පක්‌ෂයට සහයෝගය දෙන්න බැරි නම් ජනපතිතුමා සභාපතිකමෙන් ඉවත් වෙන්න ඕනෑ

0
644

ලංකා දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක්‌ බවට ප්‍රසන්න රණතුංග මහතා පත් වූයේ ඔහු ගේ සෘජු දේශපාලන ප්‍රතිපත්ති නිසාද? එසේ නොමැතිව රටේ දේශපාලන බල අධිකාරිය හා දේශපාලන නායකත්වයේ ව්‍යqහය නොතකා ප්‍රකාශ නිකුත් කරන්නකු නිසාද? යන්න බොහෝ දෙනකුගේ කතා බහට ලක්‌ව ඇති කරුණකි. එසේ වීමට හේතුව ප්‍රසන්න රණතුංග මහතා බස්‌නාහිර පළාත් සභාවේ ප්‍රධාන ඇමැති වීමත් ඔහුව ඕනෑම මොහොතක තනතුරෙන් ඉවත් කිරීමට විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකියාව තිබෙන නිසාත්ය.

කෙසේ වූවද අපි මේ කාරණය සම්බන්ධයෙන් වගේම පවතින දේශපාලන ක්‍රමය ගැන කතා කරන්නත් ප්‍රසන්න රණතුංග මහතා හමුවූයෙමු.

මට මේ තනතුර, බලය රැක ගන්න මගේ දේශපාලන ප්‍රතිපත්ති පාවා දෙන්න බෑ. අනික තනතුරු, බලය වෙනුවෙන් මම ගරු කරන දේශපාලන නායකයන්ව හෑල්ලු කරන්නත් බෑ. අපිට මොන දේශපාලන මතයක්‌ තිබුණත් අපි හැමෝම ඇත්තට මුහුණ දෙන්න ඕනේ. ඇත්ත හංගාගෙන බොරුව මතු කරගෙන කවුරු හරි වැජඹෙන්න හදනවානම් ඒක මහ කුහකකමක්‌. මම කෙලින් කතා කරන කෙලින් වැඩ කරන නායකයන්ට ගරු කරන කෙනෙක්‌. එහෙම නැතුව මම වීරයෙක්‌ වෙන්න හදනවා නොවේ.

මගේ තාත්තා ගේ දේශපාලන කටයුතුවලට මම සෘජුව සම්බන්ධ වුණා. ඒ වගේම ඔහු අත්දකින දේශපාලන ක්‍රියාකාරකම් අත්දකින්නටත් අවස්‌ථාව ලැබුණා. ඒ නිසා දේශපාලනයේ හරි දේ වැරදි දේ හඳුනා ගෙන ක්‍රියා කරන්න මට පුළුවන්. මම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ වසර 30 ක්‌ පමණ සාමාජිකයෙක්‌. පක්‌ෂයක බලය තියෙන්නේ ඒ පක්‌ෂයේ නිලධාරීන්ට නොවෙයි. ඒකේ සාමාජිකයන්ටයි. ඒකයි මම පැහැදිලිවම කියන්නේ හිතට එකඟව පක්‌ෂයේ අයත් එක්‌ක සහයෝගයෙන් වැඩ කරන්න බැරි නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රීලනිප සභාපති ධුරයෙන් අයින් වෙන්න ඕනේ. එතුමා සභාපතිත්වය දරන ශ්‍රීලනිප හා එජනිසයෙන් මැතිවරණයට තරග කරන මහින්ද රාජපක්‌ෂ මහතා පරදින බව එතුමා සඳහන් කළා. මේක හරියට තාත්තා තමන්ගේ දරුවන්ට හෙණ ගහපන් කියලා ශාප කරනවා වගේ වැඩක්‌. අනෙක එතුමා සඳහන් කළා මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිතුමාට නාම යෝජනා දෙන්න එතුමා අකමැති වුණත් පක්‌ෂයේ බහුතරය ගේ කැමැත්ත නිසා ඒක කරන්න වුණා කියලා. ඒ වාගේම තමයි එතුමා කැමැති වුණත් නැතත් ජනතාව මේ මැතිවරණයේදී මහින්ද මහත්තයට ඡන්දය දීලා වැඩිම මනාප ලබාගත් අපේක්‌ෂකයා විදිහට ඉතිහාසගත වෙනවා. ඒ විතරක්‌ නොවෙයි ඔහුගේ අනුගාමිකයන් 115 කට වැඩි පිරිසක්‌ පාර්ලිමේන්තුවට තේරී පත් වෙනවා. එතකොටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කියන්න වෙන්නේ, මම අකමැති වුණා අගමැතිකම දෙන්න. ඒ වුණත් බහුතරයේ කැමැත්ත නිසා එයා අගමැති ලෙස පත් කරන්න මට සිද්ධ වුණා කියලයි.

එහෙම කියල කතාව නතර කරපු රණතුංග මහතා එකවරම නැගිටල ගෙතුළට ගියා. ගිය සැණින් ඔහු ආවේ අතේ කඩදාසියක්‌ ඇතිවයි. ඔහු නැවත කතාව පටන් ගත්තා. මේ බලන්න මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත්වෙන්න පෙරත් ඊට පසුවත් කරලා තියෙන වැරදි. එතුමා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනවා නම් විධායක බලතල පාවිච්චි කරන්න අකමැති නම්, පක්‌ෂය දෙකට කැඩෙනවාට විරුද්ධ නම් හෝ පක්‌ෂයේ සාමුහික වගකීම ආරක්‌ෂා කළ යුතුයි කියලා විශ්වාස කරනවානම් එයා මේ විදිහට වැරදි ක්‍රියාමාර්ග ගන්නේ හෝ ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරන්නේ නෑ. අපි තවම විශ්වාස කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ විදිහට වැරදි ක්‍රියාමාර්ග හා වැරදි ප්‍රකාශ කරන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළු අධිරාජ්‍යවාදී ගැත්තන්ගේ වුවමනාවට කියලයි. එහෙම නොවේ නම් කෙලින්ම කියන්න පුළුවන් මේ හැම දේම කරන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගේම වුවමනාවට හොඳට හිතල බලලා කියලා. එහෙම වුණොත් අපිට හරියටම හඳුනා ගන්න පුළුවන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කව්ද, කොයි වගේ කෙනෙක්‌ද කියලා.

අපි මධ්‍යස්‌ථව හිතල බලමු. මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජනවාරි 8 ට පෙරදී හා ඉන් පසුව මාස 6 ක්‌ කටයුතු කරල තියෙන්නෙ කොහොමද කියල. එතුමා අනුන්ගේ රූකඩයක්‌ වෙලා. මේ කරන කියන දේවල්වලින් නැති වෙන්නේ අපේ රටේ ගෞරවය, ජාතියේ අභිමානය කියල එතුමට නොතේරෙන එකයි පුදුමේ. ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් එජනිස නාම යෝජනා දෙනකොට මම යෝජනා කළා සමන්මලී සකලසුරිය, නෙවිල් පෙරේරා, සහන් ප්‍රදීප් ඇතුළු කීප දෙනෙක්‌. ඒ අයට නාම යෝජනා ලැබුණේ නැති එක ගැන මම කනගාටු වෙනවා. මොන තත්ත්වය යටතේ වුණත් අපි ආසන 113 කට වැඩි ප්‍රමාණයක්‌ ජයග්‍රහණය කරනවා. පසුගියදා මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් මේ ප්‍රතිඵලය තහවුරු වෙලා තියෙනවා. මගේ ජනප්‍රියත්වයට බයේ මට විරුද්ධව බොරු චෝදනා නගලා මාව හිරේට දාන්න උත්සාහ කරනවා. පොලිසියට ගෙන්වා ගෙන කටඋත්තර ගත්තා. මගේ බිරිඳ පොලිසියට ගෙන්වාගෙන කටඋත්තර ගත්තා. නමුත් මට විශ්වාසයි මගේ ජනතාව මාව දාලා යන්නේ නෑ.

මගෙ සහෝදරයා වෙනම දේශපාලන මතයක්‌ දරනවා. මම ඒක ගැන කනගාටු වෙන්නෙ නෑ. එයාට තියෙන දේශපාලන අත්දැකීම් අනුව එයා හරියි කියල හිතන දේ තමයි කරන්නේ. මම විශ්වාස කරනවා එතුමාත් අගෝස්‌තු 17 දායින් පසුව අපිට එකතු වෙලා කටයුතු කරයි කියලා.

Source : Divaina