විසිපන් ලක්ෂය තුට්ටුවකට නොසැලකූ සපුගස්කන්දේ OIC මහත්තයා

0
1632

දිනය 2015 වසරේ සැප්තැම්බර් 08 වැනිදාය.

ස්ථානය මහර අධිකරණයයි. සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා මහර අධිකරණයට පැමිණ සිටියේය. ඒ පෙර දින මහේස්ත්‍රාත්වරයාගෙන් ලබාගත් අවසරය පරිදි රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින මනුෂ්‍ය ඝාතනයක සැකකරුවකුගෙන් විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීම පිණිසය.

පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරුගෙන් ප්‍රකාශය ලබා ගන්නා අවස්ථාවේදී සැකකරු අපූරු යෝජනාවක් කෙළේය.

‘මේ මිනිමැරුමෙන් මාව නිදහස් කරන්න, ඔබතුමාට ලක්ෂ විසිපහක් දෙන්නම්. ඔබතුමාම අත් අඩංගුවට ගත්ත දෙන්නෙක් වැරැද්ද බාරගෙන ඉන්නවානෙ. ඉතින් මාව නිදහස් කරන එක සිම්පල්නේ. හෙට කා පාක් එකට මගේ මල්ලියි මස්සිනායි ලක්ෂ 15ක ඇඩ්වාන්ස් එකක් අරගෙන එයි‘.

සපුගස්කන්ද පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති ලෙස එවකට කටයුතු කෙළේ සම්මාන පිට සම්මාන ලබා පොලිස් දෙපාර්තමේන්තුවේ නමක් දිනා සිටි සුගත් රොෂාන් සංජීව මහතාය. තම රාජකාරිය දේවකාරියක් ලෙස සලකමින් නිල ඇඳුමට නිරතුරුවම ගරු කළ සංජීව මහතා මේ සැකකරුගේ අල්ලස් දීම උපක්‍රමශීලී ලෙස අනුමත කෙළේය. සැකකරුගේ යෝජනාවට තමා කැමැති බව ඔහුට ඇඟවීය. තම අනෙකුත් කාර්යයන් මඳකට පමා කළ ඔහු වහ වහාම පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුම්වත් කෙළේය.

දෙවනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට සිද්ධිය දැනුම් දුන්නේය. ගිවිස ගත් ආකාරයට පසු දින මහර අධිකරණ භූමියේ රථගාලේදී ලක්ෂ 15ක මුදලක් ලබා දිය යුතු විය. ඉතිරි ලක්ෂ 10 ලබා දීම සිදු කෙරෙන්නේ සැකකරු නිදහස් කිරීමෙන් පසුවය. පසු දින නියමිත වේලාවට පොලිස් ස්ථානාධිපතිවරයා මහර අධිකරණ භූමියේ රථ ගාලට ගියේය. සැකකරුගේ මස්සිනා යැයි පැවසූ පුද්ගලයා සහ සොහොයුරාද සිනහමුසු මුහුණින් සමාජයේ ඉතා වැදගත් පුද්ගලයන් ලෙසින් පැමිණ පොලිස් ස්ථානාධිපතිවරයාට ලක්ෂ 15ක මුදල ලබා දුන්හ. ඒ සමඟම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් සහ ‍පොලිසියේ නිලධාරීහු ඔවුන් දෙදෙනා දෙනා අත් අඩංගුවට ගත්හ.

ලක්ෂ 25 කට වඩා තම සේවය නිල ඇඳුම හා රාජකාරිය උසස් කොට තැකූ පොලිස් ස්ථානාධිපතිවරයා සිනහමුසු මුහුණින් යුතුව යළි තම රාජකාරිය පිණිස නික්ම ගියේය.

මේ සිදුවීම හා සම්බන්ධ ප්‍රධාන සැකකරු වත්තල හිටපු උප නගරාධිපතිවරයාය. වත්තල ප්‍රදේශයේ ව්‍යාපාරියකයකු ඝාතනය සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට පත්ව තිබුණි. වත්තල පොලිස් බල ප්‍රදේශයේ සිදුවීමක් වුවද ඒ වන විට මේ සම්බන්ධව පොලිස් පරීක්ෂණ බාරව සිටියේ සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයායි.

ලක්ෂ 7ක මුදලකට වත්තල ප්‍රදේශයේ දී මේ ඝාතනය සිදු කර තිබුණි. සැකකාර උප නගරාධිපතිවරයා එයින් මුදා ගන්නට ලක්ෂ 25ක අල්ලස් මුදලක් ලබා දී‍ම ඔහුගේ සොහොයුරාගේ සහ මස්සිනාගේ අරමුණ විය.

පොලිස් රාජකාරියේ යෙදී සිටියද විවිධ දුක් ගැහැට විඳ සිටියද පොලිස් ස්ථානාධිපති සුගත් රොෂාන් සංජීව මහතා එය පිළිකුල් කෙළේය. දෙවනුව මේ වැරැදි කරන්නන් නීතියේ රැහැනට අල්ලා දිය යුතුය යන හැඟීම පහළ විය.

වසරකටත් අඩු කාලයකදී වූ මේ සිදුවීම සම්බන්ධයෙන් ඔහුට පොලිස්පතිවරයාගේ ඇගැයීම් සම්මාන හිමි විය. ඒ පසුගිය මස‍ කොළඹ පොලිස් මූලස්ථානයේ පැවැති උත්සවයකදීය. රොෂාන් සංජීව මහතා දැන් ‍හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාය. අනුරාධපුර කර්කශ පොළව හා සටන් කරමින් සිටින ජනතාවගේ සාමය ආරක්ෂා කර දීම උදෙසා ඔහු අද කටයුතු කරමින් සිටී.

පොලි­ස්පති එන්.කේ. ඉලං­ග­කෝන් මහතා අතින් ඇගැ­යීම් සම්මාන ලබ­මින්

අපි ඔහු හමුවුණෙමු.

‘මම බොරැල්ල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ. පාසල් යන කාලයේ ඉඳල මම ක්‍රීඩාවට සෑහෙන ආසා කළා. 1989 සැප්තැම්බර් 12 වැනිදා පොලිසියට උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවයට බැඳුණා. පොලිස් ක්‍රිකට් කණ්ඩායමේත් ක්‍රීඩා කළා. පොලිස් ස්ථාන ගණනාවක සේවය කළා. මම මන්නාරම් පාරේ සෙට්ටිකුලම් පොලිසියේ වසර කීපයක්ම ස්ථානාධිපති ලෙස සේවය කළා. මම ස්ථානාධිපති විදිහට අනෙක් අයට ආදර්ශයක් වෙන්න ඕන කියන එක හැම තිස්සෙම හිතේ තිබුණු දෙයක්. සෙට්ටිකුලම් පොලිසියේ මම සේවය කරන කාලයේ ජනතා සේවය කියන දේ සියල්ලටම ඉහළින් කරන්න මම කටයුතු කළා. ලංකාවේ අනෙක් සියලුම ආයතන අභිභවා යන්නට අපට හැකිවුණා. ඇගැයීම් සම්මාන ලැබුණා.‘

ඒ ඇගැයීම් සම්මාන සාමාන්‍ය තත්ත්වයේ ඒවා නොවේ. අපට මොන සම්මානය ලැබුණත් ජනතා සම්මානය තරම් වටිනා සම්මානයක් තවත් නැත. ඒ ජනතා සම්මාන දිනපතාම සෙට්ටිකුලම පොලිසියට එකල ලැබෙන්නට විය. ප්‍රදේශයේ ආගමික නායකයන් මෙන්ම සිවිල් සංවිධානවලින්ද සෙට්ටිකුලම පොලිසිය යන්න ජනතා සේවයටම කැප වූ ස්ථානයක් ලෙස ප්‍රශංසාවට ලක් විය.

එය අන්තර්ජාතික තත්ත්වයට පත් විය. ජපන් ජස්ටිකා ඇගැයීම් තරගාවලියෙන් ජනතාවට සේවය කරන මෙරට හොඳම ආයතනය බවට 2012 වසරේදී සෙට්ටිකුලම පොලිසිය බවට එදා පත් වූයේ රොෂාන් සංජීව මහතා එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරමින් සිටියදීය.

ප්‍රදේශයේ ජනතාවගේ දැඩි සෝ සුසුම් මැද සුගත් රොෂාන් සංජීව මහතා 2013 වසරේ එම පොලිසියෛන් මාරු වීමක් ලැබ කැලණියට නුදුරු සපුගස්කන්ද පොලිසියට පැමිණියේය.

එතැනදීද ඔහු පෙර පරිදිම මහජන සේවාව පළමුව යන්න පෙරට ගෙන ආ ස්ථානයක් බවට පොලිසිය පත් කරන්නට විය.

එයද වචනයට හෝ බෝඩ් ලෑල්ලට සිමා නොවීය. 2013/2014 වසරේ ජපන් ජස්ටිකා සම්මානය යළිත් වරක් පොලිස් දෙපාර්තමේන්තුවට හිමි කර දෙන්නට ඔහු සමත් විය. ඒ සපුගස්කන්ද පොලිසිය හරහාය. එවර තවත් සම්මානයක් සපුගස්කන්ද පොලිසියට හිමි විය. ඒ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලබන ඵලදායිතාව අතුරින් මෙරට හොඳම ආයතන අතර 3 වන ස්ථානය බවට පත් කරමිනි.

එතැනින් ඔහුගේ සේවය නතර වූයේ නැත. 2014/2015 වසරේ යළිත් වරත් ජපන් ජස්ටිකා සම්මානය හිමි කර ගන්නට සපුගස්කන්ද පොලිසිය සමත් විය. එසේම ඒ ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන ඵලදායිතාව අතුරින් මෙරට හොඳම ආයතන අතර 2 වන ස්ථානයට පොලිසිය ඔසවා තබන්නට ඔහුට හැකි විය.

පොලිසිය සම්මාන කරා ගෙන යන්නට ඔහු කටයුතු කෙළේ හැම විටම ජනතා සේවය එකම සාධකය බවට පත් කරමිනි. 2015 වසරේ මැද භාගයේදී වත්තල ප්‍රදේශයේදී සිදු වූ ඝාතනය සපුගස්කන්ද පොලිසියට බාර කරන ලද්දේ එහි සේවය ලබා ගැනීම වඩාත් උචිත නිසා වන්නට ඇත. වත්තලදී සිදුවූ ඉහත මනුෂ්‍ය ඝාතනයට ඍජුවම සම්බන්ධ යැයි සිතෙන සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට ස්ථානාධිපතිවරයා ට හැකි විය. ඒ හැටන් හා දෙමටගොඩ ප්‍රදේශවලදීය. ඔවුන් දෙදෙනා තමන් එම මනුෂ්‍ය ඝාතනය කළ බවට පොලිසියට පාපොච්ඡාරණය කළහ.

කෙසේ වුවත් මෙහි තවත් ප්‍රධාන වග උත්තරකරුවකු ලෙසින් වත්තල උප නගරාධිපතිවරයාද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී. ඊට අමතරව තවත් සැකකරුවකුද අත්අඩංගුවට ගන්නා ලදී.

මේ අනුව එම මිනී මැරුමට අදාළව සැකකරුවෝ සිවු දෙ‍ෙනක් අත්අඩංගුවට ගන්නා ලදහ. එයින් කෝටිපතියකු වන වත්තල උප නගරාධිපතිවරයා මෙම මිනීමැරුමෙන් තමා නිදහස් කර දෙන ලෙස කිසිදු බියක් චකිතයක් නොමැතිව පොලිස් ස්ථානාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදීම පැවසීම නිසා මේ අපරාධකරුවන් නීතිය කෙතරම් හෑල්ලුවට ලක් කර ඇත්දැයි රොෂාන් සංජීව මහතා සිතීය.

තමා සැම විටම රාජකාරිය අකුරට ඉටු කිරීම සහ ජනතාවට සේවය කිරීම යන්නට පමණක් මුල් තැන දෙන බව ඔහු පවසයි.

‘මට ඉන්නේ දුවලා දෙන්නෙක්. දෙන්නම පාසල් යනවා. දෙන්නම පාසල් යන්නේ කුරුණෑගල නතරවෙලා. ලොකු දුව උසස් පෙළ කරන්නේ. දෙවැනි දුවට තවම වයස අවරුදු 13 යි. නෝනා ගලෙන්බිදුණුවැව ගෙදර ඉන්නේ. මම දැන් හොරොව්පොතාන පොලිිසියේ. අපි කට්ටිය තැන් තුනක ඉන්නේ. ගෙදර යන්න ලැබෙන්නෙ මාස දෙකකට සැරයක් විතරයි. ඒ යනකොට දරුවො දෙන්න ගෙදර නැහැ. මේ සේරම දුක් කරදර මැද වුණත් රාජකාරිය අකුරටම ජනතාවට කරන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. රටේ නීතියට අපි කවුරුත් ගරු කළොත් රටක් ඉදිරියට ගෙනියන එක අපහසු නැහැ.‘

රොෂාන් සංජීව මහතා එදා කළ ක්‍රියාව සාමාන්‍ය තත්ත්වයෙහි ලා සැලකිය නොහැකිය. එම සැකකරුවන් තවමත් බන්ධනාගාරයේය. ඇතැම් විට සැකකරු බලාපොරොත්තු වන්නට ඇත්තේ පැවසූ මුදලටත් වඩා වැඩි මුදලක් ගෙවා නිදහස් වීමට විය හැකිය. එහෙත් සියල්ලම අල්ලසින් කළ නොහැකි බවත් රාජකාරියට ඇප කැප වූ රොෂාන් සංජීව වැනි නිලධාරීන් තවමත් මේ රටේ සිටිනා බව අප කවුරුත් අවබෝධ කර ගත යුතුය.