පාම් තෙල් විසෙන් බැදෙන ජාතියක අනාගතය

0
629

‘වස විෂ නැති රටක්‌’ යනු වත්මන් යහපාලනයේ ප්‍රධාන තේමාවකි. එහෙත් අද එය අරුත් සුන් වචන කිහිපයකට පමණක්‌ සීමා වී තිබෙන්නේ විශ්මිත අයුරින්ය. වරෙක ආණ්‌ඩුව මාරාන්තික වකුගඩු රෝගයට බලපෑ ග්ලයිපොසේට්‌ කෘෂි රසායනය තහනම් කරද්දී යහපාලනයේ ඉහළම තැන්වලට මුක්‌කු ගසා සිටින්නෝ ග්ලයිපොසේට්‌වලටත් එහා ගිය උග්‍ර විෂ සහිත කෘෂි රසායන රට තුළට ගෙන්වති. රුපියල් ශතවලට වහ වැටී ජාතිය වනසති. මේ අතරේ දැන් ඇසූ පමණින් බියට පත්ව මිනිසුන්ගේ පණ යන තරමේ තවත් කතාවක්‌ද කරළියට පැමිණ තිබේ.

රටට බත දෙන ගොවියා වකුගඩු රෝගියකු කර මරු තුරුළට යෑවූ මෙරට කෘෂි රසායන මාරයාගේ කතාවට ඉතා දීර්ඝ ඉතිහාසයක්‌ ඇත. එහෙත් අදටත් එය බැඳ දැමිය නොහැකි යක්‍ෂයකු ලෙස රිසි සේ ක්‍රියාත්මකය. කෘෂි සරායන සමාගම් කාරයෝ විවිධ උපක්‍රම තුළින් තවමත් අපව වනසමින් සිටින්නාහ.

මේ අතරේ මුළු රටටම සිව් වසරක්‌ තිස්‌සේ වස කවා හෘද රෝග, පිළිකා ආදී වශයෙන් වූ මාරාන්තික රෝගයන්ට අප ගොදුරු කර තම සාක්‌කු මුදලින් පුරවා ගනිමින් සුපිරි ජීවිතයක්‌ ගත කළ කාලකණ්‌ණියකු අප අතරම සිටියේ යෑයි කිවහොත් ඔබ විශ්වාස කරන්නේද?

විශ්වාස කළද නොකළද එය සිදුව ඇත. ඉහත කී අලුතින්ම කරළියට පැමිණි කතාව දිග හැරෙන්නේ මේ කාලකණ්‌ණියා වටාය. අපි කෙළින්ම කියමු. ඒ නරුමයා එසේ අප මරණ අතරේ එයට සහාය දී ඇත්තේ මෙරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් ක්‍රියාත්මක ජනාධිපති කාර්ය සාධක බළකායට කොහෙන් හෝ රිංගාගෙන සිටින මිනිස්‌ වෙස්‌ ගත් තිරිසනෙකි. ඉහත කී මාරයා ඔහුගේ පාසල් මිතුරකු වන ජාවාරම්කාර ව්‍යාපාරිකයෙකි.

එය සිදුව ඇත්තේ ජනාධිපතිවරයාට රහසේ බව මේ පිළිබඳ අප කළ සොයා බැලීමකදී අනාවරණය විය. මේ මිනිස්‌ වෙස්‌ ගත් තිරිසනා එවන් තැනක සිටිමින් මේ අන්දමින් වසර හතරක්‌ පුරා ජාතියට වස කැවීමට තම මිතුරාට සහාය දී ඇත්තේ කෙසේද? ඉකුත් සතියේ එහි සුළ මුල අනාවරණය වූයේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ආනයනික පාම් තෙල් කන්ටේනර් විසිහරක්‌ අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනයකට අනුවය.

ඊනියා කොලෙස්‌ටරෝල් මාරයකු ගැන කියමින් මේ රටේ නිපදවෙන අපේ පොල් තෙල් ටික ආහාරයට නොගන්නැයි අපේම විද්වත්හු බොහෝ කලක සිට අපට කියන්නට වූහ. ඉතින් අපි පොල් තෙල්වලින් දිනෙන් දින ඈතට ගියෙමු. ආදේශකය වූයේ පාම් තෙල්ය. පාම් තෙල් යනු බහුල ලෙස මැලේසියාවේ නිෂ්පාදනය කෙරෙන්නකි.

එරට ප්‍රධාන අපනයන භාණ්‌ඩය වන්නේද පාම් තෙල්ය. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ දෑහිතකාමී නිලධාරීන් පිරිසක්‌ ඉකුත් මාර්තු මස 19 සිට අප්‍රේල් 7 දක්‌වා කාලය තුළ මෙරටට ආනයනය කළ පාම් තෙල් කන්ටේනර් 24 අත්අඩංගුවට ගෙන සිදු කළ පුළුල් විමර්ශනයකට අනුව ඒ කාලකණ්‌ණි කතාවස්‌තුව ඇරඹෙන්නේ මෙන්න මේ නිමිත්තේ සිටය. ඒ මෙසේය.

මෙරට ජනතාව පාම් තෙල් පරිභෝජනයට හැඩ ගැසීමත් සමඟ ඉකුත් කාලයේ එය ශ්‍රී ලංකාව තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට විය. ඒ අනුව පාම් තෙල් ආනයනයද දිනෙන් දින ඉහළ ගියේය. අප පාම් තෙල් මිලදී ගත්තේ එළවළු තෙල් යෑයි කියාය.

මෙසේ පාම් තෙල් ආනයනය ඉහළ යැමත් සමඟ දේශීය ව්‍යාපාරිකයෝද ඒ වෙළෙඳ පොළ ඉලක්‌ක කර ක්‍රියාත්මක වන්නට වූහ. මේ අතරේ ඉකුත් 2012 වසරේදී ඉහත කී ජාවාරම්කාර ව්‍යාපාරික මාරයාද මැලේසියාවේ සිට පාම් තෙල් ආනයනය කිරීම ආරම්භ කරනු ලැබිණි.

එහෙත් මොහු මෙසේ පාම් තෙල් ආනයනය කරමින් ව්‍යපාරික කටයුතු කරගෙන යන අතරේ එකී ආනයනික පාම් තෙල්වල යම් ගැටලුකාරී බවක්‌ තිබෙන බව රේගු දෙපාර්තමේන්තුවට එදා පෙනී ගියේය. එහිදී කඩිනමින් විමර්ශනයක්‌ ආරම්භ කෙරිණි.

එහෙත් මෙහිදී එකී තෙල් සාම්පල ඉදිරිපත් කළ මෙරට රාජ්‍ය රාජ්‍ය නොවන විද්‍යාගාරවලින් රේගු දෙපාර්තමේන්තුවට ලැබුණේ එකිනෙකට පරස්‌පර වූ වාර්තාය. මේ අතරේ සිය නීතිඥයන් මගින් එකී රේගු විමර්ශනයට සහභාගි වූ ජාවාරම්කාර මාරයා තමන් ආනයනය කරනු ලබන පාම් තෙල්වලට ‘කෲඩ් පාම් ෆැටි ඇසිඩ්’ ලෙසින් අලුත් විද්‍යාත්මක නමක්‌ද ලබා දුන්නේය.

අවසානයේ එකී ‘කෲඩ් පාම් ෆැටිඇසිඩ්’ යන්නට රේගු වර්ගීකරණ ලැයිස්‌තුවේ ස්‌ථානයක්‌ වෙන් කර ගැනීමටද හෙතෙම එදා සමත් විය.

මේ හේතුවෙන් මෙකී මාරයා පිළිබඳ එදා රටට අනාවරණය වීමට තිබූ ප්‍රථම අවස්‌ථාව ජාතියේ අවාසනාවට සහ අපේ කරුමයට වැළකී ගියේය.

මෙහිදී එකී ජාවාරම්කාර මාරක ව්‍යාපාරිකයාට ලැබුණු තවත් වාසියක්‌ද විය. සාමාන්‍යයෙන් පාම් තෙල් ආනයනයේදී අය කෙරෙන රේගු බද්ද අද වන විට කිලෝවකට රුපියල් 130 කි. නමුත් කෲඩ් පාම් ෆැටි ඇසිඩ් ලෙසින් මොහු හඳුන්වනු ලැබූ ආනයනික තෙල්වලට නියම වූ තීරු බද්ද රුපියල් පහත් දහයත් අතරේ වන සුළු අගයක්‌ ගත් එකක්‌ විය.

එසේ වූයේ අහිතරකර මේද අම්ල හෙවත් ෆැටිඇසිඩ් බහුල ලෙස අඩංගු මොහු ආනයනය කළ තෙල්, පාම් තෙල් නිෂ්පාදනයේදී පිරිපහදු කර ඉවත් කරන අපද්‍රව්‍ය මට්‌ටමේ තිබූ නිසාය.

ඉතින් මේ මාරයා ඒ සියලූ දේ තම වාසියට ගනිමින් එතැන් සිට මහාපරිමාණ ලෙස රේගු වර්ගීකරණ ලැයිස්‌තුවේ ස්‌ථානයක්‌ හිමිවූ එකී ‘කෲඩ් පාම් µeටිඇසිඩ්’ ලෙස ඔහුම හැඳින්වූ තෙල් වර්ගය මෙරටට ආනයනය කරනු ලැබීය.

එහෙත් මෙකී මාරක විෂ තොගය මෙරටට ගෙන ඒමෙන් පසු ඔහු කරන්නේ කුමක්‌ද යන්න කිසිවකුත් දැන සිටියේ නැත. මේ අන්දමින් ඉකුත් 2012 වසරේ සිට මෙම වසරේ අප්‍රේල් මාසය දක්‌වා මේ තිරිසනා එම මාරක විෂ සහිත තෙල් මෙටි්‍රක්‌ ටොන් 20000 ක්‌ අඩංගු කන්ටේනර් 900 ක්‌ මෙරටට ආනයනය කරනු ලැබීය.

එසේ ආනයනය කළ මේ විෂ තොගයට ඔහු කළේ කුමක්‌ද? මිනිසුනේ දැන ගන්න. මේකා ඉන් කොටසක්‌ සාමාන්‍ය පාම් තෙල් ලෙස අපට කවන අතරේ ඉතිරිය පොල්තෙල් සමඟ කලවම් කර රටපුරා බෙදා හැරියේය.

එකී තෙල් පරිභෝජනය කිරීමෙන් තමන් උපන් බිමේ මිනිසුන් හෘද රෝග, පිළිකා ඇතුළු මාරාන්තික රෝග වැළඳෙමින් මරණයට පත්වන බව දැන දැනම ඔහු එය දිගින් දිගටම සිදු කරගෙන ගියේය.

සාමාන්‍යයෙන් අප පරිභෝජනය කරනු ලබන පාම් තෙල්වල අහිතකර දෑ අඩංගු වන්නේ සියයට දශම .05 ක තරමිනි. පිළිගත් වෙළෙඳ නාමයක්‌ සහ තත්ත්ව සහිතික සහිතව ඇති පාම් තෙල්වල මෙවන් විෂ නැත. එසේම මෙකී සියලු තෙල්වලට වඩා ඉතාම ආරක්‍ෂාකාරී වන්නේ පිරිසිදු පොල් තෙල් බව අද විද්‍යාත්මකව තහවුරු වී ඇත.

එහෙත් මේ තිරිසනා අපට කවන ලද ‘කෲඩ් පාම් ෆැටි ඇසිඩ්’ නමින් ගෙන්වන ලද එකී පාම් තෙල්වල මිනිස්‌ සිරුරට අහිතකර මාරක රෝග වැළඳෙන ෆැටිඇසිඩ් වර්ග සියයට 16 ඉක්‌මවා තිබූ බව මේ වන විට පරයේෂණ මගින් තහවුරු වී ඇත.

මෙය මොන තරම් පාපකර්මයක්‌ද? තිරිසන් ක්‍රියාවක්‌ද? මෙවන් යක්‍ෂයන්ට කළ යුත්තේ කුමක්‌ද? ඉකුත් වසර හතරක කාලය පුරා කලවම් කළ පොල් තෙල් ලෙස අප පරිභෝජනය කරනු ලැබුවේ මේ වසය.

කඩෙන් කොත්තු රොටියක්‌, චයිනීස්‌ බත් හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ” කියෑවෙන පරිදි රයිස්‌ එකක්‌ ආදිය ගෙනවිත් මේ රටේ මවුපියවරුන් ආසාවට තම කුඩා දරුවන්ට ආහාරයට දෙද්දී ඒ ආහාර සැකසී තිබුණේ මෙකී විෂ තෙල් යොදාගෙන බව කිසිවකුත් දැන සිටියේ නැත.

එසේ නම් ඉන් කියෑවෙන්නේ කුමක්‌ද? අපේම අතින් අපේ දරුවන්ට වස කැවීමට අපව පොළඹවා ඇති බව නොවන්නේද? එපමණක්‌ද නොව, මේ රටේ වැඩකරන ජනතාව සහ මඟ තොටේ යන එන අය උදේ සවස කෙටි ආහාර ලෙස ගත් රෝල්ස්‌, කට්‌ලට්‌, පැටිස්‌ ආදිය බැදුනේද මේ විෂ තෙල්වලින්ය.

ඒ අනුව බලන කළ මෙකී තිරිසන් මිනිසා සිදු කර ඇත්තේ සමස්‌ත ජාතියම මරා දමන තරමේ අමන කමක්‌ නොවේද? එහෙත් මෙතරම් ව්‍යසනයක්‌ සිදු කර තිබියදීත් තවමත් මේ මිනිසාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවක්‌ පෙනෙන්නට නැත.

ජනාධිපති කාර්ය සාධක බළකායක සිටිනා තවත් නරුමයකු මේ තිරිසන් ක්‍රියාවට සහාය වී තිබියදී එවැන්නක්‌ සිදුවේද යන්න සිතීමද විහිළුවක්‌ වනු ඇත.

අපි ආණ්‌ඩුවෙන් අසන්නෙමු. ජාතියක මිනී වළ කැපූ මෙවන් තිරිසනුන්ට එරෙහිව හරිනම් මිනී මැරුම් චෝදනා එල්ල කර එවන් නරුමයන් පෝරකයට යෑවිය යුතු නොවේද?

– Divaina