එදා පුංචි තිරේ කාර්ය බහුල නළුවකු වූ අමිත්ත වීරසිංහ

0
1130
amitta-weerasinghe

කාලයක් ප්‍රේක්ෂකයින් අතර රැඳුණු ඒත් අද ක්‍ෂේත්‍රයෙන් දුරස් වී සිටින ඒත් ප්‍රේක්ෂක මතකයේ රැඳුණු කලාකරුවන්ව ‘රිද්ම’ තුළින් ඔබ මුණගස්වන්නට අපි ඔවුන් හොයාගෙන යනවා. මේ සතියේත් අපි ඒ විදියේ දක්ෂ ජනප්‍රිය නළුවෙක් විදියට ක්‍ෂේත්‍රයේ රැඳී සිටි රංගන ශිල්පියෙකු හොයාගෙන ගියා. ඔහු අමිත්ත වීරසිංහ. “යශෝරාවයේ’’ බලදේවගේ මල්ලි ළා හිරු දහසක් උදය රත්නගේ මල්ලි, ගම්පෙරළියෙ තිස්ස, “චරිත තුනක්හි” ඊසා’ සංගිලි පාලම සොහොයුරෝ සූරිය භානු, මඩොල් දූව, ‍පොඩි මහත්තයා” මේ හැම චරිතයක්ම මතක හිටින විදියට රඟ පෑ අමිත්ත වීරසිංහ හොයාගෙන අපි ගියා. අද වන විට තමන්ගෙම ව්‍යාපාර කීපයක හිමිකරුවෙක් වී සිටින අමිත්ත ඔහුගේ කාර්යාලයේදී අපිව බොහොම සුහදව පිළිගත්තා.

“ඉසිපතනෙ ඉගෙන ගන්න කාලෙ, ඒ කියන්නෙ යාන්තං ඇටෙන් ‍පොත්තෙන් එළියට ආපු අවුරුදු 16ක කොල්ලෙක් “ළා හිරු දහසක්” ටෙලි නාට්‍යයේ රඟපාලා ජනප්‍රිය ටෙලි නාට්‍යය නළුව වුණාම මට ‍පොඩි උණක් ආවා ඒ දවස්වල. මම කොණ්ඩේ ටිකක් වවල ප්‍රසිද්ධ නළුවෙක් වගේ ඇවිදින විදියත් වෙනස් කරගත්ත. මගේ ගැන ඇහැ ගහගෙන දෙන්නෙක් හිටිය. මගේ ගුරුවරිය කුසුම් දිසානායක මහත්මිය බ්.ඕ සර්ගේ නෝන. අනිත් කෙනා මගේ අම්මා.

“අමිත්ත ඔයා ළමයෙක් මිසක් නළුවෙක් ‍නෙවෙයි” කියල කුසුම් මිස් කිව්ව.
“පුතේ ඔයා ගාමිණී ෆොන්සේකා ‍නෙවෙයි තාමත් ඉස්කෝලෙ යන මගේ පුතා” කියල ඒ කිව්ව දේවල් අදටත් වලංගුයි. මම ඉන්පස්සෙ කිසිම කෙනෙක් අනුකරණය කරේ නැහැ. ළා හිරු දහසක් චරිතය උපරිමෙන් කරා වගේම අනිත් ටෙලි නාට්‍යය චරිතත් මගේම ෙශෙලියකින් රඟපෑවා. මාව මතක හිටින කෙනෙක් වුණේ ඒ රඟපෑම් වලින්.

“රඟපාන එක නැවැත්තුවෙ නැහැ. ඉන්පස්සෙ මට ලැබුණ චරිත ගැන මට ආසාවක් ඇති වුණේ නැහැ. දමල ගහල දඩි බිඩියෙ හදන ටෙලිඩ්‍රාමාවල මට රඟපාන්න බැහැ. නළුවෙක්, නිළියක් කියන්නෙ වාසනාවට ලැබිච්ච හැකියාවක්. ඒක වැඩි දියුණු කරගෙන මහන්සි වෙලා යම් තැනකට එන්න ඕන. එත් දැන් ඕන කෙනෙකුට රඟපාන්න පුළුවන්. ස්වභාවික රඟපෑම් ඕන නැහැනේ. අපි ගෙදර ඉන්නව රඟපානව නම් සරම ඇඳල කමිසයක් නැතුව සෙරෙප්පු නොදා අපි රඟපෑවෙ. ඒත් දැන් ටයි එක විතරයි අඩු. ගෙදර ඉන්නව රඟපානව නම්, අධ්‍යක්ෂලත් වගකියන්න ඕනනේ මේවට. ඉල්ලුමට සැපයුම දෙන්න ටෙලිඩ්‍රාමා 100ක් හදනවට වඩා හොඳ නළු නිළියො දමල එක ටෙලිඩ්‍රාමා එකක් හොඳට හදන්න පුළුවන්නේ. මම හිතන පතන විදිය වෙනස් වෙන්න පුළුවන්. මම ඒ වෙනසට කැමතියි. අපි රසිකයන් පිනවන්න කියල නොමිලෙ රඟපාන්නෙ නැහැනේ. ඒ නිසා අපිව රජය බලාගන්න ඕන අපි ගැන හොයන්න බලන්න සලකන්න පිරිසක් ඉන්න ඕන කියල මත්තෙ මම නම් නැහැ.

“තමන් ගන්න කීය හරි නිසි කළමනාකරණයක් කරගන්න ඕන. නළුවෙක් නිළියක් වුණත් තමන්ට අනාගතේ ගැන ඉලක්කයක් තියෙන්න ඕන. මම ඉගෙන ගෙන උපාධියක් ගත්තා. නළුවෙක් විදියටත් සාමාන්‍ය කෙනෙක් විදියටත් කැපවීමෙන් වැඩ කරා. ජනප්‍රිය කමේ ඉහළම ඉන්න කොට විවාහ වෙන්න ඕන කියල තමන්ට ජීවත් වෙන්න ස්ථාවරයක් නැතුව තවත් කෙනෙක් ජීවිතේට සම්බන්ධ කරගන්න මම හිතුවෙ නැහැ. ඒකනේ මම අවුරුදු 40න් බැන්දෙ. හැබැයි අවුරුදු 22ක ගෑනු ළමයෙක්.” අමිත්ත කිව්වෙ හිනැහෙමින්.

“දැන් රඟපාන්නෙ නැත්තෙ මට මෙගා ටෙලි නාට්‍යවලට කතා කළා. මම තමයි මුලින්ම විරුද්ධ වුණේ ඒවයේ රඟපාන්න. හොඳ ටෙලිඩ්‍රාමා එකකට චිත්‍රපටයකට නාට්‍යයකට කතා කළොත් මම එනව. “පෙම් යුවළක් ඕනෑ කර තිබේ.” කියන වේදිකා නාට්‍යයෙ මම රඟපානව. ඒක උදයසිරි වික්‍රමරත්නගෙ නාට්‍යයක්. ඒකෙ ප්‍රධාන චරිතයට මම ඉන්නෙ. ඉදිරියට හොඳ කලා කටයුත්තකට දායක වෙන්න කතා කරොත් මම එනව…”
අවුරුදු 6ක් වන නිවුන් දියණියන් දෙදෙනෙක් සහ තුන්මස් වියැති සිඟිති දියණියත්්් බිරිඳත් සමග අමිත්ත බොහොම සරල සැහැල්ලු ජීවිතයක් ගත කරනව.”

අමිත්ත කැමතියි එයාගෙ රසිකයන් කතා කරනව නම් 077-3456790 දුරකථන අංකයට ඔබටත් පුළුවන් අමිත්තට කතා කරන්න.

දර්ශනා ශම්මි විජේතිලක
Source : Lakbima