ඡන්ද අපේක්ෂක වත්කම් සහ බැරකම්

0
593

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සියලුම ඡන්ද අපේක්ෂකයන් මෙම ජූලි මස 30 දාට පෙර තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ අදාළ දිස්ත්‍රික්කයේ ප්‍රධාන තේරීම් භාර නිලධාරියා වෙත භාරදිය යුතු යැයි මැතිවරණ දෙපාර්තමේන්තුව කල්තියා ප්‍රකාශ කර තිබුණේය. එය සෑම මැතිවරණයකදීම පාහේ ක්‍රියාත්මක කෙරුණු සුපුරුදු නීතියක් විය. කෙසේ වෙතත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මෙවර ඊට වැඩිමනත් වශයෙන් ප්‍රකාශ කර තිබුණේ වත්කම් ප්‍රකාශ ලබා නොදෙන කිසිදු අපේක්ෂකයෙකුට නිල හැඳුනුම්පත් නිකුත් නොකරන බවයි.
එවැනි නිල හැඳුනුම්පතක් නොමැති කිසිදු අපේක්ෂකයෙකුට මොනම හේතුවක් නිසාවත් ඡන්ද මධ්‍යස්ථානයකට ඇතුළු වීමට අවසර නොදෙන බවද හෙතෙම මාධ්‍ය මගින් ප්‍රකාශ කර තිබුණේය. මැතිවරණ කොමසාරිස්වරයා එවැනි අතුරු නීතියක් පණවන්නට ඇත්තේ සියලුම අපේක්ෂකයන් තමන්ගේ වත්කම් සහ බැරකම් භාරදීම සඳහා දිරිගැන්වීමේ පියවරක් වශයෙන් විය හැකිය. විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂවලින් මැතිවරණයට ඉදිරිපත් වන බොහොමයක් අපේක්ෂකයන් නීති ප්‍රකාරව තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ මැතිවරණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට මැළිබවක් දැක්වීමේ ප්‍රවණතාවක් පැවැති බවද නොරහසකි. එකී අපේක්ෂකයන් එක් එක් දේශපාලන පක්ෂවලින් හෝ ස්වාධීන කණ්ඩායම් වශයෙන් මැතිවරණයකට ඉදිරිපත් වන්නේ හුදෙක් සමාජයට යම් මෙහෙවරක් සිදුකිරීමේ අවංක ච්ෙතනාවෙන් නම් ඔවුන් තමන්ගේ වත්කම් ප්‍රකාශ ප්‍රසිද්ධ නොකිරීම මැතිවරණ දෙපාර්තමේන්තුවට තරමක ප්‍රශ්නයක් වී ඇත. අනෙක් අතට ඔවුන් යම් ලෙසකින් පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් තමන්ගේ වත්කම් ප්‍රකාශ පාර්ලිමේන්තු මහ ‍ලේකම්වරයාට වසරක් පාසා ලබාදීමට සිදුවීමද නොවැළැක්විය හැකිය.
මේ අතර ලබන මහ මැතිවරණයට තවත් ඇත්තේ සති 3කටත් අඩු කාලයකි. එවන් තත්ත්වයක් යටතේ මෙවර මහ මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයන් 6151 දෙනාගෙන් මේ වන විට තම වත්කම් ප්‍රකාශ භාර දී ඇත්තේ සියයට 60ක් පමණ වූ පිරිසකැයි මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් හෙළිවී තිබේ. එම අපේක්ෂකයන් අතරින් සියයට 40ක් පමණ වූ පිරිසක් තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ නීති ප්‍රකාරව මැතිවරණ දෙපාර්තමේන්තුවට භාර දී නැත්තේ කුමන හේතුවක් නිසා දැයි සොයා බැලීම අතිශයින් වැදගත්වේ. එසේ වන්නේ කුඩු, එතනෝල්, හොර බඩු ප්‍රවාහනය සහ හොර මත්පැන් වැනි නීති විරෝධී ජාවාරම්වලින් උපයා ගන්නා ලද කළු සල්ලි ඔවුන් සතුව ඇති නිසාදැයි මෙහිදී ප්‍රශ්නයක් මතුවන්නේ නිරායාසයෙනි. එවැනි අයථා මාර්ගවලින් ආදායම් උපයන පුද්ගලයන්ට තමන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම ගැටලුවක් වන බව නොරහසකි. එසේ වන්නේ ඔවුන්ගේ එම රහසිගත ආදායම් මාර්ග හෙළිදරව් වීම නීතියෙන් දඬුවම් විඳීමට පවා සිදුවිය හැකි වරදක් වන බැවිනි.
එපමණක් ද නොව එවැනි අයථා මාර්ගවලින් ආදායම් ලබන පුද්ගලයන් තමන්ගේ නියෝජිතයන් වශයෙන් තෝරා ගැනීමට මොළේ අමාරුවක් නොමැති කිසිදු ඡන්දදායකයෙකු කැමැති වේදැයි යන්න ද ප්‍රශ්නයකි. මීට වසර තිස් හතළිස් ගණනකට පෙර මැතිසබයට ගිය වැඩි දෙනෙකු දේශපාලන කටයුතුවල නියැලුණේ ගරු සේවයක් වශයෙනි. ඔවුහු දේශපාලනයෙන් මුදල් උපයා ගැනීමට ඉදිරිපත් නොවූහ.එහෙත් අද පවතින තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. අද බොහෝ දෙනෙකු පාර්ලිමේන්තුවට හෝ පළාත් සභාවට යාමට තැත් කරන්නේ එය අසීමිතව මුදල් උපයා ගැනීමේ පහසුම මාර්ගයක් වී ඇති බැවිනි.
එම තත්ත්වය මත තමන් සතු වත්කම් හා බැරකම් නොවළහා හෙළි කිරීමට ද ඔවුන් අකමැතිය. පාර්ලිමේන්තුවට යාමට පෙර ඔවුන් සතු වත්කම් හෙළි කරනු ලැබුවහොත් පසු කාලයකදී එම වත්කම් ප්‍රමාණය දහ දොළොස් ගුණයකින් වැඩිවී තිබෙන ආකාරය පිළිබඳව හේතු දැක්වීමට සිදුවෙතැයි එම අපේක්ෂකයන් අතර පවතින අනියත බිය ඒ සඳහා මුල් වූ ප්‍රධානතම හේතුවයි. කෙසේ වෙතත් දැනටමත් පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ මෙවැනි පුද්ගලයන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සූදානමින් සිටින බවයි. වත්කම් හා බැරකම් ප්‍රකාශ භාර නොදෙන කිසිදු අපේක්ෂකයෙකුට නිල හැඳුනුම්පත් නිකුත් නොකිරීමට ඔහු විසින් ගෙන ඇති තීරණයෙන්ම ඒ බව පැහැදිලි වේ.
මෙවර සුජාත මැතිවරණයක් පැවැත්වීමට අදාළව මහින්ද දේශප්‍රිය මහතා විසින් ගෙන ඇති අභීත තීන්දු තීරණ කිහිපයකම සුබවාදී ප්‍රතිඵල දැනටමත් පෙනෙන්නට තිබේ. මග දෙපස දකින්නට ලැබුණු දැවැන්ත කටවුට් බැනර් හා ‍පෝස්ටර් පක්ෂ භේදයකින් තොරව ඉවත් කිරීම සහ ඇතැම් අපේක්ෂකයන් විසින් භාවිත කරන රාජ්‍ය දේපළ සඳහා මුදල් අය කිරීම ඒ සඳහා කදිම උදාහරණයකි. ඒ අනුව සියලුම අපේක්ෂකයන්ගේ වත්කම් ප්‍රකාශ ලබා ගැනීමේ ක්‍රියාවලිය ද සාර්ථක කර ගැනීමට මැතිවරණ කොමසාරිස්වරයාට හැකිවිය යුතුය.

Source : Lakbima