කථානායක මාමයි ඇමැති බෑනයි

0
744
Karu-Naveen

කරු ජයසූරිය-නවීන් දිසානායක නෑකම ගැන අපූරු කතාවක්

මේ පාර්ලිමේන්තුවේ සුවිශේෂීම සිද්ධියක් වන්නේ මාමණ්ඩිය කථානායක අසුනේ සිටින විට ඔහුගේ බෑනණ්ඩිය ඇමැති ධුරයක් දැරීමය. ඔවුන් දෙදෙනා කථානයක කරු ජයසූරිය හා වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායකය. කරුගේ දියණියක වන ලංකා ජයසූරිය විවාහ වී සිටින්නේ නවීන් සමගය. මේ නෑකම අනුව නවීන්ගේ දරුවන් කථානායකවරයාගේ මිණිබිරියන්ය. ඔවුන් සමග ගෙවන දිවියේ අපූරු මතක සටහන් ඇතුළු දෙදෙනාගේ පෞද්ගලික තොරතුරු ගැන කරු ජයසූරිය හා නවීන් දිසානායක අදහස් දැක්වූයේ මෙසේය.

 

රටම ඔබ දන්නේ කරු ජයසූරිය කියලා. කරු යනුවෙන් කෙටි වෙලා තියෙන්නේ කුමක්ද?
කරුණාරත්න කියන එක.

ලංකාවේ කථානායක කියන්නේ රටේ තුන්වැනි පුරවැසියා. එය ඔබට දැනෙන්නේ කොහොමද?
කථානායක ධුරයට පත්වීම මට නම් දැනෙන්නේ රටට සේවයක් කිරීමට ලැබුණ තවත් අවස්ථාවක් ලෙසයි. වත්මන් පාර්ලිමේන්තුවේ කථානායකවරයාට විශේෂ කාර්යභාරයක් ඉටු කිරීමට සිදුවෙනවා. අපිට ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී විශාල වගකීමක් දැරීමට සිදුවෙනවා. රටට බලපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරන්න වේවි. මේ වගේ අවස්ථාවකදී කථානායක ධුරය දැරීම අභියෝගයක්. එම අභියෝගයට මුහුණදීමට හැකියාව ලැබිම ගැන සතුටුයි.

Karu-Naveenකථානායක ධුරයට නිතරගයෙන් පත්වීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ආණ්ඩු පක්ෂයයි, විපක්ෂයයි මා ගැන විශ්වාසයක් තබා තිබෙනවා. ඒ ගැන මම නිහතමානීව සතුටු වෙනවා. පාර්ලිමේන්තුවේ සිටින සෑම දේශපාලන පක්ෂයක්ම මා කෙරෙහි තබා ඇති විශ්වාසය කිසිදු අවස්ථාවකදී කඩ කරන්නේ නෑ. කථානායක පුටුවට ආවට පසුව මට පක්ෂ භේ්දයක් නෑ. සියලු දෙනාගේම කථානායකයා මමයි.

ඔබ එජාපයේ හිටපු සභාපතිවරයා. හිටපු නියෝජ්‍ය නායකයා. පක්ෂ නායකත්වයට තරග කළ අයෙක්. එදා ඔබ පක්ෂ නායකයා බවට පත්වූවානම් අද රටේ දෙවැනි පුරවැසියා හෝ  පළමු පුරවැසියා බවට පත්වීමට තිබුණා යැයි සිතෙන්නේ නැද්ද?
මම කිසිදු අවස්ථාවක පදවි තානාන්තර බලා‍පොරොත්තු වුණේ නෑ. පක්ෂයේ සභාපතිත්වය, නගරාධිපති ධුරය, නියෝජ්‍ය නායක ධුරය, නායකත්ව මණ්ඩල සභාපතිත්වය දරද්දී පක්ෂය වෙනුවෙන් කළ යුතු දේ කළා. මම කවදාවත් අගමැතිවරයා වීමට හෝ ජනාධිපතිවරයා වීමට බලා‍පොරොත්තු තබාගෙන සිටියේ නෑ.

පසුගිය ජනාධිපතිවරණයේදී ‍පොදු අපේක්ෂකයා ලෙසත් ඔබේ නමත් යෝජනා වුණා. ‍පොදු අපේක්ෂකයා බවට පත්වීමද, කථානායකවරයා බවට පත්වීමද වඩාත් හොඳ?
ඒ අවස්ථාවේදී සිවිල් සංවිධාන එක්ව ‍පොදු අපේක්ෂකයා ලෙස මගේ නම යෝජනා කළා. සිවිල් සංවිධාන එකතු වෙලා මුලින්ම දේශපාලන පක්ෂ අතර ‍පොදු එකඟතාවයක් ඇති කළ යුතු බව පැවැසුවා. ඉන් පසුව ‍පොදු අපේක්ෂකයෙක් තෝරා ගත යුතු බවට තීරණයක් ගත්තා. ‍පොදු අපේක්ෂකයා ලෙස නම් යෝජනා වූ කිහිප දෙනා අතර මගේ නමත් තිබුණා. අපි සියලුදෙනාම එකතුවෙලා ‍පොදු අපේක්ෂකයෙක් තෝරාගත්තා. ‍පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් අපි කටයුතු කළා විතරක් නොවෙයි ඒ කටයුත්ත අපි සාර්ථක කරගත්තා.

මේ පාර්ලිමේන්තුවේ විවිධ ඥාති සම්බන්ධතා තිබෙනවා. තාත්තලා පුතාලා, සහෝදර සහෝදරියෝ පාර්ලිමේන්තුවේ සිටිනවා. ඒ අතර මාමලා බෑනලා සිටිනවා. ඔබ කථානායක මාමා වන විට ඔබේ බෑනා, නවීන් දිසානායක ඇමැතිවරයෙක් විදියට කටයුතු කරනවා. මේ සම්බන්ධය ඔබට දැනෙන්නේ කෙසේද?
එක අතකින් බලන විට මගේ බෑනණුවන් පාර්ලිමේන්තුවට පැමිණීම ගැන සතුටු වෙනවා. දේශපාලනයේදී අපි දෙදෙනා ස්වාධීන චරිත දෙකක්. ඔහු ඔහුගේ දේශපාලනය කරනවා. මම මගේ දේශපාලනය කරනවා. අපි හවු‍ලේ දේශපාලනය කරන්නේ නෑ. එතුමා වෙනත් පක්ෂයක සිටියදී මම තවත් පක්ෂයක සිටියා. එසේ කියා අපේ ඥාති සම්බන්ධයට කිසිදු පැල්ලමක් ඇතිවුණේ නෑ.

මාමයි බෑනයි පක්ෂ දෙකක සිටියදී පවුල් සම්බන්ධය පවත්වාගෙන ගියේ කෙසේද?
අපි ඒක දෙස ඒ ආකාරයෙන් බැලිය යුතු නෑ. දේශපාලනය කියන්නේ යම් මතවාදයක් දැරීමයි. ඒ මතය දැරීමේ අයිතිය පෞද්ගලිකයි. මම දරන දේශපාලන අදහසට විරුද්ධ දේශපාලන අදහසක් දරන අයට ඒ අදහස දැරීමට අයිතියක් ඇති බව මම පිළිිගන්නවා.
ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දැරීම පවුල් සම්බන්ධතාවට බාධාවක් වන්නේ නෑ. අද ජාතික ආණ්ඩුවක් පිහිටුවාගෙන එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කරලා තිබෙනවා.

ඔබට නවීන් මුලින් හමුවූ දිනය මතකද?
එතුමාගේ පියා මම හොඳින් දන්නා අයෙක්. මට ඔහු හමුවන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඔහු කටයුතු කරන කාලයේදීයි.

ඔබගේ දියණියගේ හා නවීන් දිසානායකගේ විවාහය දේශපාලන පවුල් දෙකක් අතර ඇතිවන විවාහයක්. මේ විවාහය සිදුවූයේ කෙසේද?
ඇත්තටම එය යෝජනාවක් ලෙස සිදුවූ විවාහයක්. ඒ ගැන මම සතුටුයි.

Karu-Naveenඔබේ දුව, බෑනා, මිණිබිරියන් සමග ඔබ විවේකය ගත කරන්නේ කෙසේද?
විවේක වෙලාව නම් ගොඩක් අඩුයි. නමුත් අපි ඉරිදා දවසටවත් පවු‍ලේ අය එකට ඉන්න උත්සාහ ගන්නවා. පසුගිය කාලයේදී මැතිවරණ නිසා කාර්යබහුල වීම නිසා හමුවීමට වැඩි අවස්ථාවක් ලැබුණේ නෑ. ඒත් මිණිබිරියන් නම් නිතරම ඇවිත් හමුවෙලා යනවා. දුව ඇවිත් මාව බලලා යනවා. දවස ගානේ හමුවීමටනම් වෙලාවක් නෑ.

විවේක වෙලාවට කොළඹින් පිටතට යනවාද?
විවේකයට විදෙස් ගතවීම් නම් බොහෝ අඩුවෙන් සිදුවන්නේ. යනවානම් එංගලන්තයේ සිටින මගේ දුව බැලීමට තමයි යන්නේ. සමහර වෙලාවට සති අන්තයේදී රන්මුතුගල තිබෙන ගෙදරට යනවා. බොහෝම නිස්කලංක තැනක ඒ ගෙදර තියෙන්නේ. නාන්න ළිඳක් තියෙනවා. හැම වෙලාවකම  වත්තට කුරුල්ලෝ එනවා. අවශ්‍ය විවේකය එතැනදී ලැබෙනවා.

ඔබ සීයා කෙනෙක් මිණිබිරියන් කී දෙනෙක් ඉන්නවාද?
මට මිණිබිරියන් තිදෙනෙක් හා එක් මුණුබුරෙක් සිටිනවා. මිණිබිරියන් දෙදෙනෙක් මෙහේ. මිණිබිරියක් හා මුණුබුරෙක් ලංකාවෙන් පිටත සිටින්නේ. මට නිතරම හමුවන්නේ මෙහේ සිටින මිණිබිරියන් දෙදෙනා තමයි. මගේ මිණිබිරියන් දෙදෙනා ‍පොත් කියවනවා. ‍පොඩි මිණිබිරිය ‍පොත් ගුල්ලෙක්. නිතරම ‍පොතක් අතේ තියාගෙන ඉන්නේ. සමහර වෙලාවට ඇවිදින්නේත් ‍පොතක් කියව කියවයි.

ඔබේ බෑනා දැන් ඔබට ගරු කථානායකතුමනි කියලා කතා කරනවා. එය දැනෙන්නේ කෙසේද?
ඔහු ඔහුගේ රාජකාරිය කරනවා. මම මගේ රාජකාරිය කරනවා.

කථානායක මාමණ්ඩියි, ඇමැති බෑනයි මේ පාර්ලිමේන්තුවේ සිටීම සුවිශේෂී   සිද්ධියක්. මේ අපූර්ව සබඳතාව ඔබට දැනෙන්නේ කොහොමද?
කරු ජයසූරිය මහතා කථානායක ධුරය භාර ගැනීමට ගත් තීරණය හොද තීරණයක්. ඒ වගේම එතුමාත් කථානායක ධුරය බාර ගැනීමට ගත් තීරණයත් හොඳයි. එතුමා දැන් රටේ තුන්වැනි පුරවැසියා බවට පත්ව තිබෙනවා. එතුමා කථානායක ධුරයට පත්වුණෙත් විවිධ තනතුරු දැරීමෙන් පසුවයි. එතුමාගේ දේශපාලන ජීවිතයේ රටේ තුන්වැනි පුරවැසියා බවට පත්වීමට උචිත අවස්ථාවේදී ඔහු එම තනතුරට පත්වුණා. එතුමා තමන්ට ලැබුණ අනෙක් තනතුරුත් තනතුරට ආභරණයක් වන ආකාරයෙන් හැසිරවූවා. තනතුරට ආභරණයක් වන ආකාරයට එතුමා තනතුරේ කටයුතු කරන බව මට විශ්වාසයි.

ඔබ දෙදෙනා අතර තිබෙන සම්බන්ධතාව මොන වගේද?
අපි දෙදෙනා අතර ඉතාමත් හොඳ ඥාති සම්බන්ධතාවක් තිබෙනවා. නමුත් දේශපාලනයේදී අපි දෙදෙනාම ස්වාධීන පුද්ගලයන්.

ඔබගේ දේශපාලන ජීවිතයේදී තීරණ ගැනීමේදී, ඔබගේ මාමණ්ඩිය ගන්නා තීරණවලින් බලපෑමක් එල්ලවෙලා තිබෙනවාද?
මම කලින් කිව්වා වගේ අපි දෙදෙනාම ස්වාධීන පුද්ගලයන්. අපි දෙදෙනා දේශපාලන තීරණ ගන්නේ එකිනෙකාගෙන් ස්වාධිනවයි. එතුමා එතුමාගේ තීරණ ගන්නවා. මම මගේ තීරණ ගන්නවා.

කරු ජයසූරිය  කථානායක ධුරයට පත්වන බවට මුලින්ම තොරතුරු ලැබුණේ කෙසේද?
මගේ බිරිඳ තමයි මට ඒ ගැන මුල්ම ආරංචිය ගෙන ආවේ.

මුල්ම පාර්ලිමේන්තුව රැස්වීමේදී කථානායක ධුරයට මාමණ්ඩිගේ නම යෝජනා වන විට  ඔබට මොකක්ද හිතුණේ?
ඇත්තටම මට විශාල සතුටක් ඇතිවුණා. විශාල හැඟීමක් ඇතිවුණා. ඔහු රට වෙනුවෙන් විශාල කැපවීමක් කළ අයෙක්. කථානායක ධුරයට ඔහුගේ නම යෝජනා වූ විට කිසිම පක්ෂයක් එයට විරුද්ධ වුණේ නෑ. ඔහුගේ නම වෙනුවට වෙනත් කාගේවත් නමක් යෝජනා වුණේ නෑ. එක්සත් ජාතික පක්ෂයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒ සඳහා සහාය ලැබුණා. පක්ෂ දෙකේම විශාල ගෞරවයක් ඔහුට තිබෙනවා.

ඔබ දෙදෙනා මුලින්ම හමුවූ දිනය මතකයිද?
මට ඔහු මුලින්ම හමුවන්නේ 1999 වසරේදී. ඒ වන විට මම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවෙලා ආසන සංවිධායකවරයෙක් ලෙස කටයුතු කරන විටදී තමයි ඔහු හමුවුණේ. එවකට මම පාතදුම්බර ආසනයේ සංවිධායකවරයා. ඔහු එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා. ගාමිණී දිසානායක මැතිතුමාගේ ලොකු පුතා හා ආසන සංවිධායකවරයෙකු ලෙස ඔහු මාව හඳුනා ගත්තේ. අපේ පවුල් දෙක අතර ඥාති සම්බන්ධයක් නොමැති අවස්ථාවකදී පවා ඔහු ඉතාමත් හොඳින් මාව පිළිගත්තා. කරුණාවෙන් සැලකුවා. එතුමා හැමෝටම ආදරයෙන් හා කරුණාවෙන් සලකන පුද්ගලයෙක්. වරක් මට ජර්මනියේ මාසයක පුහුණවකට යෑමට අවස්ථාව දුන්නා.

පළමුවෙන් ඔහු හමුවී ආශ්‍රය කරන විට ඔහු තමන්ගේ මාමණ්ඩිය වේ යැයි ඔබ කවදාවත් සිතුවාද?
මම හා එතුමාගේ දුව අතර සම්බන්ධය ඇතිවුණේ 1999 මුල් භාගයේදී. අපේ විවාහය ලියාපදිංචි කළේ 1999 අගෝස්තු මාසයේදීයි. අපේ විවාහ මංගල උත්සවය පැවැත්වුණේ 2000 වසරේ මුල් භාගයේදීයි. කොහොම නමුත් ලංකා හා මා අතර සම්බන්ධතාව ඇතිවන විට කරු ජයසූරිය මගේ මාමණ්ඩිය වනු ඇතැයි තේරුම්ගත්තා.

ඔබේ බිරිද, වෛද්‍ය ලංකා ජයසූරිය හමුවන්නේ කොහොමද?
අපි දෙදෙනාගේම ‍පොදු යහළුවෙක් සිටියා. ඇය අපේ පවුල් දෙකටම සම්බන්ධ කාන්තාවක්. කරු ජයසූරියගේ දුව සිටිනවා, ඇය හමුවීමට කැමැති දැයි කියලා ඇගෙන් යෝජනාවක් ආවා. අනෙක් පැත්තෙන් ඇයටත් ගාමිණී දිසානායකගේ පුතා, නවීන් දිසානායක හමුවීමට කැමැති දැයි අසා තිබුණා. දෙපැත්තටම ඒ යෝජනාව ලැබුණා. ඒ අනුව අපි දෙදෙනා කොළඹදී මුල් වරට මුණ ගැසුණා. ඒ හමුවීම තමයි විවාහයක් දක්වා පැමිණියේ.

ඔබ දියණියන් දෙදෙනකුගේ පියෙක්. කථානායකවරයා දැන් සීයා කෙනෙක්. සීයා හා මිණිබිරියන් අතර තිබෙන සම්බන්ධතාව කෙසේද?
ඇත්තටම ඒක සුවිශේෂී සම්බන්ධතාවක්. ඒ තුන්දෙනා එකමුතුයි. සීයා තමන්ගේ මිණිබිරියන්ට ආදරෙයි. තමන්ගේ දුවලා දෙන්නෙක්ට වගේ තමයි සලකන්නේ. පුදුමාකාර ආදරණීය සම්බන්ධයක් තමයි තිබෙන්නේ. දුවලා දෙදෙනෙක් හා තාත්තා කෙනෙක් අතර තිබෙන සම්බන්ධතාව වගේ සම්බන්ධතාවක් තමයි ඔවුන් අතර තිබෙන්නේ. තමන්ගේ ජීවිත කාලයේදී ඔහු තමන්ගේ මිණිබිරියන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරලා තිබෙනවා.

සීයා සහ මිණිබිරියන් විවේකය ගතකරන්නේ කෙහොමද?
ඔවුන් දෙදෙනා විවේක වෙලාවට සීයාගේ ගෙදර යනවා. සීයා ඒ දෙන්නට ‍පොත් කියවන්න පුරුදු කරලා තියෙනවා. මිණිබිරියන්ට සුහදශීලීව කටයුතු කරන හැටි ගැන සීයා පාඩම් කියලා දෙනවා. එතුමාගේ ජීවිත අත්දැකීම් පුංචි දරුවන් දෙදෙනා එක්ක බෙදාගන්නවා.

පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී ඔබට මාමණ්ඩියට කතා කරන්න සිදුවන්නේ ගරු කථානායකතුමනි කියලා. ගෙදර අයගෙන් මෙයට ලැබෙන ප්‍රතිචාරය මොකකක්ද?
ඇත්තටම තවම මට ගරු කථානායකතුමනි කියලා කියන්න අවස්ථාවක් ලැබුණේ නෑ. මොකද පාර්ලිමේන්තුවේදී මම තවම කතා කළේ නැති නිසා. ඒත් මම කටපුරාම එතුමාට ගරු කථානායකතුමනි කියලා කතා කරන්න ඇඟිලි ගනිමින් සිටින්නේ.

සංජය නල්ලපෙරුම
Source : Lakbima