ලෝක උරුමයක් වූ පුරාණ ගාලු කොටුව – Galle fort of world heritage

0
5135
gallefort

1505 දී පෘතුගීසීහු ගාලුවරායට පැමිණියහ. ඉන්පසු කුඩා කොටුවක් 1587 දී ගාල්ලේ වරාය ආශ්‍රිතව සාදන ලදී. එය හඳුන්වන ලද්දේ ශාන්ත කෲස් (SANTA CRRUZ) යන නාමයෙනි. අවුරුදු 150 ක් පමණ පෘතුගීසීහු ලංකාවේ මුහුදුබඩ ප්‍ර‍ෙද්ශ තම බලය යටතට ගත්හ.

1858 දී පෘතුගීසින්ගෙන් පාලන බලය සටන් කර ලබා ගත්තේ තවත් බටහිර ජාතියකි. ඔවුන් 1796 තෙක් මේ රටේ බලය අල්ලා ගත්හ. ඔව්හු ලන්දේසින් ලෙසින් හැඳින්වේ. ඉන්පසු 1796 ඉංග්‍රිසීහුන් මේ රට පාලනය කළේ ලන්දේසීන් පරාජයට පත් කරමිනි.

ඉහතින් සඳහන් කරන ලද ලන්දේසීහු අප රටේ මුහුදුබඩ ප්‍රදේශවල සිය බලය මෙන් ම වාණිජ කටයුතු කරගෙන යෑම සඳහා මාතර, කටුවන (රට තුළ) යාපනේ, මීගමුව, මන්නාරම, මඩකලපුව, ත්‍රිකුණාමලය ආදී ස්ථානවල බළකොටු 14ක් නිර්මාණය කර ඇත. එයින් ඉතා විශාලතම කොටුව ලෙසින් මෙන් ම ඉතා වැදගත් වූ බළකොටුව වන්නේ ගාලුකොටුවය. එය DUTCH ‍FORT (ඩච් ෆෝට්) යනුවෙන් ද හැඳින්වේ.

මෙරට 1640 වර්ෂයේදී ගාලු වරායට ලන්දේසි වයිස් අද්මිරාල් විල්හෙල්ම් ජාකොබ්ගේ ප්‍රධානත්වයෙන් නැව් 12ක ලන්දේසි සොල්දාදුවෝ 2000 වැඩි පිරිසක් ගාලු වරායට ගොඩ බටහ. එහිදී ඔවුහු දින 4 ක්ම ගාලු වරායේ ඉතා දරුණු සටනක් පෘතුගීසින්ට එරෙහිව කළහ. ඒ අවස්ථාවේදී ලන්දේසීන් විසින් පෘතුගීසීහු පරාජය කරන ලදි.

එසේ බලය අල්ලාගත් ලන්දේසීහු 1669 වන විට හෙක්ටර්යාර් 36 ක් පුරා ප්‍රදේශයක පැතිරුණු ගාලුකොටුව සෑදීම ආරම්භ කළහ. ඊට පෙර මුලින් ම පෘතුගීසීන් විසින් ගාල්ලේ සාදන ලද කොටුව ඉතා කුඩා එකකි. එය (BLACK FORT) බ්ලැක් ෆෝට් නම් විය. 1669 සිට 1720 තෙක් කාලය මේසා විශාල ගාලු කොටුව සෑදීමට ලන්දේසීහු ගත කළහ.

අක්කර 90 පුරා පැතිර ඇති මෙම ගාලුකොටුව ලෝක උරුමයක් (WORLD HERITAGE) වර්ල්ඩ් හෙරිටේජ් ලෙස 1988 දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) ප්‍රකාශයට පත් කර තිබේ.

යුරෝපීය ජාතීන් විසින් ගොඩනඟන ලද එවැනි වාස්තු විද්‍යාත්මක වශයෙන් ඉතිරි වී ඇති දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල් අතරේ ඇති ඉතා විශිෂ්ට ලන්දේසි බළ‍කොටුව බව ඉතා ප්‍රකට ය. මෙම ලන්දේසි කොටුව දකුණු ආසියානු සහ යුරෝපීය වාස්තු විද්‍යාත්මක ලක්ෂණවල සම්මිශ්‍රණයෙන් නිර්මාණය කිරීම තවත් විශේෂ වූ කරුණකි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ඍජු අධීක්ෂණය යටතේ ගාලු උරුමය නම් වූ සංවිධානය විසින් ගාලු කොටුව සංරක්ෂණය කිරීමේ කටයුතු සිදු කෙරුණි

ගාලු කොටුවට අයත් අට්ටාල 14 කි. ඒ අතරේ ගාලුකොටුව තුළ ඇති සුවිශේෂ අංග කීපයක් මෙසේය. කොටු පවුර, නේවාසික ගොඩනැඟිලි, පෞද්ගලික ගොඩනැඟිලි, ආයතනික හා ආගමික ගොඩනැඟිලි, උද්‍යාන හා පාරවල් ජලාපවහන ක්‍රමය ආදියයි.

ලන්දේසි වාස්තු විද්‍යානුකූලව සාදා ඇති එම ගොඩනැඟිලිවල ඉදිකිරීම් කටයුතු කර ඇත්තේ අප රටේ ශිල්පීන් හා විදේශීය ශිල්පීන්ගේ සහභාගිත්වයෙනි.

ගාලුකොටුව කොටුපවුරුවලින් වටවී ඇති ලංකාවේ ඉතා විශාලතම සජීවී ජනාවාස සංකීර්ණයක් ලෙසින් සැලකේ. එය තවත් පැහැදිලි කළහොත් පුරාවිද්‍යාත්මක පැරණි බවක් පමණක් නොව ඒ කාලයේදී ද මිනිසුන් වාසය කරන ප්‍රදේශයක් බවට පත් වී ඇත. එම නිසා ගාලුකොටුවට සජීවී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසින් සැලකේ. පාසල සහ රජයේ විවිධ කාර්යාල ද කෞතුකාගාර ද, පෞද්ගලික නිවාස හිමියෝ ද මෙහි වෙසෙති.

ගාලුකොටුවට අයත් වන කොටුබැම්ම පුළුල් කිරීමේදී වැඩි වශයෙන් ම මුහුද තුළට විශාල භූමි ප්‍රදේශයක් ඇතුළත් කොට බළකොටුවේ පවුරු බැම්ම ශක්තිමත් ලෙස සාදා ඇත. ආරක්ෂක මුරකුටි තුනක් ද නැවත සාදන ලදි. මේවා සන් බැස්ටියන්, මූන් බැස්ටියන් සහ ස්ටාර් බැස්ටියන් නමින් නම් කර ඇත. පසුව පුළුල් කරන ලද ගාලු කොටුවට එක් කරන ලද ආරක්ෂිත මුරකුටි සහිත මුර කපොලු දැකිය හැකිය.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් ලන්දේසින් විසින් කැලිකසළ ඉවත් කිරීමට යොදාගත් සුළඟින් ම ක්‍රියාත්මක වන සුළං පෙත්ත මඟින් කළ කාර්යයි. වඩදිය සහ බාදිය ප්‍රයෝජනයට ගෙන සාදා ඇති විශේෂ කානු දිගේ සෝදා හැරීමට සැලසුම් කර ඇත.

ක්‍රි.ව. 1974 දී ගාලුකොටුව ආරක්ෂිත ස්මාරකයක් ලෙසින් පුරාවිද්‍යා දෙපාර්ත‍මේන්තුව ප්‍රකාශයට පත් කරන ලදි.

අනෙකුත් ලන්දේසි කොටුවලට වඩා ගාලුකොටුවේ විශේෂත්වය වන්නේ කොටුව තුළ පාසල්, රජයේ කාර්යාල කච්චේරි රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද පිහිටා තිබීමයි. එනිසා මෙය සජීවී නගරයක් ලෙසින් සැලකේ. මෙය නැවත ප්‍රතිසංවිධානය කිරීමට ද දැනට යෝජනා වී ඇත.

ගාලු කොටුවට ඇතුළු වන ඊසාන දෙසින් ඇති ගේට්ටුව සහිත දොරටුව අද තෙක් ම සුරක්ෂිතව පවතී. එය ක්‍රි.ව. 1873 වර්ෂයේදි බ්‍රිතාන්‍යයන් විසින් සාදා විවෘත කරන ලද්දකි. එම දොරටුවට උඩින් ආරුක්කුවේ V.O.C. (වී.ඕ.සී.) ලාංඡනය සටහන් කර ඇත. මෙය 1669 දී පිහිටුවන ලද බව එහි සඳහන් වේ.

එය කොටු බැම්මේ ඇතුළු පැත්තේ ආරුක්කුවට උඩින් බ්‍රිතාන්‍ය රාජ්‍යයට අයත් (එකල) ලාංඡනය දක්නට ලැබේ. එය බ්‍රිතාන්‍යයන් විසින් ලන්දේසීන්ගෙන් මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගැනීමෙන් පසුව (1796) සාදන ලද්දකි. මේ අනුව ලන්දේසි ලාංඡනය සහ බ්‍රිතාන්‍ය (ඉංග්‍රිසි) ලාංඡනය යන ලාංඡන දෙක ම එකම ස්ථානයේ පිහිටුවා තිබීම ද දුර්ලභ දර්ශනයකි. ෙප්‍රස්බිටී‍රියන් දේවස්ථානය ලන්දේසීන්ගේ ඉතා වැදගත් ආගමික ස්ථානයකි. නෙදර්ලන්ත ආධාර ඇතිව මෑතකදී එය සංරක්ෂණය කරන ලද්දේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසිනි.