කිරි කළයට ගොම තැම්බක්‌

0
598

ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය අතර එක්‌දින තරගාවලියේ තුන්වැනි තරගය ලෙසින් පෙරේදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ 34 වැනි පන්දුවාරය ක්‍රියාත්මක අතරතුර මෙරට පැවැති ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරග ඉතිහාසයේ තුච්ජතම ප්‍රේක්‍ෂක හැසිරීම සටහන් විය. එය ජාත්‍යන්තරය හමුවේ ප්‍රදර්ශනය විය. ඉතිහාසයේ පළමු වරට ප්‍රේක්‍ෂකයන්ගේ නොමනා හැසිරීමක්‌ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය ලැබූ ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරගයක්‌ අත්හිටුවීමට සිදුවිය.

ක්‍රිකට්‌ යනු දකුණු ආසියානු කලාපයේ තවත් ආගමක්‌ වැනිය. දකුණු ආසියාවේ සෙසු ටෙස්‌ට්‌ රටවල නම් මෙකී ආගමේ අන්තවාදීහු සිටින්නාහ. නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ප්‍රේක්‍ෂකයා කිසිවිටෙකත් ක්‍රිකට්‌ අන්තවාදියකු නොවීය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ප්‍රේක්‍ෂකයා විටෙක zසුදු මහත්වරුන්ටද Z වඩා යහපත් ප්‍රේක්‍ෂකයෙක්‌ විය. එබැවින් ක්‍රිකට්‌ විෂයෙහි ශ්‍රී ලාංකේය ප්‍රේක්‍ෂකයා වැදගතෙක්‌ විය. එහෙත් පෙරේදා රාත්‍රී 9.30 පමණ වන විට ලොවටම සජීවීව ප්‍රදර්ශනය වන කැමරා රැසක්‌ ඉදිරියේ ඒ සුදු සළුව කඩා වැටුණි. හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටි පකිස්‌තාන ක්‍රීඩකයෙකු සමීපයට ගලක්‌ හෝ එවැනි යමක්‌ පතිතවීමත් සමග, ඉතිහාසයේ පළමු වරට කෝලාහලයක්‌ හේතුවෙන් මෙරට පැවැති ක්‍රිකට්‌ තරගයක්‌ ඇනහිටියේය.

ශ්‍රී ලංකාව මත පරාජයේ අඳුරු සෙවනැලි වැටී තිබූ එම මොහොතේ ඒ ගල පතිතවූයේ පරාජය ඉවසාගත නොහැකි මානසිකත්වය මතින් පැනනැගුණු කුලප්පුවකින් නම් එය අතිශයින් භයානකය. ඒ ගල වැටුණේ, ජය පරාජය පිළිබඳ කිසිදු අදාළත්වයක්‌ නොමැතිව, බමන මතින් ඇනගන්නා (ඇනගන්නේ කුමන වර්ගයේ සතුන්ද යන්න පාඨකයා හඳුනනවා ඇත.) දෙපිරිසක්‌ අතර ප්‍රහාරයකදී නම් එයද අතිශයින් භයානකය. නමුත් අපට පෙනී යන පරිදි නම් පෙරේදා මේ අශික්‌කිත හැසිරීමට හේතුව එකී අතිශයින් භයානක කාරණා දෙකේම එකතුවක්‌ බවය.

මෙවැනි ක්‍රිකට්‌ තරගයක්‌ පැවැත්වෙන අතරතුර ප්‍රේක්‍ෂකයාට ක්‍රීඩාංගණය තුළට අරක්‌කු රැගෙන යැම තහනම්ය. අරක්‌කු නම් දියරය බෝතලයක බහා රැගෙන යැමට නොහැකි වුවත්, බඩේ බහා රැගෙන යැමට තහනමක්‌ නැත. ක්‍රීඩාංගණයට ඇතුළුවන ගේට්‌ටුවලදී ටිකට්‌ සහ ගමන්මළු පරීක්‍ෂාවට ලක්‌කළද ප්‍රේක්‍ෂකයාට බැලුම් පිම්බීමට නොදෙන බැවින්, අරක්‌කු බඩේ බහා සුරැකිව ක්‍රීඩාංගණය තුළට රැගෙන යා හැකිය. ක්‍රීඩාංගණය තුළට අරක්‌කු මත්පැනක්‌ වුණාට, බීර යනු සුමිහිරි පානයක්‌ වැන්න. තරගයක්‌ අතරතුර ප්ලේන්ටියක්‌ බීමට තැනක්‌ ක්‍රීඩාංගණය තුළ නොමැති නමුත් බීර ටැංකි පිටේ බැඳගත් මල්ලිලා ළඟටම විත් ඇති පදමට බීර බෙදන්නේ එය ශ්‍රී ලංකාවේ ජාතික පානය යෑයි හැඟෙන තරමේ උජාරුවකිනි. අන්තිමේදී එක්‌කෝ බීර ගුදමක්‌ බවට පත්වූ බඩක්‌ හෝ නැතිනම් බීර සහ අරක්‌කු කවලම් වූ බඩගෙඩියක්‌ විසින් මොල ගෙඩියේ පාලනය අතට ගනු ලැබේ. අවසානයේ ඔවුන් මත්වන්නේ ජාත්‍යාලයෙනි. රටට හෙණ ගැහුවද හැඟීමක්‌ නැතිවුන්ට මෙවන් විටක ප්‍රතිවාදී රටේ ක්‍රීඩකයා එල්ල කළ හතරේ පහර, ජාතියට තැබූ වෙඩිල්ලක්‌ මෙන් දැනේ. තමන්ගේ රටේ කණ්‌ඩායමේ කඩුල්ලක්‌ බිඳවැටීම, රටේ ඇදවැටීම මෙන් දැනෙයි. බුද්ධියේ බැමි කඩාගෙන ජාත්‍යාලය මතුවෙයි. පෙරේදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30 ට පමණ සිදුවූයේ එවැන්නකි. අවසානයේ මෙතෙක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රේක්‍ෂකයා පිළිබඳ ජාත්‍යන්තරයේ තිබූ අභිමානවත් ප්‍රතිරූපය බිඳී ගියේය. කිරි කළයට ගොම බිඳුවක්‌ නොව, ගොම තැම්බක්‌ වැටුණි.

මෙවැනි ක්‍රිකට්‌ ප්‍රේක්‍ෂකයන් නොසිතන දෙයක්‌ මෙසේ මතක්‌ කර දෙන්නෙමු. ඒ, ක්‍රිකට්‌ යනු අපම ගොඩනගාගත් සංකල්පයක්‌ හෝ සම්මුතියක්‌ බවයි. මිටක්‌ සහිත ලෑලි කෑල්ලකට බැට්‌ එක යෑයි හැඳින්වීම සම්මුතියකි. පන්දුවද එවැනිම සම්මුතියකි. ඉනි තුනක්‌ සිටවා තැනෙන zකඩුල්ලZද සම්මුතියකි. පන්දුව කඩුල්ලේ වැදීම හෝ පිත්තේ වැදී බිම වැදීමට පෙර අල්ලාගැනීමට zදැවී යැමZ නමැති සම්මුතියකින් හඳුන්වමු. සෙසු ක්‍රිකට්‌ නීති රීති සියල්ලද එසේය. එහි ජය පරාජයද එසේය. අවසානයේ, මේ අපම ගොඩනගාගත් සම්මුතියක්‌ හෝ සංකල්පයක්‌ බව අපටම අමතකව කඩුල්ලක්‌ වෙනුවෙන්, ලකුණක්‌ වෙනුවෙන්, එයින් උපදින ජයක්‌ හෝ පරාජයක්‌ වෙනුවෙන් මරාගන්නෙමු. මොන මෝඩ වැඩක්‌ද…

Source : Divaina