පාර්ලිමේන්තුවට එන්න හදන නෑදෑයෝ

0
589

අගෝස්තු 17 පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ලබා දී ඇති නාමයෝජනා හා ජාතික ලැයිස්තු දෙස බැලීමේදී පාර්ලිමේන්තුවට එන්න හදන නෑදෑයින් විශාල පිරිසක් දක්නට ලැබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කුරුණෑගලින් නාමයෝජනා දී ඇති අතර ඔහුගේ සොයුරු හිටපු කථානායක චමල් රාජපක්‍ෂ හා පුත් නාමල් රාජපක්‍ෂ ද ඥාති සොයුරියක්වන නිරූපමා රාජපක්‍ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හම්බන්තොටට නාමයෝජනා දී ඇත.හිටපු අගමැතිවරුන්වන රත්නසිරි වික්‍රමනායකගේ පුත් විදුර වික්‍රමනායක කළුතර දිස්ත්‍රික්කයෙන්ද, දිමු ජයරත්න හිටපු අගමැතිවරයාගේ පුත් අනුරාධ ජයරත්න මහනුවර දිස්ත්‍රික්කයෙන්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා දී ඇත.එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහනුවර දිස්ත්‍රිකයෙන් හිටපු අමාත්‍ය එස්.බී දිසානායක හා ඔහුගේ පුත් නාරද දිසානායකද නාමයෝජනා දී ඇත.

හිටපු ඇමැති ජීවන්ගේ දියණියවන මල්ෂා කුමාරතුංග බස්නාහිරින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නම්  දී ඇති අතර ජීවන් කුමාරතුංග සන්ධාන ජාතික ලැයිස්තුවට ඇතුලත්ය.එක්සත් ජාතික පක්ක්‍ෂයේ  හිටපු ඇමති දිවංගත දොස්තර ජයලත් ජයවර්ධනගේ පුත් කාවින්ද ජයවර්ධන එක්සත් ජාතික පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද, හිටපු ඇමති රාජිත ‍සේනාරත්න එක්සත් ජාතික පෙරමුණෙන් කළුතරට නම් දී ඇති අතර ඔහුගේ පුත් චතුර සේනාරත්න ගම්පහට එක්සත් ජාතික පෙරමුණින් තරඟ කරයි.

ගම්පහ දිස්ත්‍රිකයට රණතුංග පවුලෙන් සන්ධානයෙන් ප්‍රසන්න හා රුවන් නාමයෝජනා ලබා සිටින අතර හිටපු ඇමති අර්ජුන රණතුංග එක්සත් ජාතික පෙරමුණින් නාමයෝජනා දී ඇත.හිටපු ඇමති නවීන් දිසානායක එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් නායක ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව ඇති අතර ඔහුගේ සොහොයුරු මයන්ත දිසානායක මහනුවර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පෙරමුණින් ඉදිරිපත් වී ඇත.

සහෝදරයින් වන දිනේෂ් ගුණවර්ධන හා ගීතාන්ජන ගුණවර්ධන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹට තරඟකරන අතර මහින්ද යාපා හා ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන දොසොහොයුරන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතර දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී ඇත.මේ සියළු දෙනා අතර අඹුසැමියන්ද මෙවර ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වීමට මානබලමින් සිටී.ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් කොළඹට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඉදිරිපත් වී ඇති අතර එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂිකාව ලෙස අනෝමා ෆොන්සේකා ඉදිරිපත් වී ඇත.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් දයා ගමගේ නාමයෝජනා දුන් අතර අනෝමා ගමගේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවට ඇතුලත්ය.හිටපු නියෝජ්‍ය අමාත්‍ය දිවංගත නෙරන්ජන් වික්‍රමසිංහගේ බිරිඳ වන දර්ශනි වික්‍රමසිංහ කුරුණෑගලින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අතර නිදහස් සන්ධානයෙන් ගම්පහට නාමයෝජනා නොලැබුණු සරණ ගුණවර්ධනගේ බිරිඳට නාමයෝජනා ලැබී ඇත.

Source : Lakbima Online Edition