අපේ රටට කළු පැල්ලමක් එක් කළ කළු ජූලියට මෙම මස 23 වැනි දිනට වසර තිස්‌තුනක් පිරෙන්නේය. එදා මුළු රටම කැළඹූ කළු ජූලියට ආසන්නතම හේතුව වුයේ යාපනය කන්කසන්තුරේ තින්නවේලි මාර්ගයේ දී හමුදා භට පිරිසට එල්ල වූ එල් ටී.ටී.ඊ ත්‍රස්‌තවාදී ප්‍රහාරයයි. එම ප්‍රහාරයේදී කර්නල් වාස් ගුණවර්ධන ඇතුළු යුද හමුදා භටයෝ 13 දෙනකු එකවර මිය ගියහ.
කොටි ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රහාරයෙන් මියගිය හමුදා භටයන්ගේ මළ සිරුරු යාපනයේ සිට ගුවනින් ගෙනැවිත් අවසන් කටයුතු සිදුකරනු ලැබුවේ බොරැල්ල කනත්තේය. මේ ත්‍රස්‌ත ප්‍රහාරයත් සමඟ සිංහල ජනතාව දැඩි තැතිගැන්මකට ලක්‌ව සිටියහ. එදින පස්‌වරුවේ කොළඹ නගරයෙන් පටන්ගත් ජාතිවාදි ගිනිදැල් මුළු රට පුරාම පැතිරී ගියේය. මින් ප්‍රයෝජනගත් අන්තවාදි පිරිසක් දෙමළ ජනතාවගේ කඩ සාප්පු ගිනි තබමින් ඔවුන්ට නොයෙකුත් හිරිහැර කරමින් කටයුතු කරනු ලැබූහ. මේවාට ඇතැම් දේශපාලනඥයන් උඩගෙඩි දෙනු ලැබිය.
සුළු පිරිසක් විසින් කරනු ලැබු මෙම සිද්ධීන් නිසා අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ දැඩි අපකීර්තියට ලක්‌විය. රජයේ ගණන් හිලව්වලට අනුව කළු ජූලියෙන් 471 දෙනෙකු මරණයට පත් විය. 3769 දෙනෙකු තුවාල වුහ. මංකොල්ලකෑම් 3835 ක් වූ බවට වාර්තා විය. තවත් විශාල පිරිසක් අනාථ වූහ. ඒ කොයිහැටි වුවද මේ කෝලහලයේ දී දෙමළ සහෝදරවරුන්ට රැකවරණය දීමට අපේ සිංහල සහෝදරවරු ඉදිරිපත් වුහ. දෙමළ සහෝදරවරුන්ගේ ජීවිත බේරා දීමට සිංහල සහෝදරවරුන් කටයුතු කළහ. එදා දකුණේ අගනගරය වූ ගාල්ල නගරයද කළු දුමාරයෙන් වැසී ගියේය. එහෙත් කිසිදු ජීවිත හානියක් සිදු වූ බවට වාර්තා නැත. ගාල්ල නගරය සිංහල, දෙමළ, මුස්‌ලිම්, ජාතීන් දිවි ගෙවන නගරයකි. එදා මෙන්ම අදත් ගාලු නගරයේ සිංහල, දෙමළ, මුස්‌ලිම්, ව්‍යාපාරිකයෝ සහෝදරත්වයෙන් කටයුතු කරති. ඒ මිතුදම සහෝදරත්වය මොවුන් අතර අදත් පවතී.
ව්‍යාපාරිකයකු වන ඒ. මානික්‌කම් ගේ දැන් වයස අවුරුදු අසූවකි. කළු ජුලියේ නොයෙකුත් අමිහිරි අත්දැකීම් ඇතත් මානික්‌කම්ලාට එවැනි අමිහිරි අත්දැකීම් අත්විඳීමට සිදු වූයේ නැත. ගාල්ලේ සිංහල සහෝදරවරු මානික්‌කම්ලාට රැකවරණය ලබාදුන්හ.
”කළු ජූලිය ඇතිවන විට එවකට ගාල්ලේ මහජන මන්ත්‍රීවරයා වුණේ ආචාර්ය විජයානන්ද දහනායක මහත්තයා. එතුමා අපට රැකවරණය ලබා දුන්නා. කළුවැල්ලේ තමයි වැඩිම රත්තරන් බඩු සාප්පු තියෙන්නේ. චෙට්‌ටියාර්වරු හිටපු කිත්තන්ගෙයත් තිබුණේ කළුවැල්ලේ. අපි මේ ස්‌ථානයෙන් ඉවත් කරන්න හැදුවේ. නමුත් දහනායක මහත්තයා අපිව ඉවත් කරන්න දුන්නේ නැහැ. ඔය අය මෙතනම ඉන්න… මම බලාගන්නම් කියලා කීවා. ඇත්තටම එතුමාට මා අදත් ප්‍රශංසා කරනවා.”
”පස්‌සේ කළුවැල්ල ප්‍රදේශය කඳවුරක් බවට පත් කළා. ඩී.එස්.අයි මුදලාලිට හොඳට දෙමළ කථා කරන්න පුළුවන්. ඔහු මට ඇවිල්ලා කීවා ගේ ඇතුළට වේලා ඉන්න කියලා. ඇත්තටම සිංහල සහෝදරවරු මෙන්ම ආරක්‌ෂක අංශ අපට ආරක්‌ෂාව ලබා දුන්නා. ගාල්ලේ හිටපු දෙමළ ව්‍යාපාරිකයො ඔක්‌කොම හිටියේ කිත්තන්ගෙයි. දහසක් විතර දෙමළ අය හිටියා. මේ සිද්ධිය වනවිට මම හිටියේ අක්‌මීමන ලෙච්චමි වත්තේ. පොලිස් ආරක්‌ෂාව යටතේ තමයි ආවේ. ඇත්තටම මගේ දැනීමේ හැටියට මේ සිද්ධියේ දී ගාල්ලේ කවුරුවත් මැරුණේ නැහැ. එක් අයෙක් කපලා කොටලා තිබුණා. ඒ පුද්ගලයාත් තමන්ගේ වාහනයේ දමාගෙන රෝහලට රැගෙන ගියේ සිංහල අයෙක්.”
”දහනායක මහත්තයා අපි ගැන සොයා බැලුවා. මාසයක් විතර මෙතන ක`දවුර තිබුණා. දෙමළ පවුල් කිහිපයක් සිංහල අය විසින් බේරාගෙන තියෙනවා. සමහරක් දෙමළ පවුල් සිංහල අයගේ ගෙවල් වලත් හිටියා. ඇත්තටම ඒ අවස්‌ථාවේ සිංහල අයත් අවදානමක් අරගෙන තමයි, එවැනි දේවල් කළේ. මේ ක`දවුරේ කෝටිපති දෙමළ ව්‍යපාරිකයාගේ සිට සාමාන්‍ය දෙමළ අයත් හිටියා. හමුදාව ආරක්‌ෂාවට යොදවා සිටියා. වෙළෝදසල්වල තිබු රන් භාණ්‌ඩ පොලිස් ආරක්‌ෂාව යටතේ ගෙනිහින් බැංකුවල තියෙන සේප්පුවල තැන්පත් කළා. උණවටුන දේවාලයේ තිබූ වේල් කරත්තය නම් ගිනි තිබ්බා. නමුත් ඉතා සුළු පිරිසක් තමයි මේ වගේ දේවල් කළේ.”
”සිංහල කෙනෙකුගේ ගෙදර තමයි, අපේ ගෙදර තිබූ භාණ්‌ඩ තියලා තිබුණේ. සිංහල අය ඇවිත් අපේ සුවදුක් බලලා ගියා. ගාලු නගරයේ ජාතීන් තුනක් ඉන්නවා. ආගම් හතරක් තියෙනවා. අදටත් කිසිදු ගැටුමක් නැතිව සහෝදරත්වයෙන් ජීවත්වෙනවා” යෑයි ඒ. මානික්‌කම් කිවේය.
83 ජුලි මස 23 වැනිදා කොටි ත්‍රස්‌තවාදීන් එල්ල කළ ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවාගෙන දැනට ජීවත්ව සිටින එකම රණවිරුවා වන්නේ උපාලි පෙරේරා ය. හේ ගාල්ල අරඹවෙල මාවතේ පදිංචිව සිටින්නේය. හේ එක් අවස්‌ථාවකදි කොටි ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රහාරයකට ලක්‌වන්නේය. පසුව සුවය ලබා නැවත යුද බිමට යන්නේය. යුද බිමේදී අවස්‌ථා ගණනාවකදී උපාලි කොටි ත්‍රස්‌තවාදින්ගේ ප්‍රහාරවලට ලක්‌ව තුවාල ලබන්නේය. යුද්ධය නිමවීමෙන් පසු උපාලි පෙරේරා කොටි ත්‍රස්‌තවාදීන් පුනරුත්ථාපනය කිරිමේ කටයුතු ස`දහා එක්‌වන අතර හේ පුනරුත්ථාපන නිලධාරියකු වශයෙන් කටයුතු කර දැන් විශ්‍රාම සුවයෙන් පසුවන්නේය. මිට වසර තිස්‌තුනකට පෙර කළු ජූලියට මඟ පෑදූ ඒ අමිහිරි සිදු වීම ඔහු සිහිපත් කරන්නේය.
”මේ කාලය වන විට කොටි සංවිධානය ටිකෙන් ටික ශක්‌තිමත් වෙමින් තමයි හිටියේ. 83 වසරේ ජුලි මස 23 වැනිදා කර්නල් වාස් ගුණවර්ධන ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් භට කණ්‌ඩායමක් ජංගම මුර සංචාරයක් සඳහා මාදගල් යුද හමුදා කඳවුරෙන් පිටත් වුණා. ඒ කණ්‌ඩායමේ පෙර අණ දෙන්නා වශයෙන් කටයුතු කළේ මමයි. යාපනය කන්කසන්තුරේ මාර්ගයේ තමයි ජංගම මුර සංචාරය කළේ. ජංගම මුර සංචාරයේ යෙදිලා කඳවුරට එනවිට තින්නවේලි හන්දිය පසු කරන විට තමයි, එකවරම බෝම්බ හා වෙඩි වර්ෂාවක් අපි ගමන් කරමින් හිටපු ජීප් රථයට හා ට්‍රක් රථයට එල්ල වුණේa. අපට කිසිදෙයක් හිතා ගන්න බැරි වුණා. බෝම්බ කෑලි හා වෙඩි වැදිලා එකා දෙන්නා මැරිලා වැටෙනවා මම දෑසින්ම දැක්‌කා.”
”අන්තිමට ඉතිරි වුණේa ලාන්ස් කෝප්‍රල් සුමතිපාලයි මමයි විතරයි. විනාඩි විස්‌සක් විතර සටන පැවතියා. පසුව අතිරේක භට පිරිස් ඇවිත් මමයි සුමතිපාලයි යාපනය රෝහලට ඇතුළත් කළා. පසුව ගුවනින් අපි දෙදෙනාම කොළඹ ජාතික රෝහලට රැගෙන ආවා. මේ ප්‍රහාරයෙන් මුළු රටම කැළඹුණා. මිය ගිය රණවිරුවන්ගේ සිරුරු පවුලේ අයට භාර දුන්නේ නැහැ. කොහොම හරි එදා මා වෙනුවෙන් කොළඹ කනත්තේ මිනීවළකුත් කපා දමා තියෙනවා. මාවත් මිය ගියා කියලා. බිරි`දට පණිවුඩය ලැබිලා තිබුණේ. බිරි`ද කොළඹ ගියේ මගේ මළ සිරුර භාරගන්න.” උපාලි පෙරේරා ඒ අතීත සිද්ධීන් සිහිපත් කළේය.
ඒ විතරක් නොව නොමඟ ගිය එල්.ටී.ටී.ත්‍රස්‌තවාදීන් යළි පුනරුත්ථාපනය කිරිමේදි උපාලි පෙරේරා පුනරුත්ථාපන නිලධාරියකු වශයෙන් සුවිශේෂී වූ කාර්යභාරයක් සිදු කළේය.
”ඇත්තටම මේ කාලය තුළ එල්.ටී.ටී. ත්‍රස්‌තවාදීන් 12,500 ක් විතර පුනරුත්ථාපනය කළා. කුඩා සොල්දාදුවන්ද පුනරුත්ථාපනය කළා. කොටි සංවිධානයේ සන්නද්ධ අංශයේ, දේශපාලන අංශයේ හා වෛද්‍ය බළකායේ හිටපු අයත් හිටියා. ඒ අයගේ උගත්කම හා දක්‌ෂතාව අනුව කණ්‌ඩායම්වලට බෙදලා වෘත්තීය පුහුණුව සඳහා යොමු කළා. වෛද්‍ය සිසුන්ට විශ්වවිද්‍යාල වලින් දේශකයින් ගෙනැවිත් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න අවස්‌ථාව ලබා දුන්නා.”
”ගොඩක් අය බලහත්කාරයෙන් තමයි, කොටි සංවිධානයට බ`දවාගෙන තිබුණේ. ඇතැම් අය සිංහල මිනිසුන් දැකලා තිබුණේ නැහැ. අපේ හමුදාව ගැන වැරදි චිත්‍රයක් තමයි දිලා තිබුණේ. පසුව ඒ අය සත්‍ය තේරුම්ගත්තා. අපේ හමුදාව විනයගරුක හමුදාවක්. ඇත්තටම මේ අයට දුන්නේ හමුදා සොල්දාදුවන්ට දෙන කෑම වේලමයි. දැන් මේ අය සමාජගතවෙලා නොයෙකුත් වෘත්තීන් කරනවා. මෙහි සිටි වැඩි දෙනෙකුට තමන්ගේ දෙමව්පියන් අහිමිවෙලා තිබුණා. අප සියලුදෙනා සහෝදරත්වයෙන් ජීවත්විය යුතුයි. දෙමළ ජාතිවාදීන් මෙන්ම සිංහල ජාතිවාදීන් ද ඉන්නවා.” යෑයි උපාලි පෙරේරා කිවේය.
”මේ දිනවල සංහිඳියාව ගැන වැඩිපුරම කතා කරති. සැබවින්ම යුද ගැටුම් ඇතිවීමට පෙර සිංහල, දෙමළ, මුස්‌ලිම් ජන කොටස් දැඩි සහෝදරත්වයකින් ජීවත් වුහ. මේ ජාතීන් අතර පැවතියේ දැඩි මිතු දමකි. රුහුණේ මී කිරි යාපනයට ගිය අතර යාපනයේ කර්තකොලම්බන් අඹ දකුණට ආවේය. දකුණේ අය යාපනයේ බේකරි කර්මාන්තයේ නිරත වුහ. යාපනයේ වෙළෝදුන් දකුණේ වෙළෙඳාම් කළේය. මේ ජාතීන් දෙක අතර යම් හිත් බිඳීමක් වී තිබේ. ඒ බිඳුණු හිත් නැවතත් සුවපත් කළ යුතුය. එය කිරිම එතරම් අපහසුකාරියක් නොවේ. සංහි`දියාව ඇති කිරිමේදී මේ දෙපාර්ශවයේම සිටින අන්තජාතිවාදීන් ඊට අකුල් හෙළති.
අපට සංහිඳියාව ඇති කරන්නට විදේශවල ටියුෂන් අවශ්‍ය නැත. ඔවුන්ගේ අනුගාමික හිතවත් පාර්ශවද අවශ්‍ය නැත. සංහඳියාව අපේ සංස්‌කෘතිය තුළ පැවති නියත අංගයකි. එහෙත් අශ්ලීල බලලෝභීහු මේ උත්තම සංස්‌කෘතික වටිනාකම මතු=වන්නට ඉඩ නොදෙති. කළු ජූලියට තිස් තුන් වසරක් පිරෙන මොහොතේ අප වටහා ගත යුතුව ඇත්තේ ඒ යථාර්ථයයි.
ලලිත් චාමින්ද – ගාල්ල