ඉන්දියාවේ සාස්‌තරයක්‌ අසා විමලා විජයවර්ධන රජ කරවන්නට සැලසුම් කළ හැටි

0
1043

එක්‌දහස්‌ නවසිය පනස්‌ හයේ සුවිශේෂ ජයග්‍රහණයෙන් පසුව කැලණි රජමහා විහාරාධිපති මාපිටිගම බුද්ධරක්‌ත නායක හිමියන් හැසිරුණේ ජයෝන්මාදයෙන් වෙලීගිය විලාසයෙනි. තමන් විසින් මහ මැතිවරණය උදෙසා අත දිගහැර වියදම් කරන ලද කැලණි පන්සලේ පින් සල්ලිවලට පින්සිදු වන්නට නව මහජන රජයේ බලගතු අමාත්‍යාංශයක්‌ තම හිතවත් ධනපතිනියක වූ විමලා විජයවර්ධන මැතිනිය වෙත ලබා ගන්නට ද බුද්ධරක්‌ත හිමියන් සමත් වූයේ තමන් කළ කී කටයුතුවලටද මෙන්ම වියදම් කළ රුපියල්වලට ද ඉහළින්ම ප්‍රතිපාදන සැලසිය යුතුය යන්න බණ්‌ඩාරනායක අගමැතිතුමාගේ සිතේ ද තැන්පත්ව පැවැති බැවිනි.

මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවදා කුරුඳුවත්තේ රොස්‌මිඩ් අගමැති මන්දිරයේදී කැබිනට්‌ මණ්‌ඩලය තෝරා ගැනීමට බණ්‌ඩාරනායක අගමැතිතුමා කටයුතු කරද්දී ද බුද්ධරක්‌ත හිමියෝ එහිදී මූලිකත්වය ලබාගෙන කටයුතු කළේ ද බලෙන් මෙනි. මේ වන විට මීරිගම ආසනයෙන් ඉතා ඉහළ වැඩි ඡන්ද සංඛ්‍යාවක්‌ ලබා අත්තනගල්ල දිනූ බණ්‌ඩාරනායක මැතිතුමාට පමණක්‌ දෙවැනි වන තරමේ වැඩි ඡන්ද සංඛ්‍යාවක්‌ ලබා දිනූ විමලා විජයවර්ධන මැතිනියට ඇමැති පදවියක්‌ ලබා දීම ගැන ද එහිදී සැලකිල්ලක්‌ නොතිබුණු බව දැනගත් බුද්ධරක්‌ත හිමියෝ ඉමහත් සේ කෝපයට පත්වූහ.

විමලා විජයවර්ධන මැතිනියට සෞඛ්‍ය ඇමැති කම ලබා දෙන්න ඕනෑ!යි සියල්ලටම කලින් අගමැතිතුමාට කියන්නට ඒ හිමියෝ මුල් වූවේ එහෙයිනි.

india1මෙහිදී එයට අමතරව එතැන රැස්‌ව සිටි තමන්ට හිතවත් තමන්ගේ සහාය ද ලැබූ සමහර දේශපාලනඥයන්ට ද ඇමැතිකම් ද, උප ඇමැතිකම් ද ලබා දෙනු පිණිස අගමැති හමුවේ ප්‍රසිද්ධියේම රෙකමදාරු කරන්නටද එතුමෝ කටයුතු කළේ බොහෝ දුරදිග බලාය. බණ්‌ඩාරනායක අගමැතිතුමා දශක ගණනාවක්‌ තිස්‌සේ ලබන්නට පෙරුම් පිරූ ජාතික නායකත්වය මෙසේ බලවත් අසීරුවෙන් යුතුව ලබා ගනිද්දී ඉන් පසුව රටේ පාලනය ගෙන යැමට සුදුසු ඇමැති මණ්‌ඩලයක්‌ තෝරා ගනිද්දී මේ අහක සිටි පුද්ගලයකු ද එම ජයග්‍රහණයේ ප්‍රධානත්වය භුක්‌ති විඳීමට තැත් කරන අයුරක්‌ ද මෙහිදී පෙනෙන්නට තිබුණු බව එවේලේ එතැන සිsටි පත්‍ර කලාවේදියකු පසු කලෙක සඳහන් කර තිබුණා අපට ද මතකය.

ජයග්‍රාහී වූ “මහජන එක්‌සත් පෙරමුණේ ව්‍යවස්‌ථා සම්පාදනය කළ, වර්ෂ 1947 තේ සිට අපරාජිතව පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ද වූ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මැතිතුමා මෙතැනට පැමිණියේ තරමක්‌ ප්‍රමාද වීමෙන් පසුවය. ඒ වන විට අවශ්‍ය ඇමැති තනතුරු ටික බෙදාගෙන හමාරය. ඊරියගොල්ල මහතාට වඩා කනිෂ්ඨයන් කිහිප දෙනකුටම ඇමැති පදවි ලැබී තිබිණ. ඒ බුද්ධරක්‌ත හිමියන්ගේ ද අනුදැනුම ඇතිවය. මෙහිදී බණ්‌ඩාරනායක අගමැතිතුමාද ඒ ගැන සන්තාපයට පත්වූ අතර පසු කලෙක ඇමැති පදවියක්‌ ලබා දෙන පොරොන්දුව පිට ඊරියගොල්ල මන්ත්‍රීතුමාට ස්‌වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති පදවිය හිමිවිය. ඉන් වසර එකහමාරකට පමණ පසුව බණ්‌ඩාරනායක අගමැතිතුමා තමාට ඇමැතිකමක්‌ නුදුන් නිසා ඊරියගොල්ල මැතිතුමා කළේ උප අමාත්‍ය පදවියෙන් ද ඉවත්ව ආණ්‌ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස සිටීමය.

india2ප්‍රථම කැබිනට්‌ මණ්‌ඩලය ප්‍රථමයෙන්ම තමන්ගේ කැලණි රජමහා විහාරස්‌ථානය වෙත වන්දනාවකට යොමු කරවීමෙන් ද බුද්ධරක්‌ත හිමියෝ තමන්ගේ පූර්ණ සහායෙන් පිහිටුවන ලද “මහජන රජයේ” බලපරාක්‍රමය ජනතාව හමුවේ දක්‌වාලූයේ ද ජයෝන්මාදයෙන් යුතුවය.

එතෙක්‌ මෙතෙක්‌ කැලණියේ රජ කරමින් සිටි හිටපු අමාත්‍යවරයකු වූ ඡේ. ආර්. ජයවර්ධන මහතා ආර්. ජී. සේනානායක මැතිතුමන් යොදවා වැඩි ඡන්ද විසි තුන්දහස්‌ ගණනකින් පරාජය කරවාලන්නටද කැලණි බලවේගය මගින් බුද්ධරක්‌ත හිමියන් සමත් වූ බවද ඒ වන විට රටේම පතළව තිබිණි. දශකයක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ තමන් සමඟ බෙහෙවින්ම සමීපාශ්‍රයෙන් යුතුව ගතකළ විමලා විජයවර්ධන මැතිනියට සෞඛ්‍ය ඇමැති පදවිය ලබාදීම බුද්ධරක්‌ත හිමියන්ගේ එක්‌තරා අන්දමක සිහිනයක්‌ සැබෑකර වීමක්‌ ද බවට පත්ව තිබිණි. ඒ මගින් ඒ හිමියන් රටේ ප්‍රධාන පෙළේ ආරෝග්‍ය ශාලාවලට හා වගකිවයුතු නිලතලයන්ට ද තමන්ට ප්‍රියමනාප හිතවත් පිරිස්‌ සේවාව ලෙස යොදවා ගැනීමේ කටයුත්තක ද යෙදුණි. තමන්ගේ බාල සොහොයුරු දොස්‌තර පෙරේරාට ද ඉන් සෙත සැලසිණි.

මේ අතර බණ්‌ඩාරනායක අගමැතිතුමා සමඟ සමීප සම්බන්ධතාවක්‌ පැවැත්වූ වැල්ලම්පිටියේ එච්. පී. ජයවර්ධන මහතා සමඟ ද බුද්ධරක්‌ත – විමලා දෙදෙනා අතරද බලවත් සබඳතාවක්‌ ඇතිව පැවැතියේ මෙකලය. ඒ අතර ඔවුන්ගේ මෙහෙයවීම මත එතෙක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයට හිතවත්ව සිටි සමහර සේවා ස්‌ථානවල ප්‍රධානීන් එතැන්වලින් ඉවත් කර තමන්ට හිතවත් අයට එවන් තැන් ලබාදීමේ ක්‍රියාමාර්ගයක ද ඔවුහු යෙදුණහ. එම සමහර පුද්ගලයන් සුදුසු බවින් අඩුවූවන් හෙයින් ඒ පිළිබඳව නරක නාමයක්‌ පැවරුණේ මහජන රජයටය. මේ සියල්ලම සිදු කෙරෙන්නේ අගමැති බණ්‌ඩාරනායක මැතිතුමාගේ පූර්ණ අනුදැනුම ඇතිව බව මහජනතාවගේ අදහස ද විය.

මෙම යුගයේදී බුද්ධරක්‌ත හිමියන් ගිය ගිය තැන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවලදී හැසිරුණේ එය භාර අමාත්‍යවරයාට ද වඩා ඉහළින් කැපී පෙනෙන අන්දමිනි. නොයෙකුත් විට එහි අමාත්‍යවරයාටද යම් යම් දේ ගැන අන කරන්නටද එහිමියන් කටයුතු කළේ සෙස්‌සන්ට ද තම බලය පෙන්වන ආකාරයටය. මෙහිදී සමාජවාදී අමාත්‍යවරුන් ලෙස වැඩි කතාබහක්‌ නැතිව පොදුජන සේවයෙහි යෙදුණු ආහාර හා ගොවිකම් ඇමැති පිලිප් ගුණවර්ධන මැතිතුමාටත්, ධීවර හා කර්මාන්ත ඇමැති පී. එච්. විලියම් ද සිල්වා මැතිතුමාටත් කිසි ලෙසකින් හෝ බලකරන්නට බුද්ධරක්‌ත හිමියන් නොගියේ එම ඇමැතිවරු දෙදෙනා තමන් වැන්නන්ගේ ක්‍රියාවන්වලට විරුද්ධ බව දන්නා හෙයිනි.

යම් යම් අවස්‌ථාවලදී රොස්‌මිඩ්හි අගමැති මන්දිරයේදීම අගමැති බණ්‌ඩාරනායක මැතිතුමන් හමුවූ බුද්ධරක්‌ත හිමි තමාගේ නොයෙකුත් අවශ්‍යතා උදෙසා එතුමාගේ අවසරය ලිතවම ලබාගන්නට පෙළඹුණ වාරද අනන්තය. එවන් අවස්‌ථාවල අගමැතිතුමාණෝ එසේ කළේ තමන්ට මැතිවරණය දිනාගන්නට එහිමියන් දුන් සහාය නිසාමය.

කරුණු මෙසේ සිදුවෙමින් පවතින අතර පිලිප් ගුණවර්ධන ගොවිකම් ඇමැතිතුමා තමන්ගේ දක්‍ෂතාවලින් ප්‍රයෝජන ගෙන රට පුරා ගොවි ජනතාවගේ යහපත පිණිස කුඹුරු පනත සකස්‌ කරගෙන යද්දී එතුමන් එයින් කලකට ඉහත ඩී. එස්‌. සේනානායක ඇමැතිතුමා බැබලුනා සේ රටේ ජනප්‍රියව බැබළෙමින් යද්දී බුද්ධරක්‌ත හාමුදුරුවන් සිතුවේ එය බණ්‌ඩාරනායක අගමැතිතුමාට ද වඩා ඉහළින් යන්නක්‌ බවය. එහෙයින් පිලිප් ලබන ජනප්‍රසාදය කෙසේ හෝ මැඩලීමට ද බුද්ධරක්‌ත විමලා කල්ලිය සිතාගෙන කටයුතු කරන බව පෙණිනි.

බුද්ධරක්‌ත හිමියන්ගේ ජීවිතයේ අමුතුම හැඟීමක්‌ ඇති කෙරුණා යෑයි කියන්නේ එහිමියනුත් හිතවත් එම්. පී. ජයවර්ධනත් සමඟ ඉන්දියාවේ සංචාරය කරද්දී එහි ප්‍රධාන පෙළේ සාස්‌තර කරුවකුගෙන් සාස්‌තරයක්‌ අසන්නට ගිය අවස්‌ථාවේදීය.

ලංකාවේ ඉදිරි අනාගතය කෙසේ වේදැයි ඔවුහු සාස්‌තරකරුගෙන් විමසූහ. “දැන් සිටින අගමැතිගේ කාලය නරක නිසා බලය නැතිවී රටේ භීෂණ අවිචාර යුගයක්‌ උදා වෙනවා. ඉන් පසුව කාන්තාවක්‌ රටේ රජවනවා” යනුවෙන් සාස්‌තරකරුවාගෙන් කියෑවිණි.

මෙයින් බලවත් සේ උද්දාමයට පත් බුද්ධරක්‌ඛිත හිමිවෝ ආපසු සියරට පැමිණි ගමන්ම මෙම පුවත විමලාගේ කළේ තැබූහ. නියත වශයෙන් ම එසේ රජවන්නේ දැන් ඇමැති පදවියේ සිටින විමලා ජයවර්ධන මැතිනිය බව බුද්ධරක්‌ඛිත හිමියෝ විශ්වාස කළහ. එහෙයින් එතුමිය රටේ රජවන විට තමන්ට ප්‍රධාන පුරෝහිත තනතුර හෝ පාර්ලිමේන්තුවේ කථානායක පදවිය හෝ ලබාගත හැකි වනු ඇතැයි බුද්ධරක්‌ත හිමියෝ විශ්වාස කළහ.

දැන් තමන් කළ යුත්තේ හැකි හැම අයුරකින්ම විමලාව මෙසේ රටේ රජවන්නට සුදුසුකම් සම්පූර්ණ කිරීමය. මේ අතර තමන්ගේ හිතවත් ජ්‍යෙdතිෂවේදියද විමලාගේ කේන්ද්‍රය පෙන්වන ලද අවස්‌ථාවේදී ඔහු කියා සිටියා යෑයි පසුව ප්‍රකට වූයේ කන්ද උඩරට මහා රැජිනිය ලෙස ඉතිහාසයේ කලකට පෙර ප්‍රකට වූ දොaන කතිරිනා හෙවත් කුසුමාසන දේවියගේ කේන්ද්‍රය හා විමලා විජයවර්ධන ඇමැතියගේ කේන්ද්‍ර එක සමාන බවය. දෙදෙනාම කටක ලග්න හිමියෝය. ග්‍රහයන් පිහිටා තිබෙන්නේද එක හා සමානවය. එය ගැන දැනගත් විටද බුද්ධරක්‌ත හිමියෝ බලවත් සේ සතුටට පත්වූයේ මතු කලෙක රටේ රජවන විමලාටද පෙර කලෙක වූ රාජකීය ස්‌ථානයක්‌ තිබෙන නිසාය. මේ හෙයින් එතුමියට ලෝකයේ අවධානය හා සැලකිල්ල ද යොමුවනු පිණිස කටයුතු කිහිපයක්‌ ද කරන්නටද බුද්ධරක්‌ත හිමියෝ මෙහිදී තීරණයකට එළැඹියහ.

මෙහිදී මෙසේ ලංකාවේ ප්‍රථම ඇමැතිනිය බවට පත් විමලා විජයවර්ධන මැතිනිගේ පැටිකිරිය ගැන ද සොයා විමලා බැලීම ද වටනේය. කටානේ ඉඩම් හිමි වැවිලිකරු කරෝලිස්‌ද සිල්වා මුදලාලි රූමත් දූවරුන් දෙදෙනාගේ දෙවැනියා විමලා ද සිල්වාය.

ඇයගේ වැඩිමහල් සහෝදරිය විවාහපත් කර ගන්නා ලද්දේ සේදවත්තේ වලව්වේ දෙවැනි පුතා වූ ඩී. සී. විජයවර්ධන මහතා විසිනි. ඇය දරුවන් දෙදෙනකුද ලැබුවායින් පසුව වර්ෂ දෙකකදී අභාවයට පත්වූවාය. මෙහිදී ජයවර්ධන මහතා කළේ තමන්ට වඩා වසර 18 කින් බාල රූමත් නෑනණ්‌ඩියන් වූ විමලා ද සිල්වා විවාහ කර ගැනීමය. ගමේ සිටියදී ඉංග්‍රීසි, සිංහල, පාලි, සංස්‌කෘත පිළිබඳවද මනා අධ්‍යාපනයක්‌ ලබා සිටි විමලා සමාජශීලී ප්‍රියමනාප බිරිඳක වූවාය. ඇය සිය සැමියාට ආනන්ද නම් පුතෙකුද, පද්මිණී, රුක්‌මණී නම් දූවරුන් දෙදෙනකු ද ලබා දුන්නාය.

කැලණි රජමහා විහාරස්‌ථානයේ ප්‍රධාන දායකයකු වූ සිය සැමියා සමඟ එහි සාශනික කටයුතුවලට ද මුල් තැන ගන්නට විමලා මැතිනිය ඉදිරිපත් වූයේ මෙකලය. රජමහා විහාරයේ විහාරාධිපතිත්වයට උරුමකම් කියන මාපිටිගම පවුලක වර්ෂ 1921 සැප්තැම්බර් 30 වැනිදා කේ. ඇස්‌. පෙරේරා නමින් උපන් දරුවකු ලොකු මහත් වී සිංහල ඉංග්‍රීසි, පාලි, සංස්‌කෘත භාෂාවන්හි සාමාන්‍ය දැනීමක්‌ ලබා සිටියදී විහාරාධිපති මාපිටිගම සංඝරක්‌ත හිමියන්ගේ දෙවැනි ශිෂ්‍යයා වශයෙන් “මාපිටිගම බුද්ධරක්‌ත” නමින් ශ්‍රමණ භූමියට ඇතුළත් වූයේය. වැඩිදුර ඉගෙනීමටත් වඩා දඩබ්බර කමින් ද තමන් විසින් ඇතිකර ගන්නා ලද සහචරයන්ගේ බලයෙන් ද ඉතා ඉක්‌මණින්ම ප්‍රධාන ශිෂ්‍යයා විහාරස්‌ථානයෙන් පළවාහැර බුද්ධරක්‌ඛිත හිමි නාහිමියන්ගෙන් ලිතවම බලය ලබා උන් වහන්සේ අපවත් වීමෙන් පසුව වර්ෂ 1947 දී විහාරාධිපති වූහ. මේ සමගම එහි ප්‍රධාන දායිකා විමලා විජයවර්ධන මැතිනිය සමඟ සමාජ ශාසනික, ආගමික කටයුතුවල යෙදෙන ගමන් ම බුද්ධරක්‌ඛිත හිමි එතුමිය සමඟ අතිශයින් ම සමීප සම්බන්ධතාවක්‌ ද ඇති කරගත් බවද ප්‍රකට වුණේය.

ප්‍රථමයෙන්ම වාමාංශික තරුණ පිරිසක්‌ සමඟද දේශපාලන කටයුතුවලට හුරුව සිටි විමලා විජයවර්ධනගේ සිත කැලණිය තුළ රජකරමින් සිටි එවකට මුදල් ඇමැති ඡේ. ආර්. ජයවර්ධන මහතා සමඟ තරග කරන්නට බණ්‌ඩාරනායක මැතිතුමා ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉදිරිපත් කරන්නට වර්ෂ 1952 කේ පැවැති මැතිවරණයට ඉදිරිපත් කරවූයේද මාපිටිගම බුද්ධරක්‌ත හිමියන්ගේ අනුදැනුම ඇතිවය. එහි ප්‍රතිඵලය වූයේ ජයවර්ධන මහතා වැඩි ඡන්ද 6235 කින් ජයග්‍රහණය කිරීමය.

මේ ඡන්ද සටනින් පරාජය වුවද අත්දැකීම් ලද බුද්ධරක්‌ඛිත හිමියන් මතු දවසක කෙලෙස හෝ විමලා විජයවර්ධන මැතිනිය පාර්ලිමේන්තු මන්ත්‍රිනියක ලෙස පත්කර ගැනීමට අධිෂ්ඨාන කරගත්හ.

වර්ෂ 1955 හේ අග භාගයේදී බණ්‌ඩාරනායක විරුද්ධ පක්‍ෂ නායකතුමන් පැවැති රජයට විරුද්ධව බලවේග ලෙස ජාතික නායකයන් හා පක්‍ෂ එකතු කරගෙන ‘මහජන එක්‌සත් පෙරමුණ’ සාදද්දී එයට මුල්වූ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයේ මුල් තැන ලබාගන්නට බුද්ධරක්‌ත හිමි සමත් විය. රටේ මුළු සඟ බලවේගයෙන් දහයෙන් අටක්‌ම “තනි බුද්ධරක්‌ත” විය. එසේ ම මෙසේ 1956 යේ මුලදී පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්‌තාවේදී බණ්‌ඩාරනායක මැතිතුමන්ට ඡන්දය උදෙසා වියදම් කිරීමට මුදල් හිඟ වූ බව දක්‌නට ලැබිණ. මතුවට කිසිදු දිනෙක බණ්‌ඩාරනායක මැතිතුමාට රටේ බලය ලැබේවි යෑයි සැක කළ ධනපතිහු “ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට “මුදල් වියදම් කරන්නට මැලි වූහ. මෙහිදී රොස්‌මිඩ් බංගලාව ද උකසට තබා මුදල් ලබාගන්නට බණ්‌ඩාරනායක මැතිතුමාට සිදුවූ අතර විමලා විජයවර්ධන ද සිය පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්‍ෂ ගණනක්‌ ලබා දුන්නාය. බුද්ධරක්‌ත හිමිද කැලණිය පින් සල්ලි වශයෙන් ගෝනිවල දමා තිබෙන මුදල් ගෝනි කිහිපයක්‌ ම නිර්ලෝභීව ප්‍රදානය කෙරූ බව පසුව හෙළිවිය.

මෙසේ මහ මැතිවරණය දිනා ගත් පසුව බණ්‌ඩාරනායක අගමැතිතුමාට බුද්ධරක්‌ත හිමියන් දුන් මුදල්වලට එකට දහස්‌ ගණනක්‌ වන ලෙසට පොලී ප්‍රදානය කරන්නට සිදුවූ බව ද කියෑවිණ. මෙහිදී තමන්ගේ ප්‍රාර්ථනා කවර ලෙසකින් හෝ ඉෂ්ට සිද්ධ කරගනු පිණිස කටයුතු කළ බුද්ධරක්‌ත හිමියෝ විමලා විජයවර්ධන මැතිනියට මීරිගම ආසනය දිනා දෙන්නට කටයුතු කළේ එහි ගොස්‌ පදිංචි වෙමිනි. අන්තිමේ ප්‍රතිඵලය වූයේ වැඩි ඡන්ද 25297 කින් ජයග්‍රහණය කිරීමය. එය අති විශිෂ්ට ජයග්‍රහණයක්‌ ද විය. 1956 යේ කැබිනට්‌ මණ්‌ඩලයේ සෞඛ්‍ය ඇමැතිනිය ලෙස එතුමිය පත්වූවේ ඉන් අනතුරුවය.

එවන් ජයග්‍රහණයක්‌ ලත් කාන්තා චරිතයක්‌ ලංකාවේ රජකරවීම උදෙසා බුද්ධරක්‌ත හිමියෝ ඉන් පසුව ජයග්‍රහණයෙන් ලද උත්තේජනයෙන් අනතුරුව උපරිම උත්සාහයක්‌ දැරුවහ.

අමාත්‍ය මණ්‌ඩලයේ කොතෙකුත් භේද ඇති කරවා පිලිප්, විලියම් ද සිල්වා වැනි විශිෂ්ට ඇමැතිවරුන්ට සිය නිලය අතහැර යැමට ඉඩ සැලැස්‌වීමද, ඔස්‌මන් ද සිල්වා, පොලිස්‌පතිතුමා අස්‌කර දැමීමට අගමැතිට බලකිරීමද ආදී කටයුතු සාර්ථක ලෙස ඉටුකෙරෙන බව දැකීමෙන් බුද්ධරක්‌ත තම අනුගමිකයන් සමඟ රිසිසේ රජයටත් බණ්‌ඩාරනායක මැතිතුමාටත් විරුද්ධව කුමන්ත්‍රණයක්‌ දියත් කළේ එතුමාගේ බලය බිඳදමා තමාගේ හිතෛෂී කාන්තාවට රටේ රජකම ලබාදීමටය.

මුළු රට පුරාම බුද්ධරක්‌ත – විමලා අනියම් සම්බන්ධය ප්‍රකට රහසක්‌ව පැවතිණි. බණ්‌ඩාරනායක අගමැතිතුමා ද වරින්වර සිය මුකරිකමින් විමලාට ඇනුම්පද කී අවස්‌ථා ද විය.

වරෙක ඉතාලියේ සෞඛ්‍ය අමාත්‍ය සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා විමලා විජයවර්ධන ඇමැතිනිය රත්මලානේ ගුවන්තොටුපළේ යානයකින් පිටත් වන්නට සැරසෙද්දී ඇයට සුබපතන්නට බණ්‌ඩාරනායක අගමැතිතුමෝ ද එහි ගියහ. බුද්ධරක්‌ත හිමි ද එම ගුවන් යානයෙන්ම ඉතාලිය බලා යන්නට පැමිණ සිටින බව ද එහිදී හෙළිවිය.

“ඉතාලිය සීතල රටක්‌. එහි සීතල මකන්නට සමහරු යම් යම් බේත් අරගෙන යනවා. වඩා හොඳයි ඔබතුමියට බුද්ධ – රාජ – ගුලි එහෙම ගෙනියනවා නම් -” යනුවෙන් එතුමෝ සියුම් උපහාසයක්‌ එල්ල කළහ.

විමලා විජයවර්ධන මැතිනියට ඉතාලියේදී බුද්ධරාජගුරු සීතල මකන්නට උපකාර වන්නට ද ඇත.

මුළු රටම දන්නා මේ කුප්‍රකට හාමුදුරු සම්භෝග සිද්ධිය මෙසේ වරින් වර බණ්‌ඩාරනායක අගමැතිතුමාගේ මුවින්ද උපහාසයක නියායෙන් කියෑවෙද්දීද බුද්ධරක්‌ත – විමලා සිටියේද එතුමා ගැන කෝපයෙන් යුතුවය.

විවිධ මතභේද යොදවා බණ්‌ඩාරනායක අගමැතිගේ රජය අප්‍රසාදයට ලක්‌කිරීමටත් එතුමා හා මැතිනියගේ චරිත ඝාතනය වන අයුරින් විටෙක කැලෑ පත්තර පවා ලියවා මුද්‍රණය කරවා බෙදාහැරීමටත් ඔවුන් දෙදෙනා කටයුතු කළ බව පසුව හෙළිවිය. එකල රට පුරා දුරකථන පහසුකම් සීමාසහිත වුවද බණ්‌ඩාරනායක අගමැතිතුමාගේ රජය යටතේ කැලණිය විහාරස්‌ථානයේ සිට ඕනෑම තැනකට දුරකථනයෙන් කතා කිරීමේ පහසුව බුද්ධරක්‌ත හිමි වෙත සලසා තිබිණි. මෙසේ තමන් ලත් වරප්‍රසාද කපටිකමින් යුතුව එහිමියෝ තමන්ගේ බලය තහවුරු කරගන්නටත් වැඩි වැඩියෙන් ම ධනය උපයා ගන්නටත් යෙදුව බවද පසුව හෙළිවිය.

තම කල්ලිය හා එක්‌ව කරන ලද කුමන්ත්‍රණය සූක්‍ෂම ලෙස කිරීමට වගබලා ගත් බුද්ධරක්‌ත භික්‍ෂුව කෙසේ හෝ බණ්‌ඩාරනායක අගමැතිතුමා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට යන්නට පෙර මරා දැමීමේ සැලසුමක යෙදුණේ එහි යන්නට ඉඩ හැරියහොත් අගමැතිතුමා තව තවත් බලවත් වන බවට පැතිර තිබුණු අදහස ද අනුවය.

බුද්ධරක්‌ත භික්‍ෂුව කොතරම්ම දරුණු අපරාධකරුවකු ද යන වග පොදු මහජනතාවට හෙළි වූයේ අගමැති ඝාතනයෙන් පසුවදා ගුවන් විදුලිය මගින් කතාකර ‘මෙම ඝාතනය මහ පොළොව, ඉර හඳ නුහුලන අපරාධයක්‌, මෙය කළ අයට සාප විය යුතුය’ යනුවෙන් බබා වගේ අඬමින් ද කතා කළ නිසාත්ය.

අගමැතිතුමාගේ අවසන් කටයුතුවලින් පසු ක්‍රියාත්මක වූ පොලිසිය කොණක සිට කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගනිද්දී මාපිටිගම බුද්ධරක්‌ත ද ප්‍රධාන සැකකරුවකු බව හෙළිවිය. එහෙත් කැලණි විහාරස්‌ථානයට ගොස්‌ බුද්ධරක්‌ත අත්අඩංගුවට ගැනීමට උසස්‌ පොලිස්‌ නිලධාරීන් හෝ හමුදා නිලධාරීන් බිය සැක පහළ කළේ ඔහු ළඟ නිතරම රිවෝල්වරයක්‌ තිබෙන නිසාය.

මෙම ආරංචිය ලත් ශ්‍රීමත් ජෝන් කොතලාවල හිටපු අගමැතිතුමෝ ඔවුන් සහ බුද්ධරක්‌ත වෙත යැමට ඉදිරිපත් වූහ. එහි කාමරයේ දොරටුව වෙත ගිය එතුමෝ “මම සර් ජෝන් – බුද්ධරක්‌ත පිරිමියකු වගේ වහාම ඉදිරියට ඇවිත් භාරවෙයන්” යෑයි කීවද ප්‍රතිචාරයක්‌ ලැබුණේ නැත.

එවර එතුමා කළා යෑයි කියන්නේ කාමරයේ දොර පැලීයන අන්දමින් පයින් ගැසීමය. ඉන් පසුව විවර වූ දොරින් කාමරයට පැන වෙඩි කෑ සිඟාලයකු මෙන් සිටි බුද්ධරක්‌තගේ අතින් අල්ලාගෙන ඇදගෙන විත් මාංචු දැමීමට පොලිස්‌ නිලධාරීන් වෙත භාරදීමය. එය එසේම සිදුවිය.

තම ප්‍රකට අනියම් බිරිය වූ විමලා විජයවර්ධන සමගම සෙසු කුමන්ත්‍රණකාරීන් වශයෙන් වැල්ලම්පිටියේ එච්. පී. ජයවර්ධන, කොළොන්නාව පළාත් ආණ්‌ඩු සභා සභාපති වෛද්‍ය කරෝලිස්‌ අමරසිංහ ආදී පිරිසක්‌ ද සමඟ මාපිටිගම බුද්ධරක්‌ත භික්‍ෂුවද සිරභාරයට ගනු ලැබීය. ඉන් පසුව අධිකරණයේදී කුමන්ත්‍රණය පිළිබඳව ද බුද්ධරක්‌ත විමලා අනියම් බිරිඳ – අනියම් සැමියා වූ අන්දමේ විචිත්‍ර තොරතුරු ද අධිකරණයේදී මනා ලෙස හෙළිවිය.

තම ස්‌වාමියා වූ ඩී. සී. විජයවර්ධන මහතා අසනීප වී මුල් බංගලාවේ වෙසෙද්දී බුලර්ස්‌ලේන්හි සුවිශේෂ බංගලාවක්‌ සාදවා ගත් විමලා – බුද්ධරක්‌ත සමඟ එහි ගතකළ අන්දමද, විජයවර්ධන පවුලට අයත් කාමර පනහකින් යුතුව තිබූ සුද්දන්ගේ කාලයේ හපුතලේ වත්තේ සාදා තිබූ එඩිසන් බංගලාවේ ද මෙම යුවළ අඹුසැමියන් ලෙස ගතකළ දිවිය ගැන බංගලාවල සේවක සේවිකාවෝ දුන් සාක්‍ෂිවලින් මනා ලෙසින් හෙළි කෙරිණ. මුල් නඩු විභාගයේදී විමලා විජයවර්ධන නිදහස්‌ වූ නමුත් නඩුව කෙළවර වන තුරු ඇයට උසාවි පැමිණිය යුතු බවට නියෝග කෙරිණ.

බණ්‌ඩාරනායක අගමැතිතුමාට වෙඩිතැබූ තල්දූවේ සෝමාරාම අන්තිමේ හිර ගෙදරදී ක්‍රිස්‌තියානි ආගම වැළඳගෙන පීටර් නමින් බවුතිස්‌ම ලබා තිබුණේ තමනට ‘දෙවියන් වහන්සේ විසින් සමාව දී බේරා ගන්නා බවට’ දේවගැතියකු විසින් දෙන ලද පොරොන්දුවක්‌ අනුවය. එහෙත් අන්තිමේ නඩු විභාගයේදී තල්දූවේ සෝමාරාම, මාපිටිගම බුද්ධරක්‌ත, වැල්ලම්පිටියේ එච්. පී. ජයවර්ධන තිදෙනාටම බණ්‌ඩාරනායක අගමැති ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යෑයි වූ චෝදනාව මනාව ඔප්පුවූ හෙයින් ඒ වෙනුවෙන් එල්ලුම් ගසට නියම කෙරිණ.

තිදෙනාම එයට විරුද්ධව ඇපිල් ගත්හ. ඇපෑලෙන් තල්දූවේ සෝමාරාමගේ තීන්දුව එලෙසම ස්‌ථිර වී ඔහු “පීටර්” නමින් එල්ලුම් ගහට ගියේය. බුද්ධරක්‌ත, ජයවර්ධන දෙදෙනාගේ ඇපැල් අයෑදුම්පතට අනුව ඔවුන් එල්ලුම් ගස්‌ යන තීරණය ඉවත්වී ජීවිතාන්තය දක්‌වා සිරගෙට නියම විය.

පොදුජන සේවයේ අවංකව ඇපකැපවී කටයුතු කළ ජන නායක බණ්‌ඩාරනායක අගමැතිතුමා ඝාතනය කරන්නට එසේ කටයුතු කළ ඔවුන් තිදෙනාට නියමිත ලෙස මෙසේ දඬුවම් ලැබිණ. සිර ගෙදර බරපතළ වැඩ දෙන්නට නිලධාරීන් ඔවුනට පැවරුවේ ‘හිරගෙදර ඩෝබිපාටියේ’ සේවය කරන්නටය. කලක්‌ම යහතින් වැඩ කරන්නට එහි ඉඩ සැලසීම ද කොතරම් වූ දඬුවමක්‌ද?

මේ අතර නඩුව අවසාන වන තෙක්‌ ම වරින් වර උසාවි ආ විමලා විජයවර්ධන දක්‌නට ලැබුණේ පෙර තිබූ කාන්තිමත් රූසපුව වැහිරී ගොස්‌ හිසකෙසද සුදුවූ ගැහැනියක ලෙසය.

පසු කලෙක සිර ගෙදරදීම ජම්පරය සමඟම මියගිය බුද්ධරක්‌ත මහතාගේ අවසාන කටයුතු පැය ගණනක්‌ ඇතුළත සිදුකරන්නට එහි ගිය අවස්‌ථාවේ කොටිකාවත්තේ සද්ධාතිස්‌ස නාහිමියන් විසින් මිනි පෙට්‌ටියේ රැඳී බුද්ධරක්‌ත මහතාගේ දේහයේ ජම්පරයට උඩින් සිවුර ඇන්දවූ විත්තිය ගිය සුමානේ මාගේ ලිපියෙන් මනාව හෙළිකෙරිණ.

විශාල ධනස්‌කන්දයක්‌ අයිතිව පැවැති විමලා විජයවර්ධන අන්තිමේ සිංහල ජාතියෙන් මෙන්ම බෞද්ධාගමෙන් ද නිසි ලෙස පළිගත්තාය. ප්‍රොතැස්‌තන් ආගම වැළඳගත් විමලා සිය හපුතලේ ‘එඩිසන් බංගලාව’ ඇතුළු වත්තම එම ආගමේ මූලස්‌ථානය ලෙස පවරා දුන්නාය. දැන් එහි කටයුතු ජයටම සිදුකෙරේ. මුලින්ම කීර්තිවත් ජීවිතයක්‌ ගතකොට අන්තිමේ අපකීර්තියේ පල්ලටම ගිය විමලා විජයවර්ධන මැතිනිය අප්‍රකට ජීවිතයක්‌ ගත කර වර්ෂ 1994 ජනවාරි 27 වැනිදා මියගියාය. වැඩි දෙනකුට දැසීන් දකින්නටම කළ කම් පලදුන්නේ එසේය.

සෝමසිරි කස්‌තුරිආච්චි
– Divaina