ලයිට්‌ කැපිල්ලේ මුල මැද අග මෙන්න

0
559

1996 ට පසු මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ “දීර්ඝතම විදුලි බිඳවැටීම පසුගිය මාර්තු 13 වැනිදා සිදුවුයේ රට පුරා ජන ජීවිතය පසුගිය සතිය පුරා උඩු යටිකුරු කරමිනි.

එක දිගට පැය නවයක්‌ දහයක්‌ රටපුරා විදුලිය විසන්ධි වූ අතර විදුලිය විසන්ධි වී පැය ගණනක්‌ යනතුරු ඊට හේතුව සොයාගත නොහැකි තරමට විදුලිබල මණ්‌ඩලයේ බලධාරීහු අසරණ වූහ. විදුලිය විසන්ධි වීමේ වගකීම භාර ගනිමින් ලංකා විදුලිබල මණ්‌ඩලයේ සභාපති අනුර සේනක විජයපාල මහතා වහාම ඉල්ලා අස්‌වුවද ඇමැතිවරයා හෝ රජය අදාළ ඉල්ලා අස්‌වීම ප්‍රතික්‌ෂේප කරන ලදී. මොරටුව විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ විජයපාල මහතා ශ්‍රී ලංකාවේ විදුලි ඉංජිනේරු කර්මාන්තයේ 20 වසරක පළපුරුද්දක්‌ ලබා සිටියෙකි. එවැන්නකුට පවා මෙවන් තත්ත්වයක නිසි හේතුව සොයා ගන්නට නොහැකි නම් රටේ විදුලිබල ප්‍රශ්නය තිබෙන තැන ගැන සිතාගත හැක.

එවැන්නන් මුල් පිටුවල සිටිය ද නිලවශයෙන් විදුලිය විසන්ධි කරන බවට වෙලාව හා කලාප වෙන්කර දුන්න ද ඒ කවර කලාපයේ කවර වෙලාවට විදුලිය විසන්ධි වේ දැයි විදුලිබල මණ්‌ඩලයට කිවනොහැකි තරමට විදුලි ප්‍රශ්නය පසුගිය සතියේ බලවත් විය. කෙසේ වෙතත් මේ ප්‍රශ්නය හමුවේ ජනතාව පත්වූයේ දැඩි අපහසුතාවයකටය. විදුලි බලය නොමැති වීම නිසා නළ ජලය බෙදා හැරීම ද අඩපණ වූයේ ජල පවිත්‍රාගාර කටයුතු අඩපණවීම නිසාය. ඊට අමතරව බොහෝ හෝටල්, ආපනශාලා, කෑම කඩ වසා දැමුණේ විදුලිය හා ජලය යන දෙකම නොමැති කමෙනි.

විදුලිය නැති කමින් රටේ ප්‍රධාන රාජ්‍ය ආයතනවල පරිගණක ජාල පද්ධති පවා අඩපණ වූයේ රජයට විශාල පාඩුවක්‌ කරමිනි.

ලංකා විදුලිබල මණ්‌ඩලය විදුලිය කපා හැරීම අවසන් යයි නිවේදනය කර තිබියදී පවා මේ ලිපිය ලියන මොහොතේ පවා රට පුරා වරින්වර විදුලිය විසන්ධි වූයේ ජනතාව අතරමං කරමිනි.

මුල්වරට එක්‌වරම රට පුරා විදුලිය බිඳවැටීමක්‌ සිදු වූයේ මීට සති තුනකට පමණ ඉහතදීය. මෙම විදුලිය බිඳවැටීමත් සමඟ ඒ ගැන පශ්චාත් මරණ පරීක්‌ෂණය සිදු කළා වූ විදුලිබල මණ්‌ඩල බලධාරීහු රටම අඳුරු කළා පමණක්‌ නොව සියල්ල එකතැන නතර කළාවූ ඉහත කී විදුලියේ හදිසි මරණයට හේතුව ලෙස ජාතික පද්ධතියේ අධිබල විදුලි රැහැනකට අකුණු සරයක්‌ වැදුණු බව කියන්නට වූහ.

අහස ගොරවමින් අකුණු ගසද්දී කුඩා කල නොදරුවන් වූ අප එයට කීවේ දෙව්ලොව සිටින දෙවියන් බෝල ගසනවා යෑයි කියාය. මේ අනුව ගත් කල ඉතාම සරලව කිවහොත් මුල්වරට සිදුවූ රට පුරා විදුලිය බිඳ වැටීමේදී විදුලිබල මණ්‌ඩලය කීවේද දෙයියන් ගැසූ බෝලයක්‌ අධිබල විදුලි රැහැනක වැදී ඇතැයි යන්නය.

කෙසේ වෙතත් එසේ කී විදුලිබල මණ්‌ඩලය අවසානයේ ලහි ලහියේ සියල්ල පිළිසකර කර ජාතික පද්ධතිය යළි ක්‍රියාත්මක කළේය. නමුත් ඒ සමඟම සිදුවූයේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ දෙයකි. ජාතික පද්ධතිය යළි සක්‍රීය කිරීමත් සමඟ මෙගාවොට්‌ 900 ක ධාරිතාවකින් යුතු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය එක්‌වරම ඇන හිටියේය.

විදුලිබල මණ්‌ඩලයේ බලධාරීන්ගේ දෙකොන රත් වූයේ එහිදීය. නමුත් ඔවුන්ට එහිදී ද කියන්නට දෙයක්‌ තිබිණ. ඔවුන් කීවේ අකුණු සර වැදුණු අධිබල විදුලි රැහැන පිළිසකර කර ජලවිදුලි බලාගාරවල විදුලි ධාරිතාව යළි ජාතික පද්ධතියට එක්‌ කිරීමත් සමඟ පද්ධතියේ සමබරතාව හෙවත් බැලැන්ස්‌ එක ගිලිහී යැමෙන් නොරොච්චෝලේ කඩා වැටුණු බවය.

මෙහිදී නොරොච්චෝලේ බලාගාරයේ වැදගත් යන්ත්‍ර කොටසකට හානි වී තිබීම නිසා එය යළි යථා තත්ත්වයට පත් කිරීමට දින කිහිපයක්‌ ගතවනු ඇතැයි ද බලධාරීහු කියන්නට වූහ. ඒ අනුව රටේ විදුලි සැපයුම අඛණ්‌ඩව පවත්වාගෙන යැමේ අර්බුදය හමුවේ බරපතළ අභියෝගයකට මුහුණ දෙන්නට ආණ්‌ඩුවට ද සිදුවිය. එහෙත් අවසානයේ කෙසේ හෝ ජල විදුලිබලාගාර සහ අනෙකුත් මාර්ග උපයෝගී කර ගනිමින් අඛණ්‌ඩ විදුලි සැපයුමක්‌ පවත්වාගෙන යන්නට රජය කටයුතු කළේය.

මේ අතරේ නොරොච්චෝලේ බලාගාරය ද ලහි ලහියේ යළි පිළිසකර කරමින් තිබිණි. එකී කාලසීමාව තුළ නොකඩවා විදුලිබල සැපයුම පවත්වාගෙන යැම හමුවේ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්‌ටමද පහත වැටෙමින් තිබිණි. දැනට කෙටි කලක සිට පවතින නියඟය ද එයට හේතු විය.

කෙසේ හෝ අවසානයේ නොරොච්චෝලේ බලාගාරය යළි පිළිසකර කර එහි ධාරිතාව ජාතික පද්ධතියට එක්‌ කිරීමට ද මේ අතරේ ක්‍රම ක්‍රමයෙන් කටයුතු කෙරෙමින් තිබිණි. එහෙත් මේ අන්දමින් වැඩේ ගොඩ දාගත්ත ද වැඩි දවසක්‌ නිදහසේ ගමන යන්නට විදුලිබල මණ්‌ඩලයට නොහැකි විය.

සියල්ල උඩු යටිකුරු කරමින් එක්‌වරම ඉකුත් ඉරිදා පස්‌වරුවේ නැවත වරක්‌ රට පුරා විදුලිය බිඳවැටීමක්‌ සිදුවූයේ මුළු රටම එකතැන නතර කරමිනි. ලංකා විදුලිබල මණ්‌ඩලයට අයත් බියගම විදුලි උපපොළේ තිබූ අධිබල විදුලි ට්‍රාන්ස්‌පෝමරයක්‌ පුපුරා යැම එකී විදුලිය බිඳ වැටීමට හේතු වී තිබිණි.

මේ සමඟම විශාල ගැටලුවකට මුහුණ දෙන්නට විදුලිබල මණ්‌ඩල බලධාරීන්ට ද සිදු විය. ඔවුහු විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීමට දැඩි වෙහෙසක්‌ ගත්හ. එහෙත් එය සාර්ථක නොවීය. එක්‌ ප්‍රදේශයකට විදුලිය ලබා දෙන විට තවත් ප්‍රදේශයක විදුලිය විසන්ධි වන අන්දමේ අපූරු තත්ත්වයක්‌ නිර්මාණය වීම එකී අසාර්ථකභාවයට හේතු වී තිබිණ.

රටේම විදුලිය එකවර නතර කරනු ලැබූ බියගම උපපොළේ තිබූ මෙකී බලගතු ට්‍රාන්ස්‌ෙµdaමරයට වූයේ කුමක්‌ද? ලක්‌ෂපාන ඇතුළු රටේ ජලවිදුලිබලාගාර ආශ්‍රිතව උත්පාදනය කෙරෙන විදුලිය

රැහැන්ගත කරමින් මුලින්ම ළඟා වනුයේ බියගම විදුලි උපපොළ වෙතය. ඒ මෙගවොට්‌ 222000 ධාරිතාවකින් යුතුවය. එම විදුලිබලය පාලනය කරමින් ජාතික පද්ධතියට එක්‌කෙරෙනුයේ බියගම උපපොළේදීය. ඉහත කී පුපුරා ගිය ට්‍රාන්ස්‌ෙµdaමරය එකී කාර්යයේ ප්‍රධාන මෙවලම වී තිබිණ.

එය පුපුරා යැමත් සමඟ රටේම විදුලිය නතර වූයේ ඒ නිසාය. නමුත් මෙහිදී මතුවන එක්‌ බරපතළ ගැටලුවක්‌ ඇත. ඒ මෙරට විදුලි සැපයුම පිළිබඳ කතා කිරීමේදී මෙතරම් වැදගත් මෙවලමක්‌ වූ බියගම විදුලි ට්‍රාන්ස්‌ෙµdaමරය මෙසේ පුපුරා ගියේ කුමක්‌ නිසාදැයි යන්නය. එයට කුමක්‌ හේතු වූයේද?

මේ වන විට අනාවරණය වී ඇති පරිදි වසර තිහක්‌ පැරණි එකී ට්‍රාන්ස්‌ෙµdaමරය නිසි කලට නිසි සේ නඩත්තු නොකිරීම එයට හේතු වී ඇත. නමුත් අද වන විට ලංකා විදුලිබල මණ්‌ඩලය මේ අයුරින් නිසි ලෙස සහ නිසි කලට නඩුත්තු කර නැත්තේ මෙකී බියගම ට්‍රාන්ස්‌ෙµdaමරය පමණක්‌ද?

නැත. විදුලිබල මණ්‌ඩල ආරංචිමාර්ග සඳහන් කරන පරිදි අද වන විට ජාතික රැහැන් පද්ධතියේ සිට සියල්ල තිබෙනුයේ නිසි නඩත්තුවකින් තොරවය. දෙවන වරටත් රටපුරා සිදුවූ මෙකී විදුලිය බිඳ වැටීමත් සමඟ විදුලිය පිළිබඳ සැබෑ අර්බුදයට මුහුණ දෙමින් විදුලිය කප්පාදුවක්‌ දක්‌වා ගමන් කරන්නට වත්මන් රජයට සිදුවිය. මේ වස විට එය යහපාලනයට වැදුණු දරුණු අතුල් පහරක්‌ බවටද පත්ව ඇත.

මෙකී දෙවන විදුලිය බිඳ වැටීමත් සමඟ යළිත් නොරොච්චෝලේ බලාගාරය ද අක්‍රිය විය. දැන් පවතින්නේ එය යළි පිළිසකර කිරීමේ සංක්‍රාන්ති සමය ය. මෙම සටහන තැබූ ඉකුත් සිකුරාදා දිනය වන විට ආණ්‌ඩුවේ දැඩි බලකිරීම හමුවේ නොරොච්චෝලේ බලාගාරයෙන් උත්පාදනය කෙරෙන මෙගවොට්‌ 900 ක විදුලි ධාරිතාව යළි ජාතික පද්ධතියට එක්‌ කිරීමේ සූදානමක්‌ද තිබිණ.

එහෙත් එය යළි එසේ ජාතික පද්ධතියට එක්‌ කිරීමේදී නිසි පරිදි නඩත්තු නොවී තිබෙන මෙරට ජාතික පද්ධතියේ කොතැනින් ඊළඟ බිඳ වැටීම සිදු වනු ඇතිද? අප එසේ ප්‍රශ්න කරනුයේ නිකම්ම නොව, නොරොච්චෝලේ විදුලි ධාරිතාව යළි ජාතික පද්ධතියට එක්‌ කිරීමේදී කොතැනකින් හෝ නැවත විදුලිය බිඳ වැටීමේ දැඩි අවදානමක්‌ පවතින බව විදුලිබල මණ්‌ඩලයේ අභ්‍යන්තරයෙන්ම කියෑවෙමින් තිබෙන නිසාය.

ඔවුන් ඊට හේතුව ලෙස පෙන්වා දෙන්නේ කාලාන්තරයක්‌ තිස්‌සේ නිසි නඩත්තුවකින් තොරව තිබෙන ජාතික පද්ධතියේ අබලන් තත්ත්වය ය. ජල විදුලි බලාගාර මගින් උත්පාදනය කෙරෙන විදුලිය සේම නොරොච්චෝලේ බලාගාරයේ මෙගවොට්‌ 900 ක විදුලි ධාරිතාව දරාගත නොහැකි රැහැන් සහ ට්‍රාන්ස්‌ෙµdaමර මෙසේ පුපුරා යා හැකි බව ඔවුහු කියන්නාහ.

අද දවසේ රටම එක තැන නතර කෙරෙමින් ජාතික ආර්ථිකයට බරපතළ පහරක්‌ වදින සේ යළි යළිත් සිදු විය හැකි විදුලිය බිඳ වැටීමේ අවදානමට හේතුව වී ඇත්තේ කුමක්‌ද? විදුලිබල මණ්‌ඩලයේ මොලකාර විදුලි ඉංජිනේරු මහත්වරුන් කියන පරිදි ජාතික පද්ධතියේ අසමතුලිතතාවන් සිදු වනවා යෑයි කියන සුරංගනා කතාවද?

එසේත් නැතිනම් විදුලිබල මණ්‌ඩලය තුළ මාµsයාවක්‌ ගොඩනඟා ගනිමින් ක්‍රියාත්මක එක්‌තරා පිරිසක්‌ විසින් කාලාන්තරයක්‌ තිස්‌සේ පවත්වාගෙන යන අසමතුලිතතාව හෙවත් අන්බැලැන්ස්‌ එකද?

ඉකුත් සැප්තැම්බරයේ ද මේ ආකාරයෙන්ම ජාතික විදුලි සැපයුම බිඳවැටුණේ රටම අඳුරේ තබමිනි. එහෙත් ඉන්පසුව පවා මෙවැන්නකට මුහුණ දෙන්නට රජයට හෝ විදුලිබල මණ්‌ඩලයට නිවරදි ක්‍රමවේදයක්‌ සොයාගන්නට නොහැකිවීම බරපතළ තත්ත්වයකි.

බිඳවැටුණු විදුලිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ තර්ක ගොඩනඟනු පෙනෙයි. බොහෝ දෙනකු පවසන්නේ මේවා කඩාකප්පල්කාරී ක්‍රියාවන් බවය. ආණ්‌ඩුවේ සමහරුන් එය හිටපු ජනාධිපතිවරයා මත පැටවීමටද උත්සහ කරති. තවත් පාර්ශ්වයක්‌ පවසන්නේ විදුලිබල මණ්‌ඩලය පෞද්ගලීකරණය කිරීමේ උත්සාහයට පාර සැකසීමක්‌ වශයෙන් වරින්වර විදුලිය බිඳවට්‌ටවන බවය. මෙය ජනතාවට ආණ්‌ඩුව එපා කරවීමේ උත්සාහයක්‌ ලෙසින් තවත් පිරිසක්‌ පවසති.

මීට පෙර සිදුවූ පෙර බිඳවැටීම් ගැන සොයා බැලීමට විදුලි ඇමැතිවරයා කමිටු තුනක්‌ම පත් කළේය. ඒවායේ වාර්තා ලැබිමටත් පෙර වාර්තාගත ලෙසින් යළි විදුලිය බිඳවැටුණි. දැන් අග්‍රාමාත්‍යවරයාද විමර්ශන කමිටුවක්‌ පත් කර තිබේ. ඔහුගේ ප්‍රධානත්වයෙන් රැස්‌වීමක්‌ද, අමාත්‍යංශ මට්‌ටමේ රැස්‌වීමක්‌ ද කැඳවා තිබේ. විදුලි උපපොළ ආරක්‌ෂාව තර කර තිබේ. ඒ සඳහා ඉතිහාසයේ පළමු වතාවට ආරක්‌ෂක අංශද යොදවා තිබේ.

විදුලිබල ක්‌ෂේත්‍රයේ ඇති දුර්වලතා සහ ගැටලු නිරාකරණය කර රටේ ජන ජීවිතය හා සංවර්ධන ක්‌ෂේත්‍රයට කිසිදු බලපෑමක්‌ ඇති නොවන සේ සේවාවන් ලබාදීමට අවශ්‍ය නිර්දේශ පත්කර ඇති කමිටු මගින් වහාම ඉදිරිපත් කළ යුතුය.

කෙසේ වෙතත් මේ තත්ත්වය උපයෝගී කරගනිමින් රටේ එවැන්නක්‌ යළිත් සිදුනොවීමට ඉඩ සලසා ගැනීම හැර එය තමන්ට අවශ්‍ය පිරිස්‌ ඒ ඒ තැන්වලට පත් කරන්නට හෝ තමන්ට අවනත නොවන නිලධාරීන් මාරු කර යවන්නට මේ අවස්‌ථාව යොදා නොගත යුතුය.

එසේම විදුලි ක්‌ෂේත්‍රයේ පවතින ප්‍රශ්නවලට දීර්ඝ කාලීන විසඳුම් අවශ්‍යවේ. ඒ තුළින් අඩු මිලට විදුලිය ලබාදිය හැකි ක්‍රමවේදයක්‌ රටට හඳුන්වා දිය යුතුය. ආදායමේ හැටියට අති විශාල විදුලි බිලක්‌ ගෙවන්නට ජනතාවට සිදුව තිබේ. මණ්‌ඩලයේ ඉහළ නිලධාරීන් හා විවිධ ගිවිසුම් මීට බලපෑ ඇති බවද කියවේ. මේ සියල්ල සොයා බලා වර්තමානයේ අඩු විදුලි බිලකින් පැය විසිහතර පුරාම අඛණ්‌ඩ විදුලියක්‌ ලබාදිය හැකි ආකාරයට රටේ විදුලි බල ප්‍රශ්නය වහාම විසඳන ලෙස අප රජයට බලකර සිටිමු.

ජනිත සෙනෙවිරත්න
සමන් ගමගේ
– Divaina