හාල් ගිනි ගණන්… කමක්‌ නැහැ බියර් බීපල්ලා

0
480

අනෙක්‌ අතට රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා මත්පැන් අධෛර්යමත් කිරීම සඳහා සුවිශාල සටනකට උරදී සිටී.

එවන් මොහොතක ඔහුගේ ඇමති මණ්‌ඩලයේ සිටින ඇමැතිවරයෙක්‌ මෙලෙස රටේ ජනතාවට කන්නට තිබෙන වී තොග, වී මිල අසීමිත ලෙස ඉහළ නැඟ ඇති මොහොතක මද්‍යසාර නිෂ්පාදන සමාගමකට විකුණන්නේ නම් එය අදාළ ඇමැතිවරයා රටේ ජනතාවට මෙන්ම ජනාධිපතිවරයාටද කොකා පෙන්වීමකි.

එපමණක්‌ නොවේ. මේ වී තොග විකිණීම සඳහා ඇමැති මණ්‌ඩල අනුමැතිය පවා ලබාගෙන නැත. ඒ වෙනුවට ආර්ථික කමිටුවේ අනුමැතිය පමණක්‌ ලබා ගෙන නැත. රටේ මේ අන්දමට වැදගත් තීරණවලදී ඇමැති මණ්‌ඩලය පවා දැනුවත් නොකර යම් යම් කමිටුවලින් තීරණ ගන්නවා නම් එය බරපතළ කරුණකි.

මේ අන්දමේ කමිටු ගණනාවක්‌ ඉදිරියේදී සංවර්ධනයේ නාමයෙන් රටේ ඇතිකරන්නට නියමිත අතර ඒ හරහා රටේ මහජන දේපළ පුද්ගලීකරණය සිදුකරන්නට ද සියලු පියවර මේ වන විටත් ගෙන තිබේ.

ඉදිරියේදී ගෙන ඒමට නියමිත සංවර්ධනය සඳහා විශේෂ විධිවිධාන පනත අනුව මෙතෙක්‌ ඒ ඒ විෂයයන් සඳහා වූ සියලු අණපනත්වලින් ආවරණය කෙරෙන සියලු දේ පරයා යමින් සංවර්ධනය සඳහා අලුතින් පිහිටුවන ඒජන්සියක්‌ වෙත පූර්ණ බලතල ලබාදීමට නියමිතය. උදාහරණයක්‌ ලෙස ශ්‍රී ලංකා විදුලි බල පනතේ කවර නීති රීති තිබුණත් ඒ සියල්ල යටපත් කරමින් අවශ්‍ය ඕනෑම තීරණයක්‌ මේ සංවර්ධන ඒජන්සියට ගැනීමට සංවර්ධනය සඳහා වූ විශේෂ විධිවිධාන පනත යටතේ ඉඩ ලැබේ.

කෙසේ වෙතත් මේ වී තොග මද්‍යසාර සමාගමකට අලෙවි කිරීමේ ගනුදෙනුව හෙළිවීමත් සමඟ ඊට සම්බන්ධ වූවන් දැන් නන් දොඩවන්නට පටන්ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්‌ඩලය අයත්වන ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති පී. හැරිසන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මත්තල තිබූ සහල් තොගය පුද්ගලික සමාගමකට කිලෝව රුපියල් 42 බැගින් විකුණා දැමූ බවය.

ඒ සඳහා මිල ගණන් කැඳවීමේදී සමාගම් කීපයක්‌ වී කිලෝව රුපියල් 40 බැගින් ඉල්ලා තිබූ අතර එක්‌ සමාගමක්‌ රුපියල් 42 බැගින් ඉල්ලා තිබූ නිසා එම සමාගමට වී තොග ලබාදුන් බව ඇමැතිවරයා පැවසීය.

අදාළ සමාගමේ නම කුමක්‌දැයි කළ විමසීමේදී සමාගමේ නම තමාට මතක නැතැයිද සමාගමේ නම වී අලෙවි මණ්‌ඩලයේ සභාපතිවරයාගෙන් විමසන ලෙසද හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්‌ඩලයේ සභාපති පී. එම්. බී. දිසානායක මහතාගෙන් විමසීමට අවස්‌ථා ගණනාවකදී උත්සාහ කළද ඔහුගේ ජංගම දුරකථනයට පිළිතුරු දීමෙන් දිගින් දිගටම ඔහු වැළකී සිටියේය.

සහල් තොගයේ ප්‍රමාණය හා විකුණුම් මිල පවා මතකයේ තිබියදී අදාළ සමාගමේ නම මතක නැතැයි ඇමැතිවරයා කරන ප්‍රකාශය බරපතළය. අනෙක්‌ අතට එලෙස වගකීම් නැති ප්‍රකාශ මාධ්‍යවෙත ලබාදෙන ඇමතිවරුන් සම්බන්ධව යහපාලන රජයක්‌ ලෙස නිවැරදි තීන්දුවක්‌ ගැනීම වහාම කළ යුතුව තිබේ.

එසේම මේ වී තොග මිලදී ගෙන ඇති සමාගමේ වර්තමාන අයිතිකරුවන් වන්නේ වර්තමාන ආණ්‌ඩුවේ ප්‍රබලම නිලධාරියකුගේ බෑණනුවන්ය. මේ බෑණාගේ සමාගම ආරක්‌ෂා කරන්නට යැම නිසා වර්තමාන ආණ්‌ඩුව පහුගිය කාලය පුරා දැවැන්ත ලෙස තම ප්‍රතිරූපයට හානි කරගත්තේය. දැන් වී තොග දී ඇත්තේද එම බෑණාටමය.

අනෙක්‌ අතට වී අලෙවි මණ්‌ඩලය මේ වී තොග මිලදී ගෙන ඇත්තේ කිලෝවක්‌ රුපියල් 45 බැගිනි. මිලදී ගැනීමේ ක්‍රියාවලියටද විශාල මුදලක්‌ වැයවී තිබේ. දැන් ඒවා කිලෝවක්‌ රුපියල් හතළිස්‌ දෙකකට අලෙවි කිරීමට සිදු වීමෙන් රජයට විශාල පාඩුවක්‌ සිදුව තිබේ. එබැවින් රජය දැන් කළ යුත්තේ වහාම මේ ගැන මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට දැනුම්දී පරීක්‍ෂණ ආරම්භ කිරීමය. පොදු දේපළ නීතිය යටතේ මීට සම්බන්ධ පිරිස්‌ අත්අඩංගුවට ගැනීමය.

මත්තල ගුවන් තොට ආරම්භ කළේ 2013 වර්ෂයේදී තරම් මෑත කාලයකදීය. ඒ අනුව මත්තල ගුවන් තොටුපළ ඉදිකර එය වර්ධනීය තලයකට ගෙන ඒම සඳහා තරම් කාලයක්‌ ලැබී නැති බවද පෙනී යන්නකි. එසේ තිබියදී එහි වී තොග තැන්පත් කිරීම සඳහා ගත් තීරණය තනිකරම දේශපාලන හේතු මත ගත්තක්‌ වන අතර එය ගුවන්තොටුපලක්‌ ලෙස ගොඩනැඟීමට වර්තමාන රජය කිසිදු පියවරක්‌ නොගැනීම ද කැපී පෙනේ.

මත්තල ගුවන් තොටුපළ පරිශ්‍රයේ වී තොග ඉවත් කිරීමෙන් පසු එහි තිබෙන රුපියල් කෝටි විස්‌සකට අධික වූ එක්‌ස්‌රේ, ස්‌කෑනින් යන්ත්‍ර, අධිතාක්‍ෂණික ගිනි සංවේදී උපකරණවල තත්ත්වය නැවත පරීක්‌ෂා කළ යුතුය. A 380 වර්ගයේ විශාල ගුවන් යානයක්‌ වුව පහසුවෙන් ගොඩබැස්‌සවීමේ හැකියාව ඇති මත්තල ගුවන්තොටුපළ රටට ප්‍රයෝජනයක්‌ ගත හැකි ආකාරයේ ව්‍යාපාරික සැලැස්‌මක්‌ වහාම රටට හඳුන්වා දිය යුතුය.

අනෙක්‌ අතට අපේ රටේ වී හෝ සහල්වලින් මද්‍යසාර නිපදවීම තහනම් කෙරෙන නීති රීති වහාම ගෙන ආ යුතුය. එවිට දැනට අහස උසට නැඟ ඇති සහල් මිල රටේ ජනතාවට දරන්නට හැකි තරමට පහත බසිනු ඇත.

ජනිත සෙනවිරත්න