ගල මසමින් නැවත ගොඩනගන සීගිරිය

0
1972

සැබවින්ම ඔවුන් මේ කරන්නේ විශ්වකර්ම වැඩකි. ගල කැඩීමක්‌ මිස ගල් මැසීමක්‌ අප අසා නැත. ඒ මැසීමද ලේසි පහසු තැනක නොවේය. ඔවුන් මසන්නේ සීගිරි ගලයි.

තැනිතලාවේ සිට අඩි 600 ක්‌ පමණ අහස කරා නැඟුණු යෝධ සීගිරි පර්වතය ඉදිරියේ ලිලිපුට්‌ටන් වූ අපි එම ගිරිශිඛරය තරණය කිරීමේ නිරත වුණෙමු. නන් දෙසින් පැමිණි පාසල් සිසුහු ඇතුළු ජනතාව ඒ වන විටත් ඒ මහා පර්වතය නැඟීමේ සහ බැසීමේ නිරතව සිටියහ. විදෙස්‌ රටවලින් පැමිණි නරඹන්නෝද ඒ අතර විරල නොවූහ.

මධ්‍යහ්නයේ හිරු රශ්මිය අපව පීඩාවට ලක්‌කරමින් සිටියත් අතරින් පතර හමා එන සුළං රැළි ඒ පීඩාවන් සමනය කරන්නට වෙර දරයි. අපට එය සැනසීමක්‌ සැනසිල්ලක්‌ වුවද විටෙක වඩාත් වේගයෙන් හමා එන ඒ සුළඟ අප ඉදිරියේ ඇති මහා පර්වතයට නම් නිදහසේ ඉන්නට ඉඩහසර සලසා දෙන්නේ නැත.

සීගිරි පර්වතය නම් මේ මහා යෝධයා නිර්මාණය වී ඇති පාෂාණ වර්ග කිහිපය අතරින් දුර්වල පාෂාණයට මේ මහා සුළඟ සමඟ පොර බැදීමට ශක්‌තියක්‌ නැත. තමන් මෙතෙක්‌ කලක්‌ ආදරයෙන් වෙළාගෙන සිටි මහා පර්වතය අතහැර ඒ දුර්වල පාෂාණයන් ගලෙන් වෙන් කිරීමට තරම් කුරිරු දුෂ්ටයෙකු ලෙස එකී සුළඟ විටෙක අවි අමෝරා සිටී.

සීගිරි පර්වතය අභිමුවට අප මෙවර පැමිණීමේ අභිමතාර්ථයද එයයි. සුළඟ මගින් දවසින් දවස ඛාදනය වෙමින් පවතින සීගිරි පර්වතය රැක ගැනීම ජාතික වගකීමකි. එමතු නොව ඉන් ගිලිහී වැටෙන පාෂාණ කැබලිවලින් නරඹන්නන්ගේ ජීවිත රැක ගැනීමද ජාතික වගකීමකි.

මේ භාරදුර කාර්යය ඉදිරියේ රටේ වගකිවයුත්තන් නොපෙනෙන ඇසින්, නොඇසෙන කණින් යුතුව මුනිවත රකිමින් සිටියදී ඊට ඉදිරිපත් වූයේ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයයි වැලි, ගල් හා පතල් කැපීමට අවසර දෙන ආයතනයක්‌ ලෙස එම කාර්යාංශය පිළිබඳව ඔබ සිතා සිටියත් ඔවුන් ඊට එහා ගිය පුළුල් කාර්යභාරයක්‌ ඉටුකරයි. සීගිරි ගල සුරකින මේ මහා මෙහෙවර ඊට කදිම උපහැරණය වේ.

එකී උදාර මෙහෙවර අහවර කරන්නට ඔවුන්ට තවත් කාලයක්‌ වුවමනාය. මේ මහා උරුමය රැක ගැනීමට ඔවුන් දරන කැප කිරීම කල්ගත වී හෝ මේ මහා පොළොවේ යථාර්ථයක්‌ වනු ඇත. එහෙත් ඉන් එහා ගිය අවදානයක්‌ සීගිරිය කෙරෙහි මතු නොව මෙරටේ සියලු පෞරාණික සිද්ධස්‌ථාන, නටබුන්, උරුමයන් කෙරෙහි තිබිය යුතු බව බලධාරීන් වටහා ගත යුතුවේ.

සීගිරියට භූ විද්‍යා සමීක්‍ෂණ පතල් කාර්යාංශයේ ඇස යොමුවීම සීගිරියේ මතු නොව රටේත් දැයේත් වාසනාවකට සිදුවූ දෙයකි. එය එසේ නොවන්නට සුළඟ සමඟ පොර බදා වෙහෙසට පත්වන එකී දුර්වල පාෂාණ කැබලි වශයෙන් නොව විශාල පදාස ලෙස බිමට පතිත වනු ඇත. මිනිස්‌ ජීවිත කීයක්‌ ඊට බිලි වනු ඇත්ද කියා ඔබට මට කිව නොහැක. විදේශිකයන්ට ද ඒ අවදානමෙන් ගැලවී සිටීමට නොහැකි වනු ඇත. එසේ වුවහොත් ජාත්‍යන්තරය ඉදිරියේ රටට අත්විය හැකි දොaෂය අමුතුවෙන් සඳහන් කරනු කුමටද?

එකී දොස්‌ සදොස්‌ නොකර නිදොස්‌ කරන්නට උරදුන් භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා ප්‍රමුඛ එම කාර්ය මණ්‌ඩලයට රටේ ගෞරවය හිමිවිය යුතුය. එම කාර්ය පිළිබඳ අසේල ඉද්දවෙල මහතා සීගිරියේ නිරීක්‍ෂණ චාරිකාවට එක්‌වෙමින් අප සමඟ මෙසේ පැවසීය.

“ලෝක උරුමයක්‌ ලෙස සැලකෙන සීගිරිය රැකගැනීම අප සැමගේ යුතුකමක්‌. සීගිරි ගලෙන් පාෂාණ කොටස්‌ ගිලිහී යැම වැළැක්‌වීම සඳහා අපි එහි ප්‍රතිසංස්‌කරණ කටයුතුවල නිරත වෙනවා. ගලෙන් ගිලිහී යන කොටස්‌ නැවත සීගිරි ගලට සවි කිරීමට අපේ භූ විද්‍යාඥයන් සහ තාක්‍ෂණ නිලධාරීන් විශාල වැඩකොටසක්‌ ඉටු කරනවා. එය ඉතා අවදානම් සහ බැරෑරුම් කාර්යයක්‌.

ඒ විතරක්‌ නොවෙයි සීගිරි ගලට නැගීමට සුදු යකඩ පඩිපෙළක්‌ අපි සකසා තිබෙනවා.

සීගිරියේ බිතුසිතුවම් ඇති ස්‌ථානයේ ඉඩ වැඩි කරමින් අලුතින් වේදිකාවක්‌ අපි ඉදිකළා. ඒ වගේ කැටපත් පවුරේ පිටත බිත්තියේ ප්‍රතිසංස්‌කරණය සඳහා පාලමක්‌ ඉදිකිරීම සහ තවත් කාර්යයන් රැසක්‌ අපි සීගිරිය වෙනුවෙන් ඉටුකරමින් සිටිනවා.

ඉද්දවෙල මහතාගේ ඉහ අද්දර සිට ඉහළ අහස දෙස බැලූ කල අපට පෙනුණේ ජීවිත අවදානමද නොතකා මේ ලෝක උරුමය රැකීමට සුළං රළ සමඟ උරෙනුර ගැටෙන සේවකයන්ය. තාක්‍ෂණ නිලධාරීන්ය. දැඩි සුළං කපොල්ලක පිහිටි සීගිරි ගලේ කඹවල එල්ලී ඔවුහු එම කාර්යය සිදුකරති.

මධ්‍යම සංස්‌කෘතික අරමුදල මගින් කරන ලද ඉල්ලීමක්‌ පෙරදැරිව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය මෙම කාර්යයේ නිරත වේ. සීගිරියේ සංරක්‍ෂණ කටයුතු සඳහා ඔවුන් නව ක්‍රමෝපායන්ද සොයාගෙන තිබේ.

උදාහරණයක්‌ ලෙස සංරක්‍ෂණ කටයුතුවලට අවශ්‍ය ගඩොල් සිමෙන්ති, වැලි වෙනදා පහළ සිට ඉහළට ගෙන එන්නේ හමුදාවේ සහායෙනි. පාසල් ළමයින්ගේ සහායෙනි. නැති නම් ශ්‍රමදානයකිsනි. එහෙත් දැන් ඔවුන් ඊට කුඩා දොඹකරයක්‌ (කේබල් ආශ්‍රයෙන්) යොදාගෙන තිබේ. විනාඩි 4 ක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ ගඩොල් 300 ක්‌ පමණ වරකට එමගින් පහළ සිට ඉහළට ලබාගැනීමට හැකිවේ.

සැබවින්ම ඔවුන් මේ කරන්නේ විශ්වකර්ම වැඩකි. ගල කැඩීමක්‌ මිස ගල් මැසීමක්‌ අප අසා නැත. ඒ මැසීමද ලේසි පහසු තැනක නොවේය. ඔවුන් මසන්නේ සීගිරි ගලයි. සීගිරි ගල මැසීම නම් එම අදහාගත නොහැකි කාර්යයේදී ජ්‍යෙෂ්ඨ තාක්‍ෂණ නිලධාරී රංජිත් මංචනායක මහතා සිදුකරන්නේ අද්විතීය මෙහෙවරකි. සීගිරි ගල මැසීමේ ව්‍යාපෘතියට අවශ්‍ය තාක්‍ෂණය ඔහු උපයෝගි කර ගන්නේ පතල් කර්මාන්තයේ නියෑලී ලබාගත් අත්දැකීම් තුළිනි.

පොළොව යට දොaනා කපමින්, මුක්‌කු ගසමින්, ගල් හිල් කරමින් මිනිරන් නිධි සොයා පොළව යට සිවු දිගට ගමන් කර ලත් අත්දැකීම්ද ඔහු සහ තාක්‍ෂණ නිලධාරී නිහාල් ප්‍රේමතිලක මහතා ප්‍රමුඛ කණ්‌ඩායම පතල් රස්‌සාවෙන් ලැබූ අත්දැකීම්ද සීගිරි ගලේ ආරක්‍ෂාවට යොදා ගත්හ.

”මේ ගල් විදිනකොට යන්ත්‍ර භාවිත කරන්න බැහැ. ඉන් ප්‍රධාන ගලට හානි වෙන්න පුළුවන්. ඒ නිසා බෝර කටුවයි මිටියයි උපයෝගි කරගෙන බුරුල් වූ ගල් වල හිල් හදා ගන්නවා. ඒ හිල් වලට සුදු යකඩ පොලු සම්බන්ධ කරනවා. සමහර විට අඩි හත අටක්‌ දක්‌වා ඒ හිල් හාරන්න සිදුවෙනවා. කඹයක එල්ලිලා වයරයක වාඩි වෙලා දෙපා දෙපසට දාලා ආරක්‍ෂක පටි පැළඳගෙන තමයි මේ වැඩේ කරන්නේ.

සීගිරි ගලෙන් බුරුල් වෙලා වැටෙන්න පුළුවන් බව හිතෙන ගල් විදලා සුදු යකඩ පොලු ඊට ඇතුල් කර ඊළඟට ඒවා සම්බන්ධ කර “බෝල්ට්‌ ඇණ දාලා හිර කරලා ප්‍රධාන ගලට හාවෙන ලෙසට සවි කරනවා.”

මංචනායක මහතා එසේ පවසන දේ දැසින් දැක මිස විශ්වාස කරන්නට නොහැකි තරම් වේ. එහෙත් අපේ දැස්‌ ඉදිරිපිටදීම එය යථාර්ථයක්‌ බව ඔප්පු කිරීමට ඔවුහු කටයුතු කළහ.

මේ ව්‍යාපෘතිය භාර නිලධාරිවරයා භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ උදය සිල්වාය. තාක්‍ෂණ ශිල්පී නිමල් දයාරත්න, ධර්මරත්න, ජ්‍යෙෂ්ඨ තාක්‍ෂණ නිලධාරි ජී. සී. සී. ආරියවංශ යන මහත්වරුන්ද ඊට දක්‌වන්නේ අනභිභවනීය සහායකි. එය වචනයෙන් කියා නිම කළ නොහැකි සමාජ සද්කාර්යයකි.

සීගිරි ගල තවත් සියවස්‌ ගණනාවක්‌ නිරුපද්‍රිතව පැවතීමේ ගෞරවය සහ පින මේ සියලු දෙනාට හිමිවිය යුතුමය.

– Divaina