සීනි වෙනුවට හකුරු කෑමෙන් දියවැඩියාව පාලනය කළ හැකිද?

0
1668

දියවැඩියාවට ප‍්‍රතිකාර  ලබාගැනීමේදී නිසි සුදුසුකම් සහිත වෛද්‍යවරුන්ගෙන් ප‍්‍රතිකාර ලබාගත යුතුය

මෙම ඖෂධ ස්වභාවික අමුද්‍රව්‍ය භාවිත කර නිපදවා ඇති නිසා සිරුරට ඉන් වෙනත් අතුරු ආබාධ ඇතිවන්නේත් නැහැ

ආයුර්වේදයේ ප‍්‍රතිකාර සිදුකරන්නේ රෝග ලක්ෂණවලට නොව රෝග මූලයටය. එනිසා දියවැඩියාව සම්පූර්ණයෙන්ම සුව කිරීමට හෝ පවතින රෝගය අනුව රෝග පාලනය සිදුකර අතුරු ආබාධවලින් තොරව දිවිගෙවීමට අවශ්‍ය ප‍්‍රතිකාර සහ ඖෂධ ඕනෑතරම් පවතී

අප ආහාර ගන්නේ නිරෝගීව ජීවත්වීම සඳහාද එසේත් නැතිනම් ලෙඩරෝගවලට ගොදුරුව මියයෑම සඳහාදැයි කියා විමසුවහොත් කිසිවකුත් ලෙඩ රෝගවලට ගොදුරුව මියයෑම සඳහා යැයි කියා පිළිතුරු දෙන්නේ නැත.

නමුත් අප නිරෝගීව ජීවත්වීම සඳහා ගනු ලබන ඇතැම් ආහාරපාන නිසා ලෙඩ රෝග ඇතිවී අකාලයේ මිය යා හැකිය. එසේත් නැතිනම් මුළු ජීවිතකාලය පුරාවට  රෝගීව ජීවත්වීමට සිදුවේ. දියවැඩියාවද එලෙස ආහාර පාන නිසා ඇතිවන රෝගවලින් ප‍්‍රධාන තැනක් ගනු ලබයි.

දියවැඩියාව

දියවැඩියාව එසේත් නැතිනම් ආයුර්වේදයේ හඳුන්වනු ලබන මධුමේහය රෝගය වර්ග දෙකක් ඇත. උපතින්ම ඇතිවන දියවැඩියාව සහ ආහාරපාන නිසා ඇතිවන දියවැඩියාව ලෙසින් එය වර්ග කළ හැකිය.

අප ශරීරයේ ශක්තිය නිපදවන ප‍්‍රධාන පෝෂණ සංඝටකයක් වන්නේ පිෂ්ඨයයි. මෙම පිෂ්ඨය මගින් සිරුරට අවශ්‍ය ශක්තිය නිපදවීම සඳහා එය ජීර්ණය කරගත යුතුය.

ඒ සඳහා අවශ්‍ය එන්සයිමය වන ඉන්සියුලින් නිපදවනු ලබන්නේ අග්න්‍යාසයෙනි. ඉතා සුළු පිරිසකට උපතින්ම අග්න්‍යාසයේ ඇතිවන ආබාධ නිසා ඉන්සියුලින් නිපදවීම සිදු නොවේ. මෙවැනි අයට උපතින්ම දියවැඩියාව රෝගය මතුවේ.

ආහාර පාන නිසා ඇතිවන දියවැඩියාව වයස අවුරුදු 40 ආසන්න වන විට මතුවීම දැකිය හැකිය. මෙය වර්තමානයේ බහුලවම දකින්නට ලැබෙන දියවැඩියාව රෝගී තත්ත්වයයි.

වයසට යනවිට සිරුරේ සියලූ ඉන්ද්‍රියයන්ගේ ක‍්‍රියාකාරීත්වයේ හටගන්නා දුර්වලතාවයන්ට අනුව අග්න්‍යාසයේද ක‍්‍රියාකාරීත්වය අඩපණවේ. මෙසේ අඩපණ වන විට ඉන් නිපදවන ඉන්සියුලින් ප‍්‍රමාණය ද අඩුවේ.

නමුත් අප බොහෝ දෙනා පිෂ්ඨය අධික ආහාර පාන වැඩිපුර ගැනීමට පුරුදුව සිටීම නිසා ඉන් මිදීමට නොහැකිවීමෙන් මැදිවියේදී ද අධික ලෙස පිෂ්ඨය බහුල ආහාර පාන ගනු ලබයි. එනිසා සිරුරට අවශ්‍ය ශක්තිය නිපදවීමට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා පිෂ්ඨය එක්රැුස්කර ගනී. මෙසේ වැඩිපුර එක්වන පිෂ්ඨය රුධිය සමග මුසුවීමෙන් රුධිරගත සීනි මට්ටම ඉහළ යාමෙන් දියවැඩියාව හටගනී. මීට අමතරව මානසික පීඩනයෙන් පෙළෙන විටද රුධිරයේ සීනි මට්ටම ඉහළ ගොස් දියවැඩියාව මතුවේ.

සීනි වැඩිපුර ගන්නේ නැහැ

දියවැඩියාව රෝගයෙන් පෙළෙන බොහෝ දෙනා වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා පැමිණිවිට පවසන්නේ අපි වැඩිපුර සීනි කන්නේ නැහැ යැයි කියාය. එසේ පැවසීමට හේතුවී ඇත්තේ ඔවුන් බොහෝදෙනා සිතා සිටින්නේ සීනි ආහාරයට ගැනීම යනු සීනි මිශ‍්‍ර ආහාර ගැනීම කියාය. නමුත් බත්, පාන් සහ පිටි සහිත ආහාර මෙන්ම අධිකව ඉදුනු පලතුරුවල ද බහුලව සීනි ඇත. පලතුරු යුෂවලින් නිපදවූ පානවලද සීනි බහුලය. මත්පැන්වල ද සීනි ඇත. මෙවැනි ආහාරපාන වැඩිපුර ගනිමින් අපි සීනි වැඩිපුර ආහාරයට ගන්නේ නැතැයි කීම එය ඔවුන් තුළ ඇති සීනි සහිත ආහාර පාන සම්බන්ධව ඇති නොදැනුවත් බවකි.

සීනි පාලනය

සීනි වෙනුවට හකුරු කෑමෙන් හෝ පොල් පැණි වෙනුවට කිතුල් පැණි කෑමෙන් සීනි ආහාර පාලනය කළ නොහැකිය. මේ සියල්ලේම සීනි බහුලව ඇත. බත් ආහාරයට ගැනීමේදී තම්බාපු හාලේ බත් නිතර ආහාරයට ගැනීම, නිවුඞ්ඩ සහිත සහල්වලින් පිසගත් බත් ආහාරයට ගැනීම සහ ධාන්‍ය වර්ග වන කවුපි, කඩල, මුංඇට ආහාරයට ගැනීම, කොළ පැහැති එළවළු වැඩිපුර ආහාරයට එක්කර ගැනීම කළ යුතුය. එහිදී පලා වර්ග, කරවිල, කොහිල, කෙසෙල්මුව, බෝංචි වැනි එළවළු නිතර ආහාරයට එක් කර ගැනීම ගුණදායකය. පලතුරු කෑමේදී ආහාරයට ගතහැකි ප‍්‍රමාණයට ඉදුනු පලතුරු ආහාරයට ගැනීමට අවධානය යොමු කළ යුතුය. වැඩිපුර ඉදුනු පලතුරු ආහාරයට ගැනීම සීමා කළ යුතුය. පලතුරු යුෂ පානය වෙනුවට පලතුරු කැබැල්ලක් ආහාරයට ගැනීම වඩාත් සුදුසුය. මෙලෙස ආහාර ගැනීමෙන් සීනි පාලනය කළ හැකිය.

ආහාර මගින් පමණක් සීනි පාලනය කළ නොහැක

දියවැඩියාව රෝගයට බලපාන රුධිරයේ සීනි අධිකවීම ආහාර පාලනය මගින් පමණක් සිදු කළ නොහැක. ඒ සඳහා ව්‍යායාමවල යෙදී කය වෙහෙසවීම ද කළ යුතුය. මෙහිදී දිනපතා ඇවිදීම මගින් සිරුරේ ශක්තිය වැය කළ හැකිය. එවිට සිරුරේ වැඩිපුර එක්වන සීනි දහනය කළ හැකිය. ඒ අතර තවත් පිරිසකට ඖෂධ ලබාදීම ද කළ යුතුය. දැඩිපීඩනයකින් තොරව මනස සැහැල්ලුවෙන් තබාගෙන දිවිගෙවීමට ද හුරුවිය යුතුය.

දියවැඩියාව පාලනය නොකළහොත්

බොහෝ දෙනා තම රුධිර සීනි මට්ටම ඉහළයෑම ගැන එතරම් තැකීමක් කරන්නේ නැත. එනිසා දියවැඩියාව රෝගයට නිසි ප‍්‍රතිකාර ලබානොගෙන ජීවත් වෙති. දියවැඩියාව යනු නිහඬ මාරයෙක් ලෙස හඳුන්වයි. නිසි ප‍්‍රතිකාරයකින් තොරව රෝගය දිගුකලක් සිරුරේ පැවතීම නිසා වකුගඩුවලට බලපා

වකුගඩු ක‍්‍රියාකාරීත්වය දුර්වල වී වකුගඩු රෝග ඇතිකරයි. හෘදයාබාධ ඇතිවීම ඉක්මන් කරන එක් සාධකයක් බවට දියවැඩියාව හඳුනාගෙන ඇත. ස්නායු ආබාධ ඇතිවීම සහ ඇස් පෙනීමේ දුර්වලතා ඇතිවීමටද දිගුකාලීනව පවතින දියවැඩියාව බලපානු ලබයි. වර්තමානයේ මැදිවියට පත් බොහෝ දෙනාට මතුව ඇති ලිංගික දුබලතා සඳහා බහුල ලෙසම බලපා ඇත්තේ දියවැඩියාව නිසි ලෙස පාලනය කර නොගැනීම බව එවැනි රෝග සඳහා ප‍්‍රතිකාර ලබාගැනීමට අප වෙත පැමිණෙන බොහෝ රෝගීන් සමග කතාබහ කරන විට හඳුනාගෙන තිබෙනවා. දියවැඩියාවට නිසි ප‍්‍රතිකාර නොගැනීම නිසා දකින්නට ලැබෙන අනෙක් බරපතළ අනතුර වී ඇත්තේ ස්නායු දුර්වලවීම නිසා පාදවල ඇඟිලිවල සංවේදී බව නැතිවී යෑමය. එවිට ඉතා පහසුවෙන් පාදවල තුවාලවීම් සිදුවෙනවා. එසේම එම ඇති වූ තුවාල සුවනොවීම නිසා පාදයේ ඇඟිලි කපාදැමීමට පවා සිදුවෙනවා.

දියවැඩියාවට ආයුර්වේද ප‍්‍රතිකාර

ආයුර්වේදයේ ප‍්‍රතිකාර සිදුකරන්නේ රෝග ලක්ෂණවලට නොව රෝග මූලයටය. එනිසා දියවැඩියාව සම්පූර්ණයෙන්ම සුව කිරීමට හෝ පවතින රෝගය අනුව රෝග පාලනය සිදුකර අතුරු ආබාධවලින් තොරව දිවිගෙවීමට අවශ්‍ය ප‍්‍රතිකාර සහ ඖෂධ ඕනෑතරම් පවතී. විශේෂයෙන්ම ස්නායු දුර්වලවීම නිසා මතුව ඇති අතුරු ආබාධ සුවකිරීමට අවශ්‍ය ප‍්‍රතිකාර සහ ඖෂධ වර්ග ද නිපදවා තිබෙනවා. මෙම ඖෂධ ස්වභාවික අමුද්‍රව්‍ය භාවිත කර නිපදවා ඇති නිසා සිරුරට ඉන් වෙනත් අතුරු ආබාධ ඇතිවන්නේත් නැහැ.

දියවැඩියාවට ප‍්‍රතිකාර ලබාගැනීමේදී නිසි සුදුසුකම් සහිත වෛද්‍යවරුන්ගෙන් ප‍්‍රතිකාර ලබාගත යුතුය. එසේ නොවුණහොත් සිදුවන්නේ රෝගය උත්සන්නවීමය. මෙලෙස දියවැඩියාව උත්සන්න වූවිට හෘදයාබාධ ඇතිවීම, ස්නායු දුර්වලතා ඇතිවීම වැනි අතුරු ආබාධ මතුවේ. අකාලයේ මරණයට පත්වීම පවා සිදුවන්නේ මෙලෙස නිසි ප‍්‍රතිකාර ලබා නොගැනීම නිසාය.