වෛද්‍ය මාෆියාවේ වකුගඩු ජාවාරම

0
778

ඉන්දීය ශ්‍රී ලංකා වකුගඩු ජාවාරමේ සැත්කම් තිහක් කෙරී ඇති බවට ඉන්දීය මාධ්‍ය කළ හෙළිදරව්ව  ඉකුත් දිනෙක අපි ද වාර්තා කළෙමු. ඊයේ වන විට වාර්තා වූයේ මෙරට වෛද්‍යවරුන් හය දෙනකුත් ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් හතරකුත් එහි ප්‍රධාන පාර්ශ්වකරුවන් බවය. සම්බන්ධ බවට සැක කෙරන මෙරට වෛද්‍යවරුන් හයදෙනාගෙන් තිදෙනකුම වෛද්‍යවරියන් බවත්, ඉන් එක් වෛද්‍යවරියක වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකුගේ දියණියක බවත් කියැවෙයි. ඉන්දියාවේ තෙළංඟනා ප්‍රාන්තයේ සිට ක්‍රියාත්මක කෙරෙන මෙකී ජාත්‍යන්තර වකුගඩු ජාවාරමේ සුලමුල සොයා ගන්නේ ඉන්දීය ‍පොලීසියයි. ජාවාරමේ ප්‍රධානියා වශයෙන් සැලකෙන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ පා‍පොච්චාරණ තුළින් මෙරට රෝහල් සහ වෛද්‍යවරුන්ගේ තොරතුරු ද හෙළිව තිබේ.

මෙරට නීතියට අනුව ශරීර අවයව මුදලට ප්‍රදානය තහනම් ක්‍රියාවකි. වකුගඩුවක් බද්ධ කරන්නේ රෝගියකුටය. පරිත්‍යාග කරන්නේ නීරෝගී අයෙකි. පරිත්‍යාගයෙන් පසු ඔහු රෝගියකු නොවිය යුතුය. ඉන්ද්‍රිය පරිත්‍යාගයේ දී වෛද්‍ය විද්‍යාත්මකව සලකා බැලෙන මූලික ආචාරධර්මය එයයි. දෙවැන්න වන්නේ යම් අයෙකු වකුගඩුවක් ප්‍රදානය කරන්නේ නම් එය දුප්පත්කම නිසා කරන්නක් නොවිය යුතුය යන්නය. එනම් වකුගඩු විකිණීමක් නොවිය යුතු බවයි. 1991 වර්ෂයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දුන් මෙකී ආචාරධර්මයන්ට පටහැනිව යම් අයෙකු කටයුතු කරන්නේ නම් එතැන වන්නේ ජාවාරමකි. වෛද්‍යවරයකුටත් රෝගියකුටත් කාටත් එය ‍පොදුය.

දාන පාරමිතාව පුරන බෞද්ධයන් සිටින රටේ සෑම දිනකම පාහේ කොහේ හෝ ‍ලේ දන්දීමකි. පිං තකා වකුගඩු පරිත්‍යාග කරන පරිත්‍යාගශීලීන් ද හමුවෙයි. මේ සියල්ල කැමැත්තෙනි. ආධ්‍යත්මික පරිත්‍යාගයන් ලෙසිනි. ගනුදෙනුවක් ලෙසින් නොවේ. ඇස්, ඉස්, මස්, ‍ලේ දන්දීම බෞද්ධයා ඉතා උසස් පුණ්‍යකර්මයක් සේ සලකයි. එවන් පරිසරයක මිනිස් අවයවයකට මිලක් නියමවීම ඛිෙදජනකය. මාධ්‍ය තුළින් වකුගඩු ඉල්ලීම් කරන සියල්ලන්ටම පරිත්‍යාගශීලීන්ගෙන් වකුගඩු ලැබෙතැයි කිව නොහැකිය.

සැබෑවටම මෙරට වෙන්නේත් වකුගඩු ගනුදෙනුවකි. ඒ පසුපස හිඳින්නේ සමහර වෛද්‍යවරුන්ම වීම අභාග්‍යයකි. ඉන්දියාවේ ‍ලේ බිඳුවකට ද මිලක් තිබේ. එහෙත් දැන් දැන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වකුගඩු ජාවාරමේ ප්‍රධාන රටක් වෙමින් යන බවය. මුදලට ගිජු වෛද්‍යවරු මේ ජාවාරම මෙහෙයවති. අවි ආයුධ, මත්ද්‍රව්‍ය සහ ඖෂධ ජාවාරමේ නිරත ජාවාරම්කරුවන්ටත් අන්ත වෙමින් මිනිස් ඉන්ද්‍රීය ජාවාරම වර්ධනයවීම මනුෂ්‍යත්වයට අත්කර දෙන නිගාව මතෛකැයි කිව නොහැකිය.

කොළඹ කේන්ද්‍ර වූ මහා පරිමාණ වකුගඩු ජාවාරම සොයන්නට ආන්ද්‍රා ‍පොලිස් නිලධාරීන් පැමිණෙන බව 2014 අප්‍රේල් මාසයේ වාර්තා විය. එම වර්ෂයේ මාර්තු 30 වැනිදා වූ දිනේෂ් මාරූ නමැති ඉන්දියානුවාගේ හදිසි මරණය හේතුවෙනි. ඔහු වකුගඩු ජාවාරමේ ගොදුරක්ව මියගොස් තිබුණි. ඉන්දීය ‍පොලීසිය දිගින් දිගටම ක්‍රියාත්මක විය. බොහෝ සැකකරුවන්, ජාවාරම්කරුවන් අත්අඩංගුවට පත්විය. ශ්‍රී ලංකාව දෙසට ඇඟිල්ල දිගුවන්නේ ඔවුන්ගේ පා‍පොච්චාරණ තුළිනි. එහෙත් වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් මතෛක් කිසිදු පැමිණිල්ලක් හෝ තොරතුරක් ලැබි නැතැයි ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූයේ ඉකුත් වසරේ දෙසැම්බරයේය. කිසියම් ‍පොලිස් ස්ථානයක් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නේ දැයි නොදන්නා බවද ඔහු පවසා තිබුණි. ඉන්දීය ‍පොලීසිය බොහෝ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය ද දිගින් දිගටම වාර්තා කර තිබේ. මෙම ඉන්ද්‍රීය ජාවාරම ගැන ඉන්ද්‍රීය බද්ධ කිරීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිවරයා ද වරක් මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී තිබුණි. එහෙත් බලධාරීන් සිය අවධානය යොමු කළා දැයි සැක සහිතය.

මේවන විට නිර්මාණය වී ඇති තත්ත්වයේ බරපතලකම නිසා මෙරට පෞද්ගලික රෝහල්වලින් විදේශිකයන්ට කෙරෙන වකුගඩු බද්ධකිරීම් තාවකාලිකව තහනම් කර තිබේ. ජාවාරම සම්බන්ධයෙන් මතෛක් කිසිදු ෙනෙතික වාර්තාවක් ලැබි නොමැති බවත්, ඒ පිළිබඳ අධ්‍යයනය කර තීන්දුවක් ගන්නා බවත්, සෞඛ්‍ය ඇමැතිවරයා පවසයි. අදාළ රෝහල් සහ වෛද්‍යවරුන් ගැන සතියක් තුළ වාර්තාවක් ද කැඳවා තිබේ. මෙය ජාවාරමක් ලෙසින් වී ඇත්නම් අමාත්‍යංශය ලෙස පියවර ගැනීමට සූදානම් බවත් පවසයි.

ග්ලයිෆොසේට් නිසා වකුගඩු මාරයා ටිකෙන් ටික රටම ගිලගනිමින් සිටී. රජයේ රෝහල්වල වකුගඩු රෝගීන්ට අත්‍යවශ්‍ය බෙහෙත් හිඟ වී තිබේ. ඒ බොහෝ රෝගීන් සිටින්නේ මරුවා සමග අරගලයක නිරත වෙමිනි. ඒ අතර රුධිර කාන්දු පෙරණ උපකරණවලින් පිල්ලි ගැසූ කතාවක් ද කලඑළි බැස ඇත. රට තුළ වකුගඩු මරුවා පිනුම් ගසයි; වකුගඩු රෝගීන් ප්‍රාණඇපයට ගනියි; ඒ අතර ඉන්දීය වකුගඩු ජාවාරම්කරුවෝ මෙරට නීතියෙන් රිංගා ජාවාරම්කාර වෛද්‍යවරුන් සමග වකුගඩු වෙළෙඳාමේ නිරත වෙති.