බිහිසුණු අපරාධ කළ ත්‍රස්‌තවාදීන් දේශපාලන සිරකරුවන්ද?

0
923

මගී බස්‌ රියක්‌ තුළ ක්‌ලේමෝ බෝම්බයක්‌ අටවා මගීන් 27 ක්‌ ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොටි ත්‍රස්‌තවාදීන් දෙදෙනකු වූ තංගවේලු නිමලන් හෙවත් සෙල්වම් සහ නඩේසන් කුහනාදන් හෙවත් නෙන්රිල් නැමැත්තන්ට දැන් චෝදනා එල්ලවී ඇත. මේ එක්‌ ත්‍රස්‌ත ක්‍රියාවකි. එහෙත් මගීන් 56 ක්‌ රැගත් ලයන් එයාර් යානාව මිසයිල ප්‍රහාරයකින් වැනසීම, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කර මහා විනාශයක්‌ සිදුකිරීම, හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කර සෙබළුන් මරා දැමීම, ගම්මානවලට ප්‍රහාර එල්ලකර සිවිල් වැසියන් ඝාතනය කිරීම ඇතුළු බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියා රැසකට සම්බන්ධ මිනීමරු ත්‍රස්‌තයන් රැඳවුම් භාරයේ සිටී.

මේ බිහිසුණු අපරාධ කළ ත්‍රස්‌තයන් හෙවත් ඝාතකයන්ව උතුරේ ද්‍රවිඩ සන්ධානය මෙන්ම විවිධ සංවිධාන හඳුන්වන්නේ දේශපාලන සිරකරුවන් ලෙසයි.

එසේනම් ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනය කළ ධනු නැමැති කොටි මරාගෙන මැරෙන බෝම්බකාරියද? දේශපාලන ක්‍රියාවක්‌ සිදුකළ තැනැත්තියක්‌. රජීව් ගාන්ධි ඝාතනයට වරදකරුවී සිටින පෙරුවිලන් සහ නාලනී ඇතුළු වරදකරුවන් දේශපාලන සිරකරුවන් යයි කිව හැකිද?

මේ සතියේ දිනෙක යාපනයේ මධ්‍යම බස්‌ නැවතුම්පළ අසලදී දේශපාලන සිරකරුවන් මුදාහරින ලෙස ඉල්ලමින් විරෝධතාකරුවන් පිරිසක්‌ උද්ඝෝෂණයක්‌ පවත්වා ඇත.

එම විරෝධතාවයට ටී සිද්ධාර්ථන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් එම්. කේ. සිවාජිලිංගම්, එස්‌. කඡේන්ද්‍රන්, මයුරන් සුහිකරන් සෙන්නිල්වේලි, පී. තජබ්දීන්, සර්වේස්‌වරන් සහ උතුරේ දේශපාලකයන් සම්බන්ධ වී තිබේ.

මොවුන්ගෙන් වැඩිදෙනා උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ය. එස්‌ කඡේන්ද්‍රන් යනු හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයෙකි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළදී උතුරේ සෙබළුන් 10000 ක්‌ පෙට්‌ටිවලින් කොළඹට එවන බවට තර්ජනය කළේ මොහුයි.

මෙම විරෝධතාකරුවන් ශ්‍රී ලංකා රජයට කියන්නේ රැඳවුම් භාරයේ සිටින කොටි ඝාතකයන් නිදහස්‌ කරන ලෙසය. ලොව කිසිම රටක්‌ දරුණු අපරාධ කළ ත්‍රස්‌තයන් මුදාහරින්නේ නැත. ඉන්දියාව පවා ත්‍රස්‌තවාදීන් සිරගත කර ඇත. ඇතැම් ත්‍රස්‌තයන්ව එල්ලා මරාදමා ඇත.

එහෙත් මෙරට බිහිසුණු අපරාධ කළ කොටි ත්‍රස්‌තයන් මුදාහරින ලෙස උතුරේ ද්‍රවිඩ දේශපාලකයෝ ඉල්ලා තිබේ.

මේ කොටි ත්‍රස්‌තයන් මුදාහැරියොත් ඔවුන් නිසා විපතට පත්වූවන්ට යුක්‌තිය හිමිවේද?

එසේම මෙරට ස්‌ථාපිත කෙරෙන දේශීය යාන්ත්‍රණය ඉදිරියට මෙම කොටි ත්‍රස්‌තයන් ඉදිරිපත් කළ හැකියි.

රැඳවුම් භාරයේ සිටින කොටි අපරාධකරුවන්ව දේශපාලන සිරකරුවන් යෑයි හඳුන්වමින් ඔවුන්ව නිදහස්‌ කරන ලෙස ඉල්ලමින් වැලිකඩ සිරගෙය ඉදිරිපිටදී විරෝධතාවයක්‌ පවත්වා ඇත.

ඊට ලංකා ගුරු සංගමය සහ අළුත් පරපුර නමින් හිටිහැටියේ අටවා ගත් සංවිධානයක්‌ද සම අයිතීන් සංවිධානය ඇතුළු සුළුතර පක්‍ෂ ක්‍රියාකාරීන් සහභාගිවී තිබේ.

ප්‍රභාකරන් විසින් වැලිවේරිය, දෙහිවල දුම්රිය බෝම්බය, කොටුව දුම්රියපළේ බෝම්බය, කටුබැද්ද, පිළියන්දල බස්‌ බෝම්බ, නුගේගොඩ නෝලිමිට්‌ බෝම්බය වැනි බෝම්බ පිපිරීම් සිදුකර අහිංසක ජීවිත වනසද්දී මේ අලුත් පරපුර වැනි සංවිධාන සිටියේ කොහේද?

මේ දේශපාලන සිරකරුවන් යෑයි හඳුන්වන රැඳවුම් භාරයේ සිටින කොටි ත්‍රස්‌තයන් වසර ගණනක්‌ සිරගතව සිටින බවටද විරෝධතාකරුවන් පවසා ඇත.

එහෙත් ඇමරිකාව ගුන්තනාමෝබේ සිරකඳවුරේ ත්‍රස්‌තවාදී සැකකරුවන් වසර 10 කට අධික කාලයක්‌ රඳවාගෙන සිටි බව මොවුන් දනී. ඔවුන්ව දේශපාලන සිරකරුවන් යෑයි ඇමරිකාව හැඳින්වූයේ නැත.

මෙරට දණ්‌ඩ නීති සංග්‍රහය කොටි ත්‍රස්‌තයන්ට සාමාන්‍ය ජනතාවට ද්විත්ව පිළිවෙතකට ක්‍රියාත්මක නොවිය යුතුය.

රැඳවුම් භාරයේ සිටින්නේ බිහිසුණු ත්‍රස්‌තයන් මිස අහිංසකයන් නොවේ. මොවුන් අනිවාර්යෙන්ම දඬුවම් විඳිය යුතුය. මගී බස්‌ රථවල ක්‌ලේමෝ බෝම්බ තබන්නන් දේශපාලන සිරකරුවන් යෑයි කිව හැකිද?

ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකර ඇති බවට චෝදනා එල්ල කරන උතුරේ ද්‍රවිඩ දේශපාලකයන් හමුදාවට දඬුවම් කරන ලෙස ඉල්ලමින් යුද අපරාධ සිදුකළ කොටි ත්‍රස්‌තයන් මුදාහරින ලෙස ප්‍රකාශ කිරීමෙන් යුක්‌තිය ඉටුවේද?

කොටි සංවිධානය ත්‍රස්‌ත සංවිධානයක්‌ මිස දේශපාලන පක්‍ෂයක්‌ නොවේ. ප්‍රභාකරන් දේශපාලනඥයකු නොව බිහිසුණු මනුෂ්‍ය ඝාතකයෙකි. මේ පසුබිම මැද මුදාහරින ලෙස ඉල්ලන්නේ මෙරට භීෂණයක්‌ දියත් කළ ත්‍රස්‌තයන්ය.

කීර්ති වර්ණකුලසූරිය
– Divaina