මැලේසියාවේ කුඩු කප්පිත්තාගේ බයිස්‌කෝප්

0
811

මොහොමඩ් මුබාරක්‌ මොහොමඩ් මුෂ්හීඩ් නමැති මහා පරිමාණ ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදනයක්‌ නිකුත් කරන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගිය 28 වැනිදා පවසා තිබිණි.

ජාත්‍යන්තර රතු නිවේදනයක්‌ නිකුත් කර අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින මේ ජාත්‍යන්තර කුඩු කොම්පැණිකාරයාගේ විශේෂත්වය කුමක්‌ද? මේ රටට කුඩු ආනයනය කර බෙදා හරින්නන් අතර “මුෂ්හීඩ්” ට ප්‍රමුඛ ස්‌ථානයක්‌ හිමිව තිබෙන බව කියති. මේ ජාත්‍යන්තර කුඩු ඒජන්ත 2009 වර්ෂයේ සිට 2014 ජුලි 22 වැනිදා දක්‌වා කන්ටේනර් හතක්‌ භාවිත කරමින් මෙරටට හෙරොයින් කිලෝ දහසක්‌ පමණ ගෙනැවිත් තිබෙන බව අනාවරණය කරගෙන තිබේ.

ඕනෑම ජාවාරම්කාරයකු ලෝක හොරෙකු, වංචාකාරයකු, අයථා ලෙස මුදල් උපයන්නෙකු සිය කළු සල්ලි සුදුකර ගැනීම පිණිස විවිධ උපක්‍රම භාවිත කරයි. දනට පිනට දීම, සමාජ සද්කාර්යයන්, ඒ අතර කැපී පෙනෙන ප්‍රධාන ඒවායි. “මොහොමඩ් මුෂ්හීඩ්” නම් මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ඒජන්තයා ඒ සඳහා භාවිත කර තිබුණේ අපූරු උපක්‍රමයකි. ඒ බයිස්‌කෝප් නිෂ්පාදනයයි. ඒ අර්ථයෙන් ගත් කළ ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. එහෙත් විශ්වාසයෙන් යුතුව කිව හැක්‌කේ මේ ලෝක මත්කුඩු ජාවාරම්කාරයා වියදම් කර තැණූ චිත්‍රපටවල නිර්මාණකරුවන් මේ කිසිවක්‌ දැන සිටියේ නැති බවය. මේ රටේ පමණක්‌ නොව, ඔහු මේ වනවිට ජීවත්වන මැලේසියාවේ පවා කිසිවෙකුත් ඒ බව නොදන්නා බව සියයට සියයක්‌ විශ්වාසය. නම්බු නාම ද සහිතව මේ මහා කුඩු ඒජන්තයා ඒ රටේ ජීවත්ව ඇත්තේ ප්‍රභූවරයකු ලෙසිනි.

“මොහොමඩ් මුෂ්හීඩ්” කුඩු නිසා “කාඩ්” ගසා ගත්තෙකු නොවේ. “වෙලේ සුදා”, සියාම්, කුඩු ඩේලු, කිඹුලාඇළ ගුණා, තෙල්බාලා, බන්ට්‌ එකේ සුදාහරන් යන අන්දමේ “කුඩු” කාඩ් මුෂ්හීඩ් ට නැත. ඔහුව සමාජය හඳුනාගෙන ඇත්තේ ව්‍යාපාරික ප්‍රභූවර මුෂ්හීඩ් වශයෙන් පමණකි. මුෂ්හීඩ් වැන්නවුන්ගේ “කුඩු සමාගම්” වල අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ හෝ ඊට පහළ මට්‌ටමේ ඒජන්ට්‌ලා ද අත්අඩංගුවට පත් වන්නේ නැත. මෙරට හිරගෙවල් පිරී ඉතිරී යන්නේ බිම් මට්‌ටමේ සිටින තැරැව්කාර කුඩු බිස්‌නස්‌කරුවන්ගෙන් ය.

කෙසේ හෝ දැන් තත්ත්වය භයානක බව පෙනෙන්නට තිබේ. “මුෂ්හීඩ්” ගේ ව්‍යාපාර නතර කර දැමීමට නම් ඔහු අත්අඩංගුවට ගත යුතුය. අත්අඩංගුවට ගත්ත ද ජාත්‍යන්තරව විහිද පැතිර ඇති වසංගතයක්‌ ආවාට ගියාට නතර කරන්නටද නොහැක.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාට අවශ්‍ය වන්නේ තමාගේ බඩු ටික ඉක්‌මනින් සමාජයට යවා ඉක්‌මනින් පාරිභෝගිකයන් (කුඩු ලෝලීන්) පිරිසක්‌ බෝකර ගැනීමය. ඉන්දියාව, මාලදිවයින, තායිලන්තය, පාකිස්‌තානය, පිලිපීනය, ඉන්දුනීසියාව, මැලේසියාව, ශ්‍රී ලංකාව යනු මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හඳුනාගෙන ඇති සුපිරිම රටවල් ය. ඒ ඒ රටවල අලුත් ගැනුම්කරුවන් බෝ කිරීමේ අවශ්‍යතාවක්‌ නැති බව මේ ජාවාරම්කරුවන් හොඳින් දනී. ඊයේ පුවත්පතක පළ වී තිබු ප්‍රවෘත්තියක තිබුණේ දිනකට රුපියල් පහළොස්‌ දහසක කුඩු පානය කරන සැමියකු සහ අනියම් බිරිඳ අත්අඩංගුවට ගත් බවය. අපේ කුඩු ලෝලීත්වයේ තරම එබඳුය. “මුෂ්හීඩ්” වැනි ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ලංකාවට ඉතා ආදරේ එබැවිනි.

එවිට මේ ජාත්‍යන්තර උවදුරෙන් මිදීමට අපට ගත හැකි ක්‍රියාමාර්ග අතර මුෂ්හීඩ් වැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රධාන කාරණයක්‌ බව සැබෑය. එහෙත් ඊට පෙර රටට මත්ද්‍රව්‍ය ගලා එන දොරටු වසා දැමීම කළ යුත්තකි. හිරගෙදර සිට හෝ බිස්‌නස්‌ ජයටම ගෙන යැම කුඩු ජාවාරම්කාරයන්ට ඉතා සුළු දෙයක්‌ බව නැවත නැවත සිහිපත් කළ යුතු නැත. දඬුවම් නියම වී සිපිරි ගෙයි ලගින කුඩු මාෆියාවේ කප්පිත්තන් ගණන හා එකිනෙකා අතර කා කොටා ගැනීම්වලින් මියගිය කුඩු මුදලාලිලාගේ ප්‍රමාණය ගණන් හැදූ විට අපේ රටෙන්a කුඩු තුරන් වී තිබිය යුතුය. එසේ නොවන්නේ අත්අඩංගුවට ගැනීම හා දඬුවම් නියම කිරීම පමණක්‌ ප්‍රමාණවත් නොවන නිසාය. සාමාන්‍යයෙන් ප්‍රධාන “ඩීලර්” කෙනෙක්‌ අත්අඩංගුවට පත්වූ විගස ජාත්‍යන්තරය, වෙනත් ඩීලර් කෙනකු සිය ජාවාරමට යොදා ගනී. එය මත්ද්‍රව්‍ය ජාවාරමේ ක්‍රමයේ හැටිය. වෙලේ සුදා මෙන්ම මුෂ්හීඩ් අත්අඩංගුවට ගත්තද මේ චක්‍රය නොනවතී. කළ යුත්තේ ගුවනින් ද, නැව් මාර්ගයෙන් ද, කුඩා බෝට්‌ටු මගින් රටවටා මුහුදු තීරයෙන් ද රටට මත්ද්‍රව්‍ය ගලා ඒම වැළැක්‌වීමය.

Source : Divaina