අම්බලන්ඔය වැවේ අලියා බේරා ගන්නට කළ අලි මෙහෙයුම

0
756

නිල්වන් දිය පිරි මනරම් අම්බලන්ඔය වැව් කොමළිය දුටුවන්ගේ සිත් වශී කරන්නීය. අම්පාරේ තිබෙන සුන්දරත්වයෙන් ඉහළම ස්‌ථානයක්‌ වන මෙහි ධීවරයෝද හැත්තැවක්‌ පමණ තම ජීවිකාව කරගෙන යති. තිඹිරිගොල්ල වනපෙතට මායිම්ව පිහිටා ඇති නිසා සැඳෑ සමයේ මෙම වැව්පිටිය හක්‌කලං කරන අලි සේනාවන්ගෙන් නිතරම පිරී යති.

රාත්‍රියේ වැවට බැස පිහිනා වැව් වේල්ල මතට පැමිණෙන හස්‌ති සේනාවෝ වැව ආසන්නයේ ඇති නීත්ත, පොකුණුගල ආදී ගම්මාන වලට වැදී සිත්සේ වගාවන් විනාශ කර ඇතැම් විට නිවාසද විනාශ කර හිරු එළිය බිමට වැටෙන්නට මොහොතක්‌ තිබියදී නැවතත් හීන්සැරේ වන පෙතට රිංගා යති. මෙලෙස නිරන්තරයෙන් අලි පැමිණෙන නිසා අම්බලන්ඔය වැවෙහි වේල්ල ආවරණය වනසේ විදුලි වැටක්‌ද සකසා ඇති නිසා අවට ගම්මානවල ජනයාට ගෙන දෙන්නේ මහත් සහනයකි. නමුත් වෙනදා මෙන් එදිනද පුරුද්දට මෙම අලි සේනාවෝ නිල්වන් වැව් දියෙහි පාවෙන පර්වත මෙන් හිමින් සීරුවේ මෙගොඩට පැමිණ නැවතත් වන පෙත දෙසට ඇදී ගියේය.

සවස්‌ කාලයේ වැවේ දැල් එලා දැමූ ධීවරයෝ නැවතත් උදෑසනම එම දැල් අකුලන්නට වැවට යන්නට වූහ. එම අවස්‌ථාවේ පොඩි බණ්‌ඩාර ඇතුළු ධීවරයන් දුටුවේ වැව් දියට බැස වේල්ල දෙසට පිහිනා යන්නට එන හස්‌තියෙකි. දැන් අලියා ඇත්තේ වැව් දිය මැදය. එක්‌ වරම වාගේ යැමට නොහැකිව එම ස්‌ථානයේම කැරකි කැරකී සිටින්නට වූවේය.

“අර අලියට මොනව වෙලාද ගොඩට එන්නේ නැතිව අතනට වෙලා කැරකි කැරකී ඉන්නේ” යනුවෙන් ඔවුන් පවසා ඒ දෙස බලා සිටින්නට වූහ. මොහොතක්‌ ගත විය. අලියා එම ස්‌ථානයේ මීටර් 10 ක්‌ 15 ක්‌ ප්‍රමාණයක කැරකෙමින් ගොඩට පිහිනීමට උත්සාහ කරමින් සිටී. අලියා දැලක පැටලිලා වගේ බලමු මොකක්‌ද වුණේ කියලා. ධීවර පිරිසද හිමින් සැරේ ඔරු තුන හතරකින් එම ස්‌ථානයට ළං වන්නට වූහ. බලාගෙන කිට්‌ටු වෙන්න එපා එකපාරටම හැරිලා ඔරුවත් එක්‌ක පෙරළිලා යන්න ගහයි. යනුවෙන් බියවූ අයෙක්‌ කෑගසන්නට වූවේය. වැවෙන් ගොඩ ඒමට මහත් පරිශ්‍රමයක්‌ දරන මෙම දැවැන්තයා වෙනදා තමනට කොතරම් හානියක්‌ සිදුකළද වැව මැද මේ ආකාරයෙන් අසරණව සිටිද්දී මෙම ධීවරයන්ට මහත් දුකක්‌ ඇති විය.

මේ වැඩේ හරි යන්නේ නැහැ. මෙහෙම හිටියොත් තව ටික වෙලාවකින් මෙම සතා මැරිලා යයි. ඉක්‌මනට වනජීවී එකට කියමු, යෑයි ඔවුන් කතිකා කරගත්හ. උදෑසන 10 වන විට වනජීවී පශු වෛද්‍ය නිලධාරි නිහාල් පුෂ්පකුමාර මහතා ඇතුළු පිරිසක්‌ එම ස්‌ථානයට පැමිණියහ. වූහ. ධීවර සමිතියේ බෝට්‌ටුවලට සහ ඔරු කිහිපයකට ගොඩවූ පිරිස වන අලියා සිටි තැනට ළං වූහ. බැලු බැල්මට පෙනෙන්නේ දැලක පැටලිලා වගේ. ඉතා අපහසුවෙන් සිටිනා මෙම දැවැන්තයා අඩි 30 ක්‌ පමණ ජලය තිබෙන ස්‌ථානයක මරණයෙන් බේරීමට මහත් උත්සාහයක්‌ ගනිමින් සිටී.

අපද ඔරුවක නැඟ එම ස්‌ථානයට ගිය විට දුටුවේ ශරීරයෙන් පිට සහ හිස කොටස පමණක්‌ දිය මතුපිට තිබෙන අයුරුය. විටින් විට හොඬවැල ඉහළට ඔසවා හුස්‌ම ගනිමින් දිවි රැකගන්නට මහත් සටනක්‌ වැව් දියත් සමග කරමින් සිටියේය. කෑ ගසමින් අලි වෙඩි දමමින් අලියා එම ස්‌ථානයෙන් ඉදිරියට ගෙන යැමට උත්සාහ කළද අඩි කිහිපයක දුරක්‌ පිහිනා ගොස්‌ නැවතත් ආපසු හැරෙයි. මේ ආකාරයෙන් පැය ගණනක්‌ උත්සාහ කළද අලියා තවමත් මහත් අපහසුවෙන් වැව මැදය. මෙහෙම ගියොත් නම් මෙම සතාට වැඩි වේලාවක්‌ ඉන්නට අපහසුවේ යෑයි සිතු වනජීවි නිලධාරීන් අම්පාර පොලිස්‌ ජීවිතාරක්‌ෂක කණ්‌ඩායමේ සහාය මෙම දැවන්තයා වෙනුවෙන් ලබාගත්හ.

සහකාර පොලිස්‌ අධිකාරී කැළුම් සී. තිලකරත්න මහතාට කළ දැනුම් දීම මත පො.ප. සතරසිංහ මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන නුවන් (10200), ප්‍රිය සම්පත් (70305), සුජීවන් (71059) සහ කීර්තිසේන (43528) ඇතුළු ජීවිතාරක්‌ෂක කණ්‌ඩායම දහවල් එක පමණ වන විට එම ස්‌ථානයට ළඟා වූහ.

එම ස්‌ථානයට පැමිණියද මෙම පිරිස දැඩි ගැටළුවකට මුහුණ පෑවේ වැව්දිය මත දඟලමින් සිටි දරුණුම වන අලියා අසලට ළඟා වීමට නොහැකි නිසාවෙනි. නමුත් කුමක්‌ හෝ කළ යුතුමය. තමන්ගේ ජීවිතය පිළිබඳව ඇති ආශාව ඉවත් කරමින් මෙම පිරිස ඒ මහා සීතල ගැඹුරු දියට බැස කිමිදෙන්නට වූයේ කිමිදුම් උපකරණද නොමැතිවය. අලියාගේ පිටුපසින් දිය යටට ගොස්‌ නැවත හුස්‌ම ගැනීමට දිය මතුපිටට එද්දී අලියා හැරි සිටින අවස්‌ථාවලදී ඔවුන් මතුවන්නේ අලියාගේ හිස අසලින්ය. දෙපසට වැනෙන දැවැන්ත හොඬය ඔවුන්ගේ හිසට ඉහළින් යද්දී අලියා බේරාගන්නට ගිය අයද මහත් ගැටලුකට පත්වන්නට වූහ.

එක්‌වරම වන අලියා අසල තිබුණු ඔරුවකට කොල්ලෑවෙන් අල්ලා පහර දෙන්නට සූදානම් වද්දී අනෙක්‌ ඔරු මත සහ බෝට්‌ටුවේ සිටි පිරි කෑගසන්නට වූහ. ඒ ශබ්දයට බියවූ නිසාදෝ අලියා ඔරුවෙහි කොල්ලැව අත් හැරීම නිසා සිදුවන්නට ගිය විනාශය වැළකී ගියහ. පොලිස්‌ ජීවිතාරක්‌ෂක කණ්‌ඩායමටත් මෙම සිදුවීම අමුතු අත්දැකීමක්‌ වූහ. මෙම ප්‍රචණ්‌ඩ හස්‌තියා ළඟට කෙසේ නම් යන්නද? නමුත් ඔවුන් දිය යට කිමිදී මහත් පරිශ්‍රමයක්‌ දරා දැලක වත් පැටලී ඇත්දැයි සොයා බලන්නට වූහ. ගම්වාසීන්aද විටෙක ඔරුවල නැඟී කඹවල දෑකැති ගැට ගසා ඒ අවට ප්‍රදේශයේ වැව් පතුලට එය දමා ඇදගෙන ගොස්‌ බැලුවේ යම්කිසි දැලක මේ සතා පැටලී තිබෙනවාදැයි දැන ගැනීමටය. කෙතරම් උත්සාහ ගත්තද එයද සාර්ථක නොවිණි. දැන් එන්න එන්නම තත්ත්වය දරුණුය. අලියා ඉතා අපහසුවෙන් ජලයත් සමඟ පොර බදමින් හුස්‌ම ගනිමින් සිටියි. කෙසේ හෝ කඹයක්‌ දමා බෝට්‌ටුවෙන් ගොඩට ඇදීමට උත්සාහ කළද එයත් ආසාර්ථක වූයෙන් අලියා නැවතත් බෝට්‌ටුවත් ඇදගෙන යන්නට විය. එම නිසා බෝට්‌ටුවද පෙරළී ගොස්‌ සිදුවන්නට ගිය විනාශය මොහොතින් වැළකී ගියේ එම පිරිස ඉතා ඉක්‌මනින් කඹය අත්හැරීම නිසාවෙනි.

ඒ වන විටත් පශු වෛද්‍ය නිලධාරි නිහාල් මහතා මෙම අසරණ සතා පිළිබඳව ඔළුවිල නාවිකා හමුදා කඳවුරේ නිළධාරීන්ටද දැනුම් දෙන ලදී. එම නිසා කිම්දුම්කරුවන් 04 දෙනකු ඇතුළු පිරිසක්‌ද සවස හය ආසන්න වද්දී එම ස්‌ථානයට පැමිණියහ. වූහ. තත්ත්වය දුටු නාවිකා හමුදාවේ පිරිසද තව මොහොතක්‌ මේ ආකාරයෙන් සිටියහහොත් නිසැකවම මෙම වැව මැද අසරණව සිටින සතා මිය යන බව දැන කෙසේ හෝ බේරා ගන්නට උත්සාහ කරන්නට වූහ. කොහොම හරි මෙයගේ කකුලකට මන්දක්‌ දාලා ගොඩට අදිමු. තවත් යෝජනාවක්‌ ආවේය. අලියා සිටි ස්‌ථානයේ සිට දූපතක්‌ වැනි ගොඩබිම් ප්‍රදේශයකට මීටර් 300 යකටත් අධික දුරක්‌ ඇත. “අනේ කොහොම හරි මෙතන ඉඳන් ගොඩට ඇති වෙන්න කඹ ටිකක්‌ හොයාගන්න” යනුවෙන් පශු වෛද්‍ය නිලධාරිවරයා පවසත්ම නීත්ත යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ දමන පොලිසියේ නිලධාරීන්ද ප්‍රදේශවාසීන්ද හැකි ඉක්‌මණණ්‌ අලියා ගොඩට ඇදීමට අවශ්‍ය කඹ සොයා ගෙන එන්නට වූහ.

දැන් කඹත් ඇත. ගොඩට ඇදීම සඳහා වැව් තෙරට වී විශාල පිරිසක්‌ ඇත. ඒත් කෙසේ නම් පාදයකට මන්දක්‌ දමාගන්නේද? කිමිදුම්කරුවන් මහත් ගැටලුවකට පත් වන්නට වූහ. කඹය ජලයට දැමූ විට එය උඩට මතුව පාවී යයි. ගොඩක නම් ඉතා ඉක්‌මනින් මන්දක්‌ ගසා අල්ලා ගන්නට වනජීවී නිලධාරීන් රුසියෝය. මේ ජල තලාව මැද ඔවුන්ටද මෙය අලුත් අත්දැකීමක්‌ වන්නට වූහ. කඹය ගෙන දිය යටට ගොස්‌ දඟලමින් සිටින සතාගේ පාදයකට දමා ගන්නට මේ ආකාරයෙන් කිහිප විටක්‌ම ඔවුන් උත්සාහ කළද ඒ සියල්ලම අසාර්ථක වන්නට වූහ.

දැන් දැන් අලියා දවස පුරාම ජලයට කොටුවෙලා සිටීමෙන් දැඩි වෙහෙසට පත්ව ඉතා අසීරුවෙන් විටින් විට හොඬවැල ඉහළට ඔසවා හුස්‌ම ගනිමින් සිටියි. දැන් දැන් කෙසේ හෝ මෙම කඹයෙන් මන්දක්‌ කකුලකට දමා ගත්තේ නැතිතම් සිදුවන්නේ සීතල වැව් දිය මතම මෙම සතාට මිය යැමටය. කෙසේ නමුත් නාවික කිමිදුම් කණ්‌ඩායමද සිය උත්සාහය අත් නොහැරියහ. පැය එකහමාරකට ආසන්න කාලයක්‌ මහන්සි වී ඉතා අසීරුවෙන් පසුපස පාදවලට ලණුව දමා ගන්නට හැකි වූයේ සියලු දෙනාම සතුටට පත් කරලමිනි.

වැව මැද සිට එකිනෙක ගැට ගැසූ කඹවලින් ගොඩට යනතෙක්‌ම දිග කඹයක්‌ සකසා ඇත. මුහුදේ සිට මාදැල ගොඩට අදින අයුරින් සෙමින් පරිස්‌සමින් වනජීවී නිලධාරීන්ගේ දැඩි පරීක්‌ෂාවෙන් කඹය ගොඩට ඇදෙන්නට වූහ. දවසක්‌ පුරා ජලය මත ගොඩට ඒමට නොහැකිව අසරණව සිටි දැවැන්තයාද සෙමින් සෙමින් ගොඩබිමට ඇදෙන්නට වූවේය. ඉතා අපහසුවෙන් හස්‌තිරාජයා ගොඩගත් කල්හි හේ ඔබ මොබ සැරිසරන්නට මෙන් හාත්පස බැලුවේ අවට සිටි සැම දෙනාම බිය ගන්වන්නට මෙනි. පාදයට දැමූ කඹයද ලිහා ගත යුතු නිසා වනජීවී පශු වෛද්‍ය නිලධාරි නිහාල් මහතා කඩිනමින් දැවන්තයා නිර්වින්දනය කරන්නට වූහ.

“මෙම සතාට ගොඩට එන්න බැරිවුණේ කුමන හේතුවක්‌ නිසාද කියලා අපිට එකවරම තීරණය කරන්න අමාරුයි. මොකද දැලක පැටලිලා කියලා අපි හිතුවත් එම ස්‌ථානයේ සහ මෙම සතා ගොඩට පැමිණි පසු පාදයේ දැල් කැබලි තියෙනවා දැක්‌කේ නැහැ. නමුත් සමහර අවස්‌ථාවල උණ වාගේ තත්ත්වයක්‌ ඇති වුණොතින් අලින් වැවේ බැහැලා ඉන්න අවස්‌ථාත් තියෙනවා. කොහොම වුණත් අසනීප වැනි තත්ත්වයකදී ශරීර ශක්‌තිය දුර්වල වූවොතින් වන අලින්ට මේ ආකාරයෙන් ජලයෙන් ගොඩට ඒමට අපහසු වූ අවස්‌ථා තිබෙනවා. කෙසේ නමුත් මේ ආකාරයෙන් මෙම සතා බේරාගන්නට තව මොහොතක්‌ ප්‍රමාද වූවානම් මිය යැමට ඉඩ තිබ්බා. ඒ වාගේම මෙම අලියා බේරා ගන්න ප්‍රදේශවාසීන්, අම්පාර පොලිස්‌ ජීවිතාරක්‌ෂක කණ්‌ඩායම, නාවික හමුදාවේ කිමිදුම් කණ්‌ඩායම සහ වනජීවී සේවක මණ්‌ඩලය සහ ධීවරයින් පුදුම මහන්සියක්‌ ගත්තා. ඒ අයුරින්ම නීත්ත යුද හමුදා කඳවුරේ නිලධාරී අපට කෑම පවා ගෙනැවිත් දෙමින් සහාය දක්‌වද්දී දමන පොලිසියේ නිලධාරීන්ද සහයෝගය දුන්නා. එම නිසා තමයි, මේ ආකාරයෙන් වැව මැද ගොඩට ඒමට නොහැකිව මරණය පෙනි පෙනී සිටි සතාව බේරාගන්න හැකි වුණේ” යෑයි පශු වෛද්‍ය නිලධාරි පුෂ්පකුමාර “ඉරිදා දිවයින”ට මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් පවසා සිටියේය.

මෙම සතා නිර්වින්දනය කළ විට එක්‌ පාදයක වෙඩි වැදුණු තුවාලයක්‌ දක්‌නට ලැබිණි. කෙසේ නමුත් අවශ්‍ය ප්‍රතිකාර කළ පසු ඔහු සෙමින් සෙමින් නැවත වන පියස වෙතට පා නඟද්දී සියලු දෙනාම මහත් ප්‍රීතියට පත්වූවේ අසරණව සිටි දැවැන්තයාගේ ජීවිතය බේරා ගැනීමට හැකිවූ නිසාවෙනි.

සුසන්ත අමර බන්දු

Source : Divaina