කළුතර කම්පා කළ කොළඹ-නුවර පාරේ ඛේදවාචකය

0
508

තාත්තයි පුතයි බිරිඳයි නෑනයි එකමදා අවසන් ගමන් යති

සුදෝ සුදු ජාතික ඇඳුමින් සැරසී පාපැදියකින් කළුතර නගරයේ සංචාරය කරන මෙම 88 හැවිරිදි එම්. පී. පෙරේරා මහතා අපට මින් පසු දකින්නට ලැබෙන්නේ නැත.

වෘත්තීය සමිති නායකයකු, කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ පතාක යෝධයකු වශයෙන් නිලතල ඉසිලුවත් නිතරම සිනාමුසු මුහුණින් පක්‍ෂ විපක්‍ෂ කාටත් එක ලෙස සංග්‍රහ කරන මේ සුන්දර හිටපු විදුහල්පතිවරයා ඇතුළු පවුලේ සිවුදෙනකු ඉකුත් 26 වැනිදා හදිසි අනතුරකින් මරුමුවට පත්වූ පුවත ඇසූ කළුතර මෙන්ම පස්‌දුන් රට ජනතාවද සෝ සුසුම් හෙළමින් කම්පාවට පත් විය.

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ නෙළුම්දෙනිය මොරවක ප්‍රදේශයේදී වැලි පැටවූ ටිපර් රථයක ගැටීමෙන් මද්දුවගේ ප්‍රේමදාස පෙරේරා (අවු 88) ඔහුගේ පුත් තිලක්‌ රන්ජන් විඡේසිරි පෙරේරා (53) ඔහුගේ බිරිඳ තරුෂා දිල්රුක්‌ෂි (40) ප්‍රේමදාස මහතාගේ සොහොයුරුගේ බිරිඳ ගනේගේ දොaන කමලා, ශ්‍රීමති (අවු( 68) යන සිවුදෙනා මරුමුවට පත්වූහ.

මියගිය රන්ජන් පෙරේරා ගේ දරුවන් වන ශකිලා පෙරේරා (18) ශාලුක පෙරේරා (13) ගාවින්දි පෙරේරා යන තිදෙනා එහිදී තුවාල ලැබූහ.

ප්‍රේමදාස පෙරේරා නොහොත් එස්‌. පී. පෙරේරා මහතා වෘත්තීය සමිති නායකයකු වශයෙන් අන් පක්‍ෂවල වෘත්තිය සමිති නායකයන්ට ද ආදර්ශයක්‌ ගෙනදුන් නායකයෙක්‌ විය. 1980 වැඩවර්ජනයේදී ඔහුටත් ඔහුගේ බිරිඳටත් රැකියාව අහිමි විය. ඔහු රැකියාව ගන්නට අභියාචනා ඉදිරිපත් කළේ නැත. සිය මතයේ සිටිමින් කාලය ගත කළ පසු ඔහුට විශ්‍රාම වැටුප පමණක්‌ ඉතුරු විය.

88-89 භීෂණ සමයේදී දේශප්‍රේමී නමැති සංවිධානයේ ගොදුරු බවට එක්‌සත් ජාතික පාක්‌ෂිකයන්ද ලංකා සම සමාජ හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ සාමාජිකයන්ද ගොදුරු විය.

එහෙත් දේශප්‍රේමී සංවිධානයට බය නොවී කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ නිල පුවත්පත වන ”ඇත්ත” පත්‍රය ඔහු සිය සාමාජිකයන් හට පත් කිරීමට කටයුතු කළේය.

කළුතර ප්‍රාදේශීය සභාවේ 1991 සිට 2002 දක්‌වා මන්ත්‍රීවරයකු ලෙස විශිෂ්ට සේවාවක්‌ කළ ඔහු කොන්ත්‍රාත්කරමින්ං මඩිය තරකර ගත්තේ නැත. වෙනත් මන්ත්‍රීවරුන් මෙන් යාන වාහන ගත්තේ නැත. සුපුරුදු පරිදි පාපැදියෙන් ගමන් යමින් ජනතාවට සේවය කරමින් ප්‍රාදේශීය සභා රැස්‌වීම් වලදී ශිෂ්ට භාෂාවෙන් කථා කළේය.

සම වයසේ මිතුරන්ගේ දුක සැප සොයා බලමින් කාලය ගත කළ ඔහු සිය හිතවතාගේ සුවදුක්‌ සොයා බැලීමට වාහනය නවතා ඔහුගේ නිවසට එන ගමන් මාර්ගය දැන ගැනීමට දුරකථන ඇමතුමක්‌ දෙමින් සිටියදී යුද හමුදා සෙබළකු විසින් අධික වේගයෙන් ධාවනය කළ වැලි පැටවූ ටිපර් රථය වෑන් රථයේ ගැටී මෙම සිවුදෙනා මරුමුවට පත්වූ බව මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.

කෑගල්ල මහ රෝහලේදී නාගරික හදිසි මරණ පරීක්‍ෂක රේණුකා කළුආරච්චි නිස්‌සංක මහත්මිය විසින් පැවැත්වූ මරණ පරීක්‍ෂණයේදී සාක්‌කිදුන් මියගිය තිලක්‌ රන්ජන් විඡේසිරි පෙරේරා මහතාගේ දරුවා වන රුවින්ද නෙලුක පෙරේරා අවු( 11 මෙසේ කීය.

අපි 24 වැනිදා ගෙදරින් පිටත් වුණා. කල්පිටියට ගොස්‌ පසුව නාරම්මල නෑගෙවල් දෙකකට ගියා. පසුව එන විට සීයා කීවා නෙළුම්දෙණියේ සිSයාගේ යාළුවෙක්‌ අසනීපයෙන් සිටිනවා ඔහු බලන්න යන්න ඕනෑ කියා. සීයාගේ යාළුවාගේ ගේ සොයාගන්න කීපවරක්‌ නෙළුම්දෙණියේ එහාට මෙහාට ගියා. සොයා ගන්න බැරිවුණා.

පසුව සීයා යාළුවාට දුරකථන ඇමතුමක්‌ ගත්තා. එතකොට තමයි වෑන් එකේ ටිපර් එක හැපුනේ. පසුව අප රෝහලට ගෙන ආවා. අම්මා තාත්ත මැරුණු බව මම දැනගත්තා.

මෙහිදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මරණ පරීක්‍ෂකවරිය වෙත ඉදිරිපත් කළ ටිපර් රථයේ රියෑදුරු වන යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවේ බත්තරමුල්ල වැඩබිමේ සෙබළකු වූ ජල්තර රනාල ලිපිනයේ පදිංචි සෙබළ එස්‌. 103032 ආර්. ඒ. ඒ. ඉෂාන්ත නමැත්තා සාක්‌කි දෙමින් මෙසේ කීය.

මා යුද සෙබළෙකු වශයෙන් රැකියාව කරනවා. මාගේ අම්මා මට ටිපර් රථයක්‌ අරගෙන දුන්නා. රථයට රියදුරෙක්‌ සිටිනවා. මනම්පිටියේ සිට ටිපර් රථයෙන් වැලි ප්‍රවාහනය කරනවා.

සිද්ධිය වූ දින ටිපර් රථයේ රියෑදුරු එයාගේ දුව අසනීපයෙන් කියා ලොරියේ ඇවිත් තෙල්දෙණියෙන් බැස ගියා. එම නිසා මම ටිපර් රථය තෙල්දෙනියේ සිට පදවා ගෙන පැමිණියා. සිද්ධිය වන විට මට මොනව වුණාද කියා දන්නෙ නෑ. එක පාරටම ලොරිය වෑන් එකේ හැප්පුනා. ඊට පස්‌සේ ලොරිය හෙලකට පෙරළුනා. මම දැදිගම පොලිසියට ගිහින් භාරවුණා. මම මෙයට පෙර මෙම ටිපර් රථය කීප වතාවක්‌ම ධාවනය කර තිබෙනවා.

කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන ආර්. ඒ. ආර්. ආර්. බණ්‌ඩාර, චතුරිකා අමරකෝන් යන මහත්ම මහත්මීහු මිය ගිය සිවුදෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ පැවැත්වූ අතර ලොරියේ වැලිවලට යටවීමෙන් ස්‌වසන මාර්ගය අවහිර වීමෙන්ද මොළයට හානි වීමෙන්ද ඉල ඇට බිඳී උදර කුහරයට රුධිරය වහනය වීමෙන් මෙම මරණ සිදුවී ඇතැයි නිගමනය කර තිබිණි.

අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සැලකිල්ලට ගත් මරණ පරීක්‍ෂකවරිය මෙම මරණ රිය අනතුරුවලින් සිදුවූ මරණ බව නිගමනය කළේය.

සැකකාර රියෑදුරු තුල්හිරිය මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද පොලිසියට නියෝග කළේය.

දැදිගම පොලිසියේ රථවාහන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක පී. ඒ. ධර්මරත්න හා සැරයන් 7356 රාජපක්‍ෂ යන මහත්වරු සාක්‍ෂි මෙහෙයවිය.

මියගිය සිවුදෙනාගේ අවසන් කටයුතු ඉකුත් බදාදා 30 සවස කළුතර නාගොඩ ඇබවිල් සුසාන භූමියේදී සිදු කෙරිණි.

දේශපාලන කරලියේ පක්‍ෂ විපක්‍ෂ කාගේත් හොඳහිත දිනාගෙන සිටි ඇම්. පී. පෙරේරා මහතා මාධ්‍යවේදීන්ගේද හොඳ හිත දිනාගත් මහත්මයකු වශයෙන් හැඳින්විය හැකිය. මාධ්‍යවේදියාගේ කාර්යභාරය කුමක්‌ද යන්න වටහා ගැනීමට ඇම්.පීට තීක්‌ෂණ බුද්ධියක්‌ තිබුණා. ඇම්.පී. ගෙන් අපට කිසි දිනක තර්ජන ගර්ජන එල්ල නොවූ බව සඳහන් කරනුයේ අපෙන් සදහටම වෙන්වූ උතුම් මිනිසාට ගෞරවයක්‌ වශයෙන් බව සඳහන් කරනු කැමැත්තෙමි. ඇම්. පී. පෙරේරා මහතාණෙනි, ඔබට නිවන් සුව පතමු.

මාරක ටිපර් රථ රියෑදුරු වූ යුද සෙබළ අරුණ ඉෂාන්ත නමැත්තා තුල්හිරිය වැඩ බලන මහෙස්‌ත්‍රාත් වසන්ත රත්නායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ජනවාරි මස 4 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කර එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

– Divaina