යහපත් වකුගඩු ක්‍රියාකාරිත්වයකට හිතකර ආහාර ගන්න

0
1297
kidney

ඔබට වකුගඩු රෝගය වැලැඳී තිබුණත් ජීවත්වීමට බාධාවක් නැත

වර්තමානයේ ශ්‍රී ලංකාවේ දීප ව්‍යාප්තව පවතින වකුගඩු රෝගය අප කාහටත් බල පෑ හැකි රෝගී තත්ත්වයක් ලෙස හඳුන්වා දිය හැකිය. යම් පුද්ගලයෙකුගේ වකුගඩු අකර්මණ්‍යවීම හෙවත් ක්‍රියාකාරීත්වය ක්‍රමානුකූලව අඩපණවීමේ රෝගී තත්ත්වය හේතුවෙන් පුද්ගලයකුගේ වකුගඩු එක් දිනෙක සදහටම අහිමි වී යා හැක. එසේ නොවුණහොත් අපි ජීවිතයෙන් සමුගන්නාතුරුම වකුගඩුවේ මුත්‍රා පිටකිරීම උදෙසා රුධිරකාන්දුකරණය කිරීමේ ක්‍රියාවලියට මුහුණ පෑමට සිදුවේ. එසේ නොමැති වුවහොත් තවදුරටත් ජීවත්වීමට වකුගඩුවක් බද්ධ කිරීමට සිදුවේ. ඒ මන්දයත් වකුගඩුවල ක්‍රියාකාරීත්වය මිනිස් සිරුරේ වැදගත් ක්‍රියාවලී කිහිපයකටම ඍජුවම බලපාන බැවිනි. එයින් කිහිපයක් ලෙස,

* අප ගන්නා ආහාරවල සිරුරට අනවශ්‍ය කොටස් ශරීරයෙන් ඉවත් කිරීම

* මිනිස් ශරීරයේ රසායනික සංයුතිය සහ දියරමය තත්ත්වයන් පාලනය කිරීම

* සිරුරට අවශ්‍ය යකඩ නිපදවීමට හිතැති හෝමෝනයන් ලබාදීම

* රුධිර පීඩනය පාලනයට අවශ්‍ය හෝර්මෝන සහ රසායනික ද්‍රව්‍ය මඟින් එය පාලනය කරදීම

* ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියට අවශ්‍ය විටිමින් ‘ඩී’ සහ කුඩා බර ප්‍රමාණයකින් යුත් ප්‍රෝටීන් පාලනය කරදීම යනාදී ක්‍රියාකාරීත්වයන් උදෙසා වකුගඩු අප සිරුරට සිදු කරනු ලබන මෙහෙවර පෙන්වා දිය හැකිය.

වකුගඩු අකර්මණ්‍යවීමෙන් ඇතිවන රෝගී තත්ත්වයේ දී වකුගඩු ඇතුළත ඇති ‘නෙප්රෝන්’ (පෙනේර) මඟින් රුධිරය පෙරීම අඩු ව සිරුරේ ගමන් කරන රුධිරය තුළ යූරියා මට්ටම ඉහළ යාමෙන් ඇතිවන රෝගී තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ ‘යූරිමක් සින්ඩ්‍රෝම්’ (Uremic symdrome) ලෙස හඳුන්වයි. වකුගඩු රෝගී තත්ත්වය දෙස බලන විට එම රෝගී තත්ත්වය අවධි පහකට (Stage 1 – 5) වෛද්‍ය විද්‍යාවේ වෙන් ‍කොට දක්වා ඇත. එසේ අවධි පහකට බෙදා ඇත්තේ වකුගඩු මඟින් රුධිරය පෙරී යන ප්‍රමාණයන් (GFR) අනුවය. මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන වකුගඩු අකර්මණ්‍ය වූ රෝගියෙකුට මේ තත්ත්වයෙන් යම් දුරකට පාලනය වීමට ආහාර හා පෝෂණවේදයෙන් විශාල මෙහෙවරක් ඉටුකර දෙනු ලබයි. ඒ කෙසේද යත් අකර්මණ්‍ය වේගෙන යන හා අකර්මණ්‍ය වූ වකුගඩු රෝගයට ගැළපෙන අයුරින් අවශ්‍ය ලෙස ආහාරවල පෝෂණ සංයුතිය ලබා ගැනීමෙන් රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාවක් තිබීමයි. එනිසා සමහර විට වසර ගණනාවක් වුවත් රෝගියාගේ යහපත් ජීවන ක්‍රියා පිළිවෙත නිසා පාලනය කර ගැනීමට හැකිවීම විශේෂයකි. එලෙස ආහාර හා පෝෂණය නිසි ලෙස තබා ගනිමින් තම සෞඛ්‍ය තත්ත්වය ක්‍රමවත්ව පාලනය කිරීම මත වසරකින් මිය යා හැකි බවට ඉගි කරන වකුගඩු රෝගියෙකු තවත් වසර ගණනාවක් ඉදිරියට ජීවත් කරවීමට හැකියාව ලැබේ.

කෙසේ නමුත් කාලයක් තිස්සේ පාලනය නොවූ දියවැඩියා රෝගයත්, රුධිර පීඩනයත් මෙම වකුගඩු රෝගී තත්ත්වයට විශේෂයෙන් බලපාන ඍජු සාධක අතර වේ. කෙසේ නමුත් රෝගයට උචිත ලෙස නිවැරැදි ප්‍රමාණයෙන් ආහාර ලබා ගැනීම රෝග පාලනයට ඉතා වැදගත් වේ. ලංකාවේ මේ තත්ත්වය අල්ප වුවද විදෙස් රටවල රෝගීන් මේ පිළිවෙත් ක්‍රමානුකූලව අනුගමනය කරනු දැක ගත හැක.

යම් පුද්ගලයෙකුගේ සිරුරේ වකුගඩු රෝගය ආරම්භ වේ නම් ඒ පිළිබඳ වෛද්‍යවරයකු විසින් සිදුකරනු ලබන මූත්‍ර පරීක්ෂණය (සි‍රුරෙන් මූත්‍ර සමඟ ප්‍රෝටීන් පිටවීම) ඔස්සේ ඒ බව සැක හැර තහවුරු කර ගත හැකිය. එවිට තම වකුගඩු ඇස් මෙන් ආරක්ෂා කර ගැනුමට ඔහු හෝ ඇය පෙලඹිය යුතුය. ඒ සඳහා අවශ්‍ය වන ඖෂධ ප්‍රතිකාරත් විශේෂයෙන් රුධිර පීඩනය, දියවැඩියාව පාලනය ඉතා වැදගත් අතර එම ඖෂධ මාත්‍රා ‍නිසි ලෙස නිසි වේලාවට ලබා ගත යුතුවේ. මෙවන් විටෙක ඔබ ප්‍රතිකාර ලබන ඔබගේ වෛද්‍යවරයා මිතුරෙකු බවට පත්කර ගැනීම අවශ්‍යය.

වකුගඩු රෝගියකුගේ පෝෂණය කෙසේ විය යුතුද?

වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියෙකු ලබන ආහාර හා පෝෂණය ඔහුගේ ප්‍රතිකාරයේ ප්‍රධානම අංගයක් ලෙස පෙන්වා දිය හැකිය.

මෙහිදී වැදගත් වන්නේ ආහාරයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක භාවයයි. ආහාරයේ අඩංගු පෝෂණ පදාර්ථ අතුරින් (ක්ෂුදු පෝෂක අතරින්) සෝඩියම්, පොස්පරස්, කැල්සියම්, පොටෑසියම්, දියර ප්‍රමාණය, විටමින් හා ඛනිජ ලවණ විශේෂ තැනක් ගනී.

මේ සංඝටක අඩංගු සමතුලිත ආහාර වේල් මඟින් සිරුරේ බර නිවැරදිව පවත්වාගෙන යාමටත් වකුගඩු රෝගයෙන් පීඩා විඳින රෝගීන් තුළ පැවැතිය හැකි දියවැඩියා රෝගය, රුධිර පීඩනය පාලනයටත් ඉතා උපකාරී වේ. තවද නිර්මාංශික රෝගීන් සඳහා විශේෂ ආහාර වට්ටෝරුවක් ලබා ගැනීම අවශ්‍ය වේ. වකුගඩු රෝගී තත්ත්වය හඳුනා ගැනීමේ පටන් වකුගඩු අකර්මණ්‍යවීමේ අවධි පහ වෙත ළඟාවීමේ දී ලබාගත යුතු පෝෂක පදාර්ථ නිතර වෙනස් වන බව මෙහිදී පැවැසිය යුතුය. උදාහරණ ලෙස වකුගඩු රෝගියෙකුට නිර්දේශ කරන ප්‍රෝටීන් ප්‍රමාණය සිරුරේ බරෙන් කිලෝ ග්රෑමයකට 0.8 සිට 0.6 දක්වා අඩුවීමක් සිදුවේ. මෙම දශම දෙකක වෙනස් වීම වුවත් සි‍රුරේ වකුගඩුවලට බරපතළව දැනේ.

පොටෑසියම්

පොටෑසියම් අඩංගු ආහාර අවම කළ යුතු අතර වකුගඩු රෝගියෙකුට අවශ්‍ය පෙටෑසියම් ප්‍රමාණය සාමාන්‍ය වශයෙන් දිනකට මිලිග්රෑම් 2500 සිට 1300 ටත් වඩා අඩු මට්ටමකට අඩුකළ යුතුවේ. මේ සංයෝගය ශරීරයේ මාංශපේෂී හා හෘදයේ ක්‍රියාකාරීත්වයට ඉතා වැදගත් නමුත් වකුගඩු රෝගියෙකුගේ රුධිරයේ පොටෑසියම් මට්ටම අධික ලෙස අඩුවීමත් වැඩිවීමත් සිරුරට ගුණදායක නොවේ.

වකුගඩු රෝගියෙකු පෝෂණවේදියාගේ උපදෙස් මත එළවළු, පලතුරු අවශ්‍ය ප්‍රමාණය ලබා ගත යුතුය.

සිරුරේ දියර පාලනය

වකුගඩු රෝගියෙකු රෝගයේ මුල් අවධියේ දී සිරුරට ගන්නා දියර පාලනය (ජලය හා අනෙකුත් දියර) අවශ්‍ය නොවුණද වකුගඩු රෝගයේ අවධි අනුව සිරුරට ලැබිය යුතු දියර වර්ග හා ප්‍රමාණයන් වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබන අතර පෝෂණවේදියා ඒ අනුව නිර්දේෂ කරනු ඇත.

වකුගඩු රෝගියෙකු තම ආහාරයේ කර ගත යුතු වෙනස්කම්

වකුගඩු රෝගියෙකුගේ රෝගී තත්ත්වයට අදාළව පෝෂණවේදියෙකු විසින් ලබා දෙනු ලබන ආහාර වට්ටෝරු ඒ ඒ රෝගියාගේ රුධිර පර්යේෂණවල රුධිරයේ ක්‍රියටනින් (creatinine) සමඟ රුධිර පෙරීයන ප්‍රමාණය (GRF), වයස් මට්ටම, ස්ත්‍රී / පුරුෂ බව, සිරුරේ ප්‍රමාණය හා අනෙකුත් වැලැඳී ඇති රෝගී තත්ත්වයන් අනුව ලබා දීම සිදු වේ. මේ අනුව බලන කළ රෝගියෙකුගේ වකුගඩු අකර්මණ්‍ය වී ඇත්නම් රුධිරය වකුගඩුවලින් පෙරීම (GFR) ක්‍රමයෙන් අඩුවේ.

එවන් අවස්ථාවකදී නිවැරදි ප්‍රමාණයන්ට සිරුරට අවශ්‍ය ප්‍රෝටීන, ශක්ති ජනක ආහාර හා අනෙකුත් ක්ෂුද්‍ර ‍පෝෂක පදාර්ථ වෙනස් කිරීම අනිවාර්යය වේ.

රෝගියෙකු වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට යන්නේ නම් ඒ සඳහා සූදානම් වන රෝගියා ද තමා ලබාගත යුතු ආහාර පිළිබඳ විශේෂ උපදෙස් ලබා ගත යුතුය. වකුගඩු රෝග‍ියෙකු තමා කිසිවිටෙකත් රෝගියෙකු ලෙස සිතා පශ්චත්තාප නොවී නිරෝගී පුද්ගලයකු තම සිරුරට අවශ්‍ය පෝෂණය ලබා ගන්නා සේ ඔහු හෝ ඇය ද තම සිරුරට අවශ්‍ය පෝෂණය නිසි පරිදි ලබා ගත යුතුය.

ප්‍රෝටීන්

වකුගඩු රෝගියෙකු දිනකට ලබා ගනු ලබන නිවැරදි ප්‍රෝටීන් ප්‍රමාණය මඟින් සිරුරේ මාංශ පේෂීන් හා පටකවලට අවශ්‍ය ශක්තිය ලැබේ. ඒ අනුව ප්‍රෝටීන් අඩංගු වර්ධක ආහාර ගැන අවබෝධයක් තිබීම වැදගත් වේ. නමුත් ශක්තිජනක ආහාරවල එනම් තෙල්, ජෑම්, ජෙලි, මාජරින් වර්ග, පිරිසුදු තෙල් වර්ග, මේදය, සීනි (දියවැඩියාව සහිත රෝගීන්ට මෙය වෙනස් වේ.) වැනි ආහාර සියයට 30 සිට 35 දක්වා අතර ප්‍රමාණයක් ගණනය කිරීම් මත පෝෂණවේදියා විසින් නිර්දේශ කරනු ඇත.

විටමින් හා ඛනිජලවණ

විටහින් හා ඛනිජ ලවණ වර්ග විශේෂයෙන් ම ආහාරයෙන් ලබාගත යුතු වුවත් වකුගඩු අක්‍රියවීමේ රෝගී තත්ත්වයේදී ආහාර පාලනයකට ලක්වෙන බැවින් රෝගීනට විටමින් ඌනතා සිදුවිය හැකිය. එමෙන්ම සමහර විටමින් වර්ග පිටතින් ලබා ගැනීම අත්‍යවශ්‍ය වනු ඇත. එහෙත් හිතු මනාපයට විටමින් ලබා ගැනීම ද නොකළ යුතුය.

ලුණු

ඔබගේ ආහාරයේ ඇති ලුණු ප්‍රමාණය ඔබට ලැබෙන්නේ ආහාරයට එක්කර ගන්නා ලුණු හා ආහාරයේ අන්තර්ගතව ඇති ලුණු ප්‍රමාණය එසේ නොමැති නම් සෝඩියම් මතය. මෙහිදී විශේෂයෙන් සෝස් වර්ග, ටින් කරන ලද ආහාර වර්ග, අධිශීත කරන ලද ආහාර, සැකසූ මාංස (හැම් බේකන්, සොසේජස්), ලුණු තැවරූ බිස්කට් වර්ග, රෙස්ටුරන්ට් හා හෝටල් මඟින් ලබා ගන්නා ආහාරවල මොනෝ සෝඩියම් ග්ලූටා මේට් අඩංගු විය හැක. වියළි කර පැකට් කර ඇති සුප් වර්ග ලබා ගැනීමේ දී විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ලුණු වෙනුවට ඒ රසය ගැනීම සඳහා ස්වාභාවික රස කාරක අපගේ මුළුතැන්ගෙයි නැතුවා නොවේ. එලෙසම පොස්පරස් අධික ලෙස තිබෙන ආහාරවල කිරිසහ කිරිවලින් සෑදු ආහාර වර්ග, ධාන්‍ය රනිල කුලේ ඇට වර්ග, කෝලා බීම වර්ගත්, චොකලට් අඩංගු බීම වර්ගවලින් වකුගඩු රෝගීන් ප්‍රවේසම් විය යුතුය.

කැල්සියම්

කැල්සියම් සිරුරට අවශ්‍යම අතර මෙය සිරුරේ අස්ථිවල සවිමත් භාවය රඳවා ගැනීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. මේ සඳහා ඔබගේ වෛද්‍යවරයා ලබා දෙන කැල්සියම් හා විටිමින් ඩී අඩංගු අමතර පෙති වර්ග ලබා ගැනීමට සැලකිලිමත් වන්න.

වකුගඩු රෝගී ඔබට උපදෙස්

* ඔබේ වෛද්‍යවරයා නිසි වේලාවට හමුවෙන්න.

* ඔබගේ වෛද්‍යවරයා දෙනු ලබන ඖෂධ නිසි ලෙස ලබා ගන්න.

* ලියාපදිංචි වූ පළපුරුදු පෝෂණවේදියෙකුවෙත ගොස් උපදෙස් ලබා ගන්න.

* පෝෂණවේදියාගෙන් නිවැරදි ආහාර වට්ටෝරුවක් ලබා ගන්න.

* හැකි හැම විටම ඔබ ලබා ගන්නා ආහාර පිළිබඳ නිවැරදි වාර්තාවක් දින සටහනක් සලකුණු කරන්න.

* ශරීරයේ වයසට, උසට, ස්ත්‍රී පුරුෂ භාවයට ගැළපෙන ලෙස සිරුරේ බර පවත්වා ගෙන යන්න. බර කිරන්න.

* ඔබගේ බර වැඩි වන්නේ නම් හෝ අඩු වන්නේ නම් ඒ පිළිබඳ අවධානයෙන් සිටින්න.

* ඔබගේ බර එක්වරම වැඩි වන්නේ නම් ඔබගේ රුධිර පීඩනය වැඩිවීමේ ප්‍රශ්නයක් තිබිය හැක. එවිට වෛද්‍යවරයා කරා නොපමාව යොමුවන්න.