කුඩු විකුණන එතනෝල් ජාවාරමේ සිටින දේශපාලනඥයන් කවුද?

0
666

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ උත්තර දෙයි

ඔබගේ පත්වීම දේශපාලනික පත්කිරීමක්නේ. විෂයභාර ඇමැති ජෝන් අමරතුංග සමග ඔබට ඇති සම්බන්ධය කුමක්ද?
මම මේ තනතුර ඇමැතිවරයාට කථා කරල ඉල්ල ගත්ත එකක්. වසර දෙකක් තිස්සේ මම මේ තනතුර ගැන ආශාවෙන් උවමනාවෙන් බලාගෙන හිටපු කෙනෙක්. මම වසර දෙකක් තිස්සේ ඊට සූදානම් වුණා. මම මේ පදවියට එනවා කියල තීරණය කළේ වසර දෙකකට කලින්.
 ඔබ ඉල්ලගෙන මේ තනතුරට ආවේ ඇයි…?
මට වුවමනා වුණා රටේ අනාගතයේ විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන් රෝගයකට පිළිතුරක් සොයන්න. ඒ තමයි ක්ෂය රෝගයේ එක තත්ත්වයක් එම්.ඩී.ආර්.ටී.බි කියල. ඒ කියන්නේ ඒක කිසිම ඖෂධයකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒඩ්ස් වගේ. ඒඩ්ස් හැදුනම මැරෙනවා. බෙහෙත් නැහැ. හැබැයි ඊට වඩා බරපතළයි මේ රෝගය. මේක බෝවෙන්නේ කෙළ බිඳුවලින්. කෝච්චියේ, බස් රථයේ දී වගේ බෝවෙන්න පුළුවන්. මේ රෝගය බොහෝ විට වැළඳෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ටයි. ඒ අයට ක්ෂය රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩියි. මම වැලිසර ස්වසන රෝග රෝහ‍ලේ වැඩකරනකොට මට තිබුණ අභියෝගය තමයි ඒ අයට මාස හයේ ප්‍රතිකාර ක්‍රමය ලබාදීම. ඒත් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ඒ ප්‍රතිකාර දිගින් දිගටම ගන්නේ නැහැ. එයාල බෙහෙත් බොන්නේ නැහැ. එයාලගේ ප්‍රමුඛතාව මත්ද්‍රව්‍යවලටයි ලැබෙන්නේ. බෙහෙත් නොලබන හින්දයි එම්.ඩී.ආර්.ටී.බි හැදෙන්නේ. ඒක නිසා මට ඕන වුණා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් මාස හයේ ප්‍රතිකාර ක්‍රමයේ තියාගන්න යම් ක්‍රමවේදයක් හදන්න. ඒ සඳහා අනිවාර්ය ප්‍රතිකාර ක්‍රමයකට නීති සම්පාදනය කරන්න පුළුවන්නම් ඒක හොඳයි කියල මට හිතුණා. මම ඒකට සුදුසු තැන හොයනකොට දැක්කා ඒකට හොඳම තැන මේක කියල.
 ඒ වන විට ඔබ වැලිසර රෝහ‍ලේ වෛද්‍යවරයෙක්. ඇමැතිවරයා ඔබ සේවය කළ රෝහල පිහිටි ප්‍රදේශයේ එජාප සංවිධායකවරයා. දෙදෙනා අතර හිතවත්කමක් ඒ වන විට ගොඩනැගිලා තිබුණේ නැද්ද?
පහුගිය ජනාධිපතිවරණය දක්වාම මට දේශපාලන සම්බන්ධතා තිබුණේ නැති බව පැහැදිලිවම මට කියන්න පුළුවන්. ජනාධිපතිවරණ කාලයේදී සම්බන්ධයක් ඇති වුණත් මේ පත්වීම මට ලැබෙන කොට මම එතුමත් එක්ක වචන සියයක් කථා කරල ඇති. හැබැයි එකසිය එකක් කථා කරල නැහැ.
මේ වන විට ඔබ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වී හමාරයි. ඒකට මග පෑදෙන්නේ මෙවර මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඔබ විසින් කළ හෙළිදරව්වක් නිසා. ඔබ මේ කළේ දේශපාලන කොන්ත්‍රාත්තුවක්ද?
මෙතැන කිසිදු දේශපාලනයක් නැහැ. යුතුකමක් සහ අපෙන් විය යුතු කටයුත්තක් තමයි ඉටුකළේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජූනි 24 වෙනිදා  තිබ්බ මාධ්‍ය සාකච්ඡාවකදීයි අපි ඒ ගැන මුලින්ම රටට කිව්වේ. ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වෙනව නම් ඒකට ඉදිරිපත්වන පක්ෂවලට තමාගේ අපේක්ෂකයා තෝරාගන්න උපකාරයක් වෙන විදිහට මත්ද්‍රව්‍ය හා සම්බන්ධ පුද්ගලයන්ගේ තොරතුරු අපි එක්රැස් කරන්න පටන් ගන්නව කියලා. ඒක කියන්න පාදක වුණේ මාර්තු 12 ප්‍රකාශනයි. ඊට අපේ රටේ ඔක්කොම නායකවරු පක්ෂ ‍ලේකම්වරු අත්සන් කළා. ඒකේ පැහැදිලිවම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සඳහනක් තියෙනව. ජනාධිපති අගමැති පවා ඊට අත්සන් කළා. එහෙම නම් මේක රජයේ වැඩක්.
ඒ වගේම තමයි අපිට පනතින්ම බලය දීල තියෙනව මත්ද්‍රව්‍ය ගැන පර්යේෂණ සහ සමීක්ෂණ
කරන්න. මම හිතන්නේ රාජ්‍ය සේවය හැමතිස්සෙම හිතන්න ඕනේ අලුත් දෙයක් රටට දෙන්නයි. මම ඒ දේ බලා‍පොරොත්තු වුණා අනිත් ආයතනවලිනුත්.
සුරාබදු දෙපාර්තමේන්තුවට තිබුණා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඉන්නේ මේ අය, මත්පැන් බලපත්‍ර තියෙන්නේ මේ අයට කියල කියන්න. ගංජා ජාවාරමට සම්බන්ධව සිටින්නේ මේ අය කියලත් එයාලට කියන්න පුළුවන්කම තිබුණා.
නීතියේ කොහේවත් නැහැනේ එහෙම කියන්න බැහැ කියලත්. අපිම තමයි බාධාවල් දාගෙන තියෙන්නේ. ඒ අංශවලට නිර්මාණාත්මක චින්තනයක අලුත් අදහසක් නැති වුණාට අපි පළමුවරට එළියට බැහැල නිර්මාණාත්මකව හිතන්නේ කොහොමද නිර්මාණාත්මකව ක්‍රියාත්මක වන්නේ කොහොමද කියල පෙන්නුවා. අනික මේක රටේ අනාගතය තීරණය කරන අවස්ථාවක්. මම රටේ පුරවැසියෙක් විදිහටත් රාජ්‍ය සේවයේ නිලධාරියෙක් විදිහටත් මගේ යුතුකමයි ඉෂ්ට කළේ. ඒ නිසයි මේ ගැන සමාජ කථිකාවතක් ඇතිවුණේ.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන්ගේ ‍ලේඛනය ඔබ කොහොමද හැදුවේ?
අපේ පර්යේෂණය සැලසුම් කරල තිබුණේ ජූලි 01 වෙනිදා ඉඳන් ජූලි 31 වෙනිදා දක්වායි. ඒත්  අවාසනාවට 26 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවල මැතිවරණයකට ගියා. අපි ඇවිල්ල විද්‍යාත්මක සාක්ෂි මත වැඩ කරන ආයතනයක්. මේ නිසා අපිට සිදුවුණා ඒ අභියෝගය භාරගන්න. අපේ පර්යේෂකයෝ පාරට දාලා පර්යේෂණ කරන්න කාලය මදි. නමුත් අපි ළඟ තියෙනව අවුරුදු තිහක අපේ නිලධාරීන්
ක්‍ෂේත්‍රයේ වැඩ කරල රැස්කරගත්තු තොරතුරු. ඇබ්බැහිවූවන් සහ ජාවාරම්කරුවන්ගෙන් ප්‍රශ්න කරල ගත්තු තොරතුරු. ඒවාට අමතරව අපි කඩිනම් පර්යේෂණයක් බන්ධනාගාර ආශ්‍රිතව මත්ද්‍රව්‍ය වැරදිවලට ලක්වෙලා ඉන්න අය මුණ ගැසිලා ඒ ඔස්සේ ලබා ගත්තා. ඒ ආශ්‍රයෙන් තමයි ඒ සම්බන්ධයෙන් සාධනීය තොරතුරු ගබඩාවක් මේ සම්බන්ධයෙන් ගොඩනැගුවේ.
යම් අපේක්ෂකයෙක් නීතිය ඉදිරියේ වරදකරු වෙලා නැතිනම් ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාව එල්ල කිරීමේ සාධාරණීයත්වය කුමක්ද?
අපි මේ තොරතුරු රැස්කරනු ලැබුවේ මාධ්‍යයට දෙන්න නමෛයි. ජනතාවට දෙන්නත් නමෛයි. රටේ ඡන්දයට ඉදිරිපත්වන ප්‍රධාන දේශපාලන පක්ෂවල ‍ලේකම්වරුන් දැනුවත් කරන්න විතරයි. ඒ තමාගේ නාමයෝජනා අපේක්ෂකයන් තෝරාගැනීමට. අපිට අවශ්‍යතාවය තිබුණේ අදාළ පුද්ගලයන්ට නාමයෝජනා ලැබිම වළක්වන්න විතරයි.
ය ලැයිස්තුව සියයට සියයක් නිවැරදි බවට සහතික වෙන්න පුළුවන්ද?
‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මේ දත්තයන් තිබෙනව. ඒත් ඔවුන්ට නීතිමය බාධාවක් තිබෙනව ඒවා නිරාවරණය කරන්න. සුරාබදු දෙපාර්තමේන්තුවටත් අවශ්‍යතාවක් තියෙනව නම් මත්පැන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ යම් යම් දේශපාලන සම්බන්ධතා නිරාවරණය කිරීමට  අවකාශ තියෙනව. ඒත් ඒ අය ඒතරම්වත් ඉදිරියට ඇවිල්ල නැහැ. ඔවුන් ඉදිරියට නොපැමිණීම අපිට ඉදිරියට එන්න බාධාවක් නමෛයි. අපි මේ වන විට ආදර්ශයක් රටට දීල තියෙනව. ඊළඟ මැතිවරණයේදී මේ අයත් ඉදිරියට එයි. අපිට ඕනේ ඒකයි.
ඒ එක්කම ඔබ කියල තිබුණා පහුගිය ආණ්ඩුවේ මතට තිත ව්‍යාපෘතිය පළක් වුණේ නැහැ කියලත්. මේ තුළින් ඔබ මේ කරන්නේ එජාපයේ කොන්ත්‍රාත්තුවක් බවට ‍ලේබලයක් වුණත් ඇලවෙන්න පුළුවන් නේද?
එහෙම ඇතිවෙන එක වළක්වන්න බැහැ. අපේ රටේ යුද්ධයක් පැවැතුණානේ. ශ්‍රී ලංකා ආණ්ඩුව ඒක කරනකොට යූ.එන්.පී.යට ඒක පෙනුණේ වැරදියට. යූ.එන්.පී.ය කරන කොට ශ්‍රී ලංකා එකට පෙනුණේ වැරදියට. ඒ වගේ තුච්ච දේශපාලනයක් තමයි තියෙන්නේ මේ රටේ.
මතට තිත අසාර්ථකයි කියන්නේ හෙරොයින් ගෙන්වනවයි කියන ප්‍රසිද්ධ ජාවාරම්කරුවන් පහුගිය රජයේ සුරතල්ලු විදිහට හිටිය. එතකොට එතනෝල්, ප්‍රකට දේශපාලනඥයන් හතර දෙනෙක් ප්‍රසිද්ධියේ ගෙනාව. පසුගිය රජයට කුඩු සහ එතනෝල් ගැන කට උත්තර නැහැ. මතට තිත කියන්නේ හුදු සටන් පාඨයක් පමණයි. ඒක ජනතාව ප්‍රතික්‍ෂේප
කළා. ඒ වගේම තමයි පසුගිය කා‍ලේ සුදු වෑන් සංස්කෘතියෙන් අතුරුදන් කෙරුවේ තමාගේ මත්ද්‍රව්‍ය අධිරාජ්‍යයට බලපෑම් කරන අයයි. එහෙම නැතිව රටට ආදරේට නමෛයි. තරුණයන් මත්ද්‍රව්‍යවලින් වළක්වගන්න නමෛයි.
ඔබගේ මේ වැඩපිළිවෙළින්
අපේක්ෂකයන් රැසකට අපේක්ෂකත්වය නැති වුණාද?
ඒ සම්බන්ධයෙන් පක්ෂ මහ‍ලේකම්වරු මුකුත් ප්‍රකාශ කරල නැහැ. යම් අපේක්ෂකයෙකුට
අපේක්ෂකත්වය නැතිවීමේ සැබෑ හේතුව දන්නේ පක්ෂ මහ‍ලේකම්වරුයි. අපි කරපු බලපෑමේ සපලද නැද්ද කියන එකට  සැබෑ පිළිතුර දෙන්න පුළුවන් මහ ‍ලේකම්වරුන්ට විතරයි.
ඔබට ජීවිත තර්ජනයක් එල්ලවී ඇත්තේ ඇයි ?
මට මෙයට පෙර තර්ජන එල්ල වෙලා නැහැ. මේකත් එක්කමයි තර්ජනයක් ඇතිවෙන්නේ. තර්ජන සම්බන්ධයෙන් අපිට තියෙන්නේ පූර්ව උදාහරණ විතරයි. සරත් අඹේපිටිය විනිසුරුවරයා ඝාතනය වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අතින්, ඒ හුදෙක් එක් නඩු තීන්දුවක් දීමෙන් උරණවීමෙනුයි. රජයේ බුද්ධි අංශ කියල තිබුණේ් නැහැ සරත් අඹේපිටිය විනිසුරුවරයාට ජීවිත තර්ජනයක් තියෙනව කියල.
එහෙත් නිසි ආරක්ෂාවක් ඔබට ලබාදී තිබෙනවද?
රාගම ‍පොලීසියෙන් සටහන් ‍පොතක් අපේ ගෙදරට දමල තියෙනව. ජංගම සංචාරයේ නිරත ‍පොලිස් නිලධාරීන් එම මාර්ගයේ ගමන් කරනකොට එහි ඇවිත් සටහන් තබනව. මගේ ආරක්ෂාවට මුලින්ම කළ යුතුව ඇත්තේ ‍පොලිස් ආරක්ෂාවක් යෙදවීමයි. තවමත් ඒ දේ වෙලා නැහැ. ඒ වෙනුවට නිර්දේශවෙලා තිබෙනව මට පුද්ගලික ගිනිඅවියක් නිකුත් කරන්න. ඒ සම්බන්ධයෙන් ගම්පහ දිසාපතිවරයාගේ අනුමැතිය ලැබුණා. එහෙත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් මාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් කරන තුරු ගිනිඅවිය නිකුත් කරන්නේ නැහැ.

ඡායාරූපය : ලක්මාල් වසන්ත
ගයාන් කුමාර වීරසිංහ

Source : Lakbima