බැලට්‌ කාලෙ ලංවෙනකොට බුලට්‌ අරන් එන කට්‌ටිය

0
1258

මෙරට පාතාලයේ පෙකනිවැල කැපූ අවස්‌ථාව ලෙස 1977 න් ආරම්භ වූ එකල එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකයාව සිටි ඡේ. ආර්. ජයවර්ධන උතුමාණන්ගේ ධර්මිෂ්ඨ යෑයි කී දුර්දාන්ත යුගය පෙන්වා දිය හැකිය. ඡේ. ආර්. ජයවර්ධනයන් ඒ ආරම්භය ගනු ලැබුවේ ස්‌ත්‍රී දූෂකයකු වූ ගෝනවල සුනිල්ට ජනාධිපති සමාවක්‌ පිරිනමමිනි. එකී ජනාධිපති සමාව මෙරට පාතාලයේ ආරම්භය ලෙස හැඳින්වුවද එහි වරදක්‌ නැත.

ඒ ආරම්භයෙන් පසු සිදුවූ දේ බොහෝය. දාහත් අවුරුදු එජාප පාලනයේ ආරම්භක අවධියේ පන්සල්වලට කම්බි ගැසුවේ එතැන් සිට මතුවූ පාතාලයෝය. යාපනය විශ්වවිද්‍යාලය ගිනි තැබුවෝ උන් වූහ. එපමණක්‌ද නොව 1983 කළු ජූලිය අරඹමින් මේ පිං බිම ත්‍රස්‌තවාදයේ හමුවේ තිස්‌ අවුරුදු ශාපයක ගොදුරක්‌ කරනු ලැබුවේද උන්මය.

කටක්‌ ඇර එය එසේ නොවේ යෑයි කියන්නට අදටත් එජාපයේ කිසිවකුට හෝ හැකියාවක්‌ තිබේද?

මෙසේ ආරම්භ වූ මෙරට පාතාලය එතැන් සිට දිනෙන් දින වර්ධනය වූයේ දාහත් අවුරුදු එජාප දේශපාලනයටම පිං සිදු වන්නටය. ඡේ. ආර්. යුගයේ සිටි ගෝනවල සුනිල්ලා පසු කලක වෙඩි කා පරලොව යද්දී සොත්ති උපාලිලා, තුම්මුල්ලේ පද්මේලා නැගී සිටියේය.

එකල රට භාර වී තිබුණේ එජාපයේ ආර් ප්‍රේමදාස මහතාටය. පාතාලයේ පැවැත්ම වෙනුවෙන් අසූව දශකයේ මේ රට තුළ මත්කුඩු වසංගතය පෝෂණය කෙරුවෝ ඒ සොත්ති උපාලිලාය. පද්මේලාය. මේ අන්දමින් දිගින් දිගටම නරුමයෝ රජවන්නට වූහ. උන්ගේ ආරක්‍ෂාවේ සෙවනැල්ල වූයේ දේශපාලනය ය.

මෙසේ පාතාලය මේ රට තුළ වැඩි වර්ධනය වීමේ වගකීමෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ ජනතා විමුක්‌ති පෙරමුණේ හිස මතටද මෙහිදී හෙළිය යුතුය. මන්ද උතුරේ ත්‍රස්‌තවාදය සමග රට භීෂණයක වෙලී තිබියදී ඊනියා විප්ලවයක නාමයෙන් 88-89 යුගයේ දකුණ තුළ ආයුධ සංස්‌කෘතියක්‌ නිර්මාණය කරමින් රට කළ දේශපාලනයට මරණය සිල්ලර කිරීම සඳහා මූල බීජ සැපයුවේ ඔවුන් වන නිසාය.

මේ අන්දමින් කලින් කලට දේශපාලන රැකවරණ මැද රජ වූ පාතාලයෝ බොහෝ වූහ. සොත්ති උපාලිලාගෙන් පසු ජී බෝයිලා, ඕල්කොට්‌ලා දෙමටගොඩ කමල්ලා කළු අජිත්ලා හා නාවල නිහාල්ලා දක්‌වාම එය විහිද ගියේය.

කලකට ඉහත ඔබේසේකර පුර චින්තක අමරසිංහ කල්ලියේ සොහොරෙකු වූ ධම්මික අමරසිංහ රජගෙදරට වී රටේ ඉහළම ආරක්‍ෂක නිලධාරින්ටත් වඩා ප්‍රබලව ඩිෙµන්ඩර්වල ගමන් බිමන් ගියේ මෙසේ පාතාලය සුරැකි එහෙත් රටට බණ කියන පාදඩ දේශපාලනය නිසාය.

මේ අන්දමින් දේශපාලනය සමඟ ඉදිරියට ආ මෙරට පාතාලය ඕල්කොට්‌ලා, දෙමටගොඩ කමල්ලා සහ ජීබෝයිලාගේ අවසානයෙන් නිමාවට වූයේද? නැත. එය රට වනසන කුඩු ජාවාරමද සමගින් මේ මොහොතේත් ඉදිරියට යමින් තිබෙන්නේ දේශපාලනයේ අනුහස සමගය. අප එසේ කියන්නේ සාධක සහිතව එය පෙන්වා දිය හැකි බැවිනි. පෙර කල මෙරට මත් කුඩු ජාවාරම සහ පාතාලය පෝෂණය කළා වූ නරුමයන්ගේ තැන ගන්නට අද තවත් නරුම රැළක්‌ම බිහිවී සිටිනනාහ.

ඒ අතරින් බඩෝවිට අජන්ත, ආමි සම්පත්, දිනුක, සංඛ, ඩී. මංජු, කිඹුලා ඇළේ සුරේෂ්, තෙල් චූටි, මුස්‌ලිම් පාතාලයේ බයියා, චමින්ද, රත්මලානේ රොහා ප්‍රබල තැන සිටින බව පොලිසිය පෙන්වා දෙන්නේය.

මෙහිදී සටහන් කළ යුතු විශේෂ දෙයක්‌ ද ඇත. ඒ මේ අතරින් බහුතරයක්‌ කෙරුමන් පසුගිය කාලයේ සිටියේ විදේශ රටවලට ගොස්‌ සැඟවී යෑයි යන්නය. ඉකුත් කාලයේ පාතාලයට එරෙහිව රට තුළ සිදු කෙරුණු ආරක්‍ෂක අංශ මෙහෙයුම් ඔවුන්ගේ ඒ පලා යැමට හේතු වී තිබිණ.

එහෙත් මේ මොහොතේ මෙකී පාතාලයන් අතරින් වැඩි පිරිසක්‌ සිටිනුයේ යළි මෙරටට පැමිණ බව බුද්ධි අංශ මගින් අනාවරණය කර ගෙන තිබෙන්නකි. කොළඹ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥ යකුගේ රැකවරණය ලැබීම ඔවුන්ගේ එම නැවත පැමිණීමට හේතු වී අතැයි බුද්ධි අංශ සඳහන් කරන්නේය.

බුද්ධි අංශ හෙළි කරන පරිදි නම් ටයි කෝට්‌ දමා ජැන්ඩියට හඳින පළඳින මෙකී දේශපාලනඥයා මැති සබයේදී බොහෝ ශාන්ත දාන්ත ලෙස හැසිරෙන්නෙකි. එසේම නම ගිය ව්‍යාපාරික චරිතයකි.

ඒ අනුව මේ කියෑවෙන්නේ ඉකුත් ජනවාරි අට වැනිදා රට තුළ සිදු වූ දේශපාලන පෙරළිය පාතාලයේ යළි පිබිදීමට හේතුවක්‌ වී තිබෙන බව නොවේද? ඒ පිළිබඳ කිසිත් අපි නොදන්නෙමු.

නමුත් මෙකී පාතාලයන් සේම ඉකුත් කාලයේ පාකිස්‌තානයේ සිට මෙරටට රැගෙන ආ ජාත්‍යන්තර මත් කුඩු ජාවාරම්කරුවකු හා පාතාල ප්‍රබලයකු වූ සිද්ධික්‌ද ඔහුව මෙරටට රැගෙන ඒමට සූදානම් වූ අවස්‌ථාවේ “ආ ලංකාවටද යන්නේ.. ඒකට ප්‍රශ්නයක්‌ නැහැ දැන් තියෙන්නේ අපේ ආණ්‌ඩුවක්‌” යෑයි ප්‍රසිද්ධියේම කියා ඇති බව පමණක්‌ අපි දැන සිටින්නෙමු. ඒ එක්‌තරා පොලිස්‌ නිලධාරියකුම හෙළි කළ කරුණු හමුවේය.

මෙහිදී මොවුන් අපේ ආණ්‌ඩුවක්‌ ලෙස හැඳින් වූයේ යහපාලනයද නැතහොත් එජාපය බලයට ඒමද යන්න ඔවුන්ගෙන්ම විමසා දැන ගත යුතුව තිබේ.

කෙසේ වෙතත් රට ගිය පාතාලයන් මෙසේ යළි මෙරටට පැමිණ සිටින අතරේ ඉකුත් සතියේ ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්‌පති නවරත්න මහතා අපූරු හෙළිදරව්වක්‌ මාධ්‍ය මගින් කරනු ලැබිණි. ඒ පාතාල කණ්‌ඩායම් පහක්‌ එළඹෙන මැතිවරණයේදී දේශපාලනඥයන්ගේ සහායට ඉදිරිපත් වී සිටින බවය. නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ එම අනාවරණයෙන් තවත් දෙයක්‌ද ගම්‍ය වන්නේය. ඒ මෙවර මැතිවරණයේදී රට යුද පිටියක්‌ කිරීමට ඇතැම් දේශපාලන පාදඩයන් දැනටමත් සුදානම්ව සිටින බවය.

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙසේ පාතාලයේ සහාය ලබා ගැනීමට වෙර දරමින් තම පිරුවට අස්‌සේ පාතාලය සුරතල් කිරීමට සැරසෙන දේශපාලනඥයෝ කවරහුද? එය තවමත් හරිහැටි අනාවරණය වී නොතිබෙන්නකි.

නමුත් එසේ පාතාලය සුරතල් කිරීමට සැරසෙන එක්‌ චරිතයක්‌ පමණක්‌ ඉකුත් සතියේ කරළියට පැමිණුනි. ඒ වත්තල ප්‍රදේශයෙනි. පාතාලයන් නොව මොකා සුරතල් කළද නීතිය රකින්නට සිටින පොලිසියේ රාළහාමිලා පමණක්‌ නොව ලොකු ලොක්‌කන්ද නිකමටවත් ඇහැක්‌ ඇර නොබලන තරමට ප්‍රබල මෙකී දේශපාලනඥයා ඉකුත් සතියේ පාතාලයන් රැසක්‌ සිය නිවසට කැඳවා සුපිරි සාදයක්‌ පවත්වා තිබුණේ තම පක්‍ෂයේ ජයග්‍රණයට පාතාලයේ අශීර්වාදය යදින්නාක්‌ පරිදිය.

අවස්‌ථා ගණනාවකදී ම පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති මෙම දේශපාලනඥයාට මඳක්‌a සමීපව සිටින අයකු කියා සිටියේ මෙකී සාදය සඳහා පසුගිය කාලයේ පෑලියගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු ඝාතනය කිරීමේ සිද්ධියක කෙරුමකු ඇතුළු බ්ලූමෙන්ඩල්, කිඹුලා ඇළ, තොටළඟ, කැලණිය, වනවාසල, ගල්කිස්‌ස ඇතුළු ප්‍රදේශ රැසක්‌ නියෝජනය කරන පාතාල ප්‍රබලයන් සහ ඔවුන්ගේ ගෝල බාලයන් ගණනාවක්‌ සහභාගි වී සිටි බවකි.

එසේම තමන් සමීපයේ සිටින පාතාල කෙරුමන් කිහිප දෙනකුට ගමන් බිමන් යෑම සඳහා ඩබල් කැබ් රථ කිහිපයක්‌ ලබා දීමට දේශපාලනඥයා කටයුතු කර ඇති බවද හෙතෙම හෙළි කළේ උපහාසාත්මක සිනහවක්‌ද සමගිනි.

මැතිවරණයක්‌ ආසන්නයේ තිබියදී දේශපාලනඥයන් රට ගිය පාතාලයන් යළි මෙරටට කැඳවන්නේත් එසේ එන වුන්ට පාටි දමන්නේත් කුමකටද යන්න මේ රටේ ජනතාවට අමුතුවෙන් පහදා දිය යුතු නොවේ.

මේ සැරසෙනුයේ කුමන දෙයක්‌ හෝ සිදු කර තමන්ගේ බලය දෙස බලා පාතාලයේ පිහිටෙන් ගමන යන්නට දේශපාලනඥයා සුදානම් වීමය. එහෙත් දේශපාලනඥයා එසේ ගමන ගියද හැමදාමත් ඉන් රටට ලැබුණු දෙයන් නොවීය. 1977 ඡේ. ආර්. යුගයෙන් පාතාලය බිහිවීමේ සිට මේ දක්‌වාම සිදු වූයේ ඒ ටිකය.

මෙසේ පාතාලයේ පිහිට ගෙන ජනතා නියෝජිතයකු වූ දේශපාලනඥයා පාදඩ චරිතයක්‌ වූවා මිස කිසිදු දිනෙක මහත්මයකු නොවූයේය. ඔවුන් රටට බරක්‌ම විය. මෙරට දේශපාලනයේ පරිණතයකු වන වත්තලදී පාතාලයට පාටි දැමූ දේශපාලනඥයාගේ ඉතිහාසය දෙස බැලීමේදීද එය තහවුරු වන්නේය.

විටෙක ඔහුගේ නම මිනිස්‌ ඝාතන කතා සමග කියෑවෙන්නට විය. තවත් වරෙක නිධන් හෑරීමේ කතාද මතු විය. සුදු පිරුවට ටයි කෝට්‌ අස්‌සෙන් 1977 න් ඇරඹි පාතාලය බිහි කෙරුණු එජාප පාලනයේ සිට මේ දක්‌වාම එකී දේශපාලනඥයා කළ කී දැ රෙදි පල්ලේ හැලෙමින් තිබෙන්නේ එසේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මොහොතේ සිටිනුයේ මෙරට පාතාලයට සහ මත් ජාවාරමට එරෙහිව අවංක සංග්‍රාමයක්‌ ඇරඹීමට සූදානමිනි. එහෙත් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින වත්තල දේශපාලනඥයා වැන්නවුන් පාතාලය සුරතල් කිරීමට සැරසේ නම් ඉන් බාධා වන්නේ ජනාධිපතිවරයාගේ අරමුණටය.

එහෙයින් සඟවාගෙන සිටින එකා මොකා වුවත් ඌ ළඟ සිටින යකා එළියට ඇද පන්නා දැමීම නියත වශයෙන්ම සිදු විය යුතු බව අප මෙහිදී පෙන්වා දෙන්නේ සාමකාමී මැතිවරණයක්‌ තුළින් රටේ ජනතාවට තමන්ගේ ඡන්ද අයිතිය රැක දීම ආණ්‌ඩුවේ වගකීම වන නිසා බව අවසන් වශයෙන් පෙන්වා දිය යුතුය.

සමන් ගමගේ

Source : Divaina