මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක්

0
508

මෙම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවද ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.එම ජාතික ආණ්ඩුවේ ඇමැති ධුර දරන පක්ෂයට විපක්ෂ නායක ධුරයද ලබා නොදෙන බව සඳහන් කළ ඒ මහතා එම ජාතික ආණ්ඩුව විහිළුවක් කර නොගන්නා බවද කීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (16) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එම ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට පත් කරන්නේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා සඳහන් කළේ ඔහු කැබිනට් මණ්ඩලයට පැමිණියහොත් සියල්ලන්ටම “සර්… සර්…” යැයි කියන්නට සිදුවන බවයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ සභාපතිවරයා ලෙස පසුගියදා කළ විශේෂ ප්‍රකාශයෙන් පක්ෂයට අවාසියක් සිදුවුණේ යැයි චෝදනා පවතින බව මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් මතු කළේය. ජනාධිපතිවරයා ප්‍රමුඛ තම කණ්ඩායම ඉදිරියට ආවේ පක්ෂය ජයග්‍රහණය කිරීමට නොව රට ජයග්‍රහණය කිරීමට බව ඊට පිළිතුරු දෙමින් හෙතෙම කීය.
පසුගිය ජනාධිපතිවරණයේදී තමා වැඩි ඡන්ද 15000කින් බේරුවල ආසනයේ මහින්ද රාජපක්ෂ මහතා දිනවූ බව පැවැසූ සේනාරත්න මහතා, මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද 15,000කින් ඔහු පරාජය කළ බවද කීය.

Source : Lakbima