ ගත වුණා. මේ රෝහලේ නිර්වින්දන ශල්‍ය වෛද්‍ය විශේෂඥ එස්‌. මදනලගන්, විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ කෞෂල්‍ය කරණාරත්න, නව ජන්ම ළමා රෝග විශේෂඥ වෛද්‍ය චිත්‍රා වමදවන් යන විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කණ්‌ඩායමේත් හෙද හෙදි ඇතුළු අනෙකුත් රෝහල් කාර්ය මණ්‌ඩලයේත් මනා කැපවීම තුලයි මෙවැනි භාරදූර සැත්කමක්‌ සාර්ථකව කිරීමට හැකියාව ලැබුණේ. දැන් එම සැත්කම සිදු කොට සති තුනක කාලයක්‌ ගත වෙනවා. මේ වනවිට එම දරුවා ඉතාමත් ම නිරෝගීව යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව කියන්නට පුළුවන්.

“අප විශේෂයෙන්ම සතුටට පත් වෙන්නේ මෙවැනි අඩු පහසුකම් සහිත රෝහලක මේ ආකාරයේ සැත්කමක්‌ සාර්ථකව කිරීමයි. මෙහිදී රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එම්. එස්‌ ඉබ්‍රාලෙබ්බේ මහතාගේ මග පෙන්වීම සහයෝගය ඉතාමත් විශිෂ්ට අන්දමට ලැබුණා. එම නිසා එය විශාල ශක්‌තියක්‌ වුණා. මෙවැනි රෝගීන් හමුවන්නේ 30,000 ත් 50,000 ත් අතර දරුවන් ප්‍රමාණයකට එක්‌ අයෙක්‌. මෙම අසාමාන්‍ය තත්ත්වය ඉපදීමට පෙර හඳුනා ගැනීමේ පහසුකම් අපේ රටේ ඇත්තේ නෑ. ඉපදී මුල් පැය 48 ඇතුළත සාමාන්‍ය පරිදි සැත්කම සිදු කළ හැකියි. නමුත් අපට මෙය කිරීමට සිදුවූයේ උපතින් දින නවයකට පසුවයි. මෙම දරු උපත සිදුවන අවස්‌ථාවේ මම කෙටි නිවාඩුවක්‌ ලබා විදේශගතවයි සිටියේ. ඉපදී පැය 48 කට පසුව සැත්කම සිදු කළ නිසා උකුල් ඇට විසන්ධි කොට මෙම සැත්කම කිරීමට සිදු වුණා. එහිදී විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ කෞෂල්‍ය කරුණාරත්න මහතාගේ කැපවීම ඉතා විශාලයි. ඒ වගේම නිර්වින්දන ශල්‍ය වෛද්‍ය විශේෂඥ මදනලගන් මහතා ද ලොකු වගකීමක්‌ කරට ගෙන කටයුතු කළා. පැය හතකට ආසන්න කාලයක්‌ සඳහා රෝගියා නිර්වින්දනයන කිරීම, මෙම සැත්කමින් පසුවත් දින 04 ක කාලයක්‌ රෝගියා සිහිනැති කරලා තැබුවා. එයට හේතුව මෙය රෝගියාට ඉතාම තදබල වේදනාවක්‌ දැනෙන සැත්කමක්‌.” මේක මගේ ළමා ශල්‍ය වෛද්‍ය වෘත්තික ජීවිතයේ ප්‍රථම අත්දැකීම. ඒ වගේම මඩකලපුව ශික්‍ෂණ රෝහලේ රෝහල් ඉතිහාසයටම මෙවැනි සැත්කමක්‌ සිදු කළ පළමු අවස්‌ථාවත් මෙයයි. මේ සැත්කම ඉතාමත් ම සාර්ථකයි. සැත්කමට භාවිතය කළ දරුවා ඉතාමත්ම හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවෙනවා. ඒක අපිට ඉතාම සතුට ට කරුණක්‌.

මඩකලපුව ශික්‍ෂණ රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය එම්. එස්‌. ඉබ්‍රා ලෙබ්බේ මහතා – “මේක අපේ රෝහලේ ඓතිහාසික සැත්කමක්‌. මේ සැත්කම ඉතා දුර්ලභ එකක්‌. එය සාර්ථකවීම ගැන අප හැමදෙනාටම සතුටු වන්නට පුළුවන්. විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්‌ඩලය හෙද හෙදි අනෙකුත් සියලුම දෙනා සාමුහිකව කටයුතු කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට හැකියාව ලැබුණු බවයි මගේ අදහස.”

තවත් බොහෝ දරුවන් මෙළොව එළිය දකින අන්දමට නොව ඉතා දුලබ අසාමාන්‍ය රෝගී තත්ත්වයකින් පසුවූ මෙම දරුවාගේ මුත්‍රාශය ඇතුළු අවයව පද්ධතිය සැත්කමකින් යළිත් ශරීර අභ්‍යන්තරයෙහි නිසි පරිදි ස්‌ථාපිත කිරීම නූතන වෛද්‍ය විද්‍යාවේ විසල් බල මහිමය කදිමට කියා පාන්නකි.

මඩකලපුව ශික්‍ෂණ රෝහලේ දෙවිවරුන් වන වෛද්‍යවරුන් ජීවිතයක අගය මනාව වටහා ගනිමින් කළ උදාර කැපවීම තුළ සඳහටම වැසීයන්නට ඉඩ තිබූ බිළිඳු දැසේ පියන් පෙති යළි විවර වූ බව සක්‌ සුදක්‌ සේ පැහැදිලිය.

එම ඉසිවර හමුව නිමා කරන්නට මොහාතකට පෙර අප දියණිවරුන් තිදෙනකුගෙන් පසුව ලද පුතු තුරුළට ගෙන දැන් රෝහල් වාට්‌ටුවේ සතුටු කඳුළු වගුරන අම්මා දෙසට හැරුණෙමු.

“මට හිතාගන්න වත් බැරුව ගියා මේ සිදුවීම. පුතෙක්‌ ඉපදුනා කියල කිව්වම දැනුණු සතුට කොහේ ගියාද කියලා දන්නෙ නෑ, එයාට වෙලා තිබුණු දේ දැක්‌කම. මට දෙවියෝ සිහි වුණා. දැන් ඇත්තටම හරි සතුටුයි. මගේ දරුවගේ ජීවිතේ බේරලා දුන්නට මේ දොස්‌තර මහත්තුරුන්ට බොහෝම පිං..”

කරුණාරත්න ගමගේ
– Divaina