මායාවෙන් තොරව යථාර්ථයක්‌ වියයුතු දේශපාලන ගමන් මඟ

0
582

ජනතාව තවත් මහ මැතිවරණයකට මුහුණපා සිටිති. සමාජ සංවර්ධනය අරබයා පාලන පක්‍ෂයක්‌ අනිවාර්යයෙන්ම රටට අවශ්‍යයි. පක්‍ෂ අතර භේද බින්න වීම් නොව මෙතනදී සිදුවිය යුත්තේ ඒකාබද්ධවී රටට ඵලදායී පාලන කණ්‌ඩායමක්‌ අනවරතයෙන්ම නිර්මාණය විය යුතුය.

තමන් අතින් සිදුවූ වැරැදි වසා ගැනීමට, තමන්ගේ ව්‍යාපාර කටයුතු නංවා ගැනීමට, තම අපේක්‍ෂා සපුරා ගැනීමට ආදී අභිප්‍රායයන් බැහැරකොට ජාති හිතෛෂී සංකල්පයක්‌ මෙතනදී මතුවිය යුතුය.

අප නිදහස ලබා වසර 67 ක්‌ ගෙවී ගොස්‌ ඇත. මේ වසර 67 වූ කලී විශ්වයේ පැවැත්මෙන් ඉතා කෙටි කාල පරිච්ඡේදයක්‌ වුවද මිනිස්‌ දිවියක පැවැත්මෙන් ඉතා දිගු කාලයකි. මේ දිගු කාල පරාසයේදී රටේ ආර්ථික ප්‍රගතියට විශාල මෙහෙවරක්‌ සිදුවූයේද යන්න ගැන අවලෝකනයක යෙදීමට කාලයයි මේ.

අප ලත් අත්දැකීම් මත මේ කාල පරාසයේදී රට ඉදිරියට ගියේ ආර්ථිකයට වඩා “දේශපාලනයයි” ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලන විෂය කර ගත යුත්තේ රට පාලනය කිරීමට පක්‍ෂයක්‌ තෝරා ගැනීමය. ඉන් ඔබ්බට දේශපාලනය අමතක කොට ආර්ථික සංවර්ධනයට මූලික පදනම දැමිය යුතුය. එහෙත් ඒ ආකල්පය මෙතෙක්‌ ක්‍රියාත්මක වූයේද? මෙතනදී සිදුවිය යුත්තේ මතුවිය යුත්තේ මායාව Faබඒsහ මිථ්‍යාව පහඑබි නොව සත්‍යාර්ථයයි.

ආර්ථික සංවර්ධනයට කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් සැකසිය යුතුය. මෙතනදී රට ගැන සිතා පුළුල් වූ දෘෂ්ටි කෝණයක පිහිටා කටයුතු කිරීමට දේශපාලනඥයන් තරයේ සිතට ගත යුතුය. මෙතනදී ආත්මාර්ථය පසෙකට ඇද දමා පරාර්ථයට මූලිකත්වය දිය යුතුය. රටේ ප්‍රගමනයට බලපාන සැලසුම් ක්‍රියාත්මක කළ යුතුය. සැමදාම ඡන්ද තිය තියා දේශපාලන භූමිකාව ඔපවත් කිරීම බැහැරකොට, ආර්ථික භූමිකාව උත්ප්‍රේරණීය තලයකට පත්කළ යුතුය. මෙදා ඡන්දයට කෝටි 400 ක්‌ වැයවෙනවා යයි මැතිවරණ කොමසාරිස්‌වරයා පවසා ඇත. කෝටි 400 ක්‌ යනු ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යqහයට විශාල මුදලකි. මේ තත්ත්වය අනුව සැමදා ඡන්ද පවත්වන්නට කටයුතු කළහොත් වැයවන මුදල කොතරම්ද යන්න අපට අවබෝධ කොටගත හැකිය.

ආර්ථික ප්‍රගමනයට සරිලන ආකාරයට රටේ මුදල් වැය කළ යුතුය. ජනතාවගේ “ජීවන බර දිනෙන් දිනම අවම විය යුතුය. තමන්ට ලැබෙන මුදල ඒ ආකාරයෙන් වැය කරන ආර්ථික රටාවක්‌ පැවැතිය යුතු අතර ඒ මුදල තුන් ගුණයකින්, සිව් ගුණයකින් වර්ධනය වන්නේ නම් එතැන ආර්ථික ප්‍රගතියක්‌ දක්‌නට නැත. මේ තත්ත්වය මත උත්තලයකට පත්වූයේ දේශපාලනය විනා ආර්ථික ක්‍ෂේත්‍රය නොවේ.

දේශපාලන ක්‍ෂේත්‍රයේ එක්‌ එක්‌ කල්ලිවලට බෙදීමට කටයුතු කිරීමෙන් පෙන්නුම් කරන්නේ තමන්ගේ බලය හුවා දැක්‌වීම විනා රටේ ප්‍රගතියට ඒ නියතය බලනොපාන බවයි.

තමන්ගේ නිකායයන් බැහැරකොට රටේ ප්‍රගතියට බලපාන තීරණයකට එළඹිය යුතුය. රටේ පවත්නා දේශපාලන න්‍යායයන් හේතුකොටගෙන ඒ කෙරෙහි ජනතාව ප්‍රසාදයට පත්වන බවක්‌ නම් නොපෙනේ. දේශපාලනඥයන්ගේ පටු පරමාර්ථ සාධනය හේතුකොටගෙන ජනතාව අතිශය අසීරුතාවට ද පත්ව සිටිති. මේ පූර්විකාව කෙරෙහි දේශපාලනඥයාගේ අවධානය අතිශයින්ම යොමුවිය යුතුය. ඡන්ද සටනේදී අපට දක්‌නට ලැබෙන විශේෂිත ලක්‍ෂණය වන්නේ තම තමන් මතුවන්නට ක්‍රමෝපායයන් සකසනවා විනා රටේ යහපතට ඒ ක්‍රමෝපායයන් බලපාන්නේද යන්න ගැටලුකාරි තත්ත්වයකි. රටේ යහපත යනු ජනතාවගේ ජීවන රටාව උත්තලයකට රැගෙන යාමකි.

දේශපාලනඥයන් මෙතෙක්‌ අනුගමනය කළ පටු න්‍යායයන් බැහැරකොට ප්‍රායෝගික තලයකට රැගෙන යන්නට වග බලා ගත යුතුය. විවිධ උපක්‍රම, භාවිත කරමින් තමන් කෙසේ හෝ ජයග්‍රහණය කළ යුතුය යන ආකල්පයෙන්ද අප බැහැර විය යුතුය.

මෙතනදී එක්‌ පුද්ගලයකු දෙස නොව රට ගැන සිතා බලන්නට දේශපාලනඥයන්ගේ දෘෂ්ටිය යොමුවිය යුතුය. හොඳ හිත එක පැත්තකි. රට ගැන සිතීම තවත් පැත්තකි. තමන්ට යාහැකි අන්තයක්‌ ඇත. ඒ අන්තය කෙරෙහි දේශපාලනඥයින් නිතරම දෘෂ්ටිය යොමු කළ යුතුය.

ජනාධිපති ධුරය හොබවා යළි අගමැති ධුරයට පත්වීම කොතරම් ප්‍රඥ ගෝචරද යන්න ගැනත් සිතා බැලීමට කාලය එළඹ ඇත. මෙතනදී දේශපාලනඥයා සිතිය යුත්තේ තමන්ගේ බලය ගැන නොව රටේ ජනතාවගේ යහපත ගැනය.

මෙසේ ගනු ලබන ක්‍රියා මාර්ග හේතුකොටගෙන අපට පෙනී යන්නේ රට ගැන නොව සිතන්නේ තමන් ගැන බවයි. මේ තත්ත්වය මත යළිත් පිල්වලට බෙදී රට අවුලෙන් අවුලට පත් කිරීමය. මෙතෙක්‌ සිදුවූයේ පිල්වලට බෙදී රට තව තවත් අවුලෙන් අවුලට පත්වීමය.

පසුගිය පාර්ලිමේන්තුවේදී අපට දක්‌නට ලැබුණු විශේෂිත සිදුවී තමයි “විපක්‍ෂ නායක ධුරයට” තරගයක්‌ මතු කිරීමයි. විපක්‍ෂ නායකවරයෙක්‌ පත්කර සිටියදී තවදුරටත් විපක්‍ෂ නායකවරයෙක්‌ සඳහා සටන් වදින්නේ ඇයි? මෙතනදී අපට පෙනී ගියේ රට ගැන නොව තමන් ගැන සිතීමය. මේ ආත්මාර්ථකාමී පිළිවෙත තවදුරටත් රටේ පැවැතිය යුතුද. දේශපාලනඥයන්ගේ පටු පරමාර්ථ සාධනය හේතුකොටගෙන අතිශය දුෂ්කරතාවට පත්වන්නේ මහජනතාව නොවේද? දේශපාලනඥයන් නව ගමනක්‌ යන්නට සිතට ගත යුතු කාලය දැන් එළඹ ඇත. මෙතෙක්‌ කල් තමන් අතින් සිදුවූ වැරදි කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එම වැරැද්ද පුන පුනා කරන්න එපා යයි අපි ඉල්ලා සිටින්නෙමු. වාද විවාද කිරීම නොවේ සිදුවිය යුත්තේ. පාලක පක්‍ෂය කළ යුත්තේ රට ගැන සිතා යම් යම් තීරණ ගැනීමය. මෙතනදී පොදු මතයට මූලිකත්වය දියයුතුය. ස්‌ව මතයට තමයි බොහෝවිට මූලිකත්වය දී තිබුණේ මේ නියතයෙන්ද බැහැරවිය යුතුය.

දේශපාලනඥයා වූ කලී බුද්ධිමතකු විය යුතුය. එම පුද්ගලයා විශ්වවිද්‍යාලයට ගොස්‌ උපාධි, ආචාර්ය උපාධි ලැබිය යුතු නැත. ජනතාව සමග නිතරම බද්ධවී ව්‍යවහාරයෙන් ලබන ඥනය විශ්වවිද්‍යාලයේ උපාධියට වඩා ශේ්‍රෂ්ඨය. ජනතාවගේ ජීවන ගැටලු මනාව තේරුම් ගැනීම දේශපාලනඥයාගේ කාර්ය භාරයයි. දේශපාලනඥයා හා සැබෑ දේශපාලනඥයා යනුවෙන් දෙකොටසකි. ජනතාවට වඩාත් සමීප වන්නේ සැබෑ දේශපාලනඥයාය. දේශපාලනඥයා කරන්නේ තමන්ගේ පරමාර්ථ ඉටුකර ගැනීමට යත්න දැරීමය. එහෙත් සැබෑ දේශපාලනඥයා කරන්නේ නිතරම ජනතාව සමග එක්‌වී ඔවුන්ගේ අපේක්‍ෂා ඉටුකිරීමට ප්‍රමුඛතාව දීමය.

එදා කේවල හෙවත් කොට්‌ඨාස ක්‍රමය මගින් දේශපාලනඥයාගේ කාර්ය භාරය කොට්‌ඨාසයේ ජනතාවට ඉටුකිරීමට බැඳී සිටියේය. එහෙත් කේවල ක්‍රමය අහෝසිවී මනාප ක්‍රමයට රට යාම හේතුකොටගෙන දේශපාලන වරප්‍රසාද සියල්ල අහෝසිවිය. මේ ක්‍රමය 20 වැනි සංශෝධනය මගින් යළි ගෙන ඒමට කටයුතු කළද එයද ජනතාවගේ අවාසනාවට දොa යටපත්විය.

දේශපාලනඥයා යනු ජනතාවගේ (සමස්‌ත) නියෝජිතයා විනා එක්‌තරා කොටසකගේ නියෝජිතයෙක්‌ පමණක්‌ නොවේ. එහෙත් අද්‍යතන අවදියේ සිදුවන්නේ එක්‌තරා කොටසකගේ පමණක්‌ නියෝජිතයකු වීමය.

ගමේ ආර්ථිකය අද බොහෝදුරට අවරට ගොස්‌ ඇත. ගම නංවන්නට සැලසුම් නැත්තේ ඇයි? නගරය මෙන්ම ගමද සමගාමීව සංවර්ධනය කළ යුතුය. ගම අමතක කොට නගරය පමණක්‌ සංවර්ධනය කිරීම දේශපාලනඥයාගේ කාර්ය භාරය නොවේ. නගරය නංවන්නට ප්‍රමුඛතාව දෙන ගමන් ගම නංවන්නටද මූලිකත්වය දිය යුතුය.

මේ මහ මැතිවරණයෙන් පසුවවත් ආර්ථිකය හා ජනතාව කෙරෙහි දේශපාලනඥයාගේ දෘෂ්ටිය යොමු කිරීමට වග බලාගත යුතුය. දේශපාලන මතිමතාන්තර පසෙකට ඇද දමා ආර්ථික ව්‍යqහයට ප්‍රමුඛතාව දිය යුතුය.

අප ලොව වෙනත් රටවලින් බොහෝ දේ ඉගෙනගත යුතුය. ඒ ඒ රටවල් ආර්ථික ව්‍යqහයෙන් ඉහළ තලයට පත් වූයේ කිනම් ක්‍රමවේද ගුරුකොට ගෙනද යන්න කෙරෙහි අපේ දේශපාලනඥයන්ගේ අවධානය යොමුවිය යුතුය.

කෙටි කාල පරිච්ඡේදයකදී බොහෝ රටවල් ආර්ථික වශයෙන් ඉදිරියට ගියේ කිනම් ප්‍රායෝගික ලක්‌ෂණ හේතුකොට ගෙනද යන්න ගැනත් සොයා බැලිය යුතුය. දේශපාලනය අමතක කොට ආර්ථික ව්‍යqහයට ප්‍රමුඛතාව දීම මතයි ඒ ඒ රටවල් ඉදිරියට ගියේ. ඒ මග යන්නට අපට බැරි ඇයි? බැරි කමද? නොසැලකිල්ලද? ඕනෑ කමක්‌ නැති කමද?

දේශපාලනයේ කිසියම් ගැඹුරු දර්ශනයක්‌ තිබිය යුතුය. එය මතුපිටින් පමණක්‌ ප්‍රසාර්ථ වූවක්‌ නොවිය යුතුය. දර්ශනයේ පවත්නා සුගැඹුර හේතුකොට ගෙන රට වඩාත් උත්තලයකට පත්වන්නේ නිතැතිනි. මෙයට සාධක වශයෙන් 1. දේශපාලනය, 2. දේශපාලනඥයා, 3. ජනතාව හා 4. ක්‍රමවේද යන චතුර්යය බලපාන්නේය. මේ චතුර්යය නොමැතිව රට ඉදිරියට යාමට හැකියාවක්‌ නොමැත.

සැමදාම එකම තැන පල්වෙන ගතානුගතික ක්‍රමවේද අනුගමනය කිරීම හේතුකොට ගෙන ආර්ථික ගමන්මග අතර මග ඇන හිටියේය. සමාජය ලෝකය දිනෙන් දිනම සංකීර්ණ තලයකට පත්වන නිසා නව මාන ඔස්‌සේ අපේ විඥනය මෙහෙය විය යුතුය. මෙතනදී දේශපාලන දර්ශනයේ පවත්නා “වගකීම” හා “යුතුකමද” බලපාන්නේය. සමාජාරක්‍ෂණයේ බලපවත්නා ප්‍රභේදනාත්මක පසුබිම කෙරෙහිද දේශපාලනඥයා තමාගේ දෘෂ්ටිය යොමු කළ යුතුය.

දේශපාලනඥයා මෙතෙක්‌ රැගෙන ආ ජීවන ගමනේ පටු පරමාර්ථ සාධනය බැහැරකොට තමන් ගැන නොව රට ගැන සිතා සමාජ මෙහෙවරක්‌ කරන්නට ඉටාගත යුතුය. තමන්ට කිසියම් වාසියක්‌ ලැබෙන්නේ නම් ඒ වාසියද ජනතාව වෙනුවෙන් කැප කිරීම, පරිත්‍යාග කිරීම, සැබෑ වූත්, මානවවාදී වූත් දේශපාලනඥයාගේ කාර්ය භාරයයි.

විවිධ ප්‍රශ්න හමුවේ හෙම්බත් වී ඇති ජනතාවගේ ඒ අසහනය, පීඩනය අවම කරන්නට දේශපාලන ගමන් මඟ අදිටන් කරගත යුතුය. දේශපාලන පරිශ්‍රයට ප්‍රවේශ වූයේ කිනම් පරමාර්ථ හේතුකොට ගෙනද යන්න කෙරෙහිත් අවධානය යොමු කළ මනාය. දුරවබෝධ ඥනයෙන් සමලංකෘත සැබෑ දේශපාලනඥයාගේ කාර්ය භාරය සුවිශාලය. කෙටි කාල පරාසයකට පමණක්‌ සීමා නොවී පුළුල් වූ පරාසයකට අවතීර්ණ වීමේ කාලයයි මේ.

ආචාර්ය ආර්. ඇල්. අබේවික්‍රම

Source : Divaina