0
486
ශ්‍රී ලංකාවේ පළමුවන ප්‍රශ්න පත්‍ර සොරකම!

ප්‍රයිවට්‌ ටියුෂන් යනු නූතන සංස්‌කෘතියේ කොටසකි. එක්‌දහස්‌ නවසිය හැත්තෑ ගණන්වල මුලදී ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ නාගරික කොටසට අලුත් වචන දෙකක්‌ එකතු විය. ඒ ‘ආෆ්ටර් ස්‌කූල්’ ය. “ඕගොල්ලො හෙට ආෆ්ටර් ස්‌කූල් ඉන්න……” යෑයි ගුරුවරු ළමයින්ට කීහ. “අම්මේ මම හෙට ආෆ්ටර් ස්‌කූල්” යෑයි ළමයි අම්මලාට කීහ. අපේ දුව/ පුතා අද “ආෆ්ටර් ස්‌කූල්” යෑයි පසු දින අම්මලා අල්ලපු ගෙදර අයට කීහ. ඉස්‌කෝලෙන් පස්‌සේ හෙවත් මෙකී ආෆ්ටර් ස්‌කූල් ඉඳීමට ළමයින්ට සිදු වූයේ ප්‍රධාන කාරණා දෙකක්‌ වෙනුවෙන්ය. පළමුවැන්න ක්‍රීඩා පුහුණුව පිණිසය. දෙවැන්න අමතර පන්ති සඳහාය. සමහර ගුරුවරු මේ පන්ති නොමිලයේම කළ අතර තව සමහරු මේ උදෙසා දෙමාපියන් විසින් දෙන ලද සුළුÊගතමනාව ඉතා ‘අකැමැත්තෙන්’ භාර ගත්හ. පාසල තුළ කෙරෙන අමතර පන්තියකට මුදල් අය කිරීම චර්යාත්මක නො වන බව පසු කලකදී මේ යහපත් ගුරුවරු තේරුම් ගත්හ. ඒ නිසා ඔවුහු බොහෝ විට තම ගෙදරටත්, නො එසේ නම් පන්සලක බණ මඩුවටත් මේ ආෆ්ටර් ස්‌කූල් පන්තිය ගෙන ගියහ. ලංකාවේ අධ්‍යාපනය නිදහස්‌ ය. ඒ නිසා ගුරුවරයාට මෙන්ම ගෝලයාට ද බොහෝ විට එහි වටිනාකමක්‌ දැනුණේ නැත. එහෙත් මුදල් දී ලබා ගන්නා ආෆ්ටර් ස්‌කූල් අධ්‍යාපනය හෙවත් ටියුෂන් අධ්‍යාපනය ඔවුන්ට වටින්නට පටන් ගත්තේය. ඒ නිසා ළමෝ පාසල් නොගිය ද නොවරදවාම ටියුෂන් ගියහ.

එක්‌දහස්‌ නවසිය අසූ ගණන් වන විට පෞද්ගලික ටියුෂන් පන්තිවල ව්‍යqහය තවදුරටත් වෙනස්‌ විය. මාස්‌ ක්‌ලාස්‌, ගෲප් ක්‌ලාස්‌ සහ ඉන්ඩිවිජුවල් ක්‌ලාස්‌ යනාදී වශයෙන් ස්‌ථර කිහිපයක්‌ එහි ඇති විය. මාස්‌ ක්‌ලාස්‌වල සිසුන් දහසක්‌ පමණ සිටි අතර ගුරුවරයා ස්‌ටේ- එකකට නැගී උගුර කඩාගෙන පාඩම කළේය. අඩි 200 ක්‌ පමණ දිග ශාලාවේ එහා කොනේ සිටින ළමයාටත් ඇසෙන පරිදි පන්ති පැවැත්වීමේ හැකියාව ඇති ගුරුවරු එකල සිටිය ද පසු කාලයේදී ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගැනීම සිදුවිය. මාස්‌ ක්‌ලාස්‌වල පන්ති ගාස්‌තුව අඩුය. අනෙක්‌ පන්ති වර්ගය වූ ගෲප් ක්‌ලාස්‌වල සිටියේ ළමුන් අඩු පිරිසකි. බොහෝ විට ගෲප් ක්‌ලාස්‌ එකක සිටින ළමයින් ගණන 10 – 20 ක්‌ විය. ඉන්ඩිවිජුqවල් එකක්‌ හෙවත් තනි ළමයාගේ පන්තියේ ගාණ සැරය. එය පැය ගණනට මීටරය කැඩීමකි. අද ඇතැම් ගණිත ගුරුවරු පැයට රුපියල් 2500 ක්‌ ගෙන තනි ළමයාගේ පන්ති කරයි. දිනකට පැය 2 ක්‌ මෙවැනි පන්තියක්‌ කරන විට ගාස්‌තුව රුපියල් 5000 කි. සතියේ දින 5 ට 25000 කි. දින 20 ක ටියුෂන් ගාස්‌තුව මාසයකට ලක්‍ෂයකි. මෙවැනි පන්ති පහක්‌ අල්ලා ගත හැකි ගුරුවරයාට මාසික ආදායම ලක්‍ෂ 5 කි.

මේ ආදායමට අප ඉරිසියා කළ යුතු නැත. නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙන් ගොඩ ආ දොස්‌තර මහතා ‘ප්‍රයිවට්‌ චැනලින්’ කර මාසයකට රුපියල් මිලියන දෙක තුන උපයනවා නම් නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙන් ගොඩ ගිය ගුරුතුමා ද මසකට මිලියන භාගයක්‌ ඉපයීමේ ඇති වරද කුමක්‌ද? වැඩි දෙනා මේ ආදායම ගැන කතා කරන්නේ ‘එයාට තියෙනවා අපට නැහැ’ යන කුහක පදනම මතය. එහෙත් පාසල් යන දරුවා පාසලෙන් පසුද අල්ලා ගෙන අධ්‍යාපනය නමැති හිරගෙය තුළ බහා පාඩම්වලින් ඔහුගේ හෝ ඇයගේ කන් පුරවාලීම සුදුසු ද?

හැම ළමයකුටම මානසික ධාරිතාවක්‌ තිබේ. මෙය Mental Capacity ලෙස හඳුන්වනු ලැබේ. පාසල් යන දරුවා දිනකට පැය 6 ක්‌ උගනී. සතියකට පැය 30 ක්‌ ද, මසකට පැය 120 ක්‌ ද උගනී. පාසල් නිවාඩුව සඳහා දින 60 ක පමණ කාලයක්‌ වෙන් කළ විට හැම දරුවෙක්‌ම වසරකට පැය 1830 ක්‌ උගනී. අවුරුද්දකට තුන් වතාවක්‌ දීර්ඝ පාසල් නිවාඩුවක්‌ ලබා දෙන්නේ ළමයාගේ මනසට විවේකයක්‌ අවශ්‍ය නිසා ය. පාසල් ජීවිතයේදී ශිෂ්‍ය ප්‍රජාවට මාස තුනක නිවාඩුවක්‌ අවශ්‍ය බව එක්‌දහස්‌ අටසිය ගණන්වල අග කොටසේදී බ්‍රිතාන්‍යයේ ජීවත් වූ මනෝ විද්‍යාඥයෝ ද කීහ. අද පාසල් යන දරුවා අවදි වන්නේ පාන්දර 4 ට හෝ 5 ට ය. ඔහු ගෙදර එන්නේ රෑට ය. එම දරුවා කොතරම් දරුණු මානසික පීඩනයක සිටීද යත් පාසලෙන් දෙන සටහන් වුව පුනරීක්‍ෂණය කිරීමට බැරිය. මේ දරුවා තනිකරම යෑපෙන්නේ ටියුෂන් මත ය. මේ ළමයා සති අන්තය ගත කරන්නේ ද ටියුෂන් පන්තිවලය. මෙසේ සතියේ දින 5 ක්‌ පුරා පාසල තුළ උගත් දේ යළි කියවා බැලීමට දරුවට කාලය නැත. ඉහත සඳහන් කාරණා දෙස බලන විට පෙනී යන්නේ මේ රටේ පාසල් දරුවන් බහුතරයක අධ්‍යාපනය පිළිබඳ වගකීම පාසල් ගුරුවරයා අතින් ගිලිහී තිබෙන බවය. ළමයාට පාසල් ගුරුවරයා මඟහැරී තිබේ. පාසල් ගුරුවරයාට ළමයා මඟහැරී ඇත. තම දරුවන් උදේ සිට රෑ වන තුරු ප්‍රසිද්ධ පාසල් තුළත්, ඒ තරමටම ප්‍රසිද්ධ ටියුෂන් පන්ති තුළත් කල් ගත කරන බැවින් මාපියන් කල්පනා කරන්නේ ඔවුන් ඉතා හොඳින් ඉගෙන ගන්නා බවය. දරුවකුගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය පිළිබඳ වගකීම තනිකරම දෙමාපියන් විසින් දරනු ලැබිය යුතුව තිබේ. සාමාන්‍යයෙන් සවස හයට පෙර පැය 2 ක කාලයක්‌ හැම පාසල් ළමයකුම විවේකයෙන් සිටිය යුතු බව ඇතැම් මනෝ චිකිත්සකයෝ කියති. අධ්‍යාපනය සඳහාම පමණක්‌ දිගටම මහන්සිවන ළමයා උගත් රොබෝවකු බවට පත් වන්නේය. ඔහුට/ ඇයට ‘දැනීම’ මිස ‘හැඟීම’ නැත.

******* ***** **** **** *

මේ රටේ පළමුවන ප්‍රශ්න පත්‍ර සොරකම සිදුවන්නේ ද ටියුෂන් ගුරුවරයකු පාදක කරගෙනය. අපගේ මතකය නිවැරැදි නම් මෙය සිදු වූයේ 1973 දී ය. 1970 දී බලයට පත් වූ සමගි පෙරමුණ ආණ්‌ඩුව 1971 දී හටගත් තරුණ කැරැල්ල ඉතා සාර්ථක ලෙස මර්දනය කර තරුණ තරුණියන් දෙතුන් දහසකගේ මළ සිරුරු ගංගාවල පාකර හැරීමෙන් පසු එතෙක්‌ පැවැති අධ්‍යාපන විෂය මාලාව වෙනස්‌ කිරීමට උත්සුක විය. එතෙක්‌ තිබූ O/L සහ A/L විෂය මාලා අත්හැර දැමූ එම ආණ්‌ඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශය 1975 සිට NCGE විභාගය (මෙය O/L වෙනුවට ගෙනා විභාගයයි) 1978 දී HNCE විභාගය ද (මෙය A/L විභාගය වෙනුවට ගෙනා විභාගයයි) පැවැත්වෙන බව ප්‍රකාශයට පත්කර වැඩ 10 කින් යුතු නව විෂය මාලාවක්‌, පන්ති කාමරයට ගෙනාවේය. එහෙත් එතෙක්‌ ධරැඛ සහ A/L විභාග ආසන්නයේ සිටි සිසු දරුවන් වෙනුවෙන් එම විභාග පැවැත්විණ. මේ අතර 1973 ධරැඛ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර ලබා ගැනීමට එක්‌තරා ටියුෂන් ගුරුවරයකුට වුවමනා විය. ඔහු අදහස්‌ කරගෙන සිටියේ විභාගයට දින කිහිපයකට කලින් එම ප්‍රශ්න පත්‍රය තම සිසුන් සමඟ සාකච්ඡා කර උත්තර සපයා දී විභාගයෙන් ඔවුන් එතෙර කිරීමය. මෙකල මෙන්ම එකලද තරග විභාග සඳහා වූ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන ලද්දේ දැඩි ආරක්‍ෂාව මැද ය. එසේම අද විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කළ ද එකල බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණාලයේදී එම මුද්‍රණ කටයුතු සිදුවිය. ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන දිනවල එම මුද්‍රණ කලාපයට ඇතුළු වීමට ඉඩ ලැබුණේ එම කලාපය තුළ සේවය කරන මුද්‍රණ ශිල්පීන්ට, සෝදුපත් බලන්නන්ට, ප්‍රශ්න පත්‍ර ලයිනෝ ටයිප් නමැති යන්ත්‍රය ආධාරයෙන් අකුරු අමුනන අයට පමණි. ආරක්‍ෂක නිලධාරීන්ට පවා එම අංශයේ දොරෙන් ඇතුළු වීම තහනම් විය. සියලු සේවකයන් එම අංශය තුළට ඇතුළු කර ගන්නා ලද්දේ දැඩි ලෙස පරීක්‍ෂා කිරීමන් පසුවය.

O/L ප්‍රශ්න පත්‍රයක්‌ උස්‌සන්නේ කෙසේ දැයි දස අතේ කල්පනා කරමින් සිටි ටියුෂන් ගුරුතුමාට ‘මයිකල් බාස්‌’ (මෙය ව්‍යාජ නමක්‌ බව සලකන්න) නමැති පුද්ගලයා හමුවන්නේ මේ අතරය. මයිකල් බාස්‌ රජයේ මුද්‍රණාලයේ විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන අංශයේ සේවය කළ මෙෂින් ඔපරේටර් කෙනෙකි. ඔහුගේ දියණිය ඒ වන විටත් ඉතා ජනප්‍රිය නිළියකව සිටි නමුදු ඇය රඟපෑ නාට්‍යවල නිෂ්පාදකයන් මුදල් නොගෙවා මඟ හැරීම නිසාත්, ඇය රඟපෑ චිත්‍රපටවල නිෂ්පාදකයන් පොලු තැබීම නිසාත් මුදල් හිඟයෙන් පෙලුනාය. (එකල නාට්‍ය නිළියකට එක්‌ වරක්‌ රඟපෑමට (එක ෂෝ එකකට) රුපියල් 25 කට වඩා ගෙවනු නොලැබේ. එබැවින් මයිකල් බාස්‌ මුදල් සොයමින් වෙහෙසින. දිනක්‌ ටියුෂන් ගුරුතුමාගේ මිතුරෙක්‌ ඉතාම අහම්බෙන් ඔහුට මයිකල් බාස්‌ හඳුන්වා දුන්නේය. මේ වටිනා කියන මුද්‍රණ මෙෂින් ඔපරේටර්ගේ තොරතුරු සහ ලිපිනය ලබාගත් ගුරුතුමා පසුවදා ම මයිකල් බාස්‌ හමු වී තම වුවමනාව පැහැදිලි කර ප්‍රශ්න පත්‍රය එළියට පන්නා දෙන්නේ නම් රුපියල් 150 ක්‌ දෙන බවට පොරොන්දු විය.

“කොහොමද මහත්තයෝ ඒක කරන්නේ? ඇඳිවත ඇර වෙන මොකවත් ප්‍රෙස්‌ එක ඇතුළට ගේන්නවත් පිටට ගෙනියන්නවත් දෙන්නේ නැහැ.” මයිකල් බාස්‌ කීවේය.

මේ ටියුෂන් ගුරුතුමාගේ ‘මීටරය’ ඉතා හොඳය. ‘ඇඳිවත’ යන පදය ඔහුගේ මොළය මැද නැවතින.”අපි මෙහෙම කරමු” ඔහු කීවේය. “බාස්‌ උන්නැහේ ඇඳගෙන යන සරම ඇතුළෙ ප්‍රශ්න පත්තරේ ප්‍රින්ට්‌ එකක්‌ ගහගෙන එන්න….” ගුරුතුමා කීවේය.

එහෙත් මෙය ඉතා දුෂ්කර කාර්යයකි. මයිකල් බාස්‌ වැඩට ඇන්දේ පාට සරම් ය. ඒවායේ අකුරු මුද්‍රණය කළ විට අපැහැදිලි බව ඔහු තර්ක කළේය. “මම තමුසෙගෙ සරම ගලවලා ළමයින්ට බෙදන්නෙ නැහැ. තමුසේ මට සරම ගෙනත් දුන්නාම මම ඒකෙ අකුරු පළිඟු කණ්‌ණාඩියකින් බලලා කොපි කර ගන්නම්” ගුරුතුමා කීවේය.

ටිකක්‌ කල්පනා කළ මයිකල් බාස්‌ට අපූරු නුවණක්‌ පහළ විය. “මහත්තයෝ ඊට වඩා හොඳ ක්‍රමයක්‌ තියෙනවා…..” ඔහු කීවේය.

ලබන සතියේ ‘හොඳ ක්‍රමය’ කියවන්න.

විශේෂ ලියුම්කරුවකු විසිනි

බොදුබල සේනාව ජනාධිපති හමුවුණේ ඇයි?

බුරුමයේ බෞද්ධයින් අශ්වින් විරාතු හිමියන්ගේ හඬට වඩා හොඳින් කන් දුන්නා සේම මෙරට දැහිතකාමීන් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ගේ හඬට කන් දුන් බව රහසක්‌ නොවේ. බුරුම ආණ්‌ඩුව අශ්වින් විරාතු හිමියන්ගේ හඬට කන්දෙමින් එරට බහුතර ආගමික කණ්‌ඩායම එනම් බෞද්ධයින් සුරැකීමට නීති සම්මත කළේ පසුගිය වසරේදීය. ඒ අතර බෞද්ධ කාන්තාවක්‌ අන්‍යාගමිකයෙක්‌ සමඟ විවාහවීමට සූදානම් වන්නේ නම් ඒ සඳහා රජයේ අවසර ගත යුතු බව දැක්‌වෙන පනතක්‌ ද විය. බුරුමයේ මුස්‌ලිම් ව්‍යාප්තිය නැවැත්වීමට විශේෂ නීති අවශ්‍ය බව 989 ව්‍යාපාරයේ නායක අශ්වින් විරාතු හිමියෝ අවධාරණය කර සිටියහ. ලොවම ගරුකරන මානවහිතවාදී නායිකාවක වන අවුන්සාන් සුකී ද අශ්වින් විරාතු හිමියන්ගේ බෞද්ධ පුනරුද ව්‍යාපාරයට පහර දීමට හෝ අකුල් හෙලන්නට පැමිණියේ නැත. ලොව බොහෝ මානව හිමිකම් සංවිධාන අශ්වින් විරාතු හිමියන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධව අවුන්සාන් සුකී නිහඬව සිටින්නේ මන්දැයි ප්‍රශ්න කර සිටියහ. නමුත් අවුන්සාන් සුකී මේ බෞද්ධ පුනරුද ව්‍යාපාරයට පහර දීමට ඉදිරිපත් වූවානම් ඇගේ පක්‍ෂයට මැතිවරණයේ ජයග්‍රහණය අත්වන්නේද නැත.

එහෙත් මෙරට දේශපාලනඥයෝ නම් බොදුබල සේනාවට දැඩිසේ බැට දුන්හ. වර්තමාන යහපාලන ආණ්‌ඩුව යටතේ නම් බුරුම බෞද්ධ නායක අශ්වින් විරාතු හිමියන්ට ලංකාවට පැමිණිමට වීසා ලැබෙන්නේ ද නැත. නමුත් මහින්ද රාජපක්‍ෂ මහතා අශ්වින් විරාතු හිමියන්ට වීසා ලබාදීමට සිය අනුමැතිය ලබා දුන්නේ වහාබ්වාදීන්ගේ විරෝධතා එල්ලවෙද්දීය. වසර කිහිපයක්‌ තිස්‌සේ බොදුබල සේනාව ප්‍රකාශ කළ කරුණු සත්‍ය බව දැන් බොහෝ දෙනාට අවබෝධ වී ඇති සෙයකි. විශේෂයෙන්ම වහාබ්වාදී මුස්‌ලිම් සංවිධාන නිසා මෙරට සාම්ප්‍රදායික මුස්‌ලිම් ප්‍රජාවට ද තර්ජනයක්‌ එල්ල වන බව ඥනසාර හිමියෝ නිරන්තරව ප්‍රකාශ කළහ. ලංකාවට ද මුස්‌ලිම් මූලධර්මවාදීන්ගේ තර්ජන තිබෙන බව නිරන්තරව ප්‍රකාශ කළේ බොදුබල සේනාවයි. දැන් ශ්‍රී ලාංකික පවුල් 09 කට අයත් 45 දෙනෙක්‌ තුර්කිය හරහා සිරියාවට ගොස්‌ සිටින්නේ කවරක්‌ සඳහා ද? අබුබකර් බැග්ඩෑඩ් සමඟ එක්‌ව මුස්‌ලිම් කාලිපාතය එනම් මුස්‌ලිම් රාජ්‍යය පිහිටුවීමට නොවේද? අපේ බුද්ධි අංශ මේ ගැන වඩා හොඳින් අවධානය යොමු කළ යුතු බව බොදුබල සේනාව මීට වසරකට පමණ පෙරදී හඬනගන විට සමහරු ඊට සිනහසුනහ. නමුත් වර්තමාන ආරක්‍ෂක ලේකම්වරයා පවා ප්‍රකාශ කර ඇත්තේ ලාංකිකයන් පිරිසක්‌ සිරියාවට ගොස්‌ අයිසිස්‌ සංවිධානයට බැඳී ඇති බව තහවුරුව ඇති බවයි. එසේනම් මේ වහාබ් යක්‌ෂයාගෙන් මේ බෞද්ධ රාජ්‍යය බේරා ගැනීමට කටයුතු කළ යුතු නොවේද?

පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වීම මගින් බොදුබල සේනාව අත්වැරදීමක්‌ සිදුකර ගත් බව රහසක්‌ නොවේ. 2004 දී ධර්ම රාජ්‍යය ඇති කිරීම වෙනුවෙන් ඡන්ද ලක්‍ෂ පහක්‌ ගත් පක්‍ෂය ද අද එක්‌සත් ජාතික පක්‍ෂයේ කෝට්‌ටේ බලමණ්‌ඩලය බවට පත්ව තිබේ. ධර්මරාජ්‍යය ලොප්වී දැන් යහපාලන රාජ්‍යය කරලියට පැමිණ ඇත. ජනවාරි 08 වැනිදා සිදුවූ දේදුනු විප්ලවයෙන් උපන් යහපාලන ආණ්‌ඩුවට වසරක්‌ ගත වී ඇතත් ජනතාවට දැනුණු යහපතක්‌ හෝ යහපාලනයක්‌ නම් නොමැත. කවරක්‌වෙතත් බොදුබල සේනාව නිරන්තරව යහපාලන ආණ්‌ඩුවත් ජනපතිවරයාත් විවේචනය කරනු ලැබුවේ ඔවුන් සුළු ජාතීන්ගේ ඉල්ලීම්වලට කන් දෙමින් කටයුතු කරතත් මහ ජාතිය ගැන තැකීමක්‌ නොකරන බව පවසමිනි. බොදුබල සේනාවේ මේ විවේචනය සම්බන්ධ තාර්කික පදනමක්‌ තිබුණු බව රහසක්‌ නොවේ.

එහෙත් පසුගිය සතියේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී පැයක පමණ කාලයක්‌ සාකච්ඡා පැවැත්වීම යහපාලනය වෙනුවෙන් කටයුතු කළ සමහර සංවිධානවල ද විමතියට හේතුවක්‌ විය. බොදුබල සේනාව තම අදහස්‌ කෙලින්ම ජනපතිවරයා හමුවේ ඉදිරිපත් කිරීම රටටද යහපතකි. බොදුබල සේනාව ජනපතිවරයා සමඟ සාකච්ඡාවක්‌ ඉල්ලමින් ලිපියක්‌ යවනු ලැබුවේ පසුගිය දෙසැම්බර් 09 වැනිදාය. ඒ අනුව පසුගිය සතියේදී ඒ ලිපියට පිළිතුරු වශයෙන් ජනපති හමුව සිදුවිය.

මෙහිදී බොදුබල සේනා නියෝජිත පිරිස යහපාලන ආණ්‌ඩුවේ ප්‍රධානීන් නිරන්තරව ජාතිවාදී අන්තවාදී කල්ලියක්‌ ලෙස බොදුබල සේනාව හෙළා දැකීමට එරෙහිව කරුණු ඉදිරිපත් කර ඇත. එමෙන්ම වවුනියාව බෝගස්‌වැව ප්‍රදේශයේ පදිංචි කරනු ලැබූ සිංහල පවුල් 3500 කට අත්ව තිබෙන ඉරණම පිළිබඳව ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කරුණු දක්‌වා ඇත. හමුදාවේ මැදිහත්වීම මත මෙම සිංහල පවුල් පදිංචි කරනු ලැබූ අතර යහපාලන ආණ්‌ඩුව බලයට පත්වීමෙන් පසු මෙහි වැසියන්ට කණකොකා හඬා ඇත. එනිසාම පවුල් දහසක්‌ පමණ බෝගස්‌වැව ප්‍රදේශය හැර දමා පැමිණ තිබේ. මේ අසරණ සිංහලයන්ගේ ගම්මාන

රැකගැනීම වෙනුවෙන් මැදිහත් වෙන ලෙස බොදුබල සේනාව ජනපතිවරයාට දැනුම්දී ඇත.

ජනපතිවරයා හා පැවැති සාකච්ඡාවේදී විල්පත්තු වන සංහාරය පිළිබඳව ද බොදුබල සේනා නියෝජිතයෝ කරුණු පැහැදිලි කර ඇත.

විල්පත්තු සිද්ධියට සම්බන්ධ ඇමැතිවරුන් සමඟ තමන්ට සාකච්ඡාවක්‌ ලබාදෙන ලෙසත් මෙහිදී ඥනසාර හිමියෝ ජනපතිවරයාගෙන් ඉල්ලීමක්‌ කර ඇත. බොදුබල සේනා නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාව සඳහා ජනපතිවරයා සහභාගි වී ඇත්තේ තනියම වීම විශේෂයකි. රාජපක්‍ෂ ජනපතිවරයා පරාජය වීමට මූලිකවම බලපෑවේ බොදුබල සේනාව බව කියන නිසා ඔබතුමා අපේ සංවිධානයට විශේෂ සැලකිල්ලක්‌ දැක්‌විය යුතු යෑයි ඥනසාර හිමියෝ පැවසූ විට ජනපතිවරයා සිනහ පළකර ඇත.

රටේ බලවත් ආගමික ව්‍යාපාරය වශයෙන් මෙරට ප්‍රධාන පුරවැසියා සමඟ නිවැරදි ගනුදෙනුවක්‌ තිබීම බොදුබල සේනාවට වැදගත්ය. අන්තවාදී කණ්‌ඩායම් පිළිබඳව ඇති තොරතුරු තමන්ට ලබාදෙන්නැයි ද මෙහිදී ජනපතිවරයා දැනුම් දී තිබේ. දේදුනු විප්ලවයට දායක වූ සමහර සංවිධාන නම්, ජනපතිවරයා බොදුබල සේනාව සමඟ පැවැත්වූ සාකච්ඡාව පිළිබඳ සතුටු නොවන බව නොරහසකි. එහෙත් මෙරට බහුතර සිංහල බෞද්ධයන්ගේ හද ගැහෙනා රාවය පිළිබඳ රටේ විධායකයට ද අවබෝධයක්‌ තිබිය යුතුය. මෙරට ආගමික සහජීවනය රැකෙන්නේ ද බෞද්ධ සමාජය සිදුකරන කැපකිරීම් හේතුවෙනි. බෞද්ධයන්ගේ සෙවන යට සියලු ආගමිකයන්ට සහජීවනයෙන් ජීවත් විය හැකි බව නොරහසකි.

* චතුර පමුණුව