යථාර්ථයක්‌ විය යුතු භූමිකාව

0
646
Sri Lanka Politics

යහපාලනය යථාර්ථයක්‌ බවට පත්විය යුතු භූමිකාවට ප්‍රවේශ වී ඇත. දින සියයකින් නිර්මාණය වූ යහපාලනය ඇතුළත සමාජයට, ආර්ථිකයට කිසියම් මෙහෙවරක්‌ සිදුවිය. දින සියයකින් පූර්ණ වශයෙන් එම සැලැස්‌ම ක්‍රියාත්මක කිරීමේ හැකියාවක්‌ නැත. එය අප අවිවාදයෙන්ම පිළිගතයුතු කරුණකි.

මේ යහපත් භූමිකාව අතරමඟ ඇනහිටීය යන කුහුලක්‌ සමාජයේ ඇතිවුණු ස්‌වරූපයකි. ඒ කුහුල අද දුරු වී සමනය වී ඇත. යහපාලන භූමිකාව තවදුරටත් රැකගෙන සමාජ ප්‍රගතියට නොසිතූ, නොපැතූ අයුරින් ක්‍රියා පද්ධතියක්‌ සිදුකළ යුතු කඩ ඉමකට පිවිස ඇත.

මේ භූමිකාව යථාර්ථයක්‌, සත්‍යාර්ථයක්‌ බවට පත්විය යුතුය. යථාර්ථය යනු ඇත්ත ඇති සැටියෙන් සිදුවීමයි. සත්‍යාර්ථය යනු නියත වශයෙන්ම සිදුවීමයි. න්‍යාය නොව ප්‍රායෝගික වශයෙන් මෙය සිදුවිය යුතුය.

ජයගත් අයත් පරාජයට පත් වූ අයත් වෙන් නොවී එකම කඳවුරකට ප්‍රවේශ වී සම්මුතිවාදී ආර්ථිකයක්‌ ගොඩනැංවීමට අගමැති රනිල් වික්‍රමසිංහ ආප්තයක්‌ හෙළිකිරීම පරමාදර්ශි ක්‍රියාවකි.

මෙතෙක්‌ දේශපාලන ව්‍යුහයේ සිදුවූයේ මහ මැතිවරණයකින් ජයගත් අයත් පරාජයට පත් වූ අයත් වෙන්වී කටයුතු කිරීමය. පරාජයට පත්වූ අයගේ මුඛ්‍යාර්ථය වූයේ ජයගත් අය පරාජයට පත්කිරීමට මාන බැලීමයි. මේ දේශපාලන ව්‍යුහයෙන් ලත් අත්දැකීම් මත අගමැති මෙදා ප්‍රකාශ කළේ ජය පරාජය ගැන නොසිතා සියල්ලන්ම එක්‌වී සමාජ සංවර්ධනයට විශාල වශයෙන් මෙහෙවරක්‌ කිරීමට එක්‌වන ලෙසයි.

මෛත්‍රී දර්ශනය හා අගමැති යහපාලන අන්ත දෙක එකට එක්‌වී සමාජ ප්‍රගමනයට ප්‍රබල මෙහෙවරක්‌ ඉටුකිරීමේ කාර්යභාරයට ජනපතිට හා අගමැතිට අභිප්‍රායක්‌ ඇත. පවුල් පාලනය රැකීමෙන් මිදී සමස්‌ත රට නංවාලීමට මේ අන්ත දෙක එකට එක්‌වී පුළුල් වූ දෘෂ්ඨිකෝණයක පිහිටා විඥනය මෙහෙයවීම කාලීන අවශ්‍යතාවකි.

රට නංවන්නට අනවරතයෙන්ම, නිරන්තරයෙන්ම බුද්ධිමතුන් යහපාලනයට ඒකාබද්ධ කරගත යුතුය. පසුගිය දස වසර පුරා සිදුවූයේ රටේ උගතුන් බුද්ධිමතුන් කොන්කොට එයට ආදේශ කෙළේ නිර්මාණ ශක්‌තියෙන් හීන කොටසකි. පසුගිය පාලන තන්ත්‍රයේ පාලකයාට වැරැදුණු තැනත් එයයි. තමන්ගේ පැවැත්මට ඕනෑම කෙනකු සමීපකොටගෙන කටයුතු කිරීමෙන් සිදුවූයේ බරපතළ හානියකි.

යහපාලනය මේ යථාර්ථය තේරුම් ගෙන උගතුන්ගෙන් පූර්ණ වශයෙන් ඵල නෙළාගත යුතුය. නිර්මාණශීලී ශක්‌තියෙන් උපයුක්‌ත අය රටේ ආර්ථික සංවර්ධනයට බද්ධ කරගත යුතුය. අගමැතිගේ මුඛ්‍යාර්ථය වන්නේත් මෙයයි. සියලුම ජනකොටස්‌ ඒකාබද්ධකොට ගෙන රට නංවාලීමට කටයුතු කිරීම යහපාලනයේ මුඛ්‍යාර්ථයයි.

මෙතෙක්‌ පැමිණි ගමන් මඟ වෙනසකට බඳුන් කළ යුතුය. ගතානුගතික ක්‍රමවේද බැහැරකොට සමාජය සංකීර්ණවීමත් සමඟ එම ක්‍රමවේදවල ද වෙනසක්‌ ඇතිවිය යුතුය.

එකම තැන පල්වෙන ක්‍රමවේද බැහැරකොට නව ක්‍රමවේද පසුපස යහපාලනය හඹා යා යුතුය. මාස හැටකින් (60) රට නව මඟකට යොමු කරනවාය යන්න අගමැතිගේ මූලික අභිප්‍රායයි. ජනතාවට දුන් පොරොන්දු සියල්ලම එලෙසම ඉටු කළ යුතුය.

ජනාධිපතිටත් – අගමැතිටත් දේශපාලන ව්‍යුහයේ දිගු කාලපරාසයකින් ලත් අත්දැකීම් අනුව යා යුතු නිම්නය තේරුම් ගැනීම අපහසු නැත. නිම්නයට අර්ථදක්‌වන්නේ සාරය එයට ඒකාබද්ධවීමයි. ගංගාවෙන් ගලා යන පෝෂිත දේ රැඳෙන්නේ නිම්නයේ. නිම්නයේ සරු පසෙන් බිහිවන පලදාව තමයි ජනතාව භුක්‌ති විඳින්නේ මේ නිම්නය සරු කිරීම යහපාලනයේ අභිප්‍රාය විය යුතුය.

සමාජයේ ජනකොටස්‌ දේශපාලන වශයෙන් නොබෙදී එකම කඳවුරකට එක්‌කිරීම අගමැතිගේ අරමුණයි. මේ ආකල්පය කාලීන අවශ්‍යතාවකි. තුන් කල්හිම සමාජය දෙස බලා නූතන යුගයට ගැළපෙන ආකාරයට නව ආර්ථික පිළිවෙතක්‌ සැකැසිය යුතුය.

වන දුර්ග – ජල දුර්ග, ගිරි දුර්ගවලින් තොර මේ පුංචි රට සංවර්ධනය කරන්නට, ස්‌වයංපෝෂිත කරන්නට අපහසු කාරියක්‌ නොවේ. කෙටි කාල පරාසයක්‌ ඇතුළත මේ පුංචි දිවයින හැම අතින්ම සංවර්ධනය කළ හැකිය. එය අසීරු කරුණක්‌ නොවේ. මෙතනදී මූලික වශයෙන් අවශ්‍ය වන්නේ හැඟීමත් අවංකභාවයත් රටට ඇති ඇල්මත්ය. මේ ත්‍රිකය අනිවාර්යයෙන්ම දේශපාලනඥයාට තිබිය යුතුය.

මෙතනදී යහපාලනය තේරුම් ගත යුතු තවත් කරුණක්‌ ඇත. එනම් පොදු මතයට මූලිකත්වය දීමයි. පසුගිය කාල වකවානුවේදී පොදු මතය බැහැරකොට, ස්‌වමතයට මූලිකත්වය දීම අනුව රට තවදුරටත් අවරට ගියේය. මේ යථාර්ථයද යහපාලනය තේරුම්ගත යුතුය.

ජනතාව අතිශය දුෂ්කරතාවන්ට මුහුණපා සිටිති. ජනතාවගේ ජීවන බර කෙමෙන් අවම කිරීමට මංපෙත් විවර කළ යුතුය. යහපාලනයේ මූලික තේමාව විය යුත්තේ මෙයයි.

වෛරයීය දේශපාලනයට යහපාලනය කදිම පාඩමක්‌ ඉගැන්විය යුතුය. තවමත් සමහර දේශපාලනඥයන් පරාජයවීම මත වෛරයීය තත්ත්වයකින් පසුවන බව පෙනේ. රට නංවන්නට, ජනතාවගේ ජීවන බර අවම කරන්නට නොව තම බලය රැකගන්නට යත්න දැරීම මේ වෛරයී දේශපාලනයේ අරමුණයි. පරාජයට පත්වීම සතුටින් බාර නොගෙන වෙනත් පැතිකඩාශ්‍රිතව දේශපාලන ව්‍යුහයකට පිවිස රට අවුල් කරන්නට මාන බලන බව පෙනේ. මේ දෙසද යහපාලනය අවධානයෙන් සිටිය යුතුය.

යහපාලනය අභියෝග රැසකට මුහුණ පා සිටියි. එම අභියෝගවලට පිටුපෑම නොවේ සිදුවිය යුත්තේ එඩිතරව එම අභියෝගවලට මුහුණදී ජයගත යුතුය.

රාජ්‍ය දේපළ අයථා පරිදි පරිහරණය කිරීම මෙතෙක්‌ සිදුවූ කාර්යයකි. එහෙත් යහපාලනය යටතේ රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කිරීමට ඉඩ සලසා දුන්නේ නැත. පසුගිය ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කළ ආකාරය පැහැදිලි කරුණකි. යහපාලනය යටතේ මේවාට ඉඩ සලසා දුන්නේ නැත.

මැතිවරණය අවසානයේත් ඉතා සාමකාමී අන්දමින් සමාජය සහනශීලී ගමනකට අවතීර්ණ වී තිබුණි.

මහ මැතිවරණය අවසන්ය. දැන් සිදුවිය යුත්තේ ඡන්දය පසෙකට තල්ලුකොට රට නංවන්නට සියල්ලන්ම ඒකාබද්ධ වීමයි.

තමන්ට බලය ගන්නට බැරි වු නිසා පාර්ලිමේන්තුවේදී මත ගැටුම් ඇතිකරන්නට මාන බලන්නටද පුළුවන. මෙබඳු තත්ත්වයක්‌ නිරන්තරයෙන්ම ඇතිවිය හැකි හෙයින් ඒ දෙසද යහපාලනය නෙත් යොමු කළ යුතුය.

බලය ගිලිහී ගිය අයගේ මූලික අභිප්‍රාය වී ඇත්තේ රට අවුලකට පත්කිරීමය. යහපාලනය නොරිස්‌සීමෙන් ඒ දෙස පටු දෘෂ්ඨිකෝණයක පිහිටා කටයුතු කිරිමට යත්න දරන බවක්‌ද පෙනේ. මේ ආකල්පයද ලත් තැනම ලොප්කර දැමිය යුතුය.

වංචා – දූෂණ සමාජයෙන් මුළුමනින්ම දුරලීමට කටයුතු කිරීමටත් වගබලා ගත යුතුය. විශේෂයෙන් මත්කුඩු ජාවාරම ඉතාම ඉහළ තලයකට පත් වූ යුගයක්‌ ඇත්නම් ඒ මේ යුගයයි. මත් කුඩු ජාවාරම නිසා අපේ බාල පරපුර ඉතාම අනුවේදනීය තත්ත්වයට පත්ව ඇත. විවිධ උපාය මාර්ගවලින් අපේ බාල පරපුර මතට ඇබ්බැහි කිරීම ඉතා ශීඝ්‍රයෙන් පැතුරිණි. මේ තත්ත්වයෙන්ද රටත්, අපේ බාල පරපුරත් මුදාගැනීමට යහපාලනය වගබලා ගත යුතුය.

යහපාලනය මගින් නගරය මෙන්ම ගමද සංවර්ධනය කරන්නට සිතට ගත යුතුය. යුතු ගම් මට්‌ටමින් ප්‍රබල ආර්ථික අහේනියකට ගොදුරුවී ඇත. ගමත් නගරයත් සමගාමී සංවර්ධනයකට ගොදුරු කරන්නටද යහපාලනය වගබලා ගත යුතුය.

අපේක්‍ෂිත දැ මාස 60 දක්‌වා ක්‍රියාත්මක විය යුතුය. සමාරම්භයේ පටන් සමාප්තිය තෙක්‌ අපේක්‍ෂිත දැ සියල්ල සපුරාලීමටවත් වග බලාගත යුතුය.

ජනාධිපතිගේත් අගමැතිගේත් සමාජ විඥනය සම්මිශ්‍ර කොටගෙන සම්මුතික සමාජ පරිශ්‍රයකට අත්තිවාරම පාදම දමා පෙර නොවූ විරූ ආර්ථික සාමාජික සංස්‌කෘතික සදාචාරාත්මක වශයෙන් පෙරළියක්‌ ඇති කිරීමට කටයුතු කොට දේශපාලන වංශයේ නව පරිච්ඡේදයක්‌ ඇතිවිය යුතු යුගයකි, දැන් උදා වී ඇත්තේ.

ආචාර්ය ආර්. ඇල්. අබේවික්‍රම
Source : Divaina