රුව වඩන විලවුන් ආලේපන භාවිත කරන්නේ බලාගෙනයි

0
669

වකුගඩු රෝග අද වන විට ජාතික මට්ටමේ ව්‍යසනයක් ලෙසින් සලකා සාකච්ඡා කරන තැනකට ගොස් තිබේ. එමෙන් ම විෂ කාරක සහිත, රසායනික පෝර සහ පලිබෝධ නාශක භාවිතය නිසා හටගන්නා එකම රෝගය වකුගඩු ආසාදනය නොවන බවත්, නිල් දරු උපත් ඇතිවීමේ ප්‍රවණතාවක් පසට නයිට්රේට් වැඩි වැඩියෙන් එකතු කිරීම නිසා ඇති වී තිබෙන බවත් මේ ලිපි පෙළෙන් ම පසුගිය දිනෙක අපි පෙන්වා දුනිමු. අද වන විට එය ද ජාතික මට්ටමේ කතා බහක් නිර්මාණය කොට තිබේ.

මෙහිදී අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අපේ ගෘහ පරිසරය තුළදී දෛනිකව අපගේ ශරීරයටත්, මානසිකත්වයටත් බරපතළ අන්දමින් රූපලාවණ්‍ය හා සනීපාරක්ෂාව වෙනුවෙන් එන නිෂ්පාදන හා බැඳුණු විෂ රසායන ක්‍රියාකාරීත්ව කිහිපයක් ගැන ය.

“තැලේට්” යනු‍ අප පොදුවේ හඳුනා නොගත් එහෙත් පියයුරු පිළිකා ඇති කිරීමට මෙන් ම දරුවන් වයසට පෙර වැඩිවියට පැමිණවීමට සමත් රසායනිකයකි. එහි ම ප්‍රභේදයක් වන ‘ඩයි එතිල් තැලේට්’ ශුක්‍රාණු සෛල වලට හානි පැමිණවීමට සමත් ය. දෛනිකව පරිහරණය කරන සනීපාරක්ෂක නිෂ්පාදන, නිය ආලේපන, සම තෙත් කාරක (Moisturizer), දියර සබන්, හෙයාර් ස්ප්‍රේ යන නිෂ්පාදනයන් හි ඇතුළත් සංඝටකයක් වශයෙන් තැලේට් අන්තර්ගතව පවතී. ඒ හැරුණු කල සුවඳ විලවුන් හී ද්‍රාවකයක් වශයෙන් මෙන් ම වාහකයක් වශයෙන් ද ඩයි එතිල් තැලේට් අඩංගුය.

ෆිනෝලික් යනුවෙන් හඳුන්වන්නේ විෂබීජ නාශක ගුණයක් ඇති සංයෝගයකි. ඒ නිසා ම මුඛය සේදීම සඳහා නිෂ්පාදනය කෙරෙන ද්‍රාවණයන්ට බොහෝ විට මේ සංයෝගය එකතු කෙරෙන්නේ එහි එන විෂබීජ නාශක ගුණය ගැන සලකා ය. කෙසේ වෙතත් මේ ෆිනෝලික් සංයෝගය (සෑම සංයෝගයක් ම එසේ නොවේ.) ඊස්ට්‍රජන් හෝමෝනය අනුව යමින් සිරුරේ හෝමෝන පද්ධතියට බලපෑම් කිරීමට සමත් බවට හඳුනාගෙන තිබේ. එමෙන් ම ශ්වසන මාර්ගයේ හටගන්නා කැසීම් වැනි තත්ත්ව, හිසරදය, ඇස් දැවිල්ල ඊට කෙටිකාලීනව විවෘත වීමෙන් හටගන්නා තත්ත්ව වේ. දිගින් දිගට ම ෆිනෝලවලට විවෘත වීම යනු බරපතළ තත්ත්වයකි. අක්මාව ආසාදනයට ලක්වීම, හෘදය රිද්මය අවිධිමත් වීම ඒ නිසා හටගත හැකි රෝග තත්ව වශයෙන් පෙන්වා දී ඇත.

බිස්ෆිනෝල් – Aයනු සුලබව භාවිතයට ගැනෙන ෆිනෝල වර්ගයකි. විශේෂයෙන් ම ප්ලාස්ටික් නිෂ්පාදනයේ දී එය යොදා ගැනේ. ඉනුත් ඉපොක්සිරෙසීන සහ පොලිකාබනේට් යන ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා එය බහුලව ම යොදා ගැනෙයි. ඒ අනුව එම ප්ලාස්ටික් භාවිතයෙන් නිෂ්පාදනය කෙරෙන වතුර බෝතල්, ළදරුවන් සඳහා සාදන බෝතල්, ඇතැම් ක්‍රීඩා උපකරණ, වෛද්‍ය හා දන්ත වෛද්‍ය උපකරණ, දත් පිරවුම් මෙන් ම CD, DVD තැටි, (ප්ලාස්ටික්) උපැස් කාච යනු බිස්ෆිනෝල් – A අන්තර්ගත නිෂ්පාදනයන් ය. එමෙන් ම ඇතැම් ආහාර ඇසුරුම් බඳුන් මෙන් ම බීම බෝතල් සඳහා ද එම රසායනිකය අඩංගු ප්ලාස්ටික් ප්‍රයෝජනයට ගැනෙයි. ඒ, ඒවායේ අභ්‍යන්තරයේ ආලේප කිරීම සඳහා ය. කෙසේ වෙතත් මේ සංයෝගය පරිසරයට නිදහස් වන්නේ රත් කිරීමේ දී ය. එසේ නැත්නම් දැඩි සේදීමකදි ඊට හානියක් වුණෝතින් ය.

එසේ නිදහස් වී ශරීරගත වුණොත් ගැබිනි මවුවරුන්ගේ දරු කළලයන්ට, අත දරුවන්ගේ මොළයට හානි විය හැකි බවට හඳුනාගෙන තිබේ. ඒ හැරුණු කල ස්ථූලතාව, ශරීර බර වෙනස් වීම, මොළයේ සෛල අතර සම්බන්ධතාවලට හානි වීම, මතකය, ග්‍රහණය කර ගැනීමේ හැකියාව මෙන් ම මනෝභාවයේ යහ පැවැත්මට බලපෑම් ඇති වීමට ද ඉඩ ඇතැයි පෙන්වා දී තිබේ. ඒ හැරුණු කල කුමන හෝ හේතුවකින් සිරුරේ ඉහළ බිස්ෆිනෝල් – A අන්තර්ගතයක් ඇති බැව් මුත්‍රවලින් දැනගැනීමට ලැබුණහොත් ඒත් සමඟම සිරුරේ ප්‍රතිශක්ති ගුණය හීනවීම, දියවැඩියාව, හෘදයරෝග අවදානම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුය.

පැරාබන් යනු මිනිස් සිරුරට අදාළව අසාත්මිකතාව ඇති කරන්නකි. එහි දීර්ඝකාලීන ප්‍රතිඵල අදටත් ප්‍රමාණවත් අන්දමින් සොයාගෙන නැතැයි පැවසේ. කෙසේ වෙතත් එම වර්ගයට ම අයත් පැරාබන් UVB කිරණවලට නිරාවරණය වුවහොත් මිනිස් සම ඉක්මනින් ම වයස්ගත ලකුණු පෙන්වන බවට හඳුනාගෙන ඇත. එමෙන් ම ලිංගික කටයුතු කෙරෙහි ද අහිතකර පසුබෑම් ඇති කෙ‍ෙර්. එසේ වුණත් අප භාවිතා කරන බො‍හෝ රූපලාවණ්‍ය නිෂ්පාදන, ඇතැම් ඖෂධ, ෂැම්පු වර්ග, සම තෙත් කාරක ආලෝපන වෙන එකක් තබා දන්තාලේපවල පවා මේ රසායනිකය අන්තර්ගතය.

ගොඩනැඟිලි ද්‍රව්‍ය නිෂ්පාදනයේ දී දැව භාණ්ඩ, ප්ලාස්ටික්, රෙදිපිළි වැනි නිෂ්පාදන කටයුතුවලදී භාවිතා කෙරෙන බ්‍රොමිනිකෘත ඩයිනෆිල් ආශ්වාසය නිසා ශරීරගත වීම සිදුවෙන බව පෙන්වා දී තිබේ. ඉදින් එය එසේ ශරීරගත වුණොත් ස්නායු විකෘතිතා මෙන් ම හෝමෝන ක්‍රියාකාරීත්වය අඩපණ වීම සිදු විය හැකි යැයි පෙන්වා දී තිබේ.

සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදි නිතර භාවිතයට ගැනෙන පොලිෂ්, හෙයාර් ස්ප්‍රේ, පිරිසුදු කාරක, තීන්ත, එයාර් ෆ්‍රෙෂ්නර් ආදියෙහි නිකුත් කෙරෙන වාෂ්පශීලී කාබනික සංයෝග හේතු කොටගෙන ද හිරසදය මෙන් ම විෂාදය හට ගන්නා බවට ප්‍රකාශිත වාර්තා තිබේ.

දහඩිය දැමීම නිසා මිනිසා පමණක් නොව සමස්ත ජෛව පැවැත්මට ම ස්වභාව ධර්මය විසින් ලබා දී ඇත්තේ ශරීරයට අවශ්‍ය ම ‍ජෛව ක්‍රියාකාරීත්වයක් වශයෙනි. ශරීරයේ උණුසුම පාලනය කිරීම ලවණ තත්වය සමබර කිරීම ආදි විශිෂ්ට ජෛව ක්‍රියාකාරීතත්ව දහඩිය ගලා යෑම හරහා සිදු වේ. කෙසේ වෙතත් දහඩිය දැමීම ස්වාභාවික දුර්ගුණයක්ය යන දුර්මතයක් වෙ‍ෙළඳ ප්‍රචාරණ හරහා සමාජගත කෙරෙන තත්ත්වයක් අද ඇති වී තිබේ. ඒ අනුව දහඩිය වියළවා දැමීම මැනැවින් සිටීමක් එසේ නැත්නම් පිරිසුදුව පැවැතීමක් ලෙසින් අර්ථ දක්වන එම වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය වන්නේ කිසිදු බාධාවකින් තොරවය. ඒත් ඒ විචිත්‍ර දැන්වීම් නොකියන කතාවක් ද මෙතැන තිබේ. එය මෙසේ ය.

දහදිය දැමීම වැළැක්වීමට භාවිතා කෙරෙන්නේ ඩියෝඩ්‍රන්ට් නම් සංඝටකය යි. එහි අඩංගු ප්‍රධාන අන්තර්ගතය වන්නේ ඇලුමිනියම් ය. මෙවැනි ඇලුමිනියම් අන්තර්ගත සංකීර්ණ විද්‍යුත් විච්ඡේදන මෙන් ම ක්‍රියාකාරී ජෙල් සිදු කරන්නේ ස්නේහස්‍රාවී ප්‍රනාල ග්‍රන්ථි අවහිර කිරීම යි. ඒත් සමඟම ඇලුමිනියම්, ලවණ කෙරටින් තන්තු හා ක්‍රියාකාරී වෙමින් ආවරණයක් නිර්මාණය කරයි. ඩහදිය සම මතුපිටට පැමිණීම වළක්වන්නේ එම ආවරණයයි. අනිත් අතට එකී ලවණ ක්‍රියාකාරීත්වය විසින් ස්බෝහශ්‍රාවි ග්‍රන්ථිවල විවෘත වීම් සංකෝචනය කරනු ලබයි. එහි ප්‍රතිඵලය වන්නේ ස්වාභාවිකව ශරීරයෙන් දහඩිය ඉවත්වීම ප්‍රමාණාත්මකව සීමාවීමයි. කොටින් ම දහඩිය දැමීම අඩු වේ.

අනිත් අතින්ගත් කල අල්සයිමර් රෝගයට හේතු කාරකයක් වශයෙන් ද ඇලුමිනියම් හඳුනාගෙන තිබේ. ආහාර පිසීමට ගන්නා ඇලුමිනියම් බඳුන්වල ප්‍රමිති‍යෙන් ‍තොර බව, ප්‍රත්‍යමල තීන්ත මෙන් ම ඇතැම් ඇසුරුම් හරහා ඇලුමිනියම් ශරීරගතවීම ද අද කාලයේ නිතර සිදු වන්නකි. මේ ආකාරයට ශරීරගත වන ඇලුමිනියම් නිසා බොහෝ විට සිදු වන්නේ අස්ථි වර්ධනය කරන්නාවූ ඛනිජ අස්ථිවලට ඇතුළුවීම වැළැක්වීමයි. එමෙන් ම ආහාර දිරවීමේ ක්‍රියාවලිය ද අඩපණ කෙරේ. ඒ හැරුණු කල චර්ම රෝග, වමනය වැනි අතුරු ආබාධ ද එහි ම ප්‍රතිඵල වේ. තවද ශරීරගත ඇලුමිනියම් මධ්‍ය ස්නායු පද්ධතියේ තැන්පත්වීම ද සිදු විය හැක්කකි. කෙසේ හෝ වේවා මේ ආකාරයට දිගින් දිගට ම ඇලුමිනියම් සඳහා විවෘත වීම ඇල්සයිමර් රෝගය වැළඳීමට විවෘත ඉඩක් ලබා දෙන බවට ද හඳුනාගෙන තිබේ.

ෂැම්පු භාවිතය අද වන විට සබන් භාවිතය ද ඉක්මවා යන තැනකට පත්ව ඇතැයි කීමේ කිසිම අතිශයෝක්තියක් නැති තරම් ය. අධික ලෙස පෙණ උපදවන තත්වයකින් යම් නිෂ්පාදනයක් ඔබ හමුවේ ඇත්නම් එසේ වන්නේ කෙසේ දැයි විමසිය යුතුම ය. සාමාන්‍යයෙන් 6 වන ශ්‍රේණියේ සිට විද්‍යා අධ්‍යාපනයක් ලබා දෙන්නේ එවැනි දෛනික භාවිතාවන් ගැන විමසීමට ය. එහෙත් අවාසනාවකට මෙන් අද අප විද්‍යාව උගෙන ගන්නේත් කටපාඩම් කිරීමෙනි. ඉලක්කය තියෙන්නේ කෙසේ හෝ විභාගය සමත් වීමේ තැන මිසක් විමසීම, පරිකල්පනය යන තැන්වල ‍නොවේ.

ඩයිඑතනෝල් ඇමයින් යනු පෙණ උපදවන කාරකයකි. ෂැම්පුවල එය අඩංගුය. සබන් නිෂ්පාදනයේ දීත් එය යොදා නොගන්නවා ම නොවේ. ඒ නිසා හැම දේට ම සබන් දා අත සෝදා ගැනීමට ලබා දෙන වාණිජ උපදෙන් පිළිපැදීමට පෙර ඔබ පහත කරුණු ගැන අවධානය යොමු කළ යුතුය.

ඩයිඑතනෝල් ඇමයින් ගැන සතුන් යොදා ගෙන කළ පර්යේෂණවලින් සනාථ කොට ගෙන ඇත්තේ ඒ නිසා ශරීර බර වෙනස් වන බවයි. එමෙන් ම මොළයේ පැවැත්මට හා වර්ධනයට අවශ්‍ය කරන කෝලීන් අවශෝසනයට ද බාධා කිරීමක් ඒ නිසා සිදුවේ. යම් හෙයකින් එය නයිට්රේට් නම් සංඝටකය සමඟ එකතු වුණහොත් නයිට්රේස් ඇමයින නම් පිළිකා කාරකය ඇති වීමද සිදුවිය හැකි බවට ද සනාථ කොටගෙන තිබේ.

බොහෝ දන්තාලේප නිෂ්පාදකයෝ තමන් නිෂ්පාදනවල අඩංගු ගුණාංගයක් ලෙස ෆ්ලෝරයිඩ් හඳුන්වා දෙති. එහෙත් විද්‍යා පර්යේෂණ වාර්තාවලට අනුව නම් ෆ්ලෝරයිඩ් මෙන් ම වැසිකිළි පෝච්චි පිරිසුදු කිරීමට ගන්නා හයිපොක් ලෝරයිට් ද සෞඛ්‍යයට හිතකර නැත. ඉනුත් සීමාව ඉක්මවා ෆ්ලෝරයිඩ් තැන්පත් වීමෙන් පිළිකා කාරක ඇතිවීමක් දක්වා දුරදිග යා හැකි බවක් ද හඳුනාගෙන ඇත. ඒ හැරුණු කළ උපත් දෝෂ, ප්‍රතිශක්තිය හීන කිරීමට ද එය සමත්ය. අනිත් අතට ඇලුමිනියම් මොළයට ඇතුළු වීමට ෆ්ලෝරයිඩ් අනුග්‍රහය ලබා දෙන්නේයැයි ප්‍රත්‍යක්ෂ කොටගෙන තිබේ.

සිමෙන්ති හා තීන්ත නිෂ්පාදනයේදී සුචීකාරකයක් (plasticizer) වශයෙන් අඩංගු බහු ක්ලෝනිකෘත බයිෆීනයිල (රබර් නිෂ්පාදනයේදී ඩයිවර්ග, වර්ණක, මැලියම් වර්ග සඳහා මෙය යොදා ගැනේ.) දිගුකල් පවති අකාබනික අපද්‍රව්‍යයක් වශයෙන් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙම ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කොට ඇතත් එය ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලිය යුතු ය.

ඉහත විස්තරයට අනුව පවත්නා වෙළෙඳපොළ නිෂ්පාදන නි‍ෙවසට ගෙන ඒම සඳහා වැය කරන්නා වූ මුදල් ප්‍රමණය කොතෙක් දැයි ඔබ ගණනය කොට තිබේ ද? කෙසේ වෙතත් ඒ දේ මඳකට කල් තබා ඒවා හරහා ඔබගේ ශරීරයට ඇතුළත් කරග්නනා විෂ ප්‍රමාණය කොතෙක් දැයි සිතා බැලීම මේ අවස්ථාවේදී වඩාත් ප්‍රතිඵලදායී වනු ඇත.

(විශේෂ ස්තූතිය – සමර්ථා හරිශ්චන්ද්‍ර – සදාහරිත)