Mattala international grain store – ආයුබෝවන්! මේ ‘මත්තල’ ජාත්‍යන්තර වී ගබඩාවයි

0
756
mattala-rajapakse-airport

මහියංගණයේ වී පටවාගත් ලොරි පෝලිමේ ගොස්‌ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට වී බාන්නට පටන් ගැනීමත් සමගම ශ්‍රී ලංකාවේ අලුත්ම වී ගබඩාවේ සම්භවය සිදු විය. අපේ රටේ සමහර පළාත්වල වී නිෂ්පාදනය පසුගිය කන්නයේදී ඉතා වැඩි විය. කොතරම් වැඩිවී ද යත් රටේ වී ගබඩා පිරී ඉතිරී යන තරමට වැඩි විය. ඉතින් රටේ ගබඩා මදිවී ඉන්දියාවේ ගබඩාවල ගබඩා කිරීමට තරම්ම එම වී අස්‌වැන්න ඉහළ ගිය බවත්, ගබඩා කරනු පිණිස ඉන්දියාවට ඒවා නොයවන ලද්දේ නැව් ගාස්‌තු දරන්නට බැරි නිසා බවත් අපි හිතින් හිතා ගත්තෙමු. කෙසේ වුවද මත්තලට වී බාන්නට ගිය ලොරිවලට මහත් අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදුවිය. ඒ ගුවන් තොටුපළ වී ගබඩාවක්‌ කරනවාට විරුද්ධ වූ ප්‍රදේශවාසී ජනයා සහ ගුවන් තොටුපළේ ඇතැම් සේවකයෝ එම පාරේ දිගා වී ලොරිවලට බාධා කිරීම නිසාය. එම සිද්ධියේ වීඩියෝව බැලූ පොලිසිය පරණ තාලයේ ප්‍රේක්‍ෂකයන් දෙමළ චිත්‍රපට බලා එම්. ජී. ආර්., භානුමති, තංගවේලු, වීරප්පා යන නළුවන් හඳුනාගන්නා පරිදි සැකකරුවන් හත් දෙනකු හඳුනා ගෙන ඔවුන් කූඩු කළහ.

මත්තල ගුවන් තොටුපළ වී ගබඩාවක්‌ කිරීම ගැන විවිධ මති මතාන්තර ගලාඑමින් තිබේ. සමහරු කියන්නේ මෙය අංක එකේ ගොං වැඩක්‌ බවය. තවත් අයෙක්‌ කියන්නේ මෙමගින් මහින්ද රාජපක්‍ෂ තවදුරටත් පාඩමක්‌ ඉගෙන ගන්නා බවය. පළමුවන මතය බැහැර කරන අපි දෙවන මතය ගොං මතයක්‌ බව සාතිශය සංවේගයෙන් යුතුව සටහන් කරමු. මත්තල ගුවන් තොටුපළ මහින්ද රාජපක්‍ෂ මැදමුලනෙන් ගෙනා සල්ලිවලින් සාදන ලද්දක්‌ නොව මේ රටේ මහජනතාවගේ බදු මුදල්වලින් සාදන ලද්දකි. කෙළින්ම මහජන බදු මුදලින් නැතිව කිසියම් රටකින් හෝ ආයතනයකින් ගත් මුදලකින් මෙය සෑදුවද අවසන් පියවරේදී එම ණය ගෙවිය යුත්තේ මහජනතාවගේ බදු මුදලිනි. එබැවින් අවසන් පලයේදී කෙලවෙන්නේ අපටමය. පසුගිය කන්නයේදි වී අස්‌වැන්න දරා ගැනීමට බැරි තරම් පිරී ඉතිරී ගියේ නම් ඒවා යෑවිය යුතුව තිබුණේ හම්බන්තොට වරායේ ඇති දැනට මැස්‌සන් පමණක්‌ සිටින ගබඩාවලටය. ඒ බවක්‌ වී අලෙවි මණ්‌ඩලයට අමතක වීමට වග කිව යුත්තේ එහි පාලකයන්ගේ බූරු මොළවල් ය.

ගුවන් තොටුපළක බඩු ගබඩාවක්‌a සහ වී ගබඩාවක්‌ අතර සුවිශාල වෙනසක්‌ තිබේ. ගුවන් තොටුපළේ ගබඩාව ඉතා සංවේදීය. මෙහි තේරුම වන්නේ එහි බිත්තිවලට පණ තිබෙන බවක්‌ නොව එම ගබඩාවේ නිමාව සියුම් බවය. ගුවන් තොටුපළක බඩු ගබඩාවකට සිමෙන්ති දමන ආකාරයෙන් පවා ලොකු වෙනසක්‌a තිබේ. එවැනි ගබඩාවක වී ගෝනි අඩුක්‌ කර මීයන් එහෙම බෝa වුණ කල හට ගත හැකි අතුරු ඵලය ඉතා නරකය. රාජපක්‍ෂලාට පාඩමක්‌ ඉගැන්වූවාය යන කාලකණ්‌ණි සතුටට වඩා බලවත් පාඩුවක්‌ එමගින් රටට සිදු වන්නේය.

ගුවන් තොටුපළක්‌ අසාර්ථක වීම යනු ජාතික මට්‌ටමේ ෙ€දවාචකයකි. රටකට ජාත්‍යන්තර ගුවන් තොටුපළ එකකට වඩා අවශ්‍යය. එබැවින් එවැනි දෙවන ගුවන් තොටුපළක්‌ සෑදීම වරදක්‌ වන්නේ නැත. එහෙත් ඉකුත් ආණ්‌ඩුව එය හැදූ තැන වැරදිය. එසේ නොකර වීරවිල, රත්මලාන, කොග්ගල වැනි ගුවන් තොටුපළක්‌ දියුණු කිරීම හෝ මාතර වැනි නගරයක ගුවන් තොටුපළක්‌ තැනුවේ නම් රාජපක්‍ෂ ආණ්‌ඩුවට අද වදින මේ “මත්තල මඩ” කිසිසේත්ම වදින්නේ නැත. එම මඩ අසා හෝ ඒ ගැන කියවා කාලකණ්‌ණි සතුටක්‌ විඳීමට විරුද්ධවාදීන්ට හැකියාවක්‌ ලැබෙන්නේත් නැත.

අවසන් වශයෙන් එක්‌ ප්‍රශ්නයක්‌ අසමු. මෙච්චර වී තිබිලාත් ඇයි හාල් මේ තරම් ගණන්?

Source : Divaina