ඡන්ද රස්‌සා

0
547

(රස්‌සාවක්‌ද? අල්ලසක්‌ද?)

මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම අවසන් වූයේ පසුගිය 13 වැනිදා ය. අප දන්නා මැතිවරණ නීති රීති අනුව එවක්‌ පටන්, නව රැකියා සඳහා පත්වීම් ලබාදීම්, මාරුකිරීම්, උසස්‌වීම් ලබාදීම් මේ ආදී වශයෙන් වූ බොහෝ දේ තහනම් ය. එහෙත් පසුගියදා ලංකා ගුරු සේවා සංගමය චෝදනාවක්‌ එල්ල කරමින් කියා සිටින්නේ නාම යෝජනා බාර ගැනීම අවසන් වූ පසුත් උතුරු මැද පළාතේ පාසල්වල සේවය සඳහා කාර්යාල කාර්ය සහායකයන් සහ මුරකරුවන් ලෙස පත්වීම් ලබාදෙන බව ය. එසේ පත්වීම් ලබාගත් අය පසුගිය 14 වැනිදා පාසල්වලට ගොස්‌ වැඩ බාරගෙන ඇති බව ද ගුරු සේවා සංගමයේ වගකිවයුතු අය මැතිවරණ කොමසාරිස්‌වරයාට හා අනුරාධපුර මැතිවරණ තේරීම් බාර නිලධාරිවරයාට දැනුම් දී තිබේ.

කවුරුන් කළත් මේ ‘රස්‌සා ලබාදීම’ වැටෙන්නේ මැතිවරණය වෙනුවෙන් අල්ලස්‌ ලබාදීමේ කොටසට ය. එය සරල කාරණයක්‌ නොවේ. ඡන්දයක්‌ කිට්‌ටු වූ සැණින් සිල් රෙදි බෙදාදීම, උදලුතල බෙදාදීම (නව යුගයට සරිලන ලෙස ජංගම දුරකථන පවා බෙදා දේ) සෙවිලි තහඩු බෙදාදීම් මේ ආදී වශයෙන් බෙදන්නට හැකි බොහෝ දේ බෙදාදීම සුලභව දකින්නට ලැබේ. රස්‌සා බෙදාදීම ද ඒ අතරින් එකකි. භාණ්‌ඩ බෙදාදීම සමහර විට පෞද්ගලික ධනය (වියදම් කරන්නට සල්ලි කොහෙන්ද යන්න වෙනම කාරණයකි) වියදම් කර සිදුකරතත්, ‘රස්‌සා බෙදාදීම’ සිදුකළ යුත්තේ රාජ්‍ය අනුග්‍රහය අනුවය. මැතිවරණ සමයකදී රාජ්‍ය දේපළ, රජයේ සම්පත් අයුතු ලෙස පරිහරණය කිරීම වරදකි. රාජ්‍ය අනුග්‍රහය මැතිවරණයට යොදා ගැනීම අමු අමුවේම අල්ලස්‌ දීමකි.

ඉහත කී සිද්ධියේදී ගෙඩිපිටින් සිදුව ඇත්තේ මහ මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබියදී පෙර දාතම් යොදා අනුරාධපුර හා පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයන් හි පාසල්වල සේවය සඳහා 900 කට ආසන්න පිරිසකට මෙසේ පත්වීම් ප්‍රදානය කිරීමය.

කෙසේ හෝ උතුරුමැද පළාතේ අධ්‍යාපන හා ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයා එම චෝදනාව ප්‍රතික්‍ෂේප කර සිටී. ඔහු කියන්නේ පත්වීම් ලැබූ සියලු දෙනා නාම යෝජනා භාරගැනීම ආරම්භයට පෙර සේවයට වාර්තා කළ බවය.

සිදුවීමේ ඇත්ත නැත්ත සෙවීමටත් වඩා වැදගත් වන්නේ මෙවැනි සිදුවීමක්‌ මැතිවරණයක්‌ කෙරෙහි ඇති කරන්නේ කොතරම් නරක තත්ත්වයක්‌ ද යන්නය. මෙවැනි එක්‌ වැරදි පූර්වාදර්ශයකින් තවත් බොහෝ දෙනෙක්‌ ඊටත් එහා ගිය දේ කරන්නට පෙළෙඹෙනු නො අනුමානය.

මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම පිළිබඳව මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව එකසිය දහයකට ආසන්න බව මැතිවරණ නිරීක්‍ෂණ කාර්යාල සඳහන් කරයි. විශේෂත්වය වන්නේ එයින් 67 ක්‌ ම නීති විරෝධී රැකියා පත්වීම් සහ මාරුවීම් වීමය. රටේ ප්‍රකට රාජ්‍ය ආයතන බොහෝමයක මෙවැනි පත්වීම් ලබා දී ඇති බව සඳහන් ය. මෙවැන්නක්‌ ගැන හෙළිදරව් වූ විට අනිවාර්යයෙන් ම කියෑවෙන යමක්‌ තිබේ. ඒ ”අපේ කාලයේ විතරක්‌ නෙවෙයි. පසුගිය ආණ්‌ඩුවෙනුත් දුන්නා” යන්නයි. මෙය කිසි විටෙකත් සාධාරණ හෝ සදාචාරාත්මක පිළිතුරක්‌ නො වන බව කිව යුතු ය. මන්ද ඒ බොහෝ දේ නිවැරැදි කිරීම පිණිස අලුත් ප්‍රතිපත්ති, සැලසුම් ජනතාවට ඉදිරිපත් කිරීමට වත්මන් ආණ්‌ඩුව කටයුතු කර ඇති නිසා ය. එදා ඒ ක්‍රමයට විරුද්ධව සටන් වැදුණු පිරිසම ඒ ක්‍රමවේදයම අනුගමනය කිරීම යහපාලනයට ද නොගැළපෙන බව සඳහන් කළ යුතුය.

Source : Divaina