පොලිසිය හොරු සමඟ හෙලුවෙන්

0
1170

අනුර හොරේෂස්‌

හිටපු පොලිස්‌පති වික්‌ටර් පෙරේරා මහතාගේ නිවසද සොරු කොල්ල කෑහ. ඒ ඉකුත් 09 වැනිදාය. හිටපු පොලිස්‌පතිවරයකු වූ බැවින් ඔහුගේ නිවසේ ආරක්‌ෂාව සඳහා සවස 6 සිට පසුදා උදේ 6 දක්‌වා පොලිස්‌ නිලධාරියකු සේවයේ යොදවා තිබියදී මෙම සොරකම සිදුවී ඇති බව පැවසේ.

හිටපු පොලිස්‌පතිගේ නිවසක්‌ සොරුන් බින්දා නම් රටේ සාමාන්‍ය ජනතාවගේ ගෙවල් දොරවල් ආරක්‌ෂාව ගැන කවර කතාද? විශ්‍රාම ලැබූ පොලිස්‌පතිවරයකු වුවත් පොලිස්‌ තේජස අඩු නොවේ. අවට පමණක්‌ නොව අහල ගම් හතක වාසය කරන කුඩුකාරයාගේ පටන් ධන කුවේරයා දක්‌වා අසවල් නිවසේ ජීවත් වන්නේ පොලිස්‌පතිවරයකු බව දනී. එවැනි තේජසක්‌ පවා තුට්‌ටුවකට මායිම් නොකර පොලිස්‌ ආරක්‌ෂාවද සහිත නිවසකට පැන ගෙදරම “සුද්ධ” කරගෙන යන්නට තරම් නිර්භීත සොරුන් බිහිවී තිබීම ජනතාවගේ ජීවිත දේපළවලට පමණක්‌ නොව, පොලිසියේ කීර්ති නාමයටද සිදු කරනු ලබන්නේ බලවත් හානියකි.

කොළඹට ආසන්න ප්‍රදේශයක්‌ භාරව කටයුතු කරන සහකාර පොලිස්‌ අධිකාරිවරයකු පසුගියදා අප සමඟ මේ සම්බන්ධයෙන් කළ කතාබහකදී ප්‍රකාශ කරන ලද්දේ සිනහ උපදවන අපූර්ව කාරණාවකි. ඒ තමන්ගේ බිරිඳගේ රන් භාණ්‌ඩ නිවසේ තැන් කිහිපයක වළලා සඟවා තිබෙන බවකි. “මගේ ගෙදරට හොරු පැන්නොත් ඒ.එස්‌.පී. ගෙ ගෙදරට හොරු පැන්නා කියලා නිව්ස්‌ පත්තරවල යයි. විලි ලැඡ්ජාවක්‌ නෙ ඒක….” සොරුන්ගෙන් සිය දේපොළ බේරා ගන්නට සහකාර පොලිස්‌ අධිකාරිවරයා දරා තිබෙන උපක්‍රමය අනුව පෙනී යන්නේ මුළු රටම මේ වන විට දැවැන්ත සොරමුළකට අසුවී තිබෙන බවකි. මොවුන් මර්දනයට නිසි වැඩපිළිවෙළක්‌ පොලිසිය සතුව නොමැති බැවින් පොලිස්‌ ලොක්‌කන්ගේ ගෙවල්වලටද කිසිම බියක්‌ තිගැස්‌මක්‌ නැතිව සොරුහු පනිති. සොරුන්ගෙන් දේපොළ බේරා ගන්නට නිවසේ පොළොව හාරා රන් භාණ්‌ඩ වළ දමන්ට පොලිස්‌ ලොක්‌කන්ට සිදුවී තිබේ.

පසුගිය කාලය පුරාවට රටපුරා ගෙවල් බිඳුම්, මංකොල්ලකෑම් සරුසාරව සිදුවිය. එහි කිසිම අඩුවක්‌ අදත් දකින්නට නැත. සොකරම විෂයෙහි පොලිසිය දක්‌වන්නේ ඉතා උදාසීන ආකල්පයක්‌ බව පෙනී යන්නේ සොරකම් ගැන මිස සොරකම් මඬින්නට පොලිසිය දරන උත්සාහයක්‌ ගැන වචන මාත්‍රයකින් ආසන්නට නැති බැවින්ය. නමුත් බඩගින්නට පොල් ගෙඩියක්‌ අල්ලපු වැටෙන් අහුලාගත් අහිංසකයකු පොලිසියට කුදලා ගෙනැවිත් ඔහු උසාවිය හමුවට පමුණුවා දැවැන්ත ප්‍රවෘත්ති මවන්නට ඉකුත් කාලයේදී පොලිසිය සමත් විය. මෙයින් පෙනීයන්නේ සොරකම විෂයෙහි පොලිසිය දක්‌වන කම්මැලිකම පමණක්‌ නොවේ. පුහු වීරත්වයක්‌ මවා රටවැසියා ඉදිරියේ අපි පොරවල් යෑයි හඟවන්නට තිබෙන මෝඩ ඕනෑකමයි.

ගෙවල් බිඳුම්, මහමඟදී රන්මාල කඩාගෙන පලායැම් නොසිදුවන දිනයක්‌ නැති තරම්ය. අප මේ කතා කරන්නේ රුපියල් කෝටි ගණනින් සිදු කරන සොරකම් හෝ කොල්ලකෑම් ගැන නොවේ. බොහෝ දුක්‌ මහන්සියෙන් ඉතිරි කරගත් මුදලකින් බිරිඳට, දියණියට රැගෙන දුන් සිහිවටන බඳු රන්බඩු සොරුන් විසින් කොල්ලකාගෙන යැමයි. රටපුරා රැයක්‌, දවාලක්‌ නැතිව හිතුණ ඕනෑම වේලාවක නිවසකට පැන රන් භාණ්‌ඩ හා මුදල් කොල්ලකාගෙන පලායැමේ හැකියාවක්‌ සොරුන් සතුව පවතී. එවැනි තදබල විශ්වාසයක්‌ සොරුන් තුළ හටගෙන තිබේ. මන්ද පොලිසියේ නිද්‍රdශීලී, කම්මැළි හැසිරීමයි. අද හොඳින් ජීවත් වන පුරවැසියෙක්‌ හෙට දිනයේ සොරෙක්‌ බවට පත් කරවන්නට තරම් පොලිසියේ මෙම කම්මැළිකම සොරුන්ට සොරකමේ යෙදෙන්නට ධෛර්යයක්‌ සපයයි.

ජනතාව දකින හා කියවන ආකාරයට පොලිසියේ එක්‌ කණ්‌ඩායමක්‌ පාතාල ලෝකය මර්දනය කරන්නට වෙහෙසෙයි. ඒ සඳහා විශේෂ කාර්ය බළකායට අයත් සෙබළුන්ද යොදවා තිබේ. තවත් පොලිස්‌ කණ්‌ඩායමක්‌ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමඟ ඒකාබද්ධ වෙමින් හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම්වල යෙදෙති. හැටහුටාමාරක්‌ දේශපාලනඥයන්ගේ ආරක්‌ෂාවට සහ බැළ මෙහෙවර කටයුතු සඳහා තවත් පොලිස්‌ කණ්‌ඩායමක්‌ වෙහෙසේ. විපක්‌ෂයේ දේශපාලනඥයන්ගේ පසුගිය “කුණු” ගොඩවල් අවුස්‌සන්නට හා ඔවුන් සමහරු කැඳවා ප්‍රශ්න කරන්නට තවත් පොලිස්‌ කණ්‌ඩායමක්‌ යොදවා තිබෙන බවක්‌ ජනතාව දකින අතර ඔවුන් නොදකින්නේ තමන්ගේ ගෙවල් දොරවලට පැන දේපොළ සොරාගෙන යන කම්බ හොරු අල්ලන්නට “පොලිස්‌ කාරයෙක්‌” නැතිකමයි.

ඉහත සඳහන් සමහර කාරණා සම්බන්ධයෙන් පොලිසිය දක්‌වන උනන්දුව ජනතාවගේ පැසසුමට ලක්‌වන බව නොරහසකි. නමුත් ඔවුන් සංවේගයට පත්වන්නේ සිය දේපොළ සොරුන්ගෙන් ආරක්‌ෂා කර දෙන්නට ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ පොලිසිය සතුව නොමැතිකම පැහැදිලිවම පෙනෙන බැවිනි.

රන් භාණ්‌ඩ හා මුදල් සොරා ගන්නට ගෙවල්වලට පැන්න සොරුන් සමහර අවස්‌ථාවලදී ගෙවල්වල රැඳී සිටි කාන්තාවන් පවා දූෂණය කර තිබේ. දූෂණය කිරීමෙන් ඉක්‌බිති සාක්‌කි සැඟවීම පිණිස ඔවුන් ඝාතනය කළ අවස්‌ථා ඉකුත් කාලයේදී අසන්නට ලැබිණ. ඒ අනුව රටපුරා සොරකම ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී යැම දේපළ සම්බන්ධයෙන් පමණක්‌ නොව සිය ජීවිත පිළිබඳ බියක්‌ ජනතාව තුළ තදින් දනවන්නට සමත් වී තිබේ. දිවා කාලයේ පවා ගේට්‌ටුවලට යකඩ ඉබ්බෝ දමා දොර ජනේලවල අගුළු සිර කරගෙන නිවාස අඩස්‌සියේ ජීවත් වන්නට ජනතාවට අද සිදුවී තිබීම සම්බන්ධයෙන් පොලිසිය ලැඡ්ජාවට පත්විය යුතුය.

ධනවත් සමහරු තමන්ගේ ගේදොර දේපොළ ආරක්‌ෂාව සඳහා සීසීටීවී කැමරා පද්ධති සවිකර ගෙන ජීවත් වෙති. තවත් සමහරු අනතුරු හැඟවීමේ නළා සංඥ සවිකර ගනිති. ඇතැමුන් පුද්ගලික ආරක්‌ෂක සේවා සහාය ලබාගෙන සැනසිල්ලේ නිදති. මේවා තිබුණත් නැතත් සොරා ඒ කිසිවක්‌ ගණන් ගන්නේ නැති බවක්‌ පෙනේ. හිටපු පොලිස්‌පතිවරයාගේ නිවසට සොරුන් පැන දේපොළ පැහැර ගැනීම මීට කදිම නිදසුනකි.

සොරකම සහ සොරුන් මේ තරම් ශීඝ්‍රයෙන් රට පුරා ව්‍යාප්ත වීමට කරුණු ගණනාවක්‌ බලපා තිබෙන බව ඒ පිළිබඳ අප කළ සොයා බැලීම්වලදී අනාවරණය විය. ප්‍රධාන හේතුව වශයෙන් එහිදී පෙනී ගියේ සොරකම් මැඬලීමට ශක්‌තිමත් වැඩ පිළිවෙළක්‌ පොලිසිය සතුව නොමැති බවට විශ්වාසයක්‌ සොරකමේ යෙදෙන පුද්ගලයන් තුළ හට ගැනීමයි. සොර කල්ලිවලට අලුතින් සාමාජිකයන් එකතුවීම සහ ග්‍රාමීය මට්‌ටමින් අලුත් සොරුන් බෝවීම මෙම තත්ත්වය යටතේ වේගවත් වී තිබේ. සොරකම් සම්බන්ධයෙන් පොලිසියට දිනපතා පැමිණිලි ලැබෙමින් පවතී. එවැනි සොරකම් කළ සමහරු පිළිබඳ තොරතුරු විපතට පත් පාර්ශ්ව පොලිසිය වෙත ඉදිරිපත් කරන අවස්‌ථාද බොහෝය. එහෙත් මෙම සොරුන් අල්ලාගෙන එන්නට තරම් සම්පත් පොලිසිය සතුව නැත. වාහන හා නිලධාරි හිඟය මෙහිදී තදින්ම බලපා ඇත. ඒ වගේම සොරකම් ව්‍යාප්ත වීම අවම කිරීම සහ සැකකාර සොරුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැදගත් දීර්ඝකාලීන වැඩපිළිවෙළක්‌ පොලිසිය සතුව නැත. මේ බව දන්නා සොරුන් ගෙවල් බිඳීම සිය ජීවන වෘත්තිය වශයෙන් සලකා කටයුතු කරන්නට පටන් ගෙන තිබේ.

මෙහිදී තවත් විශේෂ කරුණක්‌ පොලිසිය පැත්තෙන් මතු කෙරිණ. එනම් පෙර කාලයේදී මෙන් මෙම අවධියේදී අල්ලා ගන්නා සොරුන්ට පහරදීමක්‌ සිදුකර ඔවුන්ගේ ක්‍රියාකාරකම් වමාරවා ගන්නට පොලිසියට නොහැකි බවයි. විශේෂයෙන් පොලිසියේ අත්පා බැඳ දමා නව නීති සහ මානව හිමිකම් සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්නවලදී පොලිස්‌ නිලධාරීන් අන්ත අසරණ තත්ත්වයට පත්වන බව පැවසිණ. එබැවින් සොරා සහ පොලිසිය සමගි සන්ධානයෙන් කටයුතු කරමින් සොරාගත් භාණ්‌ඩ සොයා ගන්නට වත්මනෙහි සිදුවී තිබෙන බව පොලිසිය පැත්තෙන් පැවසිණ. පොලිසිය කෙරෙහි එදා තිබූ බිය ක්‍රමයෙන් ඉවත් වීම, සොරකම් ඉහළ යැමට තවත් හේතුවක්‌ සපයා ඇති බව මින් ගම්‍ය වෙයි.

මීට කලකට පෙර ගෙවල් බින්ද සොරුහු මුදල් රන් භාණ්‌ඩ පමණක්‌ නොව ජංගම දුරකථන, ලැප්ටොප්, වතුර මෝටර් පවා පැහැරගෙන ගියහ. වර්තමානයේ තත්ත්වය වෙනස්‌ය. අද ගෙවල් බිඳින සොරුන් බොහෝ අවස්‌ථාවලදී සොරා ගන්නේ දෙස්‌ විදෙස්‌ මුදල් හා රන් භාණ්‌ඩ පමණි. විද්යුත් උපකරණ දත්ත ඔස්‌සේ පොලිස්‌ පරීක්‍ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගන්නට තිබෙන ඉකඩ වැඩි බැවින් ජංගම දුරකථන හා ලැප්ටොප් යන්ත්‍ර සොරා ගැනීම අවම මට්‌ටමක පවතී. කුඩුකාරයෙක්‌ පවා මේවාට අත තබන්නට බියක්‌ දක්‌වයි.

ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් පොලිසිය වෙත ඉදිරිපත් කරනු ලබන පැමිණිලි විභාග කොට සැකකරුවන් අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ අවසන් කිරීමට නිශ්චිත කාලයක්‌ නොදීම හේතුවෙන්ද මෙවැනි අපරාධ අද වේගයෙන් ඉහළ යන බවක්‌ පෙනේ. පොලිසිය වෙත ඉදිරිපත් කරනු ලබන පැමිණිලි සියල්ලම විභාග කෙරේද? එම විමර්ශන ආදියේ ප්‍රතිඵල සහ අවශ්‍ය වැඩිදුර උපදෙස්‌ ලබාදීම පළාත භාර උසස්‌ පොලිස්‌ නිලධාරීන්ගේ රාජකාරිමය වගකීම වෙයි. පසුගිය වර්ෂ ගණනාවක සිදුවූ ගෙවල් බිඳුම් ප්‍රමාණය සහ එබඳු පැමිණිලි සමාලෝචනය කළහොත් තත්ත්වයේ බරපතළකම පෙනී යනු ඇත. සොරකම සහ සොරුන් රටපුරා වර්ධනය වීමට මෙම තත්ත්වය බලපා තිබේ. සොරකම් මඬින්න පොලිසිය ක්‍රියාත්මක නොවීම පනින රිළවුන්ට ඉණිමං බැඳීමක්‌ තරම් දුරදිග ගොස්‌ ඇත.

පසුගියදාක අප හිතවත් උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ සොරකමේ යෙදුණ තරුණයකුගේ සීසීටීවී දර්ශන පෙළක්‌ අපට දර්ශනය කළේය. මෙම තරුණයා සැරසී සිටියේ “ගරාඡ්” ඇඳුමකින් ය. ඉණ වටා පටියකි පටයේ රැඳවූ අඬු, පිහිතල, මිටි වැනි ආයුධ එකින් එක ගෙන දෙමහල් නිවසක පහත ජනේලයක්‌ විවර කරන්නට ඔහු යුහුසුළු විය. දෑතේ අත් මේස්‌ වැනි දෙයකි. මේ අනුව පෙනී යන්නේ වර්තමානයේ ගෙවල් බිඳින බොහෝ සොරුන් එම ක්‌ෂේත්‍රයේ “වෘත්තීයවේදීන්” බවට පත්වී සිටීමයි. ඊට සරිලන අයුරින් පොලිසිය වෙනස්‌ නොවීම තත්ත්වය බරපතළ වීමට තවත් හේතුවකි.

අප දන්නා සුළු ව්‍යාපාරිකයකුගේ වෙළෙඳසලක්‌ පසුගියදා සොරෙකු විසින් බිඳ එහි තිබූ කිරිපිටි පැකට්‌, තේ කොළ පැකට්‌ ඇතුළු තවත් පැකට්‌ කළ ද්‍රව්‍ය රැසක්‌ පැහැරගෙන ගියහ. ගමේ තරුණයෝ තොරතුරු ඔස්‌සේ ලුහුබැඳ ගොස්‌ සොරා අල්ලා ගත්හ. ඒ සොරාගත් ද්‍රව්‍යද සමඟිනි.

“ගහන්න එපා· මගේ ඇඟට අත තියන්ඩ එපා. මාව පොලිසියට භාර දෙන්ඩ” සොරාකෑම සිදුකළ තරුණයා ඔහු අල්ලාගත් පිරිසට පවසා තිබේ.

පෙර අවධියේ සොරෙකු අල්ලාගත් පසු සොරා පවසන්නේ “අනේ මහත්තයෝ… මට ගහන්ඩ. හැබැයි පොලිසියට භාර දෙන්න එපා…” යනුවෙනි. අද තත්ත්වය උඩු යටිකුරු වී ගොස්‌ය. හොරා කැමති පොලිසියට අසුවන්නටය. මන්ද දින 14 ක්‌ රිමාන්ඩ් භාරයේ සිටීමෙන් ඉක්‌බිති ඔහුට ඇප ලැබෙන බැවින්ය.

සවිමත් යකඩින් සැකසූ ග්‍රිල් කැපීමට අවශ්‍ය “ආර්ක්‌” බලයෙන් ක්‍රියාත්මක වන කුඩා විදුලි පන්දම් ප්‍රමාණයේ නවීන උපකරණද වර්තමාන ගෙවල් බිඳින්නන් සතුය. සීල් කර තැනූ දොර ජනේල පවා විවර කළ හැකි උපකරණද ඔවුන් සතුය. පෙර කල මෙන් බිත්තියේ සිදුරක්‌ සාදා ඒ තුළින් මුට්‌ටියක්‌ නිවස තුළට යවා නිවැසියන් අවදියෙන් දැයි බැලූ සොරුන් හෝ මුහුණ පුරා දැලි අඟුරු ගල්වා ගත් සොරුන් අද කාලයේ දකින්නට නැත. ජැන්ඩියට හැඳ පැළඳ ගෙන අවශ්‍ය උපකරණද සහිතව දිවා හෝ රාත්‍රියේ නිවසට පැන ගෙදරම ශුද්ධ කරගෙන යන සොරුන් ජංගම සේවා පවා පවත්වාගෙන යන බවට අත්දැකීම් මෙම ලියුම්කරුවා සතුය.

මෙම වසරේ ජනවාරි මස 05 වැනිදා ලියුම්කරුගේ නිවසට සොරුන් ඇතුළු වූයේ සවස 5.15 ත් 6.20 ත් අතරය. සවස 5.15 ට මෙම ලියුම්කරු සිය වාහනයෙන් පිටතට ගිය අතර නිවස අද්දර නවතා තිබූ ත්‍රීවීලරයක්‌ ලියුම්කරු පසුපස ලුහුබැඳ ගිය බව පසුව අනාවරණය විය.

ත්‍රීවීලරයේ සිටි පුද්ගලයා හෝ පුද්ගලයන් සිය ජංගම දුරකථනය ඔස්‌සේ නිවසට ඇතුළු වූ සොරුන්ට ලියුම්කරු යන එන මඟ පිළිබඳ තොරතුරු ලබාදී ඇත. පැයක්‌ වැනි කාලයක්‌ තුළදී ලියුම්කරු යළි නිවසට පැමිණ බලන විට රුපියල් ලක්‌ෂ අටකට ආසන්න රන් ආභරණ සහ මුදලින් රුපියල් විසිදහසක්‌ පැහැරගෙන ගොස්‌ තිබෙනු දැක ඇත.

මේ පිළිබඳ තලංගම පොලිසියට එදිනම පැමිණිලල්ක්‌ සිදු කෙරිණ. එහෙත් අද දක්‌වා මෙම සොරකමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත. මෙම සිදුවීම පමණක්‌ නොව, රට පුරා සොරකම වසංගතයක්‌ මෙන් පැතිරී යන්නට ඉහත සඳහන් හේතු බලපා තිබෙන බව අනතුරුව කළ සොයා බැලීම්වලදී අනාවරණය විය.

– Divaina