මේ දේශපාලනයට සම්බන්ධවීම පව්

0
590

– ජාතික හෙළ උරුමයේ හිටපු නායක පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි

ඔබවහන්සේ ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කරන්නේ ඇයි?
අද පවතින දේශපාලන පක්ෂ ජරාජීර්ණ වීම නිසා තමයි මම දේශපාලනය ගැන කලකිරුණේ. පසුගිය කාල සීමාවේදී පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් කතා කළේ මැතිවරණ ජයග්‍රහණය ගැන හා විරුද්ධවාදී පක්ෂ විනාශ කරන ආකාරය ගැනයි. එසේ නොමැතිව ජනතාව ගැන කවුරුවත් කතා කළේ නෑ. එක් පැත්තකින් රාජපක්ෂ රෙජීමය අවසන් කළ යුතු බව කියනවා. තවත් පැත්තකින් අපි ජයග්‍රහණය කළ යුතු බව පවසනවා. මේ වෛරී සහගත දේශපාලන ව්‍යාපාරයක්. මේවාට අපිත් සම්බන්ධ වීම පාපකර්මයකට සම්බන්ධවීමක්. මේ නිසා දේශපාලන ක්‍රියාවලියෙන් මම ඈත් වෙනවා. ඒත් යුතුකමක් ලෙස රට ත්‍රස්තවාදයෙන් මුදාගත් නායකයාට ලබාදිය හැකි සහය ලබාදෙනවා.
ඔබවහන්සේත් පාර්ලිමේන්තුවේ දෙවරක් කටයුතු කළා. අවුරුදු දහයක් තිස්සේ ඔබවහන්සේත් ජනතාව ගැන හඬක් නැගුවේ නැහැනේ?
මම කළ කතා හැන්සාඩ් වාර්තාවල ඇති. පාර්ලිමේන්තුවේදී කතා කිරීමට ලැබුණ හැම අවස්ථාවකදීම මම කතා කළා. ‍පොදු ජනතාවගේ ෙදෙනික ජීවිතයේ ඇති ගැටලු විසඳීමට අවශ්‍ය හඬ නැගුවා.
ඔබවහන්සේට පාර්ලිමේන්තුවේදී සාමාන්‍ය ජනතාව ගැන හඬක් නැගීමට නොහැකි වුණානම් පක්ෂ නායකයා දැනුවත් කරන්න තිබුණානේ?
පක්ෂ නායක මට්ටමින් දැනුවත් කරන්න අවස්ථාවක් ලැබුණේ නැත්තේ මම සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ නිසයි. අපිට උවමනා ආකාරයට පාර්ලිමේන්තුවේ කතා කරන්න ලැබුණේ නෑ. ඒත් රටේ තිබෙන ප්‍රශ්න විසඳිය යුතු බව පුද්ගලික මට්ටමින් කිව්වා.
ඒ කියන්නේ ඔබවහන්සේ කියපු දේවල් පක්ෂ නායකයින් තැකීමට ලක් කර නෑ?
පසුගිය ආණ්ඩුවේ හිටපු අයගේ අවධානය යොමුවුණා. ඒත් මහජනතාවට බරපතළ ගැටලු මතුවෙන්න ගත්තේ ජනවාරි 8 වැනිදායින් පසුව ඇතිවූ අලුත් ආණ්ඩුවෙනුයි. දින සියයේ ආණ්ඩුවේදී අපිට පාර්ලිමේන්තුවේ කතා කරන්න අවස්ථාව තිබුණේ නෑ.
ඔබවහන්සේ පසුගිය පාර්ලිමේන්තුවේදී ජාතික හෙළ උරුමයෙන් පත්වී ස්වාධීනව කටයුතු කළා. පක්ෂයේ ස්ථාවරයට පටහැනිව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහය දුන්නේ ඇයි?
ජාතික හෙළ උරුමය ආරම්භ කළේ මගේ නායකත්වයෙන්. ඒත් ජාතික හෙළ උරුමය ජයග්‍රහණය කිරීමෙන් පසුව ක්‍රියාකළ ආකාරය ගැන මට ගැටලු තිබුණා. වාහන බලපත්‍ර ලබාගත යුතු බවට තීරණය කළේ අපේ ස්ථාවරයට පටහැනිව යමිනුයි. අපේ ඇතැම් අය පාර්ලිමේන්තුවට ආවට පස්සේ කොළඹින් පන්සල් හදන්න ගත්තා. මම ඒවාට විරුද්ධ වුණා. මම මේ කටයුතුවලට විරුද්ධ වීම නිසා මම මුලතිව්වල පුරාවිද්‍යා ගවේෂණ කටයුතුවල යෙදෙමින් සිටියදී මටත් නොදන්වා පක්ෂ සම්මේලනයක් කැඳෙව්වා. පක්ෂ නායකත්වය වෙනස් කළා. ඒ අය සදාචාර විරෝධීව කටයුතු කිරීම හැරෙන්නට මම සදාචාර විරෝධීව කටයුතු කළේ නෑ. අද මම මේ කතාව කියන්නේ පළමු වතාටයි. එසේ නොමැතිව මම කවදාවත් ජාතික හෙළ උරුමයට විරුද්ධව එක වචනයක්වත් කීවේ නෑ. අද ජාතික හෙළ උරුමයක් නොමැති නිසා තමයි මම මේ බව කියන්නේ. එසේ නොමැතිව මම ජාතික හෙළ උරුමය දමා ගියේ නෑ. මම හෙළ උරුමයෙන් ඉවත්වුණේ නෑ.
හෙළ උරුමයෙන් මන්ත්‍රී ධුරය අරගෙන හිටපු ජනාධිපතිවරයාගේ පක්ෂයට සහය දෙන්න යෑම සදාචාර සම්පන්නද කියලා චෝදනා කරන්න පුළුවන්?
මම කවදාවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හෙංචයියෙක් වුණේ නෑ. මම හැමවිටම යහමගට ඒමට අවවාද අනුශාසනා කළා මිස අල්පෙනෙත්තකවත් ලාභ ප්‍රයෝජනයක්වත් ගන්න ගියේ නෑ. අරගෙනත් නෑ. ගැනීමට අපේක්ෂාවක් තිබුණෙත් නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සෑම අදහසක්ම මම අනුමත කළේ නෑ. මම එතුමාට උපදෙස් දුන්නේ මන්ත්‍රීවරයෙක්ට වඩා භික්ෂූන් වහන්සේලා ලෙසයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වැරදි තිබුණානම් ඒවාට මම උදව් කළේ නෑ. මම ඒවා ගැන දන්නේවත් නෑ. ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා ලෙස කටයුතු කිරීම නිසාත් ත්‍රස්තවාදය පරාජය කළ නායකයා නිසාත් රට සංවර්ධනය කිරීමට උපදෙස් දුන්නා.
හිටපු ජනාධිපතිතුමාට ඔබවහන්සේ ලබාදුන් උපදෙස් පිළිගත්තාද?
ගොඩක් උපදෙස්  පිළිගත්තා.
මොනවගේ උපදෙස්ද පිළිගත්තේ?
කන්ත‍ලේ කැ‍ලේ කපලා උක් වගා කිරීමට අවසර ඉල්ලා තිබුණා. මේ වනාන්තරය එළි කරලා වන විනාශයක් කිරීමට යන බව මම පෙන්වා දුන්නා. එතුමා ඒක පිළිගෙන වන විනාශය නැවැත්වූවා. ඒ ආකාරයට අපි එතුමාට නිවැරදි මග පෙන්වා දුන්නා.
මහින්ද රාජපක්ෂ ජනවාරි 8 වැනිදා පරාජයට පත්වන්නේ ඔහුට හා ආණ්ඩුවට විරුද්ධව එල්ලවූ දූෂණ වංචා චෝදනා හමුවේයි. මේවා වැළැක්වීමට උපදෙස් දුන්නේ නැද්ද?
අපි දන්නේ නෑනේ. මම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක්ව සිටියාට ආණ්ඩුවේ කටයුතු සාකච්ඡා වන කැබිනට් මණ්ඩලයේ සිටියේ නෑනේ. මම පාර්ලිමේන්තුවේ කතා වන දේ තමයි දන්නේ. පුද්ගලිකව මම යමක් දැනගත්තොත් ඒවාට මම උපදෙස් දුන්නා.
දූෂණ වංචා ගැන චෝදනා කළාට ඔය කියන එක් චෝදනාවක්වත් ඔප්පු කරගැනීමට නොහැකි වුණානේ. කෝටි ගණන්
දූෂණ වංචා කළා නම් මේ තරම් දැවැන්ත සංවර්ධනයක් කරන්නේ කොහොමද? මේවා මඩ ගැසීමට ඉදිරිපත් කරන කාරණායි.
ඔබවහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භවූ ජාතික හෙළ උරුමය අද එක්සත් ජාතික පක්ෂය සමග එක්ව මැතිවරණයට ඉදිරිපත් වෙනවා. මේ තත්ත්වය ඔබවහන්සේ දකින්නේ කෙසේද?
ඒ ගැන මට විශාල කනගාටුවක් තියෙන්නේ. අපි ජාතික හෙළ උරුමය පිහිටුවාගත්තේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැවැති කාලයේදීයි. එවකට ජනාධිපතිනිය වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනයක කුමාරතුංගයි. අපි රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ මේ රටේ ත්‍රස්තවාදය දුරු කිරීමටත් සංවර්ධනයකටත් හේතු නොවන බව අපි ජනාධිපතිනියට පෙන්වා දුන්නා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට විරුද්ධව විශාල හඬක් නැගුවා. එසේ කළ නායකයින්  තමන්ම චෝදනා කළ                            පක්ෂයකට හේතුවීම කනගාටුවට කරුණක්. ධර්ම රාජ්‍යයකට යන්න කියලා පැමිණි අපි මුලින්ම පහරදීපු අයත් එක්ක එකතු වෙලා සිටිනවා. ඒ අය සමග එකතු වීම මැතිවරණයකට ඉදිරිපත් වීම සදාචාර විරෝධීයි. දැන් ජාතික හෙළ උරුමය කියන පක්ෂයත් විනාශ කරලා. ඒ පක්ෂයේ නමත් දැන් නෑ. දැන් පක්ෂයට වෙන නමක් දාගෙන ඉන්නවා. ඉදිරි මහ මැතිවරණයේදී ජනතාව මොවුන් සම්බන්ධයෙන් නිවැරදි තීරණය ගනීවි.
ඔබවහන්සේගේ අනාගත වැඩපිළිවෙළ කුමක්ද?
බණ්ඩාරනායක උන්නැහේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී පැමිණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගත්තා. මම ඒ කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළා. ඉන්පසුව බණ්ඩාරනායක අගමැති ධුරයට පත්වුණා. බණ්ඩාරනායක මහතා මියගිය විට ගියපු අවමඟුල් පෙරහරෙත් ගියා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගරු කරන්නේ එක්සත් ජාතික පක්ෂයට රට ජාතිය ආගම ගැන හැඟීමක් නොමැති නිසයි. එක්සත් ජාතික පක්ෂය අධිරාජ්‍ය ගැති පක්ෂයක්. අධිරාජ්‍යවාදී උවමනාවන් ඉටුකරන පක්ෂයක්. රට ජාතිය හා ආගම ගැන ඔවුන්ට හැඟීමක් තිබුණේ නෑ. මේවාට මගේ තදබල විරෝධයක් තිබුණේ. ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ රට ජාතිය හා ආගම ගැන හැඟීමක් තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාති හිතෛශී, දේශ හිතෛශී පක්ෂයක් නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැඹුරුවක් තිබුණා. මම ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ ජාතික හෙළ උරුමයටසම්බන්ධවීමෙන් පසුවයි. මට රට ගැන ලොකු හැඟීමක් තිබුණා. ඒ අනුව අපි රට පුරාම රැස්වීම් පැවැත්වූවා. ඒත් භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට පිවිසීම ගැන මගේ වැඩි කැමැත්තක් තිබුණේ නෑ. අපිට අවශ්‍ය වුණේ පාර්ලිමේන්තුවට යෑමට නොවෙයි. එහෙත් අවසාන සාකච්ඡාවලදී මැතිවරණයකට ඉදිරිපත් විය යුතු බවට
පක්ෂය තීරණය කළා. ඒ ගැන හය වරක් සාකච්ඡා කළා. ඒ වාර හයේදීම මම මැතිවරණයට විරුද්ධ වුණා. ඒත් හත්වැනි වරට පැවැති සාකච්ඡාවේදී මගේ දැඩි විරෝධයක් තිබුණත් මැතිවරණයකට ඉදිරිපත්වීමට අනුමැතිය ලබාදුන්නා. පාර්ලිමේන්තුව පිවිසීමෙන් පසුව අපිට ත්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු කළා. ඒත් පසුව පක්ෂය කටයුතු කළ ආකාරය අනුව නැවත වරක් පාර්ලිමේන්තුවට එන්නේ නැතැයි තීරණය කළා. අපිට මොන දේ නැතිවුවත් භික්ෂුත්වය ආරක්ෂාවන ආකාරයට කටයුතු කළ යුතුයි.
භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට පිවිසීම ගැන අද කනගාටු වෙනවාද?
මම පාර්ලිමේන්තුවට පැමිණි පළමු දිනයේදීත් කනගාටුවෙන් තමයි හිටියේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය මට හරියට සෙරෙප්පු කුට්ටමක් වගේ. භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තුවට පිවිසීම ගැන අදටත් මම කනගාටු වෙනවා. නමුත් ඒ වෙලාවේ කනගාටුවෙන් නමුත් බහුතර මතයට එකඟවීමට සිදුවුණා. ඒ එකඟත්වය දැක්වූවේ ත්‍රස්තවාදය පරාජය කිරීමට අවශ්‍ය සහය ලබාදිය යුතු නිසයි. මම පාර්ලිමේන්තුවේ කටයුතු කළේ භික්ෂූන් වහන්සේ ලෙසයි. මම මගේ මහණකමට හානියක් වන ආකාරයට කවදාවත් කටයුතු කරලා නෑ.
ඔබවහන්සේ ත්‍රස්තවාදය පරාජය කිරීමට සහය දීමට පාර්ලිමේන්තුවට පිවිසියා නම් 2010 වසරින් පසුව විශ්‍රාම යන්න තිබුණා.

ඒත් ඔබවහන්සේ නැවත වරක් පාර්ලිමේන්තුවට පිවිසෙනවා?
ඒක විශේෂ අබිරහසක්. මම ඒ රහස කියන්නම්. 2010 අවුරුද්දේදී මට පක්ෂයෙන් අභියෝගයක් ආවා. මම 2010 අවුරුද්දේදී පාර්ලිමේන්තුවට පැමිණියේ ජාතික හෙළ උරුමයේ ජාතික ලැයිස්තුවෙන්. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසුව මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්න කියලා පක්ෂයෙන් අභියෝගයක් ආවා. ඒ
තර්ජනයට පිළිතුරක් ලෙස තමයි මම පාර්ලිමේන්තුවේ දිගටම සිටියේ. අනෙක් අතට පාර්ලිමේන්තුවේ සිටීම නිසා ලැබුණු සියලුම වරප්‍රසාද දුප්පත් ජනතාව වෙනුවෙන් වෙන් කළා. මම අවංකව වැඩ කළා. ඒත් ඉදිරියට ඒ ආකාරයට අවංකව කටයුතු කිරීමට ඉඩක් නොමැති වීම නිසා තමයි මම පක්ෂ දේශපාලනයෙන් ඉවත් වන්නේ.
ඔබවහන්සේ ඉදිරියට මොනවද කරන්න බලා‍පොරොත්තුවෙන් සිටින්නේ?
මට කරන්න වැඩ ගොඩක් තියෙනවා. මට ශාස්ත්‍රීය පර්යේෂණ රැසක් කරන්න තිබෙනවා. දුප්පත් ජනතාව වෙනුවෙන් කිරීමට වැඩකටයුතු රැසක් තියෙනවා. ඒ සෑම කටයුත්තක්ම පුළුවන් ආකාරයට මම කරනවා. අපි දැන් වයසයි. ඒ නිසා ගොඩක් මහන්සි වෙන්න බෑ. ඒත් පුළුවන් ආකාරයට මම ජනතාවට සේවය කිරීමට බලා‍පොරොත්තු වෙනවා.

 සාකච්ඡා කළේ – සංජය නල්ලපෙරුම

Source : Lakbima