ජාතික රෝහලේ පණ අදින මහ හෘද රෝගියා!

0
8973
nhsl

ජාතික රෝහලේ පණ අදින මහ හෘද රෝගියා!

මෙලොව ඉපදෙන ඕනෑම මනුෂ්‍යයකුට වඩාත්ම වටින්නේ නිරෝගී කමය. ඒ බව බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ “ආරෝග්‍යා පරමා ලාභා” ලෙසය. නිරෝගීකම සියලුම ලාභයන්ට වඩා පරම ලාභය බව එයින් කියෑවේ. කෙනෙකු රෝගී වීමත් ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමත් පිළිබඳව සැබෑ තත්ත්වය ප්‍රායෝගිකව අත්විඳිය හැක්‌කේ අපටද රෝහලකට යන්නට වූ විටකය. අප මොන තරාතිරමක සිටියත් අපේ ජීවිතයට අනතුරක්‌ වනවාට අප කැමති නැත.

එවැන්නක්‌ දැනුණු විට පවා අප තුළ ඇති වන්නේ තැති ගැන්මක්‌ හා ජීවිතය අහිමිවේ යෑයි බියකි. තමන්ට තමන්ගේ ජීවිතය ගැන එහෙම හිතුණත් තමන් මෙන්ම අන්‍යයන්ද ඔවුන්ගේ ජීවිතවලට තමන් මෙන්ම ආදරය කරන බවත් ඔවුන්ද ඔවුන්ගේ ජීවිත නැතිවීමට කැමැති නැති බවත් අපට නොදැනෙන්නේ තමන්ගේ ජීවිතය තරම්ම අනුන්ගේ ජීවිත අගැයීමට අපට නුපුළුවන් වී ඇති නිසා යෑයි සිතමි.

අපට මේ කතාව කියන්නට පසුබිම සකස්‌ වූයේ දිනපතා රෝගීන් දස දහස්‌ ගණනක්‌ සුවපත් කරන්නට කටයුතු කරන කොළඹ මහ වෙදමැඳුර නැත්නම් ජාතික රෝහල තුළ හෘද රෝගී අංශය සඳහාම ඉදිකළ ගොඩනැඟිල්ලට සිදුව ඇති හානිය දැකීමෙනි. මේ ගොඩනැඟිල්ල සැමුවෙල්a නමැති ඉදිකිරීම් සමාගමක්‌ විසින් ඉදිකර රෝහලට භාර දී ඇත්තේ 2000 අගෝස්‌තු 31 දිනය. මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිකාර කටයුතු උත්සව ශ්‍රීයෙන් ආරම්භ කර ඇත්තේ 2001 මැයි 15 දිනය. ඒ අනුව මෙම ගොඩනැගිල්ලට මේ වන විට ගතවී ඇති කාලය වසර 15 කි. ජාතික රෝහලේ දැනට හෘද රෝගීන් සඳහා ප්‍රතිකාර කරන වාට්‌ටු අංක 25 ඇතුළු තවත් වාට්‌ටු රැසක්‌ ඇති ගොඩනැඟිල්ල ඉදිකර ඇත්තේ 1924 දීය. ඒ මීට වසර අනූඑකකට පමණ පෙරය. නමුත් මේ ගොඩනැගිල්ලේ සුළු සුළු අලුත්වැඩියාවන් හැර විශාල අනතුරක්‌ නැත.

මේ නිසා ඉතා කෙටි කාලයක්‌ තුළ හෘද රෝගී අංශය සඳහා ඉදිකළ ගොඩනැඟිල්ල විනාශ වී යැමට හේතුව කුමක්‌ද යන්න සෙවීම රජය විසින් වහා කළ යුත්තකි. මේ ලිපියෙන් අප ඒ සඳහා ඉඩකඩ වෙන් නොකරන්නේ ඉතා ක්‍ෂණිකව කළ යුතුව ඇත්තේ මේ ගොඩනැඟිල්ලේ සිදුව ඇති විනාශය පෙන්වාදී එමගින් රෝගීන්ට වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්‌ඩලයට මුහුණ දීමට සිදුව ඇති අපහසුතාවන්වලට පිළියම් යෙදීම කඩිනම් කරවා ගැනීමටය. එය අන් සියල්ලට පෙර කළ යුතුයි. මෙම ගොඩනැඟිල්ල තට්‌ටු 7 ක්‌ සඳහා සැලසුම් කර ඇති නමුත් ඉදිකර ඇත්තේ තට්‌ටු 4 ක්‌ පමණය. ඊට හේතුව ද තට්‌ටු හතක්‌ සඳහා ගොඩනැඟිල්ලේ අත්තිවාරම ශක්‌තිමත් නොවීම බව ඒ පිළිබඳව තොරතුරු දත් අයගෙන් “දිවයින”ට වාර්තා විය.

 

කෙසේ වුවද මේ තොරතුරු ලද පමණින් ඒ ගැන ලියන්නට අප සූදානම් නොවූයේ ඒ තොරතුරුවල ඇති සත්‍ය තහවුරු කරගත යුතු නිසාය. අපට ලැබුණු තොරතුරු සත්‍ය ලෙසම අපේ දෑසින් දැක ගත යුතු විය. අප දකින දේ මේ ලිපිය කියවන ඔබටද දකින්න ඇති අයිතිය අනුව අපේ ඡායාරූප ශිල්පී සමන් රණවීර සමග ජාතික රෝහලට ගියේ හෘද රෝගී අංශයට කළ යුතු හදවත් සැත්කම වහා නොකළහොත් ඔහුගේ ජීවිතය අනතුරට පත්වන බව රටේ වගකිවයුත්තන්ට කියන්නටය. රාජ්‍ය ආයතනවල මාධ්‍යයට තොරතුරු ලබාදෙන ක්‍රමයට මේ ජාතික රෝහලේ පණ අදින මහ හෘද රෝගියා ගැන තොරතුරු අපට ලබාගත නොහැකි බව අවබෝධ කරගත් අප මාධ්‍යයට තොරතුරු ලබා ගන්නා උපායන් අනුගමනය කරමින් ජාතික රෝහලේ හැටේ වාට්‌ටුව හෙවත් හෘද රෝගී අංශයට ඇතුල් වුණේ පුංචි පුංචි බාධාවන් නැතිවම නොවේ. කෙසේ වුවද අපට මේ හෘද රෝගී අංශය මුහුණ පා ඇති අතිශය බිහිසුණු අනතුර අවබෝධ කර ගන්නට වැඩි වේලාවක්‌ ගත නොවීය. අපි මේ ගොඩනැඟිල්ලේ තැනින් තැන දුටු දේවල් අනුව හෘද රෝගීන් සඳහා ශල්‍යකර්ම සිදු කිරීමට තබා පාචනයට ලක්‌වූ රෝගියකුවත් මේ ගොඩනැඟිල්ලේ තබා ගැනීම අනතුරු බව දිටිමු.

කොළඹ ජාතික රෝහලට විශේෂයෙන් හෘද රෝග ප්‍රතිකාර ඒකකයක්‌ අත්‍යවශ්‍යය. ලංකාවේ වැඩි පුරම ස්‌වාභාවික මරණ සිදුවන්නේ හෘද රෝග නිසා බව පිළිගෙන ඇති සත්‍යයකි.

විශේෂයෙන්ම ජාතික රෝහලේ හෘද රෝග සඳහා වෙනම ඒකකයක්‌ අවශ්‍ය වන්නේ දිවයිනේ හතර දෙසින් වැඩිපුරම රෝගීන් එන්නේ කොළඹ ජාතික රෝහලට නිසාය. හදවත් සැත්කම් කළ හැකි රෝහල් අප රටටම ඇත්තේ හතරකි. කොළඹ, මහනුවර, කරාපිටිය හා ළමුන් සඳහා රි-වේ ආර්යා ළමා රෝහල ඒ හතරය. ලංකාවේම හදවත් සැත්කම් කළ හැකි පුහුණුව ලැබූ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු ඇත්තේ 14 දෙනෙකි. මීට අමතරව පෞද්ගලික අංශයට අනුයුක්‌තව සිටින ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් ගණන 6 කි. ඉන් කීපදෙනෙක්‌ම ඉන්දියානු ජාතික වෛද්‍යවරුන්ය.

රජයේ රෝහල් සඳහා ඇති වෛද්‍යවරු 14 දෙනාගෙන් පස්‌ දෙනෙක්‌ම අනුයුක්‌ත කර ඇත්තේ රි-වේ ආර්යා ළමා රෝහලටය. ඉතිරි නව දෙනා කොළඹ මහනුවර කරාපිටිය මෙන්ම ජයවර්ධනපුර රෝහලට අනුයුක්‌තව සිටිති. ජයවර්ධනපුර රෝහලේ ශල්‍ය කර්ම සඳහා රෝගීන්ගෙන් මුදල් අය කරන නමුත් පෞද්ගලික අංශය රුපියල් ලක්‍ෂ 5 ක්‌ හෝ 6 ක්‌ අය කරන හෘද සැත්කම් මහනුවර කොළඹ කරාපිටිය රෝහල්වල සිදු වන්නේ නොමිලේමය. දිවයින පුරා හෘද රෝගීන් ලෙස හඳුනා ගන්නා රෝගීන් අතරින් බොහෝ රෝගීන් යොමු කරන්නේ කොළඹටය.

අපේ රටේ එසේ වුවද ඔස්‌ටේ්‍රලියාවේ හදවත් සැත්කම් සඳහා විශේෂඥ පුහුණුව ලැබූ වෛද්‍යවරු 190 ක්‌ හා සැත්කම් සඳහා පහසුකම් ඇති රෝහල් 40 ක්‌ තිබේ. ඒ බව අප ඔබට සිහිපත් කළේ ඒ රටවල් හෘද රෝගීන් සම්බන්ධයෙන් දක්‌වන සැලකිල්ල සිහිපත් කර දෙන්නටය.

කොළඹ ජාතික රෝහලට ඉදිකරදී ඇති මෙම හෘද රෝග ඒකකය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව කිසිවකුගේ අවධානය යොමු නොවී තිබීම පුදුම සහගතය. මේ ගොඩනැඟිල්ලේ හෘද රෝග ඒකකය පමණක්‌ නොව ශල්‍යාගාර දෙකක්‌ දැඩි සත්කාර ඒකක දෙකක්‌ එන්ජීඕ ග්‍රෑම් පරීක්‍ෂණ ඒකකයක්‌ හා වාට්‌ටු දෙකක්‌ද දැනට පවත්වා ගෙන යන බවක්‌ දැක ගන්නට ලැබිණි. නමුත් මේ අතිශය සියුම් ශල්‍යකර්ම සිදු කරන ගොඩනැඟිල්ලේ අවට විෂ බීජ ‘තවාන්’ ඇති බව ඔබ දන්නේ නම් ඔබේ රෝගියා පිළිබඳව ඔබ තුළ ඇති වන තැතිගැන්ම අමුතුවෙන් සඳහන් කළයුතු නැත.

මෙම ගොඩනැඟිල්ලේ ජල නළ බොහෝමයක්‌ අබලන්ය. මේ හේතුව නිසා ගොඩනැඟිල්ලේ බිත්තිවල ඇති දිය සීරාවෙන් බොහෝ තැන් පුස්‌ බැඳී දිය සෙවෙල බැඳී ඇති අයුරු දැක ගත හැකිය. වඩාත් භයානකම වන්නේ වැසිකිළි නළ අබලන්වී තිබීමය. මේ නිසා රෝගීන් ගේ මුත්‍රා හා මළපහ අබලන් නළ මගින් පිටත ඇදී අසල කාණුව ජරාවාස වී ඇති අයුරු දැකිය හැකිය. ශල්‍යකර්ම මගින් රෝගියා බේරා ගත හැකි වුවත් ශල්‍යකර්ම නිසා ඇති වන තුවාලවලට විෂ බීජ ඇතුළුවීමෙන් ජීවිත අනතුරට පත්විය හැකි අවදානම ඉතා ඉහළ මට්‌ටමක පවතී. විශේෂයෙන්ම මෙම හෘද ශල්‍ය ඒකකයේ සැත්කම්වලට භාජන වන රෝගීන්ගේ තුවාල සුවවීමට දිගු කලක්‌ ගත වන බවද දැන ගන්නට ලැබිණි.

හෘද රෝග සැත්කම් කරන ශල්‍යාගාරයකට විදුලිය ජලය අත්‍යවශ්‍යය. මේ ගොඩනැඟිල්ලේ ජල නළ අබලන් නිසා කොයි මොහොතේ ජලය සැපයුම නවතීද නොදනී. ඉකුත් සිකුරාදා අපි “දිවයින”‘ පුවතකින් පෙන්වා දුන්නේ මෙහි ජල සැපයුමේ දුර්වල වීමක්‌ හේතුවෙන් බදාදා (4 දා) සිදු කිරීමට නියමිතව තිබූ හදවත් සැත්කම් දෙකක්‌ නතර කර එම සැත්කම් සිකුරාදාට යොදා ගැනීමට සිදුවීමක්‌ ගැනය. ඒ සිදුවීම පමණක්‌ම මේ ගොඩනැඟිල්ලේ ජල නළවල තත්ත්වය පැහැදිලි කරන්නට ප්‍රමාණවත්ය. දිය සීරාව ඇති මේ ගොඩනැඟිල්ලේ විදුලි අනතුරුවලට ඇති ඉඩ කඩද බොහෝය. ශල්‍යාගාර තුළ වායු සමන පද්ධතියද අබලන්ය. විදුලි කාන්දුවීම්ද එමටය. මෙහි සේවය කරන කාර්ය මණ්‌ඩලයේ ජීවිතද මේ නිසා අනතුරේය. කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලය ඇඳුම් මාරු කරන කාමරය තුඹසක්‌ බඳුය. කාර්ය මණ්‌ඩලය සිටියත් නොසිටියත් වේයන් බුරුතුපිටින් එහි පදිංචිව සිටියි.

මෙම ගොඩනැඟිල්ල හෘද රෝගීන් ගේ සැත්කම් සඳහා යොදා ගැනීමට සුදුසු නොවන බව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය කරන ලද පරීක්‍ෂණයකින්ද අනාවරණය කර ඇත. ඒ පිළිබඳ පිටු 14 කින් යුත් වාර්තාවක්‌ රෝහල් බලධාරීන්ට ලබාදී ඇත්තේ 2014 නොවැම්බර් මාසයේදීය. එමෙන්ම ක්‍ෂුද්‍ර ජීවී විශේෂඥ වාර්තාවක්‌ පෙන්වාදී ඇත්තේ ගොඩනැඟිල්ලේ අබලන් තත්ත්වය නිසා විෂබීජ බහුල පරිසරයක්‌ මෙම ගොඩනැගිල්ල තුළ නිර්මාණය වී ඇති බවය.

මේ සියලු කරුණු ගොනු කරගත් අපි කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හමුවූයේ මේ ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් ඔහු ක්‍රියාකර ඇත්තේ කුමන ආකාරයෙන්දැයි දැන ගන්නටය.

මටත් හෘද රෝග අංශයේ වෛද්‍යවරු මේ ගොඩනැඟිල්ලේ තත්ත්වය ගැන දැනුම් දීලා තියෙනවා. එය අලුත්වැඩියා කරන්න රුපියල් ලක්‍ෂ 65 ක්‌ පමණ වැය වන බවට ගණන් බලා තිබෙනවා. 2013 සිට මේ ගැන අමාත්‍යාංශය සමඟ ලිපි හුවමාරුවී තිබෙනවා. මම අදත් (4 දා) සූදානම් වන්නේ අමාත්‍යාංශය ලේකම් තුමා සමග මේ ගැන සාකච්ඡා කරන්න. යෑයි වෛද්‍ය ජාසිංහ මහතා අපට කීවේය. සත්‍ය වශයෙන්ම ඔහු එදින මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සමඟ සාකච්ඡා කරන්නට සූදානම්ව සිටි බව අපට තහවුරු වූයේ අප ජාසිංහ මහතා හමුවන විට මේ ගොඩනැඟිල්ලට අදාළ ලිපිsගොනුව ඔහු අත තිබූ නිසාය.

වසරකට රෝගීන් 400-500 හෘද සැත්කම්වලට භාජන කරන කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් ඒකකය වෙනුවෙන් රජය කොපමණ මුදලක්‌ වැය කරන්නේද? එක්‌ සැත්කමකට වැය වන මුදල් රුපියල් ලක්‍ෂ 4 කට ආසන්නය. එසේ මුදල් වැය කර සැත්කම්වලට භාජන වන රෝගීන්ට මේ ගොඩනැඟිල්ල පුරා ඇති විෂ බීජ “තවාන්” හේතුවෙන් සුවයක්‌ නොලැබේ නම් රජයේ අරමුණ ඉටුවේද? මේ ගොඩනැඟිල්ලේ වසරකට සිදුවන එන්ජීඕග්‍රෑම් පරීක්‍ෂණ ප්‍රමාණය 600-700 පමණය. ඒ සඳහා රජයට වැය වන මුදල අති විශාලය.

එවන් පසුබිමක මේ රෝහලේ හෘද රෝගී අංශය පවත්වාගෙන යන මේ ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීමට රජය පසුබට වන්නේ මීගමුව රෝහලේ මෙන් විනාශයක්‌ සිදුවනු දැකීමේ ආශාවෙන් දැයි ප්‍රශ්න කළ යුතුව ඇත. වගකිව යුතු සියලු දෙනා එක්‌ව කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් ඒකකයේ කළ යුතුව ඇති හෘද සැත්කම කඩිනමින් කළ හොත් හෘද රෝග ප්‍රතිකාර ඒකක රෝගියා ගේ ජීවිතය බේරාගත හැකි වනු ඇත. එසේ නොමැති වුවහොත් අපේ රටට දැයට අහිමිව යන්නේ ගොඩනැඟිල්ලක්‌ම පමණක්‌ නොව ඒ සමඟ වටිනා ජීවිත රැසක්‌ද විය හැකිය.

ජයසූරිය උඩුකුඹුර

– Divaina