ලොවම හැඬවූ අයිලාන් පුතුනි මේ වරද යළි නොවේවා

0
1134
aylan-kurdi

යුද්ධය සැබවින්ම කුරිරුය. පිල් බෙදී පටු අරමුණු වෙනුවෙන් සටන් වදිනා මිනිසුන් නිසා සාමාන්‍ය ජනතාව කෙතරම් පීඩා විඳින්නේ දැයි කීමට වෙනත් සාක්ෂි කුමටද? ජීවිතයෙන් වන්දි ගෙවූ සිරියාවේ අයිලාන් දරුවා හා ඔහුගේ පවු‍ලේ උදවිය සිය අවසන් හුස්ම වා තලයට මුසු කරන්නේ ලොවට ඒ පිළිබඳව වැදගත් පණිවුඩයක් ඉතිරි කරමිනි.

වයස අවුරුදු තුනක් වන ඔහු නමින් අයිලාන් කුර්දිය. ඔහුගේ පස් හැවිරිදි සහෝදරයා ද, මව හා පියා ද ඇතුළත්ව 23 දෙනෙක්ගෙන් පමණ යුක්ත පිරිසක් සමග බෝට්ටු දෙකක නැගී සිරියාවේ කොබේන් නගරයේ සිට පසුගිය බදාදාවේ පිටත් වූයේ ග්‍රීසිය බලා යාමේ බලා‍පොරොත්තු ඇතිවය. අයිලාන්ගේ දෙමව්පියන් මේ කිරිකැටියන් සමග මෙම අනතුරුදායක ගමන යොදාගත්තේ ඉස්ලාමික අන්තවාදීන්ගෙන් මිදී මේ අහිංසකයින්ට රැකවරණය ඇති ස්ථානයක් සොයා දීමටය. නමුත් ඔවුන්ගේ ගමන කෙළවර වූයේ කිසි ලෙසකත් නොපැතූ ඛිෙදවාචකයකිනි. අයිලාන් ඔහුගේ වැඩිමහල් සොහොයුරා හා මව ඇතුළුව තවත් පිරිසකට මරු කැඳවමින් ඔවුන් ගමන් ගත් බෝට්ටු මුහුදුබත් විය. මළ සිරුරු තුර්කියේ බෝඩම් නගරයේ තුර්කි තානායමක් අසල වෙරළ තීරයට ගොඩගසා තිබිණි.

අයිලාන් තම පවු‍ලේ අය සමග යුරෝපය බලා ගමන් කර ඇත්තේ නියමිත ප්‍රමාණයට වඩා මගීන් පැටවූ බෝට්ටුවල නැගී අනවසර සංක්‍රමණිකයන් ලෙසයි. පසුව දැනගන්නට ලැබි ඇති පරිදි මේ කුඩා පැටවුන් දෙදෙනාට ජීවිතාරක්ෂක කබාවත් තිබි නොමැත. ග්‍රීක දූපතක් වන කොස් දූපත වෙත සිරියාවේ සිට ගමන අතරතුර වැඩිදුරක් යන්නට මත්තෙන්ම මොවුන් රැගත් බෝට්ටුව පෙරළී ඇත. මෙම අනතුරෙන් කුර්දි සහෝදරයින් ඔවුන්ගේ මව ඇතුළුව මගීන් 13 දෙනෙකු පමණ මියයන්නට ඇතැයි විශ්වාස කරයි.

ඔවුන්ගේ පිය වන අබ්දුල්ලා කුර්දි පණ බේරා ගැනීමට සමත්ව ඇති අතර මේ ආදරණීය සිඟිති පැටවුන් තම දෑතින් ගිලිහී ගිය අයුරු ඔහු විස්තර කරන්නේ හඬමිනි. ඔහු වාර්තාකරුවන්ට පවසා ඇත්තේ තම දරුවන් දෙදෙනා ලෝකයේ සිටින ලස්සනම ළමුන් දෙදෙනා වන බවය. දැන් තමන්ට වුවමනා කර ඇත්තේ තම බිරිඳ සහ දරු දෙදෙනා සමග එකට සැතපීමට බව ඔහු ප්‍රකාශ කරන්නේ මහත් ශෝකයෙනි. කුර්දි මහතා මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේ ප්‍රබල මුහුදු රළ පහර නිසා කලබලකාරී වූ බෝට්ටුවේ කපිතාන්වරයා බෝට්ටුව අතහැර පලා ගිය බවයි. එම අවස්ථාවේ බෝට්ටුවේ පාලනය සියතට ගැනීමට සිදුවූ බවද ඔහු පවසා ඇත. නමුත් මුහුදු රළ ඉතා ප්‍රචණ්ඩ වූ අතර බෝට්ටුව ඉතා ඉක්මනින් පෙරළී මුහුදුබත්වී ඇත. ඔහු තම බිරිඳගේ අත ශක්තිමත්ව අල්ලා සිටි අතර වේගවත් රළ පහරත් සමග කළ සටනේදී කුඩා දරුවන් දෙදෙනා ඔහු අතින් ගිලිහී ගිය බව ඔහු වේදනාවෙන් පැවසීය.
අද දින තම සිඟිත්තන්ගේ මරණය ගැන බොහෝ දෙනෙකුන් කතා කරනු ඇත. නමුත් තමනුත් තම දරු පවුලත් කුසට අහරක් නොගෙන සිටින කාලයේ තම දරුවන්ට කන්න අදින්නට දීමට සමත් රක්ෂාවක් නොමැතිව තමන් පීඩා විඳින විට තමාගේ පිහිටට කිසිවෙක් නොවූ බව කුර්දි මහතා පසුව ප්‍රකාශ කළේය.

Dogan නම් පුවත්පත් ආයතනයක් සමග සාකච්ඡාවකදී මීට පෙර දෙවතාවක් තමන් මෙරටින් පලා යාමට හොර ජාවාරම්කරුවන්ට මුදල් ගෙවූ බව කුර්දි මහතා පවසා ඇත. නමුත් ඒ අවස්ථා දෙකේදීම ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ වී තිබේ. ඉන් පළමුවෙනි අවස්ථාවේදී වෙරළාරක්ෂකයන්ට හසුවී ඔවුන් නිදහස් කර යවා ඇත. දෙවන අවස්ථාවේ ගමන නැවතී ඇත්තේ සංවිධායකයන් විසින් ඔවුන්ව රවටා මුදල් ලබාගෙන බෝට්ටුව නියමිත දිනට රැගෙන නොපැමිණි නිසාය. මෙම දරුවන්ගේ නැන්දණිය පවසා ඇත්තේ සිය සොහොයුරා ඇතුළු පවු‍ලේ අය කැනඩාවට නීත්‍යනුකූලව ඇතුල්වීමට යැවූ අවසරපත් ප්‍රතික්‍ෂේප වූ බවයි.

තුර්කියේ මුග්ලා ප්‍රදේශයේ මාතශරීරාගාරයකින් තම බිරිඳගේ හා දරු දෙදෙනාගේ මෘත ශරීර හඳුනා ගත් කුර්දි මහතා අවසන් කටයුතු සිදුකිරීමට එම දේහයන් සිය මව් රට වෙත ගෙන යාමට බලා‍පොරොත්තුවෙන් සිටී.

තුර්කි වෙරළේ මුනින්තලාව වැතිරී අවසන් ගමන් ගිය මෙම අයිලාන් සිඟිත්තාගේ ඡායාරූප අන්තර්ජාලය පුරා වේගයෙන් හුවමාරු වූ අතර ඒවා නැරඹූ කාගේත් සිත් තුළ මහත් ශෝකයක් ජනිත කරන්නට සමත් විය. කුඩා දරුවා වෙත දේව දූතයන් දෑත් දිගු කරනු ඇතැයි විශ්වාස කළ ඇතැමුන් එවැනි අදහස් දැක්වෙන සිතුවම් නිර්මාණය කොට තිබිණි. ඒ අතර තවත් සමහරුන් කවි ගී නිසදැස්ද ඔහු වෙනුවෙන් ලිවූහ.

“මහ ‍පොළොව සිඹ අවසන් ගමන් ගිය පුංචි පුතණුවනි. ඔබේ කතාව මෙලෙස ලෝකයා වෙත ලියවුණත් ඔබ වැනි මල් කැකුළුවල නොලියවූ කතන්දර බොහොමයක් ඇතුවාට නිසැකය. මහ ‍පොළොව බෙදා ගන්නට නොහැකිව යුද වදින ලොකු මිනිසුන් අතර තැලී ‍පොඩිවී නුඹ ලෙසින් මහ ‍පොළොව බදා මිය යන්ට තවත් කුඩා උන් කී දෙනෙක්ගේ ඉරණම ලියවී ඇත්ද? අද නුඹ ගැන කතා කර හෙට උන් ගැන අමතක කළහොත් නුඹ වැනි උන් මේ ලෝකය ලස්සන කරන්නට ඉතිරි නොවනු ඇත. මේ, පක්ෂ භේද, පාට භේද, ආගම් භේද හා කුල මල අමතක කර සිතන්නට කාලයයි. යුද්ධයේ දුක් කඳුළු නුඹ කොතෙක් ඉහිලුවාදැයි නොකියාම නිහඬවූ ආදරණීය පුතණුවනි, නුඹට නිවන් සුව….”

තාරංගා ආනන්දවංශ
Source : Lakbima