කෝටි 250ක්‌ සීනි නෙමෙයි… ඒ කොකේන්…

0
565

රුපියල් කෝටි 250 කට ආසන්න වෙළෙඳපොළ වටිනාකමකින් යුත් කොකේන් තොගයක්‌ ඉකුත් 13 වැනිදා ඔරුගොඩවත්ත රේගු අංගනයේ සීනි කන්ටේනරයකින් මතු වුණේය. මෙතරම් විශාල වටිනාකමක්‌ ඇති මත්ද්‍රව්‍ය තොගයක්‌ ශ්‍රී ලංකාවෙන් හමු වූ මුල්ම අවස්‌ථාව ලෙස එය ඉතිහාසගත විය.

මෙම සුවිශේෂී වැටලීම කෙරෙහි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මෙන්ම රජයේ විශේෂ අවධානය යොමු වී තිබිණි. අත්අඩංගුවට ගත් කොකේන් තොගය පරීක්‍ෂාවට ජනාධිපතිවරයා පෞද්ගලිකවම පැමිණීම තුළින් පෙන්නුම් කළේ එය සුවිශේෂී වැටලීමක්‌ බවය. ත්‍රස්‌තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මේ වන විට මුළු ලෝකයම විනාශ කරමින් තිබෙන මහා ව්‍යසනයක්‌ බවට පත් වී හමාරය. ත්‍රස්‌තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනයට සියලු රටවල් එකට අත්වැල් බැඳ ගෙන සිටිය ද එය ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවේ.

ධනවත් රටවල් මෙන්ම තුන්වැනි ලෝකයේ දිළිඳු රටවල් පවා මේ මහා ව්‍යසනයන් දෙක හමුවේ දැඩි ලෙස පීඩා විඳිමින් සිටිති. කලක්‌ ශ්‍රී ලංකාව ද ත්‍රස්‌තවාදය හමුවේ දැඩි ලෙස බැට කෑවේය. ත්‍රස්‌තවාදය පරාජය කිරීමට ගෙන ගිය සටනින් අපි ජය ගත්තෙමු. එහෙත් මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීමට ගෙන යන සටන ජය ගැනීමට තවමත් ශ්‍රී ලංකාවට හැකි වී නැත.

දිනෙන් දින රටේ ඉහළ යන මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය සඳහා රජය පසුගියදා තවත් විශේෂිත ක්‍රියාමාර්ගයක්‌ ගත්තේය. මුදල් අමාත්‍යාංශයට අනුයුක්‌තව මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකයක්‌ ස්‌ථාපිත කරනු ලැබීය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ සොයා ගැනීමට හැකි වූ විශාලාම වටිනාකමින් යුත් කොකේන් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ මෙම විශේෂ ඒකකයට වීම විශේෂත්වයකි.

මෙම වැටලීම් ඒකකයේ අධ්‍යක්‍ෂවරයා වූයේ ගුවන් හමුදාවේ විශ්‍රාමික වින්ග් කමාන්ඩර්වරයකු වූ රවී ජයසිංහ මහතා ය. පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් පිරිසක්‌ ද මෙම විශේෂ ඒකකයට අනුයුක්‌ත කර සිටියහ.

මෙම මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකය පසුගිය දිනවල මෙහෙයුම් කීපයක්‌ ක්‍රියාත්මක කළ ද සුවිශේෂීම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ ඉකුත් 14 වැනිදා ය.

මෙම කොකේන් තොගය පිළිබඳ තොරතුර මුලින්ම ලැබෙන්නේ මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකයට අනුයුක්‌තව රාජකාරි කරමින් සිටි පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ උප පොලිස්‌ පරීක්‍ෂක කේ. ඒ. ප්‍රේමලාල් මහතාටය. ඒ ඉකුත් 12 වැනි ඉරිදා දිනය.

සීනි කන්ටේනරයක සඟවා කොකේන් විශාල තොගයක්‌ මෙරටට ගෙන්වා ඇති බවත්, එය ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබෙන බවත් උප පොලිස්‌ පරීක්‍ෂක ප්‍රේමලාල් දැන ගන්නේ සිය පෞද්ගලික ඔත්තුකරුවකුගේ මාර්ගයෙන් ය.

උප පොලිස්‌ පරීක්‍ෂකවරයා මේ පිළිබඳව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් අංශයේ ස්‌ථානාධිපති සාගර කුලසේකර මහතා දැනුවත් කළේය. මේ පිළිබඳ දැඩි විමසිල්ලෙන් සිට ඔත්තුකරුවා මාර්ගයෙන් තවත් තොරතුරු ලබා ගැනීමට ප්‍රේමලාල් මහතාට උපදෙස්‌ ලැබුණේය.

මෙම සීනි කන්ටේනරය දෙවැනි හරස්‌ වීදියේ මහා පරිමාණ සීනි ආනයනය කරන සමාගමක්‌ විසින් බ්‍රසීලයෙන් ගෙන්වූ එකක්‌ බව උප පොලිස්‌ පරීක්‍ෂකවරයා සොයා ගත්තේය.

ලුසියානා නමැති නෞකාවෙන් සීනි කන්ටේනර් තුනක්‌ මෙරටට ගෙන්වා ඇති බවත් එය ඔරුගොඩවත්ත රේගු අංගනයේ තබා තිබෙන බවත් පොලිසිය සොයා ගත්හ. මෙම සීනි කන්ටේනර් 3, 13 වැනි සඳුදා රේගුවෙන් මුදා හැරීමට නියමිත බව ද අනාවරණය විණි.

මෙම සීනි කන්ටේනර් තුනෙන් එක්‌ කන්ටේනරයක්‌ තුළ අදාළ කොකේන් තොගය සඟවා තිබෙන බව උප පොලිස්‌ පරීක්‍ෂක ප්‍රේමලාල් මහතා දැන ගන්නේ සිය ඔත්තුකරුවාගේ මාර්ගයෙන් ය.

ඒ අනුව කන්ටේනරය හිමිකරුවාට භාරදීමට පෙර එය පරීක්‍ෂා කළ යුතු විය. මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ අධ්‍යක්‍ෂ වින්ග් කමාන්ඩර් රවි ජයසිංහ මහතා දැනුවත් කිරීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරිහු කටයුතු කළහ.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි රංජිත් පෙරේරා මහතාට ද මේ පිළිබඳව දැනුම් දීමට මෙහෙයුම් අංශයේ නිලධාරීන් පියවර ගත්හ. ඒ අනුව මෙම සැක සහිත කන්ටේනරය පිළිබඳව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දීමට විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි රංජිත් පෙරේරා මහතා කටයුතු කළේය.

මෙම කන්ටේනරය පිළිබඳව මුදල් ඇමැතිවරයාට ද දැනුම් දී එය පරීක්‍ෂා කිරීම සඳහා විශේෂ අවසරයක්‌ ලබා ගන්නට පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සූදානම් වූහ.

13 වැනි සඳුදා සවස 4.00 ට පමණ මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකයේ නිලධාරීන් පිරිසක්‌ ඔරුගොඩවත්ත රේගු අංගනය වෙත ගොස්‌ අදාළ කන්ටේනරය පරීක්‍ෂා කිරීමට ලිත අවසරයක්‌ ඉල්ලා සිටියහ.

එහෙත් සැක සහිත කන්ටේනරය ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබුණේ නැත. රේගු නිලධාරීන් විසින් මෙම සැක සහිත කන්ටේනරය රඳවා ඇති ස්‌ථානය සොයා පරීක්‍ෂණයක්‌ පැවැත්වූහ. අවසානයේ එය ගාල්කර ඇති ස්‌ථානය සොයා ගැනීමට හැකි විය.

වැල්ලම්පිටිය කළු පාලම රේගු අංගනයේ මෙම සීනි සහිත කන්ටේනරය රඳවා තබා ඇති බව සොයාගත් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ රේගු නිලධාරීන් ඒ මොහොතේම එහි ගියහ. ඒ වන විටත් මෙම කන්ටේනරය රැගෙන යැම සඳහා වාප්පු නිලධාරීන්a දෙදෙනෙකු වැල්ලම්පිටිය කළු පාලම රේගු අංගනය වෙත පැමිණ සිටියහ. සැක සහිත කන්ටේනරය සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකයේ නිලධාරින් එය ඒ මොහොතේම ඔරුගොඩවත්ත රේගු අංගනය වෙත රැගෙන ආහ.

සැක සහිත කන්ටේනරය ඔරුගොඩවත්ත රේගු අංගනයේදී විශේෂ ස්‌කෑන් පරීක්‍ෂාවකට ලක්‌ කළේය. එහෙත් කන්ටේනරය තුළ සැක සහිත කිසිවක්‌ තිබෙන බවට හඳුනා ගැනීමට ස්‌කෑන් පරීක්‍ෂාවට හැකි වුණේ නැත.

උප පොලිස්‌ පරීක්‍ෂක ප්‍රේමලාල් මහතාට ලැබුණු තොරතුරුවල සැකයක්‌ නොමැත. එහෙත් ස්‌කෑන් පරීක්‍ෂාවෙන් සැක කටයුතු කිසිවක්‌ හඳුනා ගැනීමට නොහැකි වීම නිසා පොලිසිය සහ රේගු නිලධාරීන් සිටියේ දෙගිඩියාවෙන් ය.

කන්ටේනරය පසුදා එනම් 14 වැනි අඟහරුවාදා පෙරවරුවේ විවෘත කර පරීක්‍ෂා කිරීමට රේගු නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කතිකා කර ගත්හ. සැකකටයුතු කන්ටේනරයට පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සහ රේගුවේ ආරක්‍ෂාව යෙදවීමට ද කටයුතු කළහ.

දෙවැනි හරස්‌ වීදියේ පිහිටි සීනි ආනයනය කරන සමාගම වසර 25 ක්‌ තිස්‌සේ එම ව්‍යාපාරය කරගෙන ගිය රටේ නමගිය සමාගමකි. මෙම සීනි කන්ටේනර් තුන එම සමාගම විසින් ගෙන්වා ඇත්තේ බ්‍රසීලයෙන් ය. වාසුදේවන් සහ ජෙගදීෂ්වරන් යන සොහොයුරන්ට මෙම සීනි සමාගම අයත් බව ද පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සොයා ගත්හ.

වාසුදේවන් පදිංචිව සිටියේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ය. 14 වැනිදා පෙරවරුවේ වාසුදේවන් ඔරුගොඩවත්ත රේගු අංගනය වෙත ගෙන්වීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු කටයුතු කළහ.

14 වැනිදා උදැසන මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකයේ නිලධාරීන් සහ රේගු නිලධාරීන් විසින් සැකකටයුතු කන්ටේනරය විවෘත කරන ලදී. කන්ටේනරයේ සීනි සහිත ගෝනි එකින් එක ඉවත් කර පරීක්‍ෂා කිරීමට ඔවුන් කටයුතු කළහ.

කන්ටේනරයේ සීනි ගෝනි අඩක්‌ හිස්‌ කරද්දී එහි තිබූ කළු පැහැති ගමන් මලු තුනක්‌ මතු වුණේය. ප්‍රේමලාල් මහතාට ලැබුණු තොරතුරු සැබෑ වෙමින් තිබිණි.

කළු පැහැති ගමන් මලු තුන පරීක්‍ෂා කිරීමේදී එහි තිබූ කුඩා ප්‍රමාණයේ පාර්සල් තොගයක්‌ සොයා ගැනීමට හැකි විය. පසුව අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ නිලධාරින් පිරිසක්‌ කැඳවා මෙම පාර්සල්වල තිබූ ද්‍රව්‍ය පරීක්‍ෂා කරන ලදී. එහිදී අනාවරණය වුණේ මේ පාර්සල් වල ඇත්තේ මිලෙන් අධික කොකේන් බව ය.

ගමන් මලු තුන සමඟ තිබූ කොකේන්වල බර කිලෝග්‍රෑම් 91.6 කි. එහි තිබූ කොකේන්වල ශුද්ධ බර වූයේ කිලෝග්‍රෑම් 80 කි.

මෙහිදී සොයාගත් කොකේන් ග්‍රෑම් එකක වටිනාකම රුපියල් තිස්‌දහස ඉක්‌මවයි. ඒ අනුව කන්ටේනරයේ තිබී සොයාගත් කොකෙන්වල මුළු වටිනාකම රුපියල් කෝටි 250 කට ආසන්න විය.

අත්අඩංගුවට ගත් කොකේන් තොගය පරීක්‍ෂා කිරීමට ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා මෙන්ම පොලිස්‌පතිවරයා ද ඔරුගොඩවත්ත රේගු අංගනය වෙත ආහ.

මෙම සීනි සහිත කන්ටේනරය ආනයනය කළ සමාගමේ හිමිකරු වන වාසුදේවන් සහ වාප්පු නිලධාරීන් දෙදෙනා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එහිදී වාසුදේවන් කියා සිටියේ මෙම කොකේන් පිළිබඳව තමා කිසිවක්‌ නොදන්නා බවය.

පොලිසිය මහ බැංකුවේද සහාය ඇතිව මෙම සීනි සමාගමේ හිමිකරුවන්ගේ වත්කම් පිළිබඳව සොයන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය. මෙම ව්‍යාපාරිකයන්ට ටි්‍රලියන ගණනක දේපළක්‌ ඇති බව කියෑවෙයි.

පසුගිය කාල සීමාවේදී මොවුන් රුපියල් කෝටි 750 ක්‌ පමණ වටිනා ඉඩම් වැල්ලවත්ත, වත්තල, ඇතුළු තවත් ප්‍රදේශ කීපයකින් මිලදී ගත් බවට ද තොරතුරු මත්ද්‍රව්‍ය වැටලීම් විශේෂ ඒකකය වෙත ලැබී තිබුණේය.

මෙහි සත්‍ය අසත්‍යතාව සෙවීමට පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කර හමාරය. මෙම මහා පරිමාණ ජාවාරම පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කළේය.

මිලෙන් අධික මෙම කොකේන් ශ්‍රී ලංකික මත්ද්‍රව්‍යලෝලීන් පාවිච්චි කරන බවට සාක්‍ෂි මෙතෙක්‌ ලැබී නොමැත. එසේ නම් ශ්‍රී ලංකාවේ අලෙවි කිරීම සඳහා මෙම කොකේන් රැගෙන ආ බවට විශ්වාස කළ නොහැක.

මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන පොලිස්‌ නිලධාරීන් පවසන්නේ මෙම කොකේන් තොගය ශ්‍රී ලංකාව හරහා එක්‌කෝ යුරෝපයට එහෙමත් නැත්නම් ඔස්‌ටේ්‍රලියාවට අපනයනය කිරීම සඳහා රැගෙන එන්නට ඇති බවයි.

කොකේන් සහ හෙරොයින් නිෂ්පාදනය කරන රටවල් ඒවා පොලිසියට හසු නොවී වෙනත් රටවලට අලෙවි කිරීම සඳහා නොයෙකුත් ක්‍රම භාවිත කරනු ලබයි.

කොකේන් වැඩිපුරම නිෂ්පාදනය කෙරෙන්නේ බ්‍රසීලය, ආර්ජන්ටිනාව, කොලොම්බියාව, හොන්ඩුරාස්‌, බොලීවියාව, වැනිසියුලාව, පේරු, චිලී වැනි රටවලය. මෙම රටවල් කොකේන් නිෂ්පාදනයට ප්‍රසිද්ධ නිසා ඒ රටවලින් යුරෝපයට භාණ්‌ඩ අපනයනය කිරීමේදී විශේෂ පරීක්‍ෂාවකට භාජන කරනු ලබයි.

කොකේන් නිෂ්පාදනය කරන රටවල් එම මත්ද්‍රව්‍ය යුරෝපයට සහ ඔස්‌ටේ්‍රලියාවට යෑවීම සඳහා කොකේන් නිෂ්පාදනය නොකරන රටවල සහාය ලබා ගනියි.

කොකේන් තොග ශ්‍රී ලංකාව හරහා යුරෝපයට හෝ ඔස්‌ටේ්‍රලියාවට යෑවීම කරනු ලබන්නේ ඒ නිසයි.

ශ්‍රී ලංකාව ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ තේ අපනයනය කරන රටක්‌ ලෙසය. ශ්‍රී ලංකාව කොකේන් හෝ හෙරොයින් ගෙන්වා ඒවා තේ පාර්සල් ලෙස අසුරා යුරෝපයට යෑවීමේ ජාවාරම මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්‌ඩායම් විසින් සාර්ථකව කරගෙන යන බවට මේ වන විට තොරතුරු ලැබී තිබේ.

මත්ද්‍රව්‍ය ප්‍රති අපනයන කරන රටක්‌ ලෙස මේ වන විට ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ පිහිටීම ද මේ සඳහා ප්‍රධාන සාධකයක්‌ වන බව මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීහු පවසති.

මෙම වැටලීම් සිදු කරන නිලධාරීන්ට උසස්‌වීම් ත්‍යාග මුදල් ලබා දී ඔවුන් තව තවත් දිරි ගැන්වීම කළ යුතුය.

මුදලට සියල්ල පාවා දෙන නිලධාරීන් සිටින මෙවැනි වකවානුවක මේ තරම් විශාල වටිනා කමකින් යුත් කොකේන් තොගයක්‌ අත්අඩංගුවට ගත් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සහ රේගුවේ නිලධාරීන්ට ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුය.

මෙම මහා පරිමාණ කොකේන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරීන්, නියෝජ්‍ය පොලිස්‌පති රංජිත් පෙරේරා මහතාගෙන් විශේෂ සහායක්‌ ලැබී තිබිණි.

විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් අංශයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සාගර කුලසේකර, උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන කේ. ඒ. ප්‍රේමලාල්, ආර්. එම්. කේ. ඩී. විමලරත්න, එම්. එච්. ඒ. මධුරංග, ආර්. එම්. ඒ. ඩී. බී. රාජපක්‍ෂ, ඩබ්ලිව්. එම්. කේ. ඒ. වීරසිංහ, කේ. ජී. එම්. ජලයත්, ආර්. ඩී. සී. ආර්. රොෂාන්, සැරයන්වරුන් වන (39907) ඒකනායක, (10167) උපේක්‍ෂ, (68296) බුද්ධික, (70613) චාමර, (87013) කුමාර, (39661) විතානගේ යන නිලධාරීහු මෙම මෙහෙයුමට එක්‌ව සිටියහ.

බුලත් වගේ කන බෙහෙත් වගේ
බොන ශාකසාර මාරයා

වසර 8000 කට පෙර සිට දකුණු ඇමරිකානු මහාද්වීපයේ ජීවත් වූ මිනිස්‌සු කිසියම් ගස්‌ වර්ගයක කොළයක්‌ සපා කා මත්වෙන්නට පුරුදුව සිටියහ. ඒ ගසේ නම කොකාය. එහි උද්භිද විද්‍යාත්මක නාමය Eරසඑයරදංහකදබ ජදජ් ය. ලංකාවේ හා ඉන්දියාවේ ජනයා බුලත් විට කන්නාසේ ලතින් ඇමරිකන් රටවල ජනයා අදටත් කොකා කොළ කති. ඒ රටවල ගැමියන්ගේ හකුවල කොකේන් හපයක්‌ වරදින්නේ කලාතුරකිනි. තුවාලයක්‌ සිදුවූ විට කටේ දමා හප කරන ලද කොකා කොළ එම තුවාලයට දැමීම ලතින් ඇමරිකාවේ සංස්‌කෘතික වෙදකමකි.

කොකේන් සාදනු ලබන්නේ කොකා කොළ වලිනි. කොකේන් පංතියට අයත් ශාක වර්ග 200 ක්‌ තිබෙන අතර කොකේන් ලබාගත හැක්‌කේ ඒවා අතුරින් ශාක වර්ග දෙකකින් පමණය. විෂ සහිත රසායනික ද්‍රව්‍ය කිහිපයක්‌ යොදා කොකා කොළයෙන් කොකේන් සාරය උකහා ගෙන එය පාප්පයක්‌ මෙන් සකස්‌ කර තවදුරටත් විජලනය කොට මත්ද්‍රව්‍යයක්‌ ලෙස පරිහරණය කරන කොකේන් නිෂ්පාදනය කෙරෙයි. කොකා කොළ පාප්පයක්‌ ලෙස සාදා ගැනීම සඳහා කොකා කොළවලට ඩීසල් සහ භූමිතෙල් ද මිශ්‍ර කරන බව අප මතක තබාගත යුතුය.

මත්ද්‍රව්‍යයක්‌ වශයෙන් කොකේන් පාවිච්චි කිරීමේදී හෘදයාබාධ, රුධිරය විෂ වීම් හටගනී. කොකේන්වලට ඇබ්බැහි වූ තැනැත්තා නිතරම අසන්තෝෂයෙන් සහ අපේක්‍ෂා භංගත්වයෙන් කටයුතු කරන අතර හැමවිටම විඩාපත් වූ ස්‌වරූපයක්‌ පෙන්නුම් කරයි.

මත්ද්‍රව්‍ය පාවිච්චියේදී ලොව මුල් තැන හිමිවන්නේ ගංජාවලටය. දෙවැනි තැන කොකේන්වලට ය. වෛද්‍ය විද්‍යාවේදී කොකේන් නිර්වින්දනයක්‌ ලෙස පාවිච්චි කරනු ලැබේ.

වරක්‌ කොකේන් ශරීර ගත කරගත් විට එහි මත පැයක්‌ පමණ පවතී. සුදු පැහැති කුඩක්‌ ලෙස එන මේ මත්ද්‍රව්‍ය කට හාරවන තිත්ත රසයෙන් යුක්‌තය.

– Divaina