ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු තහවුරු කළ පොලිස්‌ නිලධාරීන්ට සිදු වූ දේ

0
584

කොළඹ ලයනල් වෙන්ඩ්ට්‌ ශාලාවේ පැවැත්වෙන පොලිස්‌ ඡායාරූප ප්‍රදර්ශනයට අපරාධ කරුවන්ගේ ඇඟිලි සලකුණු ද ඇතුළත්ය.

ඒ අතර ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණද වේ. ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සොයාගත්තේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නිලබ්දින්ය. ඒ ගැන දිවයින වසර කීපයකට පෙර විශේෂයෙන් අනාවරණය කළේය.

සියදිවි නොතකා මුතුර්වලට පාලම් පාරුවෙන් ගොස්‌ ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සොයාගත් නිලබ්දින්ට පොලිසිය එපා කළේ පොලිසියයි.

නිලබ්දින් ඇඟිලි සලකුණු සොයාගත් සමයේ ප්‍රභාකරන් ජීවත්ව සිටියේය. ඔහුව ගල්කිස්‌සේදී ඝාතනය කිරීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ විය. අදටත් ඔහුගේ හිසේ කොටි බෝම්බයේ කොටස්‌ ඇත.

සටන් විරාම යටතේ නිලබ්දින් අසරණ විය. ඔහුව ගල්කිස්‌ස පොලිසියේ මුල්ලකට දමනු ලැබීය. කොටි ඔහුගේ සහායක ජෙයරත්නම්ව පැහැරගෙන ගොස්‌ මරා පුලුස්‌සා දමනු ලැබීය. අවසානයේ දිවි ගලවා ගනු සඳහා නිලබ්දින් විදේශ ගත විය. සිය වැටුප ලබාගැනීමට පොලිසිය සමග නඩු කීමටද සිදුවිය. එම නඩුවෙන් ඔහු ජයගත්තේය. එහෙත් පොලිසියේ කෙනහිලිකම් නිසා නිලබ්දින් ඉල්ලා අස්‌විය. ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු මගින් කොටුවේ මහ බැංකු බෝම්බයට ප්‍රභාකරන් වරදකරු බව සනාථ විය. ඒ අනුව විනිසුරු අඹේපිටිය මහතා ප්‍රභාකරන්ට වසර 200 කට වරදකරු කළේය. ඉන් කොටි න්‍යාය, චාර්ය ඇන්ටන් බාලසිංහම් කෝපයට පත් විය. නුඹලාගේ අයවත් අපි නඩු අසා වසර 1000 කට සිරයට නියම කරනවා යෑයි ඔහු තර්ජනය කළේය.

ප්‍රභාකරන් වසර 200 කට සිරයට නියමවූ තීන්දුවට හේතු වූයේ නිලබ්දින්ය.

නිලබ්දින්ගේ බිරිය වසර කීපයකට පසු තම සැමියාට හිමි තෑගි මුදල ලබා ගැනීමට පොලිස්‌ මූලස්‌ථානය වෙත ගියේය. තෑගි දෙන බව දන්නේ කෙසේද යෑයි එක්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ ප්‍රශ්න කළේය. අවසානයේ සිය ජීවිතය පරදුවට තබා ප්‍රභාකරන් සිටි අඩවියට ගොස්‌ කොටි ත්‍රස්‌තයකු සතුව තිබූ තෑගි පෙට්‌ටිය සොයාගෙන එය ඇඟිලි සලකුණු අංශයට ගෙන ආවේය.

ඇඟිලි සලකුණු අංශයේදී පොලිස්‌ පරීක්‍ෂක නෝමන් පෙරේරා සහ සැරයන් රත්නායකද ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සනාථ කිරීමේ මෙහෙයුමට දායක විය. තමිල්නාඩු පොලිසියෙන් ලබාගත් ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු හා නිලබ්දින් ගෙන ආ ඇඟිලි සලකුණු අතර සැසඳීමේදී එක සමාන බව හෙළි විය.

එසේ වුවත් ඇඟිලි සලකුණු අංශයේ නෝමන් පෙරේරා සහ පොලිස්‌ සැරයන් රත්නායකද නිලබ්දින් මුහුණදුන් තත්ත්වයට මුහණපෑවේය.

ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකු ඔවුන්ට නිර්දේශ කළ ත්‍යාග පවා ලැබුණේ නැත. අද නිලබ්දින් නෝමන් පෙරේරා සැරයන් රත්නායකද පොලිස්‌ සේවාවේ නැත. එහෙත් පොලිස්‌ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ සේවය ඇඟයීමට ලක්‌ කළේ නැත.

එහෙත් කටුනායක ගුවන් තොටුපළට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තන් අල්ලාගත් බව කියන පොලිස්‌ නිලධාරීන්ට තෑගි හිමිවිය.

එම ත්‍රස්‌ත ප්‍රහාරයට මුල් වූ කොටියා අල්ලා ගැනීමට මග පෑදුවේද නිලබ්දින්ය. ඊශ්‍රායලය වැනි රටෙක නම් මේ පිරිස රාජ්‍ය ගෞරවයට හා සම්මානවලටද හිමිකම් ලබන්නෝ වෙති.

කීර්ති වර්ණකුලසූරිය
Source : Divaina