මෙක්‌සිකෝ කුඩුරජාගේ විස්‌මය ජනක උමං මාර්ගය

0
672

* සිරගෙදර රැකවළුන්ට ඩොලර් මිලියන 50 ක අල්ලස්‌
* උමගින් පැන ගියේ රේල්පීලිවල සවි කළ යතුරු පැදියකින්
* ආකර ඉංජිනේරුවන් ලවා ඩොලර් මිලියන 2.5 ක්‌ වැය කර උමග හැදුවා
* උමගට විදුලිය සහ ඔක්‌සිජන් සපයා තිබුණා

මෙක්‌සිකෝවේ කුඩු රජා හෙවත් සිනෝලොආ මත්ද්‍රව්‍ය කල්ලියේ නායකයා වු එල් චාපෝ හෙවත් ගුස්‌මාන් රඳවා තිබුණේ අධිතාක්‍ෂණික උපාංගවලින් යුත් ඇල්ටිප්ලානෝ සිරගෙදරයි සිරගෙදර සිට උමං මගින් සිරකරුවන් පලායාම වැලැක්‌වීම සඳහා රේඩාර් සහ භූමිය පිරික්‌සන යන්ත්‍ර පවා රැකවළුන්ට ලබාදී තිබුණි.

එහෙත් මුළු මෙක්‌සිකෝව පමණක්‌ නොව ඇමරිකානු මත්ද්‍රව්‍ය නාශක ආයතනයද විශ්මයට පත් කරමින් ගුස්‌මාන් සිරගෙදරින් පලා ගියේය.

gus2ඔහු සිරගෙදරින් පලායැමට රැකවළුන්ට ඩොලර් මිලියන 50 ක අල්ලස්‌ දුන්නේය. ඩොලර් මිලියන 2.5 ක්‌ වැය කර සිරගෙදර සිට සැතපුමක්‌ දුරට උමගක්‌ද හැරීමට ඔහු උපදෙස්‌ දුන්නේය. මේ උමග හැරීමේ නිරතව සිටියේ පතල් කැනීම් කරන ඉංජිනේරුවන්ය.

මෙම ඉංජිනේරුවෝ උමග හාරමින් එහි තිබූ ටොන් 3250 ක පස්‌ ඉවත් කරනු ලැබීය.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ගුස්‌මාන් පැන ගියේය. ඔහුට පැන යාම සඳහා රේල්පීලිවලට සවි කළ යතුරු පැදියක්‌ද විය.

ගුස්‌මාන් පැනගිය උමග පරීක්‍ෂාවට ලක්‌ කළ මෙක්‌සිකෝ බලධාරීන් විස්‌මයට පත් වූයේ උමග තුලට ඔක්‌සිජන් ඇතුළු වන නල මාර්ගයක්‌ද සකස්‌ වී තිබෙන අයුරු දැකීමෙනි. අඩි පහයි අඟල් 6 ක්‌ උසැති ගුස්‌මාන්ට උමග තුළ ගමන් කිරීමට පහසුවන අයුරින් එය සකස්‌ වී තිබුණි.

මේ පසුබිම මත ගුස්‌මාන් බේරා ගැනීමේ සැලසුම් දියත් කළ කණ්‌ඩායම සිරගෙදර තිබූ අධිතාක්‍ෂණික උපාංග ගැනද දැන සිටි බව හෙළි විය.

සිරගෙදර සිට උමගක්‌ හැරීමේ යෙදී සිටින්නේ නම් ඒ බව සටහන් වන සෝනාර් යන්ත්‍ර පවා සිරගෙදර පාලන මැදිරියේ තිබුණි. මෙයට පෙරද ගුස්‌මාන් මෙම සිරගෙදරින් පලා ගොස්‌ තිබුණි.

ඔහු සිරගෙදර රැකවළුන්ට අල්ලස්‌ දී ලොන්ඩරියේ ඇඳුම් ගෙන යන රථයකට ඇතුළු වී පැන ගියේය.

gus3මෙවර ඔහු සිරගෙදර ස්‌නානය කිරීමේ ස්‌ථානයේ සිට සැතපුමක්‌ දුරින් පිහිටි ඉදිකිරීම් භූමිය අසල නිවසක්‌ වෙත උමගක්‌ හැරීමේ කොන්ත්‍රාත්තුව දී ඇත.

මෙම උමග හෑරීමට වසරක්‌ ගත විය. එල් චපෝ ගුස්‌මාන් පැනයාම නිසා ලැඡ්ජාවට පත් මෙක්‌සිකෝ රජය සිරගෙදර ප්‍රධානියා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකු ධුරවලින් නෙරපා දැමීය. මෙක්‌සිකෝවේ සිට ඇමරිකාව පුරා මත්ද්‍රව්‍ය බෙදාහරින ගුස්‌මාන්ට එරෙහිව ඇමරිකානු මත්ද්‍රව්‍ය නාශක ඒජන්සිය චෝදනා 35 ක්‌ ගොනු කර ඔහුව මෙක්‌සිකෝවෙන් පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටියේය.

එහෙත් මෙක්‌සිකෝ රජය එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඔහුව අධි ආරක්‍ෂක සිරගෙදර රඳවා තැබීය. සිරගෙදරින් පැන ගිය ගුස්‌මාන් අල්ලා ගැනීම සඳහා ඩොලර් මිලියන 3.8 ක තෑග්ගක්‌දෙන බව මෙක්‌සිකෝ රජය නිවේදනය කර තිබේ.

එහෙත් මෙතෙක්‌ අසු වී නැත. මෙම විශ්මය ජනක උමග ඉදිකිරීමට ආකර ඉංජිනේරුවන් සිව්දෙනකු සම්බන්ධ වී ඇත. ඔවුන් දෙවතාවක්‌ම උමගේ දිසාව වෙනස්‌ කර තිබේ.

ගුස්‌මාන් සිරගෙදරින් පලායැමට මාස 6 කට පෙර ඇමරිකානු බලධාරීන් මෙක්‌සිකෝ රජයට අනතුරු අගවමින් මත්ද්‍රව්‍ය කල්ලි නායකයා පැන යැමට සැලසුම් කරන බව පල කළේය.

මේ පසුබිම මැද පසුගිය සෙනසුරාදා රාත්‍රී 8.52 ට ඔහු ස්‌නානය කිරිමේ ශාලාවට ඇතුළු විය. ඉන් පසු ඉනිමගකින් අඩි 32 ක්‌ යටින් පිහිටි උමගට ඇතුළු විය.

උමග ආරම්භ වන ස්‌ථානයේ රේල් පීලිවලට සවිකල යතුරු පැදියක්‌ සූදානම් කර තිබුණි. මෙක්‌සිකෝවේ බලසම්පන්න කුඩු රජා පැන ගොස්‌ ඇතැයි සිරගෙදර බලධාරීන් දැන ගත්තේ ඉරිදා අළුයමයි. ගුස්‌මාන්ගේ පැනයාම නිසා මෙක්‌සිකෝ නීතිපති ජිසස්‌ මුර්ලෝ ලැඡ්ජාවට පත් විය. ගුස්‌මාන්ට 2 වැනි වතාවට පැනයාමේ අවස්‌ථාවක්‌ නැහැ. අපි ඔහුට වසර 300 ක සිරදඬුවමක්‌ නියම කර තිබෙනවා. යෑයි ඔහු මෙක්‌සිකෝ මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය. එහෙත් ගුස්‌මාන් පැන ගියේය.

අනතුරුව ඇමරිකානු ජනාධිපති අපේක්‍ෂත ඩොනල්ඩ් ට්‍රම්ප්ටද ඔහු තර්ජනය කළේය.

මෙක්‌සිකෝවේ සියයට 68 ක්‌ ජනතාව ඔහුව ඇමරිකාවට පිටුවහල් කරන ලෙස රජයෙන් ඉල්ලා තිබුණි.

එසේ වූවත් මෙක්‌සිකෝවේ රාජ්‍ය සහ ආරක්‍ෂක යන්ත්‍රණයේ ඇස්‌වසමින් කෝටිපති කුඩු රජා පැන ගියේය. ඇමරිකාවේ චීකාගෝ නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන්නේ ගුස්‌මාන් නිසා චිකාගෝ පොලිසිය ඔහු අංක එකේ මහජන සතුරා යෑයි නම් කෙරුණි. 1930 දී මහජන සතුරා අංක 1 යෑයි හඳුන්වනු ලැබුවේ අපරාධ කල්ලි නායකයකු වූ ඇල් කැපෝන්ය

මෙක්‌සිකෝ රජයට හා ඇමරිකානු රජයටත් සමච්චල් කළ ගුස්‌මාන් පලාගියේ කුමන ස්‌ථානයකට දැයි මෙතෙක්‌ හෙළි වී නැත.

කීර්ති වර්ණකුලසූරිය

Source : Divaina