මොරගහකන්දේ වතුර වලටත් පරිපාලන පංගුව ඉල්ලන මහ ඇමැති පිස්‌සුව

0
1186

තිවාදී පුවත් මවන උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේස්‌වරන් ඔන්න මේ දවස්‌වල ආයෙත් නළුවෙක්‌ වෙලා. කතා කරන්නෙම සිංහල මුස්‌ලිම් මිනිස්‌සු උතුරේ පදිංචි කරවන්න එපාම කියලා තමයි.

මේක ගැන අපි පුදුම වෙන්න දෙයක්‌ නැහැ. උතුරු පළාතේ මහ ඇමැති වෙලා උන්නැහැ කරපු පළවෙනි කතාවෙන්ම කිව්වේ උතුරෙන් හමුදාව එලවන්න පියවර ගන්න ඕනේ කියලයි. සිංහල භාෂාව කතා කරන පොලිස්‌ නිලධාරීන් යවලා දෙමළ භාෂව කතා කරන පොලිස්‌ පිරිසක්‌ උතුරට එවන්න ඕනේ කියලත් ඔහු ඉල්ලීමක්‌ කළා.

මේ විග්නේස්‌වරන් කියන්නේ මේ රටේ හිටපු විශ්‍රාම ගිය මහාධිකරණ විනිසුරුවරයෙක්‌ කියලා හැමෝම දන්නවා. එතුමා මහ ඇමැති වුණත් එක්‌කම ඔහුට දකණේ සිංහල ජනතාව ගොඩක්‌ ආදරය කළා. ඒ වගේම ලොකු විශ්වාසයකුත් දකුණේ සිංහල ජනතාව එතුමා කෙරෙහි තැබුවා. මේකට ලොකුම හේතුව වුණේ විග්නේස්‌වරන් මහත්තයගේ පවුලට එහෙන් මෙහෙන් සිංහල බලගතු චරිත කීපයක්‌ම එකතුවෙලා ඉන්න නිසයි.

යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල, දෙමළ සිසුන් අතරේ ගැටුමක්‌ වුණත් එක්‌කම මහ ඇමැති සී. වී. විග්නේස්‌වරන් කුලප්පු වුණා. එක පැත්තකින් ඔහු කිව්වේ මේකට සාධාරණ කොමිසමක්‌ පත්කරන්න ඕනේ කියලයි. අනෙක්‌ පැත්තට ඔහු කිව්වේ දෙමළ සංස්‌කෘතියට, දෙමළ ගතානු ගතිකත්වයට පීඩා කරන අකුල් හෙලන සිංහල බලවේග උතුරු පළාතෙන් ඉවත් කළ යුතුයි කියලයි. ඔහු නොකියා කිව්වේ සිංහල සිසුන් යාපනය විශ්වවිද්‍යාලයට නොපැමිණීම හොඳ බවයි.

සිංහල අය නැටුමක්‌ නටන්න ඕනේ ඔවුන්ගේ දකුණු පළාතේ ඉඳලා කියලත් ඔහු කිව්වා. මේකට හේතුව වුණේ යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන් වෙස්‌ නැටුමක්‌ ඉදිරිපත් කිරීමේ සිද්ධියයි. සිංහල සිසුන් වෙස්‌ බැඳගෙන ඇවිත් උතුරු පළාතේ මහ නැස්‌පැත්තියක්‌ කරයි කියලා විග්නේස්‌වරන් හැමෝටම කිව්වා. හැබැයි මෙතනදී විග්නේස්‌වරන් විතරක්‌ නෙමෙයි අපේ සිංහල බොහොම දෙනකුත් කිව්වේ යාපනයට ගිය සිංහල ශිෂ්‍යයෝ තමන්ගේ පාඩුවේ ඉගෙන ගන්නේ නැතුව මොන කෙංගෙඩියකටද සිංහල නැටුම් නටන්න ගියේ කියලයි. මේ සිංහලයන්ගේ සිංහලකම ගැන බොහොම දෙනකුට ප්‍රශ්න මතුවුණා .

කොහොම හරි මේ ලිපිය ලියන මොහොත වෙනකොටත් යාපනය විශ්වවිද්‍යාලයේ අර්බුදය සමතයකට පත්වෙලා නැහැ. සිංහල සිසුන් විශ්වවිද්‍යාලයට සියලුම දෙනා සහභාගිවෙලා නැහැ. ඔවුන්ගේ දෙමවුපියන් කියන්නේ මේ සිසුන්ගේ ආරක්‌ෂාව වෙනුවෙන් කවුද වගකියන්නේ කියන කාරණයයි.

වවුනියාවේ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට වුණත් මේකම තමයි. මේ විද්‍යා පීඨයට ආව ගිය සිංහල අයව කොටි වේශයෙන් ආපු පිsරිසක්‌ වෙඩි තියලා මරලා දැම්මා. බියට පත්වුණ සිංහල සිසුන් හා ආචාර්යවරු වවුනියාවෙන් පලා ගියේ පැදුරටත් නොකියයි. කොහොම හරි යුද්දේ අවසන් වුණා. දැන් වසර හතකුත් ගතවෙලා. ඒත් වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය සිංහල සිසුන් සඳහා විවෘත වෙලා නැහැ. ජාතික කියන වචනය සීමා වෙලා තියෙන්නේ දැන් බෝඩ් ලෑල්ලට විතරයි.

යාපනය විශ්වවිද්‍යාලයටත් දැන් හඬන්න යන්නේ මේ කණකොකාමයි. ජාතිවාදයට උඩගෙඩි දෙන පිරිස කවදාවත් මේක හිතන්නේ නැහැ. මොනව හරි සිද්ධියක්‌ වුණ ගමන් සිංහලයි, දෙමළයි කියලා බෙදලා වෙන් කරනවා. සිංහල ජාතිවාදී බලවේග එහෙම කරනකොට දෙමළ ජාතිවාදී බලවේග තවත් දාහක්‌ දේ කරනවා. දැන් මෙතැන නායකත්වය අරන් ඉන්නේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේස්‌වරන් කියලා හැමෝම දන්නවා.

විග්නේස්‌වරන්ගේ මේ ක්‍රියා කලාපය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා විවේචනයට ලක්‌ කරලා තිබුණා. ඒ විතරක්‌ නෙමෙයි. දකුණේ බලවේග කරන කුලප්පු කිරීම් මේ වෙලාවේදී උතුරේ ඇති කරන්න එපා කියලත් සම්බන්ධන් මන්ත්‍රීවරයා විග්නේස්‌වරන්ට දෙහි කපලා තිබුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහත්තයා මහනුවර ඉඳල කොළඹට පාද යාත්‍රාවක්‌ යන්නේ රට බෙදනවා කියන කතාවක්‌ එක්‌ක, සිංහල ජනතාව රවටගෙන කියලත් ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා විග්නේස්‌වරන්ට කිව්වා. දකුණේ විශාල පිරිසක්‌ බොරුවට හරි එහෙම කියන කොට උතුරේ දෙමළ බල වේගත් ජාතිවාදය වපුරන්න ගියොත් මේක හරියන සෙල්ලමක්‌ නෙමෙයි කියලා සම්බන්ධන් මන්ත්‍රීවරයා විග්නේස්‌වරන්ට පෙන්වලා දුන්නා.

රටේ ප්‍රධාන දේශපාලන පක්‌ෂ දෙකත් දෙමළ ජාතික සන්ධානයත් හවුල් කරගෙන බහුතරයක්‌ හදාගෙන යන මේ ගමනේදී නව ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සිද්ධ වෙන්න යන කාරණයත් සම්බන්ධන් මන්ත්‍රීවරයා පැහැදිලි කළා.

මේ වගේ වෙලාවක ජාතිවාදය ගැන කතා කිරීම ගොඩක්‌ අනතුරුදායකයි කියන කාරණය සම්බන්ධන් මන්ත්‍රීවරයා විග්නේස්‌වරන්ට පැහැදිලි කරලා දුන්නා. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් යම් දෙයක්‌ ලබාගන්න කියන එකම අවස්‌ථාව නව ව්‍යවස්‌ථා සංශෝධන පමණයි කියල සම්බන්ධන් මන්ත්‍රීවරයා කිව්වා.

මේ ව්‍යවස්‌ථා සංශෝධනය රට බෙදන උගුලක්‌ කියලා දේශපාලන වාසි ගන්න විශාල පිරිසක්‌ දකුණේ කෑගහද්දී උතුරේ දෙමළ අයත් ජාතිවාදය ගැන කතා කරන කොට මුළු රටම ගිනිගන්න නිසා සියලු දෙනාම ඉතාම ඉවසීමෙන් කටයුතු කරන විදිහට සම්බන්ධන් මන්ත්‍රීවරයා විග්නේස්‌වරන් ඇතුළු පිරිසගෙන් ඉල්ලා සිටියා.

සම්බන්ධන් මන්ත්‍රීවරයගේ මේ ප්‍රකාශය හන්දා දෙමළ ජාතික සන්ධානයේ බොහෝ දෙනෙක්‌ දැන් එක එක තැන සම්බන්ධන් ගැන බොහෝ දේ කියනවා. ඒකටත් හේතුවක්‌ තියෙනවා. ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා මේ රටේ විපක්‌ෂ නායකවරයා නොවී දෙමළ ජාතික සන්ධානයේම නායකයා විතරක්‌ වෙලා හිටියානම් සම්බන්ධන් මන්ත්‍රීවරයාගෙන් අපිට අහන්න ලැබෙන්නේ ඔය විග්නේස්‌වරන් ප්‍රධාන ඇමැති කියන කතා ටිකම විතරයි. රටේ තියන දේශපාලන කුජීත කමට ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා විපක්‌ෂ නායකවරයා වුණු නිසා තමයි ඔහුගේ කටින් ඒ වගේ ජාතිවාදී ප්‍රකාශන පිටනොවන්නේ කියලා හැමෝම දන්නවා.

සම්බන්ධන් මන්ත්‍රීවරයා කොච්චර දෙහි කැපුවත් සී. වී. විග්නේස්‌වරන් ප්‍රධාන ඇමැතිවරයා නිහඬ වුණේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මොරගහකන්ද ජලාශයේ වැඩකටයුතු ආරම්භ කළදාට පහුවදා ජපානයේ ජයිකා නියෝජිතයන්ට සී. වී. විග්නේස්‌වරන් ආයෙත් වෙට්‌ටුවක්‌ දැම්මා.

ජපානයේ ජයිකා නියෝජිතයන් යාපනයට ආවේ මොරගහකන්ද ජලාශය නිසා උතුරු පළාතට ලැබෙන ප්‍රතිලාභ ගැන උතුරේ දේශපාලන අධිකාරිය දැනුවත් කිරීම පිණිසයි. ජයිකා නියෝජිතයන්ගේ දේශනවලින් පස්‌සේ නැගී හිටපු සී. වී. විග්නේස්‌වරන් ප්‍රධාන ඇමැතිවරයා තමන්ගේ දේශනය ආරම්භ කළේ මෙහෙමයි.

“මහවැලි වතුර උතුරට ලබාදීම ගැන අපේ කිසිම විරුද්ධත්වයක්‌ නැහැ. මේක ඉතාම හොඳ වැඩක්‌. අපි සතුටු වෙනවා වගේම ආණ්‌ඩුවට ස්‌තූතියත් පිරිනමනවා.

හැබැයි මේ ව්‍යාපෘතියේ තනි අයිතිය මධ්‍යම රජයට විතරක්‌ තියෙන්න දෙන්න බැහැ. මේක නිසා බොහෝ ප්‍රශ්න එන්න පුළුවන්. ප්‍රධාන කාරණය තමයි උතුරට මහවැලි වතුර එනකොට ඒත් එක්‌ක ආණ්‌ඩුව දකුණේ සිංහල මිනිස්‌සු ගෙනත් උතුරේ පදිංචි කරනවා. සිංහල ජනාවාස ඇතිකරනවා. මේකට අපි විරුද්ධයි. මේ නිසා උතුරු පළාත තුළ නොයෙකුත් ප්‍රශ්න ඇතිවෙනවා.

මේ හින්දා මේ ව්‍යාපෘතියේ සම්පූර්ණ බලතල මධ්‍යම රජයට විතරක්‌ අයිති වෙන්න දෙන්න බැහැ. උතුරු පළාත් සභාවටත් මේ ව්‍යාපෘතියේ යම් අයිතියක්‌ තියෙන්න අවශ්‍යයි. මේ හන්දා අපි ඉල්ලා සිටිනවා මේ ව්‍යාපෘතියේ අයිතිය සම්බන්ධයෙන් මධ්‍යම රජය උතුරු පළාත් සභාවත් එක්‌ක විශේෂ ගිවිසුමක්‌ අත්සන් කළ යුතුයි. ඒ ගිවිසුමට අනුව උතුරු පළාත් සභාවට යම් බලතල ප්‍රමාණයක්‌ ලැබෙනවා. එහෙම නැත්නම් මධ්‍යම රජය උතුරට මහවැලි වතුර දෙන ගමන් දකුණේ සිංහල වැසියනුත් බුරුතු පිටින් උතුරට එවලා සිංහල ජනාවාස හදයි. මේකට අපි විරුද්ධයි.

ප්‍රධාන ඇමැතිවරයගේ කතාවෙන් පස්‌සේ ජයිකා ප්‍රධාන නියෝජිතයා කිව්වේ එකම එක වාක්‍යයක්‌ විතරයි.

“ජපානයේ ජයිකා ආයතනය මේ ව්‍යාපෘති කළමනාකරණය කළාට ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රශ්නවලට මැදිහත්වීමක්‌, ඇඟිලි ගැහීමක්‌ කරන්නේ නැහැ. මේ ගැන ඔබලා තීන්දු තීරණ ගත යුත්තේ අප සමඟ නොවෙයි. ශ්‍රී ලංකා රජයත් එක්‌ක කතා කරලයි”.

අවසානයේ දී දවල්ට කන්න බෙදලා තිබුණු බත් ටිකවත් කන්නේ නැතුව ප්‍රධාන අමාත්‍යවරයා යන්න ගියා. ජපානයේ ජයිකා නිලධාරීන් තමන් ආව කාරණය හරියට කරලා යාපනයෙන් පිටත් වුණා.

ජයිකා නිලධාරීන් ගිහින් දවස්‌ දෙකකට පස්‌සේ තමයි කැනේඩියානු විදේශ අමාත්‍ය Sඑeෙeබ Dසහදබ මහත්මයා යාපනයේ සංචාරයක්‌ ආරම්භ කළා. කැනේඩියානු විදේශ අමාත්‍යවරයා යාපනයේ දී ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේස්‌වරන්වත් හමුවුණා.

ඉස්‌සෙල්ලම විග්නේස්‌වරන් කිව්වේ ආණ්‌ඩුව නව ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ඇතිකරන කොට උතුරු – නැගෙනහිර පළාත් දෙක එකට එකතු කරලා ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය බෙදාහැරෙන ෙµඩරල් පාලන ක්‍රමයක්‌ අවශ්‍යයි කියන කාරණයයි. මෙහෙම ඉල්ලන්නේ මේ රට දෙකට බෙදන්න නෙමෙයි. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කියලත් ප්‍රධාන ඇමැතිවරයා කිව්වා. දෙමළ ජාතීන් සියලු දෙනාම කැමති මේ ක්‍රමයට ආණ්‌ඩුව ක්‍රියාකරන්න ඕන කියලා කැනඩා රජය ආණ්‌ඩුවට බලකරන්න අවශ්‍යයි කියලත් ප්‍රධාන ඇමැතිතුමා ඉල්ලා සිටියා.

කැනේඩියානු විදේශ අමාත්‍යවරයා කිව්වේ රටක්‌ තමන්ට කැමති විදිහට ව්‍යවස්‌ථාවක්‌ හදාගන්න එකට කැනඩා රජයට බලකිරීමක්‌ කරන්න බැහැ කියලයි. ඒක ඒ රටේ ප්‍රධාන දේශපාලන අයිතියක්‌ කියලත් ඔහු කිව්වා.

ඊළඟට මේ සිංහල සහ මුස්‌ලිම් මිනිස්‌සු උතුරේ බලහත්කාරයෙන් පදිංචි කරවන එක නතර කරන්න ඕනේ කියල ප්‍රධාන ඇමැතිවරයා කැනේඩියානු විදේශ ඇමැතිට කියන්න ගත්තා. දෙමළ ජනතාව මේ සිංහල මුස්‌ලිම් ජනතාව කෙරෙහි ක්‍රෝධයක්‌ නැතත් මේ කණ්‌ඩායම් උතුරු පළාතේ පදිංචි වුණාම බොහෝ කරදරකාරී ප්‍රශ්න ඇති වෙනවයි කියලා ප්‍රධාන අමාත්‍යවරයා කිව්ව. මේකට කැනේඩියානු විදේශ අමාත්‍යවරයා නිහඬව සිටියා. ඒ වෙනුවට ඔහු කිව්වේ යුද්ධයෙන් විපතට පත්ව වැන්දඹු බවට පත්ව සිටින කාන්තාවන්ට කැනඩා රජයෙන් උදව් කරන්නම් කියලයි.

සංහිදියාව ගැනත් කැනේඩියානු විදේශ අමාත්‍යවරයා කතා කරලා තිබුණා. සිංහල ළමයින්ට දෙමළ භාෂාවත් දෙමළ ළමයින්ට සිංහල භාෂාවත් උගන්වන්න වැඩපිළිවෙලක්‌ සකස්‌ කරන්න කියලා ඔහු කියලා තිබුණා. මේකට අවශ්‍ය ගුරුවරු පුහුණු කරන්නත් භාෂා ඥණය දියුණු කරන්නත් යන වියදම කැනේඩියානු රජයෙන් ලබලා දෙන්න පොරොන්දු වුණා. සිංහලයන් වහකදුරු වෙලා ඉන්න විග්නේස්‌වරන් ප්‍රධාන අමාත්‍යවරයා මේකට නම් මොනවත් කියලා තිබුණේ නැහැ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේස්‌වරන්ගේ මේ ඊනියා සිංහල විරෝධිකම කොහොම ඇති වුණාද කියලා හිතෙන්නේ ඔහුගේ පවුල් පරිසරයත් එක්‌කයි. සිංහල පවුල්වලට නෑකම් කියන විග්නේස්‌වරන් ප්‍රධාන අමාත්‍යවරයා සිංහල මුස්‌ලිම් ජනතාව කෙරෙහි මේ තරම්ම විරුද්ධ ඇයි ? ජාතීන් අතරේ සංහිඳියාව වර්ධනය කරන්න සිංහල දෙමළ අය අතරේ විවාහ සම්බන්ධතා ඇති කරන එක හොඳ වැඩක්‌ කියලා උතුරු පළාත් ආණ්‌ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා දවසක්‌ විග්නේස්‌වරන් ප්‍රධාන ඇමැතිතුමාට කියලා තිබුණා. ඊට පහුවදාම විග්නේස්‌වරන් ප්‍රධාන අමාත්‍යවරයා කියලා තිබුණ විවාහය කොහොම සිද්ධ වුණත් දෙමළ ජනයාගේ සංස්‌කෘතික ගති ලක්‌ෂණ ඒ විදිහටම සුරැකෙන්න ඕනේ කියලයි.

දිනසේන රතුගමගේ
Divaina