සාමාන්‍ය පෙළ ජයගත් තරුෂ – මධුෂගේ කතාව අසන්න…!!

0
2022

මගේ සිත මීට සිව් වසරකට පමණ ඉහත අත්විඳි එක්‌ අතීත කතාවක්‌ වෙත ඇදී යමින් තිබෙන්නේය. එය දුක්‌මුසුය. ෙ€දනීය ය. එහෙයින් එදා මා එය හමුවේ බොහෝ වේදනාවට පත් විය. නමුත් අද මම මේ අතීතාවර්ජනය සමඟ සියුම් සතුටක්‌ සිතින් විඳ ගනිමින් සිටින්නෙමි. ඉතා සරලව කිවහොත් එදා දුක අද සතුට බවට පරිවර්තනය වී ඇත.

අප නතරව සිටින මේ තාවකාලික නවාතැනෙන් යම් දිනක නිශ්චිතවම පිටව යන බව දැන අවබෝධ කරගත් මිනිස්‌කම හඳුනන මිනිසුන් රැසකට එසේ නික්‌ම යන දිනෙක රැගෙන යැම සඳහා යමක්‌ ඉතිරි කර දෙන්නට මෙකී අතීත කතාව සමඟ මෙදා මා සමතකුව සිටීමද මගේ ඒ සතුටට එක්‌ හේතුවක්‌ වී ඇත.

ඔවුහු මිනිස්‌කම මේ යෑයි හඳුනාගත් මිනිස්‌සුම වූහ. කිසිදු බේදයකින් තොරව පරිත්‍යාගයේ නාමයෙන් බොහෝ දේ කළහ. දාන පාරමිතාව උපරිමයෙන් පිරූහ. ඉතින් වෙසතුරු පරපුරේ පිරිසක්‌ ලෙස මතු බුදුවන මෙතේ බුදුන් කල නිවනින් සැනසෙන්නට පෙරුම් පුරනා එවන් මිනිසුන් කැළක්‌ අහම්බයකින් මෙන් ඇසුරට ලැබීමම මා කළ කුසලයක්‌ නොවන්නේද ?

තරුෂ සහ මධූෂ. මම සිතමි. මම අදහමි. කිසි දිනෙක ඒ නම් දෙක සැබෑ ධනවතුන් වන ඔබට අමතක විය නොහැකිය. ඔවුහු නිවුන් සොහොයුරෝය. ඉන් එහා ඔවුන් පිළිබඳ මා කිසිත් ඉඟි නොකරන්නේය. හැබැයි ඒ අතීතාවර්ජනය සමඟ මේ කතාව මා මෙසේ ඔබට කියන්නේය.

අපට බත සපයන ගොවි රජවරුන් බිලි ගන්නා වකුගඩු මාරයා ගැන සොයා දිනෙක මම රජරට බිමේ ඇවිද ගියෙමි. මීට සිව් වසරකට පමණ ඉහතදී තරුෂත් මධුෂත් මට හමු වන්නේ අපේම මිනිසුනට උරුම වෙමින් තිබූ මරණයේ දුක සොයා ගිය ඒ ගමනේදීය.

ඒ මුණගැසීම සිදු වූයේ රජරට අගනගරය යෑයි කිව හැකි අනුරාධපුරයෙනුත් තවත් සැතපුම් තිහ හතළිහක්‌ දුරින් තිබුණ ඉතාම කර්කෂ වූ පදවි පරාක්‍රමපුර ගම්මානයේදීය. ඒ වන විටත් දැනුදු රජරට බිමේ මිනිසුන්ගේ ප්‍රාණයට ඉව කරන වකුගඩු මාරයා තරුෂගේත් මධුෂගේත් දෙමාපියන් ඔවුන්ගෙන් උදුරාගෙන ගොස්‌ තිබිණ. වකුගඩු මාරයා පළමුව ඔවුන්ට අහිමි කර තිබුණේ අපේ බත වෙනුවෙන් රජරට පොළව හා ගැටුණු ගොවි මහතකු වූ මේ පැටවුන්ගේ පියාවය. තරුෂගේත් මධුෂත් මව පරාක්‍රමපුර මහ විදුහලේ ස්‌වෙච්ඡා ගුරුවරියක වූවාය. එහෙත් ඒ දුෂ්කර බිමේ අසරණ දරුවන්ගේ දෙනෙත් පාදන්නටවත් ඇයට ඉඩක්‌ නොතැබූ රජරට මාරයා පසුව මේ දරුවන්ට මවද අහිමි කර තිබිණ.

ඉතින් මට හමුවන විට එසේ මවුපිය සෙනෙහස අහිමිව වූ තරුෂත් මධුෂත් සිටියේ දුකේ පතුළටම ඇදවැටීය. ඒ සිය වයෝවෘධ මිත්තනියගේ සෙවනේ රැඳෙමිනි. එහෙත් මව සහ පියා අහිමි වීමේ දුක කොතෙක්‌ වුවද මේ දරුවෝ දිරියෙන් ජීවිතයට මුහුණ දෙමින් සිටියහ. ඔවුහු බොහෝ බාධක මැද පරාක්‍රමපුර මහ විදුහලේ දීප්තිමත් සිසුන් දෙදෙනකු ලෙස අකුරු කරමින් සිටිහය.

එදා තරුෂගේත් මධුෂගේත් දුක හා වේදානව දුටු මම මොහොතකට ගල් ගැසුනෙමි. මා සමග සිටි අප ආයතනයේ සොයුරු සමිතද එසේම විය. මට මගේ දරු දෙදෙනා සිහියට නැගිණ. ඔවුන්ට මෙවන් වේදානවක්‌ දුකක්‌ උරුම වූයේ නම් කුමක්‌ සිදුවනු ඇතිද? මගේ මනස පුරා දෝංකාර දෙන්නට වූයේ ඒ ගැටලුවය. අවසානයේ තරුෂ හා මධුෂගෙන් සමුගෙන අපි නික්‌මුනෙමු. ඒ පදවි පරාක්‍රමපුර නම් වූ දුෂ්කර බිමේ මව්පිය උණුසුම අහිමිව අසරණ වී සිටින මේ මිණි කැට දෙක කෙසේ හෝ ඔප දමන්නෙමියි යන තිර අදිටනද සමගිනි.

ඒ අනුව මුල් වරට තරුෂ හා මධුෂට රජරට වකුගඩු මාරයා උරුම කර දී තිබෙන දුක, වේදනාවේ තරම ලෝකයට කියමින් ඉකුත් 2012 වසරේ සැප්තැම්බර් මස 16 වැනිදා ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ ‘මරු බිලිගත් ගෙදර තරු දරුවන් දුටිමි’ ලෙසින් මම සටහනක්‌ තැබුවෙමි.

ඉහත කී බෝසත් මිනිසුන් සියලු දෙනා එක පෙළට සිටිමින් තරුෂ හා මධුෂ වෙනුවෙන් කැපවී මා සමඟ අත්වැල් බැඳ ගත්තේ එහිදීය. එයින් පසු තරුෂගේත් මධුෂගේත් ජීවිතයට එතෙක්‌ උරුම වී තිබූ බොහෝ දුක්‌ නිමාවට පත් විය. ඔවුහු සතුටින් සිනාසුන හ. අවසානයේ මේ මිණි කැට දෙක කොළඹ ආනන්දයේ ඉතිහාසගත බුදු මැඳුර වෙත රැගෙන විත් සෙත් පිරිත් සඡ්Cධායනා මැද ආනන්ද විදු මවගේ ඇකයට භාර කරන්නටද අපට හැකි විය.

එහිදී ටොයෝටා ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මනෝහර අතුකෝරළ මහතා ඇතුළු සමස්‌ත සේවක සේවිකාවෝ මව් පිය සෙනෙහස අහිමි වූ තරුෂට හා මධුෂට මව්පියන් වෙමින් ඔවුන් දෙදෙනාගේ සියලුම වගකීම් සියතට ගත්හ.

එම සද් කාර්යයේදී හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මෙන්ම ආනන්ද විදුහලේ හිටපු විදුහල්පති කර්නල් රාජපක්‌ෂ මහතාගෙන්ද ලැබුණේ සුවිශේෂී දායකත්වයක්‌ බවද විශේෂයෙන් සිහිපත් කළ යුත්තකි. එසේම කොළඹ ඉසිපතින විදුහලේ හිටපු විදුහල්පති සහ එහි කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන කුමුදු ලියනගේ මහතාද තරුෂ මධූෂ දරුවන් වෙනුවෙන් බොහෝ දේ කරන්නට ඉදිරිපත් විය.

මෙසේ ආනන්ද විදුපියසේ අකුරු කරන්නට ගිය තැන් පටන් ටොයෝටා ලංකා සමාගමේ සමස්‌ත කාර්ය මණ්‌ඩලය මේ පැටවුන් දෙදෙනා වෙනුවෙන් බොහෝ දේ කළහ. එය ඉතා විශාල පරාසයක්‌ දක්‌වා විහිදී තිබුණක්‌ විය. උදාහරණයක්‌ ලෙස පැවසුවහොත් තරුෂ හා මධුෂට හදිසියේ වැළඳුණු රෝගාබාධයකදී ටොයෝටා ලංකා මව්පියන් ඔවුන් ප්‍රතිකාර සඳහා රැගෙන ගියේද ඉහළම පෙළේ පෞද්ගලික රෝහලක්‌ වෙතටය. තම තුරුළට ආ මේ දරු දෙදෙනාට කිසිදු අඩුවක්‌ දැනෙන්නට ඔවුහු වැරදීමකින්වත් ඉඩ නොතැබූහ. ඉතින් එතැන් පටන් තරුෂත් මධුෂත් ආනන්ද විදු මව් තුරුළේ ඇල්මෙන් අකුරු කරන්නට වූහ.

කාලය ගෙවී යමින් තිබිණ. තරුෂත් මධුෂත් ආනන්දයේ පාපන්දු පිලද නියෝජනය කළහ. ඔවුහු ආනන්දයේ දක්‌ෂ පාපන්දු ක්‍රීඩකයෝ වූහ. ආන්නදයට ආ දිනයේ පටන් සම වයසේ කඳු නැගීමේ තරඟ කඳවුරුවලදී ආනන්දයේ නම ඉහළින් තබමින් සමස්‌ත ලංකා ශූරයන් වන්නටද මේ පැටවුන් දෙදෙනා සමත් විය.

මේ අතරේ ඉකුත් දෙසැම්බර් මාසයේදී අපොස සාමාන්‍ය පෙළ කඩඉම වෙතද තරුෂයි මධුෂයි ළඟා වූහ. ටොයෝටා ලංකාහි සිටින ඔවුන්ගේ මව්පියෝ එකාවන්ව පෙළ ගැසී පෞද්ගලිකවම කැප වෙමින් ප්‍රශස්‌ථ අධ්‍යාපනයක්‌ ලබා දීම සඳහා මේ දරුවන් දෙදෙනා අමතර පන්ති වෙතද රැගෙන ගියහ.

ඉතින් කුමක්‌ සිදු වන්නට ඇතිද? තරුෂත් මධුෂත් අපේ බලාපොරොත්තු සඵල කරමින් සාමාන්‍ය පෙළ කඩඉම ජයගත්තේද? මේ දරු පැටවුන් දෙදෙනා වෙනුවෙන් වචනයකින් හෝ පෙනී සිටි මිනිසුනේ අසන්න. ඔබ හදවතින්ම සතුටු වන්න. තරුෂ හා මධුෂ එය ඉහළින්ම සිදු කර අවසන්ය. තරුෂගේ සාමාන්‍ය පෙළ ජය ඒ සමාර්ථ හතක්‌ සහ එක්‌ බී සමාර්ථයක්‌ ලෙස සටහන් වී ඇත. මධුෂ ඒ සමාර්ථ හයක්‌ සහ එක්‌ බී සමාර්ථයක්‌ සමඟ සී සාමාර්ථ දෙකක්‌ ගෙන සාමාන්‍ය පෙළ කඩඉම පසුකර සිටින්නේය.

“ඇත්තෙන්ම මේ දරුවන් දෙදෙනා ඉතා දක්‌ෂ දෙදෙනෙක්‌.. ‘දිවයින’ පුවත්පත මේ දරුවෝ දෙන්නා සොයාගෙන ඔවුන්ව ඉහළට ගෙන ඒමට දායක වීමෙන් සිදු කර තිබෙන්නෙත් සුවිශේෂී සමාජ සත්කාරයක්‌.. මෙහිදී ජාත්‍යන්තර මට්‌ටමේ සමාගමක්‌ ලෙස ටොයෝටා ලංකා සමාගම සිදු කරන සේවයක්‌ විශේෂයෙන් අගය කළ යුතු වෙනවා..

“අද පාසලේ කීර්ති නාමයත් ආරක්‌ෂා කරගෙන ඉතාම හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න මේ දරුවෝ දෙන්නා සමත් වෙලා ඉන්නවා.. ඒක ගුරුවරුන් ලෙස අපටත් විශාල සතුටක්‌.. ඒ වගේම තමයි තරුෂයි, මධුෂයි ක්‍රීඩාවට දක්‌වන දක්‌ෂතාවයනුත්.. පාසලේ කඳු නැගීමේ ශූරයන් බවට අද පත්වෙලා ඉන්නේ ඔවුන්.. හැමදාමත් මේ දරුවන් දෙන්නට ආනන්ද විදුහල් මාතාවගේ ආශීර්වාදය නොඅඩුව ලැබෙයි.. ඒකේ කිසිම සැකයක්‌ නැහැ..”

තරුෂයි මධුෂයි ලද මේ ජයත් සමග මා ආනන්ද විදුහලේ විදුහල්පති කිත්සිරි ලියනගේ මහාගෙන් ඔවුන් පිළිබඳ කළ විමසිමකදී ඒ මහතා තරුෂ සහ මධුෂ ගැන සිය අදහස්‌ පළ කරනු ලැබුවේ එසේය. විදුහල්පතිවරයාගේ මේ සඳහනත් සමඟ සැනෙකින් මගේ මතකයට පැමිණියේ ටොයෝටා ලංකාහි ප්‍රධාන විධායක නිලධාරි මනෝහර අතුකෝරළ, සාමාන්‍යාධිකාරි ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළු ඒ සංවේදී මිනිසුන් සමඟ පැමිණ මේ පැටවුන් දෙදෙනා ආනන්ද විදු මවට භාර දුන් දවසය. එය හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ජන්ම දිනයද විය. ආනන්දයේ මහසඟරුවන තරුෂටත් මධුෂටත් පිරිත් කියා සෙත් පැතූහ.

අනතුරුව මිටින් හල කුරුලු පැටවුන් දෙදෙනකු සේ ප්‍රීතියට පත්ව සිටි ඔවුන් දෙදෙනා සිනහමුසු මුහුණින් යුතුව ආනන්ද බිම පුරා දිව ගියේය. අවසානයේ තමන් පෙරදා අකුරු කළ පරාක්‍රමපුර මහ විදුහලේ විදුහල්පතිනිය ඇතුළු පවුලේ අයට දෙපා නැමද සමු දුන් මේ පුතුන් දෙදෙනා ඊළඟ මොහොතේ මා වෙත පැමිණ තරයේ වැළඳගෙන “අපිට හරි සතුටුයි මාමේ” කියමින් ආනන්ද බෝඩිම වෙත පිය එසවූ අයුරු සිතුවම් පටක්‌ සේ තවමත් මගේ මනසේ රැඳී තිබෙන්නේය.

මේ පැටවුන්ගේ ඒ සතුට ඉකුත් 2013 වසරේ මාර්තු 24 වැනිදා ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ ‘තරු දරුවෝ දිදුලති අද ඔබේ පිනෙන්’ ලෙසින් ඔබට කියවන්නට අකුරු කළාද මට මතකය. ඉතින් එදා එසේ ආනන්දයට පිය එසවූ තරුෂ සහ මධුෂ මෙදා සාමාන්‍ය පෙළ කඩඉම පසුකර ඉකුත් සතියේ දිනක මට කතා කළේය.

එය ගෙවුණු ඉරිදා දිනය ය. මා නිවසේ රැඳී සිටියදී එදින උදෑසන ජංගම දුරකථනය නාද වන්නට විය. මම එයට ප්‍රතිචාර දැක්‌වූවෙමි. ” මාමේ කොහොමද මාමේ.. මාමා සනීපෙන්ද? මම තරුෂ කතා කරන්නේ.. අපි විභාගේ හොඳට පාස්‌ වුණා..” එහා කෙළවරේ සිටිමින් තරුෂ තමන් ලද ජය මට කියා සිටියේ එසේය. ඒ සමගම මධුෂද කතා කළේය. ඒ වන විටත් ඔවුන්ගේ ජයග්‍රහණය මම දැන සිටියෙමි.

ඊට පෙරදා රැයේ ටොයෝටා ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මනෝහර අතුකෝරළ මහතා ඒ පිළිබඳ සියල්ල මට පවසා තිබූ බැවිනි. එහෙත් තරුෂත් මධුෂත් එය පවසද්දී මගේ සිතට දැනුනේ මහා සතුටකි. ඉතින් අපි එතැන් සිට බොහෝ දේ කතා කළෙමු. අවසානයේ මම ඉදිරියේදී උසස්‌ පෙළ සඳහා තෝරා ගන්නේ කුමන විෂය ධාරාවක්‌දැයි ඒ තරුෂ හා මධුෂගෙන් විමසා සිටියෙමි.

“මාමේ මට දොස්‌තර මහත්තයෙක්‌ වෙන්න ඕනේ.. ඒ නිසා මම ජීව විද්‍යාව තෝර ගන්නවා..” මගේ පැනයට තරුෂ පිළිතුරු දුන්නේ එසේය. මධුෂ කීවේ තමන්ට ඉංජිනේරුවරයකු වීමට ඇවැසි බැවින් ගණිත විෂය ධාරාව තෝරා ගන්නේ යෑයි කියාය. එය ඇසෙද්දී මගේ සතුට දෙගුණ තෙගුණ විය. ඒ සමඟම සිහියට ආවේ මේ පුංචි සිත් දෙකේ ඇති ඉලක්‌කය කොතරම් උසස්‌ වන්නේද යන්නය.

තරුෂත් මධුෂත් සාමාන්‍ය පෙළ කඩඉම මෙසේ ජයගත්තද එය පහසුවෙන් කළ එකක්‌ද නොවීය. විභාගයට සතියක්‌ පමණ තිබියදී මධුෂට ඩෙංගු රෝගය වැළඳී තිබිණ. ඔහු අවසන් සතියේ විභාගයට අදාළ විෂය කරුණු මතකයට නඟා ගනිමින් පාඩම් කරනු ලැබුවේ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින්ය. මෙහිදී දරුවාගේ තනි නොතනියට දිවා රෑ නොබලා රෝහලේ රැඳී සිටින්නට ටොයෝටා ලංකා පවුලේ සොයුරු ලසිත විඡේකුමාර් ස්‌වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී තිබිණ.

ලසිත මේ දරුවන් වෙනුවෙන් කළේ එපමණක්‌ නොවන්නේය. තරුෂත් මධුෂත් සිය නිවසේ රඳවාගන අමතර පන්තිවලට රැගෙන ගියේද ලසිතය. පාසලේ දෙමාපිය රැස්‌වීම්වලදී මේ දරු දෙදෙනා වෙනුවෙන් ආනන්දයේ රැස්‌වීම් ශාලාවට ගියේද ලසිතය. මෙලෙස රෝහල්ගත කෙරුණු මධුෂ සතියක පමණ ප්‍රතිකාරවලින් පසු යම්තම් සුවය ලැබීය. මේ අතරේ සාමාන්‍ය පෙළ විභාගයද ආරම්භ කෙරිණ.

එහෙත් සිදු වූයේ කිසිවකුත් නොසිතූවකි. විභාගය ආරම්භයත් සමඟ තරුෂටද ඩෙංගු රෝගය වැළඳී ඔහුවද රෝහලගත කෙරිණ. අවසානයේ ටොයෝටා ලංකාහි මවුපියන් තරුෂව විභාගයට රැගෙන ආවේ විශේෂ වෛද්‍ය අවසරයක්‌ මත රෝහලේ සිටය. එහිදීත් තරුෂ ළඟ සිටියේ ලසිතය. මුල් දින දෙකේ පමණ එලෙස රෝහලේ සිට විභාගයට පැමිණියද කෙමෙන් එය තරුෂ දැඩි වෙහෙසට පත් කරවන්නක්‌ වී තිබිණ. අවසානයේ ඔහුව මුල්ලේරියාව රෝහලට මාරු කරවා අධ්‍යාපන අමාත්‍යංශයේද අවසරය ඇතිව ඒ ආසන්නයේ වූ විභාග ශාලාවකදී විභාගය සඳහා සහභාගි කරවීමට ටොයෝටා ලංකා මව්පියෝ පියවර ගත්හ. මෙහිදී එක්‌ විශේෂ දෙයක්‌ද සිදු විය. එය තරුෂ විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයූ දිනය විය.

එදින උදෑසන විභාග ශාලාවට රැගෙන ආ තරුෂ ප්‍රශ්න පත්‍රය ලබා දී මඳ වේලාවකින් ඩෙංගු රෝගය උත්සන්න වී විභාග ශාලාවේ තමන් ඉදිරියේ තිබූ මේසය මත හිස තබා ගත්තේය. මේ අවස්‌ථාවේ තරුෂ රැගෙන ආ ටොයෝටා ලංකාහි පිරිස ඇමුතූ විභාග ශාලාධිපතිනිය දරුවාට අමාරු බැවින් ඔහුව වහා රෝහලට රැගෙන යන ලෙස දැනුම් දෙනු ලැබුවාය.

ඔවුහුද මෙහිදී දැඩි ලෙස කලබලයට පත් වූහ. එහෙත් ඒ බව දැනී මඳ වෙලාවකින් හිස එසවූ තරුෂ යළි විද්‍යාව ප්‍රශ්නපත්‍රයට පිළිතුරු සැපයන්නට විය. අවසානයේ තරුෂ එසේ ඩෙංගු රෝගියකුව සිටිමින් පිළිතුරු සපයා විද්‍යාව විෂයටද ඒ සමාර්ථයක්‌ ලබා ගත්තේය. ඉතින් මේ දරුවන් දෙදෙනා තුළ වන චිත්ත ධෛර්යය කොතරම් ශක්‌තිමත්ද? ඔබ වචනයකින් හෝ උපකාර කළ ඒ පැටවුන් දෙදෙනා සාමාන්‍ය පෙළ ජය ගත්තේ එසේය.

එසේ සාමාන්‍ය පෙළ ජයගත් තරුෂ හා මධුෂ තුළ මේ වන විට අධ්‍යාපනයෙන් ඉදිරි අනාගතය වෙත ගමන් කිරීම සඳහා තිබෙන අරමුණ බොහෝ ඈතට විහිද යන්නකි. තරුෂගේ අරමුණ වෛද්‍යවරයකු වීමය. මධුෂට අවැසිව ඇත්තේ ඉංජිනේරුවරයකු වන්නටය. නමුත් ඒ ගමන කොතෙක්‌ දුර වුවද තරුෂත් මධුෂත් ඉදිරියටත් මේ අකාරයෙන්ම රැක බලා ගන්නට ටොයෝටා ලංකා සමාගම කැප වී සිටින්නේය.

එකී කැපවීම පිළිබඳ ඉකුත් සතියේ ටොයෝටා ලංකාහි ප්‍රධාන විධායක නිලධාරි මනෝහර අතුකෝරළ මහතා හමුවී විමසීමක්‌ කරන්නටද මා කටයුතු කළේය.

“සමන්.. ටොයෝටා කියන්නේ ජපානයෙන් ආරම්භ වී ලෝකය පුරා විහිදී ගිය සමාගමක්‌. ජපානය කියන්නේ බෞද්ධ රටක්‌.. ඒ වගේම පරිසරයට සතා සිවුපාවට ආදරය කරන මිනිසුන්ට අසීමිතව ගරු කරන සංස්‌කෘතික රටාවක්‌ ජපානය තුළ තිබෙන්නෙ. එයයි ටොයෝටා ලංකා අපිත් ආදර්ශයට ගන්නේ..

“අපේ ගමන ව්‍යාපාරය මතම පදනම් වුණු එකක්‌ නෙවෙයි.. සමාජ සත්කාරය සමඟ ව්‍යාපාරය කියන තැනයි අපි ඉන්නේ.. තරුෂයි මධුෂයි කියන්නේ දැනටමත් ටොයෝටා පවුලේ සමාජිකයන් දෙදෙනෙක්‌.. ඔවුන් දෙදෙනා කවදාක හරි වෛද්‍යවරයෙක්‌ සහ ඉංජිනේරුවරයෙක්‌ වුණොත් එදාට ටොයෝටා ලංකාහි වෛද්‍යවරයා සහ ඉංජිනේරුවරයා වන්නේ තරුෂයි මධුෂයි.. එසේ නොවුණොත් ඔවුන්ගේ අනාගතය සුරක්‌ෂිත කරන්නටත් අපට වැඩපිළිවෙළක්‌ තිබෙනවා.. තරුෂයි මධුෂයි දැන් කාගෙවත් නෙවේ ටොයෝටා ලංකා අපේම දරුවෝ වෙලා.. ඒ වගේම මෙහිදී මේ දරුවෝ දෙන්නා ගැනත් යමක්‌ කිව යුතුයි.. ඇත්තෙන්ම ඔවුන් දෙදෙනා බොහෝම ගුණයහපත් දරුවන් දෙදෙනෙක්‌.. ඒක මම අත්දැකීමෙන් දන්නවා.. මෙයාලව ආනන්දයට දාපු දවසේ ඉඳන් හැම වාර විභාගයකදීම මම පෞද්ගලිකව ඔවුන්ගේ ප්‍රගති වාර්තා රැගෙන පරීක්‌ෂා කළ.. එක්‌ අවස්‌ථාවක මට පෙනනුනා මොවුන් දෙන්නා අධ්‍යාපනයෙන් යම් පහළ යැමක්‌ තිබෙනවා කියලා..

එදා මම තරුෂවයි මධුෂවයි මගේ ළඟට අරගෙන ආදරයෙන් කිව්වා ඊළඟ වාර විභාගය අවසානයේ මට ඉහළ ප්‍රතිපළ අරගෙන පෙන්වන්න ඕනේ කියලා.. ඔවුන් එදා මට හා මාමේ කිව්වා.. කිව්වා වගේම එය කළා.. ඊළඟ වාර විභාගයේදී ඔවුන් පන්තියේ මුල් දොළොස්‌ දෙනා අතරට ඇවිත් හිටියා.. ඒ වගේම තමයි මේ දරුවන් දෙන්නගේ ගුණයහපත්කම.

ඔවුන් අපිට හමුවූ දවසේ ඉඳන් මේ වෙනකම් අපෙන් ඉල්ලලා තියෙන්නේ අධ්‍යාපනයට අත්‍යවශ්‍යම දේ පමණයි.. අනවශ්‍ය කිසිම දෙයක්‌ ඉල්ලලා නැහැ.. ඇතැම් අවස්‌ථාවල අපි යමක්‌ අරගෙන දෙන්න හැදුවත් එතනදී ඔවුන් තෝරන්නේ මිලෙන් අඩුම දේ.. ඒ තරමටම තරුෂයි මධුෂයි නිහතමානියි.. ඉතින් මේ දරුවෝ දෙන්නට අවශ්‍ය හැමදෙයක්‌ම අපි කරනවා.. මෙවන් සමාජ සත්කාරයන්ට ටොයෝටා ලංකා දායක වන්නේ සමාජ වගකීමක්‌ කියන අදහසින්.. මෙවන් දේට අපි හැමදාමත් කැපවෙනවා..”

රජරට මිනිසුන් වකුගඩු මාරයාගේ ගොදුරුකෙරුවෝ බහු ජාතික කෘෂි රසායන සමාගම් කාරයෝය. මේ නිසාම රජරට සිටින තවත් තරුෂලා සහ මධුෂලා බොහෝමයක්‌ අද මව්පිය සෙනෙහස අහිමිව අසරණව සිටින්නාහ. එහෙත් මේ බහුජාතික සමාගම් නිහඬය. ඔවුන් ඔවුන්ගේ ව්‍යාපාර පරාසය වෙනත් මානයන් වෙත විහිදුවමින් සිටින්නේය. අද පිටරටින් ගෙනෙන බෙහෙත් පෙත්ත අපට දෙන්නේ උන්ය. ඇතැමුන් කිරි ආහාර අපට දෙන්නටද සැරසෙන්නේය. සමහර උන් ළදරු කිරිපිටි පවා ගෙන්වන්නේය.

ටොයොටා ලංකා සමාගම තරුෂලා මධුෂලා වෙනුවෙන් පෙනී සිටින්නේ යථාර්ථය එසේ වී තිබියදීය. අප ජාතියක්‌ වශයෙන් මේ මොහොතේ ඒ පිළිබඳවද දැඩි අවධානය යොමු කළ යුතුය.

පුතේ තරුෂ, මධුෂ.. දැන් නුඹලා අසීමිත ලෙස සුරක්‍ෂිත බව මම දන්නේය. එය දැසින් දකින තුරු මට නොනිමි අශාවක්‌ තිබිණ. එය සඵල වී ඇත. ඒ සුරක්‍ෂිත බව සමඟ “දිවයිනේ හෘදයාංගම බවද නුඹලාට සැමදා හිමි වන්නේය. ඉතින් පුතේ ගමන යන්න. පතමු අපි මේ පැටවුන් දෙදෙනාට ජයෙන් ජය.

සමන් ගමගේ
-Divaina