දේශීය එන්නත් නිෂ්පාදකයාට ලෙඩ අදින කොමිස්‌ මරුවෝ

0
654

ගිනි ගණන් බෙහෙත් හමුවේ පිළිකා රෝගීන් පණ අදිද්දී
දේශීය එන්නත් නිෂ්පාදකයාට ලෙඩ අදින කොමිස්‌ මරුවෝ
අවුරුදු හතරක්‌ ම වැඩේ ඇදලා

විදේශ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් ඒ ඒ වකවානුවල දී පවතින ආණ්‌ඩු නොගන්නා උත්සාහයක්‌ නැත. ඇවිටිලි හා සමාන ආරාධනා ආයෝජකයන්ට ඉදිරිපත් කෙරෙන්නේ ද පිරිනැමෙන සියලු පහසුකම් ද සමගිනි. දශක තුනක්‌ පුරා දිග හැරුණු යුද්ධය නිමා වීමෙන් පසු ලොව පුරා ශ්‍රී ලාංකේය නාමය ප්‍රචලිත කෙරෙන්නේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව තෝතැන්නක්‌ ලෙසිනි. තත්ත්වය එසේ වුව ද මෙරට දේශපාලන යාන්ත්‍රණයේ ‘කොමිස්‌’ ක්‍රියාන්විතයන් මත ආයෝජකයෝ ආයෝජන පසෙකලා රටින් ඉවත් වූඑ අවස්‌ථා ද නැත්තේ නොවේ. විදේශ ආයෝජකයන් දිරිගැන්වීමෙහිලා බරපතළ ලෙස ප්‍රයත්න දරන ආණ්‌ඩු දේශීය ආයෝජකයන් කෙරෙහි දක්‌වන්නාවූ අතිශය ”හැඟීම්බර” විලාසය අහ්ලාදජනක යෑයි කිවහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවන්නේ ම ය. දසතින් එල්ල වන කෙනෙහිලිකම් මධ්‍යයේ වුව ද සිය උත්සාහය අත් නොහැර සාර්ථකත්වයේ සුබවාදී මං සලකුණු ම සොයන මේ සැබෑ ශ්‍රී ලාංකිකයාගේ උතුම් අදිටන යළිත් සටහන් කළ යුතු=ව තිබෙන්නේ ද ඒ විපරීත වටාපිටාව හමුවේ වීම කෙතරම් ඛෙදජනක දැයි කිව යුතු නොවේ.

ශ්‍රී ලංකාවේ එතෙක්‌ මෙතෙක්‌ අරඹන ලද ප්‍රථම හා එකම බටහිර එන්නත් නිපදවීමේ කර්මාන්තශාලාව ‘අයිසොලෙස්‌ බයෝටෙක්‌ පාර්මා ඒ.ජී.’ නම් වෙයි. රුපියල් කෝටි හතළිහක්‌ තරම් දැවැන්ත ආයෝජනයකින් ඉදි කළ මෙම කර්මාන්තශාලාවේ හිමි කරු ශ්‍රී ලාංකිකයෙකු වීම කෙතරම් ආඩම්බරයක්‌ ද? කටුනායක පිහිටි කර්මාන්ත ශාලාව ඉදි කර ඇත්තේ සම්පූර්ණයෙන්ම ජර්මන් හා ස්‌විට්‌ස්‌ර්ලන්ත තාක්‌ක්‍ෂණය මත ය. මූලික අමුද්‍රව්‍ය ලෙස ශාක හා සත්ව කොටස්‌ ජීව තාක්‍ෂණය මගින් මිනිස්‌ පරිභෝජනයට අවශ්‍ය පිළිකා එන්නත්ද ඇතුළු බටහිර එන්නත් නිපදවීමේ හැකියාව මෙම කර්මාන්ත ශාලාව සතු අතර එවැනි තාක්‍ෂණ හැකියාවක්‌ ඇති කර්මාන්ත ශාලාවක්‌ දකුණු ආසියවේම නැත.

තමන් ගේ නිජබිම වෙත දැවැන්ත ආයෝජනයක්‌ කර ඒ ඵල නෙලාගැනීමට හා එය සමාජයට දායක දීමට නොහැකිව රජයන් දෙකක්‌ සමඟ හුදෙකලා සටනක නිරත සැබෑ ශ්‍රී ලාංකිකයකු වන ජානක ප්‍රනාන්දු මහතාගේ අඩහැරය ”දිවයින” මීට පෙර ද අනාවරණය කළා ය.

2013 වසරේ ජූලි මස කර්මාන්ත ශාලාව ඉදිකිරීම සම්පූර්ණයෙන්ම නිමකර අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ආනයනය කර නිෂ්පාදන අනුමැතිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කෙරිණි. ඔවුන් විසින් වසර එකහමාරක්‌ තිස්‌සේ වරින් වර කර්මාන්තශාලාවේ තත්ත්ව පරීක්‌ෂණ සිදු කරනු ලැබී ය

එක්‌ තත්ත්ව පරීක්‍ෂණයක වාaරතාව ලබා දීමට මාස 4 ක්‌ 5ක්‌ ගත විණි. ඒ එකදු වාර්තාවකින් හෝ කර්මාන්තශාලාව බටහිර මිනිස්‌ එන්නත් නිෂ්පාදනයට නුසුදුසු බවට තාක්‍ෂණිකව ඔප්පු කිරීමට අධිකාරියට හැකියාවක්‌ නොලැබිණි. තවත් විටෙක කර්මාන්ශාලාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරීක්‍ෂාවක්‌ ද අවශ්‍ය බව සඳහන් කරමින් විය යුත්ත පසෙකලනු ලැබිණි. ලෝකය පුරා ඇති ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා පරීක්‌ෂා කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්යයක්‌ නොවන අතර එය අදාළ රටේ ඖෂධ අධිකාරියේ කාර්යයක්‌ වන්නේ ය. එහෙත් මිනිස්‌ එන්නත් නිෂ්පාදනය කරන කර්මාන්ශාලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියාමනයට යටත් අතර එවැනි කර්මාන්තශාලා ඇත්තේ ලෝකයටම 6ක්‌ පමණි. ඒ අනුව ඖෂධ අධිකාරියේ අනුමැතිය ලබාදීම ප්‍රායෝගික නොවන කරුණක්‌ මත අනවශ්‍ය ලෙස කල් ගත කිරීම මාස 16ක්‌ තරම් දීර්ඝ විය. තවද එක්‌ පරීක්‌ෂාවකින් පසු ඊළඟ පරීක්‍ෂණයට තවත් මාස කිහිපයක්‌ ගත කෙරිණි. මෙම පරීක්‍ෂණ දින ලබා ගැනීමට සහ වාර්තා ලබා ගැනීමට හිමිකරුට දින ගණනාවක්‌ ඖෂධ නියාමන අධිකාරිය ඉදිරියේ කාල්ගාන්නට සිදුවිය .

කර්මාන්තශාලාව බටහිර මිනිස්‌ එන්නත් නිෂ්පාදනයට නුසුදුසු බවට තාක්‍ෂණිකව ඔප්පුකිරීමට අපොහොසත් වූ පසු ඖෂධ ආනයනකරුවන්ගේ භූමිකාව කරළියට පැමිණියේ ය. අයිතිකරුට නිෂ්පාදනය කිරීම පමණක්‌ කරන ලෙසත් අලෙවිය හා මිල පාලනය තමන්ට ලබා දීමට හැකි නම් කර්මාන්තය සඳහා අනුමැතිය ලබා දීමට මැදිහත් විය හැකි ය වැනි කොන්දේසිසහගත තත්ත්වයන්ට මුහුණ දීමට හිමිකරුට සිදු වීමෙන් ඖෂධ ආනයනකරුවන් කෙතරම් බලසම්පන්නද යන්න මොනවට කියා පෑවේ ය. එයට අමතරව කර්මාන්ත ශාලාවේ බෙහෙවින් අඩුපාඩු ඇති බවත් තමන්ට ඒවා එලෙසම තිබෙන්නට හැර අනුමැතිය ලබාදිය හැකි බවත් එහිදී තමන් අවදානමක්‌ ලබා ගන්නා බවත් ඒ වෙනුවෙන් සිය කණ්‌ඩායමට සන්තොAසමක්‌ ලබා දිය යුතු බවටත් යෝජනා කෙරිණි. රටට ප්‍රයෝජනවත් ක්‌රමාන්ත ශාලවක්‌ ඇරඹීමේ සිහිනය හමුවේ තමන්ට අත්වූ ඉරණම පිළිබඳව ජානක මහතා ”දිවයින”ට ඉදිරිපත් කළ දුක්‌ ගැනවිල්ල රටට හෙළි කළ නමුත් කිසිදු පාර්ශවයක්‌ අවශ්‍ය අනුමැතිය ලබා දීමට කිසිදු පියවරක්‌ නොගත්තේ ය.

දැනට මෙම කර්මාන්තශාලාව ජීව තාක්‍ෂණය මගින් ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමු ද්‍රව්‍ය නිෂ්පාදන කර අපනයනය කරන්නේ නියාමනයකින් තොරවය. ජීව තාක්‍ෂණය මගින් ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය නීති රීති රෙගුලාසි ඖෂධ නියාමන අධිකාරියට ගෙන ඒමට නොහැකිනම් ඒ වෙනුවෙන් වෙනම ආයතනයක්‌ පිහිටුවන ලෙස තමන් උපදේශකයකු ලෙස සහභාගී වූ විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශයේ සාකච්ඡාවලදී ඉල්ලීම් කර තිබුණ ද එය මේ දක්‌වා සැලකීමට ලක්‌වී නොමැති බව ජානක ප්‍රනාන්දු මහතා පවසයි. ප්‍රතිජීවක හා සාමාන්‍ය ඖෂධ මිල එකට සිය ගුණයකින් ඉහළ ගොස්‌ සමාගම් ධනවතුන් බවට පත් කරමින් සිටින තත්ත්වයක්‌ තුළ අඩු පිරිවැයකින් ඖෂධ නිපදවීමේ හැකියාව ඇති මෙම ක්‌රමාන්තශාලාව කෙරෙහි අවධානය යොමු නොකිරීම කෙතරම් අපරාධයක්‌ ද?

මීට දෙවසරකට පමණ පෙර ඇමරිකාවෙන් හා ප්‍රංශයෙන් ආනයනය කරන ලද රුපියල් මිලියන 40ක ජීව රසායන කට්‌ටල ඉවත දැමීමට සිදු වූයේ තත්ත්වයෙන් බාල වූ නිසා ය. මෙම කර්මාන්තශාලාවෙහි ජෛව තාක්‌ෂණ අංශය මගින් ඒවා දින කීපයක්‌ තුළ නිෂ්පාදනය කර සෞඛ්‍ය අමාත්‍යාංශයට සපයන ලද අතර ඒවා ප්‍රමිතියෙන් උසස්‌ බවට තහවුරු විය. 2015 වසර සඳහා මෙම අයිතම නිෂ්පාදන ටෙන්ඩරය ‘අයිසොලේaස්‌’ට අහිමි කෙරිණි. ඒ වෙනුවට ටෙන්ඩරය පිරිනැමූ විදේශ සමාගම් දෙකම ඉදිරිපත් කළ මිල ගණන් වැඩි කළ හෙයින් ටෙන්ඩර් පිරි නැමිම ප්‍රතික්‌ෂේප කර තිබේ.

කර්මාන්ත ශාලාව ඉදි කර වසර 4ක්‌ ගතවී කිසිදු ආදායමක්‌ නොමැතිව අධික දෛනික නඩත්තු වියදමක්‌ හා විශාල දේශිය විදෙAශීය සේවකයන් පිරිසකට වැටුප් ගෙවීමට සිදු වී ඇතැයි හිමිකරු පවසන්නේ දැඩි කලකිරීමෙන් යුතුවය.

මෙම අයිසොලෙස්‌ බයෝටෙක්‌ පාර්මා කර්මාන්තශාලා සිද්ධිය හුදෙකලා සිද්ධියක්‌ වුවත් එය ඉතිහාසය තුල ශ්‍රී ලාංකිකයකු විසින් ඉදිකරන ලද ප්‍රථම හා එකම බටහිර මිනිස්‌ එන්නත් නිෂ්පාදන කර්මාන්තශාලාව වන අතර කිසිදු නිෂ්පාදනයක්‌ ඇරඹීමට නොහැකිව දේශපාලකයන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ ග්‍රහණයට නතුව ඇති තත්ත්වය මෙරට වෙනත් ආයෝජකයන් තුළ රජය කෙරෙහි අපැහැදිලිතාවක්‌ ඇති කිරීමට හේතු වනු ඇත.

තවදුරටත් තත්ත්වය මෙලෙස පැවතුණහොත් කර්මාන්ත ශාලාව වෙනත් රටකට ගෙන යාමට සිදුවන බව ජානක ප්‍රනාන්දු මහතා පවසයි. තම රට වෙනුවෙන් කෙනෙකුට යා හැකි උපරිම දුර තමන් ගමන් කර ඇත යන්න ඒ මහතාගේ අදහස ය.

සුනාමි ව්‍යසනයේදී ප්‍රංශ රජය මෙරටට නොමිලේ ලබා දීමට සූදානම් වූ බටහිර මිනිස්‌ එන්නත් කර්මාන්තශාලාව මෙම දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරින් ප්‍රතික්‌ෂේප කළේ එයින් ඖෂධ ආනයනයකරුවන්ගෙන් තමන් ලබන කොමිස්‌ මුදල අහිමි වන නිසාය. මේ එවැනි රාජ්‍ය නිලධාරින් හා දේශපාලකයින් සිටින රටකි. නිදහස ලැබීමෙන් පසු වාර්තා වී ඇති අන්දමට බටහිර එන්නත් නිෂ්පාදන කර්මාන්තශාලා ඇරඹීමට තෙවරක්‌ උත්සාහ දරා ඇති අතර ඒ සියලුq පාර්ශවයන්ට අවශ්‍ය රාජ්‍ය සහයෝගය නොලැබිම නිසා කර්මාන්තශාලා ඉදිකිරීමට නොහැකි විය.

බටහිර එන්නත් ආනයනය වෙනුවෙන් වසරක්‌ පාසා රුපියල් බිලියන ගණනින් වැය කරමින් සිටින අප වැනි දළිඳු රටකට අන්තර්ජාතික ප්‍රමිතියේ මිනිස්‌ එන්නත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්‌ යන සිහිනය යථාර්ථයක්‌ කළ මේ සැබෑ ශ්‍රීලාංකිකයාගේ නාමය රන් අකුරින් ඉතිහාසයට එක්‌වන බව වරක්‌ ඉරිදා දිවයින සඳහන් කළේය. ඔහු එය වඩාත් තහවුරු කරමින් රජයන් දෙකක දේශපාලකයන් රාජ්‍ය නිලධාරීන් මෙන්ම ඖෂධ ආනයනයකරුවන් ද සමඟ වසර හතරක්‌ තිස්‌සේ හුදෙකලා සටනක අඛණ්‌ඩව නිරත වී සිටියි. එසේ වුවද අදට ද එහි නිසි ඵල ජනතාවට ලබාදීමට නොහැකි වීම ඛේදවාචකයක්‌ ම නොවන්නේ ද?

නිලන්ත මදුරාවල