ඤාණසාර හිමි කොටුකිරීමට මුස්‌ලිම් කවුන්සිලය කැසකැවීම

0
1005

බුරුමයේ අවුන්සාන් සුකීගේ පාලනය ආරම්භ වීමෙන් පසුව ඇතිවූ පළමු බෞද්ධ මුස්‌ලිම් ගැටුම පසුගිය සතියේ වාර්තා විය. මධ්‍යම බුරුමයේ බාගෝ ප්‍රාන්තයේ මුස්‌ලිම් විද්‍යාලයක ඉඩමක ආරවුලක්‌ නිසා මෙම ගැටුම ආරම්භ වී තිබේ. එයින් පසු දෙසීයකට අධික පිරිසක්‌ කලහකාරීව හැසිරී මුස්‌ලිම් ආගමික ස්‌ථානයක්‌ ගිනිතබා විනාශ කර ඇත. මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස ලොව පුරා නමක්‌ දිනාගෙන සිටින සුකී බුරුමයේ රෝහින්ගා ප්‍රශ්නය ගැන කථා කරන්නේ නැත. පසුගිය දිනක බී. බී. සී. වාර්තාකරු මිෂාල් හුසේන් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්‌වුණු සුකී එරටදී මුස්‌ලිම්වරුන් ජනවාර්ගික සංහාරයකට ලක්‌වන බවට පැතිරෙන ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කළාය. බටහිර ලෝකය සුකීගේ ආණ්‌ඩුව ගැන මහත් බලාපොරොත්තු තබාගෙන සිටියද මේ නායිකාව බෞද්ධ බහුතරයේ මතයට එරෙහි නොවන බව පැහැදිලි වේ. සුකී පාලනය රොහින්ගාවරුන්ට එසේ නොවන්නේ නම් බෙංගාලි මුස්‌ලිම්වරුන්ට පුරවැසිභාවය පිරිනැමීමට උත්සාහ කළ හොත් එයින් ඒ ආණ්‌ඩුවේ අවසානය ආරම්භ වන බව නම් සහතිකය.

අශ්වින් විරාතු හිමියන්, සුකීගේ ආණ්‌ඩුවට විරුද්ධ වූවද නව රජය බලයට පත්වීමෙන් පසු උන්වහන්සේ සිරගත කිරීමට කටයුතු කෙරුණේ නැත. නිරන්තරව පොලිසියට පැමිණ කටඋත්තර දෙන්නැයි අණ කෙරුණේ නැත. විරාතු හිමියන්ගේ හඬට නව ආණ්‌ඩුවද කන්දෙන බව පැහැදිලිය. එහෙත් ලංකාවේ සිදුවන්නේ කුමක්‌ද? යහපාලන ආණ්‌ඩුව භික්‍ෂූන් සිරකර දැම්මා පමණක්‌ නොව ඓතිහාසික දළදා පෙරහැරට හීලෑ ඇතුන්ද සහභාගි කරවීම දුර්වල කර ඇත. දේදුනු විප්ලවයෙන් බිහිවූයේ බෞද්ධ විරෝධී ආණ්‌ඩුවක්‌ද?

බුරුමයේ විරාතු හිමියන්ට එරෙහිව එරට මුස්‌ලිම්වරු පොලිසි ගියේ නැත. එහෙත් මෙරට මුස්‌ලිම් කවුන්සිලය බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට එරෙහිව පොලිස්‌පතිවරයාට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළේ ජුනි 26 වැනිදාය. මහියංගනයේ පැවැති රැස්‌වීමකදී ඤාණසාර හිමියන් සිදුකරන ලදැයි කියන ප්‍රකාශ ගැන මුස්‌ලිම් කවුන්සිලය ඤාණසාර හිමියන් සමඟ බලවත් ලෙස උරණ වී සිටිති. මහියංගනයත් දෙවන අළුත්ගම කරන්නේ යෑයි ඤාණසාර හිමියන් පැවසූ බව මුස්‌ලිම් කවුන්සිලයේ ප්‍රධානී එන්. එම්. අමීන් සිය ලිපියේ සඳහන් කර ඇත. මෙරට බී. බී. සී. වාර්තාකරුවකුගේ පියා වන අමීන් මහතා ඤාණසාර හිමියන්ගේ මහියංගන කතාවේ වීඩියෝ පටයක්‌ද පොලිස්‌ මූලස්‌ථානයට භාරදී ඇත.

ඤාණසාර හිමියන් මහියංගනයට ගියේ එම ප්‍රදේශයේ බෞද්ධයන් තුළ ඇතිව තිබෙන නොසන්සුන්තාව සමනය කිරීම සඳහාය. මහියංගනය අසල ගම්මානයක එල්ලා තිබූ බෞද්ධ කොඩි මුස්‌ලිම් තරුණයන් පිරිසක්‌ ගිනි තබා විනාශ කිරීමෙන් පසුව ප්‍රදේශයේ ආගමික සංහිඳියාව පිළිබඳව බලවත් ගැටලුවක්‌ පැන නැගී තිබිණි. මහියංගන පොලිසියේ ක්‍රියාකාරිත්වය ගැනද ප්‍රදේශයේ බෞද්ධයන් තුළ පැවතියේ යහපත් ආකල්පයක්‌ නොවේ. එනිසාම මහියංගනයේ වාසය කරන භික්‍ෂූන් වහන්සේ තුන්නමක්‌ පොලිසියට එරෙහිව උපවාසයක්‌ද ආරම්භ කර තිබුණ අතර බොදු බලසේනාවේ ලේකම් හිමියන් එම ප්‍රදේශයට වැඩම කරනු ලැබුවේ මෙම ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහාය. මහියංගන බෞද්ධයන්ගේ දුක්‌ගැනවිලි වලට සවන්දීමට ඤාණසාර හිමියන් එම ප්‍රදේශයට වැඩම කිරීම අමීන් මහතා ප්‍රමුඛ මුස්‌ලිම් කවුන්සිලයේ බලවත් කම්පනයට හේතුවී තිබේ. එහෙත් මහියංගනයේදී බෞද්ධ කොඩි ගිනි තැබූ අන්තවාදීන් ගැන මේ කවුන්සිලය මාරාන්තික නිහඬතාවක පසුවේ.

2014 ජුනි 15 වැනිදා අළුත්ගම සිදුවූ සිංහල මුස්‌ලිම් ගැටුම ගැනද අමීන් මහතා පොලිස්‌පතිවරයාට යෑවූ ලිපිය මගින් යළි සිහි කැඳවා ඇති අතර Æණසාර හිමියන් බොහෝ ආඩම්බරයෙන් එම ගැටුම ඇතිකළේ තමා යෑයි කියන බවත් මෙහි සඳහන් කර ඇත. නැවතත් ඤාණසාර හිමියන් සිරගත කර තැබිය යුතු බව මේ කවුන්සිලයේ අදහස බව අමුතුවෙන් කිව යුතු නැත. මෙරට බෞද්ධයන්ට රැස්‌වීමක්‌ පැවැත්වීම සඳහාද මුස්‌ලිම් කවුන්සිලයෙන් අවසර ගත යුතුද? මෙරට මුස්‌ලිම් ප්‍රජාවට ඇති ප්‍රමුඛතම තර්ජනය බොදු බල සේනාව බව අමීන් මහතාගේ ලිපිය මගින් අවධාරණය කෙරෙන බව පැහැදිලිය. ඒ අනුව ඉදිරියේදී ඤාණසාර හිමියන්ට බෝධි පූජාවක්‌ පැවැත්වීමේදී පවා පොලිසියේ අවසරය ලබාගැනීම සිදුවේද?

ලංකාවේ මුස්‌ලිම්වරුන් 45 දෙනෙක්‌ සිරියාවට ගොස්‌ අයිසිස්‌ සංවිධානයට බැඳී සටන් වැදීම ගැන මේ කවුන්සිලය කවරක්‌ ප්‍රකාශ කරන්නේද? ලංකාව පුරාම පැතිර යන වහාබ්වාදය ගැනද අමීන් මහතාගේ ස්‌ථාවරය කුමක්‌ද යන්න අපට පැහැදිලි නැත. මීට මාසයකට පමණ පෙර මහනුවර මුස්‌ලිම් පල්ලියේ ඉදිකිරීමක්‌ ගැන මහත් ආන්දොaලනයක්‌ ඇතිවිය. දළදා මැඳුරටත් ඉහළින් මුස්‌ලිම් පල්ලියේ මිනාරා ලාංඡනය ඉදිකිරීම පිළිබඳව දැඩි විරෝධයක්‌ හටගත් නිසාම මේ කටයුත්ත අත්හිටුවිණි. මහනුවරින් පැතිරෙන වහාබ්වාදී බලහත්කාරය ගැන ශ්‍රී ලංකා මුස්‌ලිම් කවුන්සිලය කිසිම නිවේදනයක්‌ කළ බවක්‌ අප දුටුවේ හෝ ඇසුවේ නැත. එහෙත් මහියංගනයේ බෞද්ධ උපවාසය මුස්‌ලිම් කවුන්සිලය කලඹා ඇති බවනම් පැහැදිලිය. මෙය සැබවින්ම කුහකකමකි.

මුස්‌ලිම් කවුන්සිලය ඉදිරිපත් කළ පැමිණිල්ල ගැන පොලිසිය කවර ක්‍රියාමාර්ගයක්‌ ගනීද යන්න අපට පැහැදිලි නැත. නමුත් යහපාලන ආණ්‌ඩුවේ බලධාරීන්ටද බෞද්ධයන්ගේ හඬ තලා සිරකර දැමීමට අවශ්‍ය වී තිබේ. නව ව්‍යවස්‌ථාව හරහා අනාගාමික රාජ්‍යයක්‌ ඇති කිරීමට කුමන්ත්‍රණ සිදුකෙරෙමින් පවතින බව රහසක්‌ නොවේ.

එම අනාගමික රාජ්‍යයට බෞද්ධයන් පැහැදිලිව විරෝධය පළකරන බව අමුතුවෙන් කිව යුතු නැත. එම විරෝධ දැනටමත් ජනපතිවරයා සිටින වේදිකාවකදීම මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් විසින් පළකර ඇත. එහෙත් මුස්‌ලිම් කවුන්සිලය නම් ලංකාව අනාගමික කිරීම ගැන බලවත් සේ සතුටට පත්වන බව රහසක්‌ නොවේ. අන්‍යාගමික බලවේග සැමවිටම කුමන්ත්‍රණය කළේ බුද්ධාගමට ඇති බලය අඩුකිරීම සඳහාය. ජනවාරි 08 වැනිදා සිදුවූ රෙජීම වෙනසද බෞද්ධ බලයට එරෙහිව සිදුකළ කුමන්ත්‍රණයකි. එය මෙතෙක්‌ බොහෝ දෙනකුට අවබෝධ වී නැත.

තුර්කියේ අටාටුක්‌ ගුවන්තොටුපළට එල්ලවූ ප්‍රහාරයෙන් මුස්‌ලිම් අන්තවාදයේ තරම යළිත් ලෝකයට මතක්‌ කරදුන් බව සත්‍යයකි. මෙය අවසානයද ආරම්භයද නොවේ. අයිසිස්‌ ප්‍රහාර ගැන ලංකා මුස්‌ලිම් කවුන්සිලය දරන මතය කුමක්‌ද? එහෙත් මුස්‌ලිම් කවුන්සිලය වඩාත්ම බියවන්නේ මරාගෙන මැරෙන ප්‍රහාර වලට නම් නොවේ. මහියංගන බෞද්ධයෝ පවත්වන සත්‍යග්‍රහය පිළිබඳවය. මේ ගැන කාට පවසන්නද?

– Divaina