ජාලගත ගේම් දෙන නෙට්‌ වර්ක්‌ මාෆියා

0
875

කාලෙන් කාලෙට එන වසංගතේ නැහැ අඩු පාඩු කියා කලකට පෙර සිටම සිංදුවකින් අපට මතක්‌ කරන්නේ නිහාල් නෙල්සන් නමැති සංගීතවේදියායි. ඔහු එදා ඒ කිව්වේ කුඩු වැනි මත්ද්‍රව්‍ය ගැනමුත් අද අප කතා කරන්නට යන්නේ කාලෙන් කාලෙට එන නොව කාලයක්‌ තිස්‌සේම අප රටේ පාරිභෝගිකයා ගසා කන ජාල ගත අළෙවිකරණය හෙවත් නෙට්‌ වර්ක්‌ මාකටිං මාෆියාව ගැනයි.

බොහෝ අයෙක්‌ මේ ඉහතින් කියන වෙළඳ මගඩියේ නමින් එය නොදන්නවා වුනාට මෙයට අසුවී හෝ අසුවෙන්නට ගොස්‌ බේරෙන්නට ඇති බව නම් ස්‌ථිර වශයෙන්ම අපට කිව හැකිය.

කරින් බර අරන් එන දොරින් දොර වෙළෙන්දන් මෙන් මෙවැනි ජාලගත වෙළෙන්දෝ ජෝඩු පිටින් හෝ රංචු පිටින් ඔබ සොයා එන්නේ නැත. ඔවුන් එන්නේ තනි තනිවම හොඳින් ඇඳ පැළඳගෙන වැදගත් පෙනුමක්‌ සහිතව වාහනයකින් හෝ ත්‍රිරෝද රියකිනි. සමහරු ගෘහස්‌ථ මට්‌ටමෙන් දන්නා කියන අය අතර මෙම ක්‍රමය ව්‍යාප්ත කරගෙන යයි. තවත් අය තමා රැකියාව කරන හෝ සේවා කටයුතු කරන ආයතනය සමාජය සංගමය ඇතුලේ මෙම වෙළඳ ක්‍රමය පතුරවයි.

කවුරු කෙලෙස කළ ද මෙතුළින් වන්නේ අනිකා රවට්‌ටා යම් වෙළඳ නිෂ්පාදිතයක්‌ ඔහුගේ හෝ ඇයගේ ඇඟේ ගසා අවසානයේ එසේ රැවටීමට ලක්‌ වන අයවද මෙම රවටන ක්‍රියාවලියේ හවුල් කාරියක්‌ හෝ හවුල් කාරයෙක්‌ කර ගෙන ඒ පාර්ශවයද තම ජාලයට නතු කරගෙන දිගටම රැවටිලිකාරි ක්‍රමවේදය ඉදිරියට ගෙන යාමයි.

මෙම ජාලගත වෙළඳකරණයේ යෙදෙන ප්‍රායෝගික නියෝජිතයන් වන්නේ බොහෝ විට බවලතියකි. ඒ කියන්නේ ස්‌ත්‍රියකි තාරුණ්‍ය යන්තමින් ඉක්‌මවින් ඉන්නා අයත් මැදිවියට ආසන්න අයත් ඒ කියන්නේ 30 සහ 50 අතර මනා පෙනුමැති සිත් ඇදගන්නා සුලු හොඳ කථිකත්වයක්‌ සහ කොමල පාන ඔමරි කරන හැඩයක්‌ ඇති කාන්තාවන් මෙම ක්‍රමවේදයට වඩාත් යෝග්‍ය නිසා එවැනි අයව හැකිතාක්‌ තම වෙළඳ ජාලය තුළ රඳවා ගන්නටත් උන්ව දිගටම ඉදිරියට යාමටත් ජාලයේ හිමිකරුවන් සහ පරිපාලන මට්‌ටමේ අය ආසාවක්‌ දක්‌වයි.

අප දන්නා පරිදි මෙවැනි ජාලගත ව්‍යාපාර අප රට තුළ විසි ගාණක්‌ පවතී. සමහරවිට අප නොදන්නා ඒවාද ඇති නිසා එහි නියම එකතුව කොතරම්දැයි නිශ්චිතව කිව නොහැක. නමුත් මෙම ව්‍යාපාර වලින් බහුතරයක්‌ම අන්තර්ජාතික මට්‌ටමේ එනම් විදේශීය හිමිකරුවන් විසින් පවත්වාගෙන යන අපගේ මුදල් පිටරටට පොම්ප කරන කූට ජාවාරම් බව නම් කිව හැකිය

තියැන්ස්‌ නමින් චීන සමාගමක්‌ විසින් අප රටේ මෙවැනි ජාලගත ජාවාරමක්‌ පවත්වාගෙන ගිය අතර වරක්‌ මගේ බිරිඳ රේණුකාද එහි වෙළඳ නියෝජිත තරුණියකගේ සූක්‍ෂම සුරංගනා වචන වලට අසුව රුපියල් පන්සීයක්‌ පමණ වටිනා හිස පීරණ පනාවක්‌ රුපියල් දස දහසක්‌ දී මිලට ගත්තාය. ගූගල් වෙබ් සේවයටත් වඩා කරුණු කාරණා දන්නවා යයි සිතන ඇයද මෙවැනි තක්‌කඩිච්චියකට අහු වුණා නම් අන් අය ගැන මොන කතාද යන්න කියා කියන්නටද කැමැත්තෙමි. (ඇය නම් කියන්නේ නොදැන නිසා නොව අර තරුණියගේ හිත රිදවන්නට නොහැකි නිසා ගත්තා කියායි) එදා ඒ බැටරියක්‌ සහිත සිහින් සුදු යකඩ කූරු ඇති හිසේ තැබූ සැනින් රතු බල්බයක්‌ පත්තු වන හුqරුබුහුටි ඝන අඩු රවුම් හැඩැති පුදුම පනාව රේණුකාගේ ඇඟේ ගසා ඒ තරුණිය කියා ඇත්තේ තව මෙවැනි පනා සහ රුව ලස්‌සන කරන චීනයෙන් ආනයනය කරන ලද වෙනත් බොහෝ දේ අප ආයතනයේ තිබෙනවාය ඔයත් පුළුවන් නම් තව කාව හරි. කීප දෙනෙක්‌ සොයා ඒ අයට මේවා විකුණා දෙන ලෙසත්ය. එසේ වික්‌කොත් ආයතනයෙන් අප දෙදෙනාටම හොඳ කොමිස්‌ මුදලක්‌ ලැබෙන බවත්ය. මා දන්නා පරිදි එදා එම ජාලගත ව්‍යාපාරය මා බිරිඳ අතින් බිඳී ගිය අතර ඒ ජාවාරමට අහුවෙන්නට ගිය තවත් කීප දෙනෙක්‌ම ඉන් බේරුණි. අද මා මේ ගැන බිය නැතිව ලියන්නේ මේ දවස්‌ වල රේණුකාට මා ලියන ලිපි අහුවන්නට තියන්නේ නැති නිසාය අපේ සිවු හැවිරිදි පුත් මහිම් මා ඉහත කී අරුම පුදුම පනාව ඔහුගේ සෙල්ලං බඩු පෙට්‌ටියේ දාගෙන ඉඳහිට ඉන් සෙල්ලං කරන අතර ඔහු සිතන්නේ එය අහසින් වැටුණුq පියාඹන පීරිසියක්‌ බවයි. ඒ ඉඳහිට එහි නිමි නිමී පත්තු වෙන රතු කුඩා බල්බය නිසයි.

මා ඉහත නම් කී ආයතනයේ එවැනි මැජික්‌ පනාවලට අමතරව මුහුදු ශාක සහ මුහුදු පතුලේ වැවෙනවා යයි කියන තණකොළවලින් නිපදවනවා යයි කියන විටමින් පෙති වර්ග රූපලාවන්‍ය වර්ධනය කර ශාකමය ඖෂධ දියවැඩියාව, රුධිර පීඩනය, කොලස්‌ටරෝල්, ඇදුම ආදිය නිට්‌ටාවට සුව කරන අර කී පනා වැනි වෙනත් ගැජමන්ට්‌ සහ අද වෙළඳපළේa ඇති එළවළු පළතුරුවල අධික ලෙස කෘමිනාශක ඇති නිසා ඒවා උයන්නට පෙර සෝදන්නට උපයෝගි කරන විසබීජ නාශක දියර වැනි දේද සපයනු ලබයි. මේ වෙළඳ භාණ්‌aඩ වල ක්‍රියාකාරත්වයේ ඇත්තක්‌ හෝ බොරුවක්‌ තිබුණද ඒවායේ මිල ගණන් නම් ඉතා අධිකය. සමහර ඒවා දහ පහළොස්‌ දාස්‌ ගාණකිs. මෙම ව්‍යාපාරයට සම්බන්ධ නියෝජිත තරුණියන් ඔමරි පපා ඇස්‌ නළවා කන් සොලවා නිතඹ සලා විස්‌තර කරන නිසා ඕනෑම මෝඩයෙක්‌ දෙවරක්‌ නොසිතා ඒවා මිලට ගනී. පැයකින් දෙකකින් හෝ දවසකින් ඔහුට හෝ ඇයට ඇත්ත තේරෙන විට ප්‍රමාද වැඩිය. ඒ නිසා උන් කරන්නේ තවත් කවුරු හෝ අන්දවා මොනවා හෝ වෙළඳ භාණ්‌aඩයක්‌ උන්ගේ ඇඟේ ගසා ආයතනයෙන් කොමිස්‌ මුදලක්‌ ලබා ගැනීමයි. රුපියල් පන්සීයක්‌ හෝ දාහක්‌ වටිනා දෙයක්‌ අතිශයෝක්‌තියෙන් වර්ණනා කර වැඩි වටිනාකමක්‌ පෙන්වා රුපියල් දස දහසක්‌ වැනි මුදලකට කාගේ හෝ ඇඟේ ගැසීම තුළිsන් සියයට සියයක ලාභයක්‌ ලබනවා සේම එයට දායකවන කෙනාට කොමිස්‌ මුදලක්‌ දීමද ඉන් කළ හැකි නිසා මෙම ජාලගත වෙළෙන්දෝ ඉතා සතුටින් තම ගේම ගහගෙන යති.

මෙම වෙළෙඳ භාණ්‌ඩ වැඩි මුදලට අලෙවි කරන බොහෝ සංවිධාන තම ස්‌වේච්ඡා සේවා මඬුල්ල වෙනුවෙන් මාස්‌පතා වාග් කුසලතා පෞරුෂය සාරධර්ම මවු පිය කෘතගුණ ආචාරධර්ම වැඩි දියුණු කිරීම වැනි මාතෘකා යටතේ වැඩමුලු හෝ පන්ති පවත්වයි එම ජාලය තුළිsන්ම මතුවී ක්‍රමය අල්ලාගත් දක්‌ෂ කට සැර රූප සොබාවෙන් ඉදිරියේ සිටිනා තරුණයෙක්‌ හෝ තරුණියක්‌ මෙම වැඩමුළුවේ සම්පත් දායකයා හෝ ප්‍රධාන දේශකයා වෙයි. මේ වැඩමුළු තුළ ඔවුන් කිසි විටෙක තම වෙළෙඳ භාණ්‌ඩ ගැන කතා නොකරයි. ඔවුන් මවු ගුණ රැගත් ගීත දේශාභිමාන ගීත ප්‍රේමය සෙනෙහස ආදි දේ ඉස්‌මතු කොට තරුණ තරුණියන්ගේ හැඟීම් උලුප්පා ඔවුන්ව තව තවත් තම සංවිධානය වෙත බන්දවා ගැනීsමට අභිප්‍රේරණයක්‌ ලබා දෙයි.

මෙතැන වන්නේ කුමක්‌දැයි බලනු පිණිස වරක්‌ දෙකක්‌ මාද මගේ මිතුරු සෙවණේa රැස්‌වීම් ශාලාව මෙවැනි කණ්‌ඩායමක වැඩමුළුවක්‌ සඳහා සහනදායි මිලකට ලබා දී ඒ අතරට වැද සියල්ල සාවධානව අසා සිටි අතර එදා එහි ප්‍රධාන කථිකයා තුළ තිබූ අනුන් ඇන්දවීමේ හැකියාව සහ සහභාගිවෙන්නාට නැති දෙයක්‌ මවා පෙන්වන පරිකල්පන ශක්‌තිය ඉහල මට්‌ටමක තිබුණු බව නම් දිටිමි. වැඩමුළු අවසාන වෙද්දීත් ආදරයේ උල්පත වූ අම්මා කියන සිංදුව වාදනය කරන්නට සලස්‌වා ඇස්‌ වසා ගෙන එයට ඇහුම්කන් දෙන ලෙස පිරිසට කියූ අතර ගීතය අවසානයේ එහි සිටි තරුණ, ලාබාල, මැදි වයස්‌, කලටි සයිස්‌ සහ මෝරපු ලලනාවන් ඉකිගසමින් හඬන ලද අයුරුත් තරුණ දේශකයා වෙත ගොස්‌ ඔහුගේ ගෙල, දෙපා, පපුව බදාගෙන හොටු පෙරමින් වැළපුනු අයුරුත් මට තාම මැවී පෙනෙයි

ගිය වසරේ අග භාගයේ දිනක මට ගුවන්තොටුපලකදී ඒ හාදයා අහම්බෙන් මුණ ගැසුණු අතර ඔහු දැන් නිතර නිතර චීනයට යන එන වෙළෙඳ ව්‍යාපාරිකයෙක්‌ බව දැන ගන්නට ලැබුණි. ඔහු මා සමග කියූ සමහර කරුණු අතරින් මදක්‌ අමිහිරි වුවද මෙම ලිපියට වැදගත් යයි සිතන දෙයක්‌ ද මෙසේ සටහන් කරමි.

“අයියෙ ඒ වර්ක්‌ෂොප් වලිනුයි ට්‌රේනිං වලිනුයි මං තරං වැඩ ගත්ත වෙන කවුරුත් නැහැ. කොම්පැණිය මට හොඳට ගෙව්ව කොමිස්‌ සල්ලි ලක්‍ෂ ගණන් ගලාගෙන ආව. අනික්‌ කරුණ තමයි වැඩ සටහනට සහභාගි වුණ අක්‌කිල ඇන්ටිල හත් අට දෙනෙක්‌ම හෝටල් වලට ගිහින් මාත් එක්‌ක බුදිය ගත්ත කෙල්ලො වශයෙන් ආපු නංගිල දෙතුන් දෙනෙක්‌ මගේ අතින් ගෑනු බවටත් පත් වුණා”.

මට ඔහු හමුවුණේ ජනාකීර්ණ ගුවන් තොටුපලකදී නිසා වැඩි යමක්‌ කරන්නට මට අවස්‌ථාව නොතිබුණ ද වාක්‍ය කීපයකින් ඔහු කළ සහ කරන අමන ජඩ දේ ගැන කියා දෙන්නටත් සමුගෙන යාමට මත්තෙන් ඔහු මට දිගු කළ දකුණු අතට මගේ වම් අත දී සාගරයක්‌ මැද චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා කී අයුරින්ම “සාමාන්‍යයෙන් මම දකුණත දෙන්නේ මහත්තුරුන්ට වමත පාවිචිචි කරන්නේ පස්‌ස හෝදන්න” කියා කියන්නටත් අවස්‌ථාව උදා කරගතිමි.

යුරෝපයට අයත් ස්‌කැන්ඩිනේවියන් රටක නිෂ්පාදනය කරන සුවඳ විලවුන් නිය, තොල් ආලේපන සබන් රූපලාවන්‍ය ද්‍රව්‍ය ආදි දේ මෙවැනි ජාලගත ක්‍රමයට අලෙවි කරන ආයතනයක්‌ ගැනද මම හොඳින් දනිමි. එය ඉතාම උසස්‌ අන්දමින් රටට සමාජයට වැදගත් මුහුණුවරක්‌ පෙන්වමින් වසර ගාණක්‌ තිස්‌සේ පවත්වාගෙන යයි. බොහෝ රූපලාවන්‍ය ශිල්පීන් නගන ප්‍රධාන චෝදනා වන්නේ යුරෝපයේ නිපදවන දේ ඒ රටේ දේශගුණයට සහ ඒ අයගේ සමට ගැලපුණාට අපේ රටේ අයට ගැලපෙන්නේ නැති බවයි. මෙය වෙනම කතාවකි, නමුත් මෙම සංවිධානය තුලත් අමුතුම මාෆියාවක්‌ පවතින බව අපට තේරෙයි

සාමාන්‍යයෙන් ලොව ඕනෑම රටක හොඳම තත්වයේ සුවඳ සහ ඖෂධීය සබන් කැල්ලක්‌ අලෙවි වන්නේ වැඩිම වුණොත් ඩොලරයකට හෝ ඊට ආසන්න වූ මුදලකටය. එනම් රුපියල් එකසිය තිස්‌ පහකට හෝ ඊට ආසන්න අගයකටය. නමුත් මා මේ කියන සංවිධානයේ අලෙවි නියෝජිතවරියන් අලෙවි කරන අඩුම අගය ඇති සබන් කෑල්ලක්‌ රුපියල් තුන්සීයකට ආසන්න අගයක්‌ ගනී. අප රටේ වෙසෙන මෝඩ ගැහැනුන්ද ඒවා එක පයින් මිලදී ගනී. එම සබන් කෑල්ල විකිණීමෙන් ලබන අධික ලාභයෙන් සියයට තිහක්‌ පමණ අලෙවි නියෝජිතවරියට යන අතර ඉතිරි සියල්ල අර කී සංවිධානයටයි. ඉන් බහුතරයක්‌ යන්නේ යුරෝපයේ පිහිටි මවු සංවිධානයටයි සබන් කෑල්ලක්‌ රුපියල් දෙසීයක්‌ තුන්සීයක්‌ වුණාට වෙනත් ආලේපනයක්‌ පවුඩර් ටින් එකක්‌ මුහුණ සෝදන දියරයක්‌ විටමින් යයි කියන පෙති පැකට්‌ටුවක්‌ අලෙවි වන්නේ දහස්‌ ගාණකටය. අපේ ගැහැනුද නියෝජිතවරියන්ගේ මුසා බස්‌ අසා මේවා දහස්‌ ගණන් දී මිලට ගනිති. එපමණක්‌ නොව කණිෂ්ඨ අලෙවි නියෝජිතයන් ලෙස සංවිධානයට හවුල්ව මෙම ජාලගත පාපකර්මට සහය දෙති. අසරණ මෝඩියන් රවට්‌ටති. කොමිස්‌ කති කෝටි ගණන් මුදල් යුරෝපයට හෝ වෙනත් ධනවත් රටවලට පොම්ප කිරීමට සහයෝගය දෙති.

කොතරම් වෙහෙසව වැඩ කළත් මේ ලාංකික නියෝජිතවරියන්ට රැකියාවේ ආරක්‍ෂාවක්‌ හෝ නෛතික රැකවරණයක්‌ නැත. නියමිත දිනට බැංකුව මගින් තම ගිණුමට බැර වන මාසික වේතනයක්‌ ලැබෙන්නේද නායකත්ව තලයට පැමිණෙන සීමිත පිරිසකට පමණි. ඒ වුවද ඔවුන්ටද අර්ථ සාධක විශ්‍රාම බෝනස්‌ බටා ආදිය නැත. නමුත් ජාලය තුළ විවිධ තනතුරු නම්බුනාම උසස්‌වීම් දෙමින් තරුණ ගැහැනුqන්ව මනාව අන්දති. වැඩියෙන් බඩු විකුණන වැඩියෙන් ජාලයට අලූත් අය බන්දවාගෙන ජාලය තර කරන ඒකීලාව කොම්පැනියේ අධ්‍යක්‍ෂවරියන් කරති. ඒ අතර රන් අධ්‍යක්‍ෂවරිය රිදි අධ්‍යක්‍ෂකවරිය දියමන්ති අධ්‍යක්‍ෂවරිය කියා තව තවත් ගැඹුරට අන්දවති මෙසේ පත්වන අධ්‍යක්‍ෂවරියට ඇති වගකීම් මෙන්ම සීමා බන්ධන සහ බැරියර්ද එමටය. ඇයට හෝ ඔහුට වෙනත් රැකියාවක්‌ කරන්නට වරම් නැත. ඔවුන් අලෙවි කරන වෙළෙඳ භාණ්‌aඩ තම නිවසේ හෝ වෙනත් ස්‌ථානයක ගබඩා කර ගෙන විකිණීමට ද අවසර නැත වෙළඳ දැන්වීම් හෝ වෙනත් සන්නිවේදන මාධ්‍ය මගින් ප්‍රචාරණ කර මෙකී නිෂ්පාදිතයන් අලෙවිකළ නොහැක. මේ සෑම දෙයක්‌ම කල යුත්තේ වෙළෙඳ නියෝජිතවරියගේ හෝ අධ්‍යක්‍ෂිකාවගේ කටේ බලයෙනි. මෙයද මහත් කපටිකමකි. සේවක ශ්‍රමය සූරාකෑමකි. ප්‍රචාරණයට ප්‍රවර්ධනයට යන මුදල් සංවිධානයට ඉතිරිවෙයි.

ස්‌වාධීන යයි කියා බඳවා ගත්තද අධ්‍යක්‍ෂකවරියක්‌ බවට උසස්‌ වීමක්‌ ලැබුණද ඒ අය සමාගමේ හෝ සංවිධානයේ නිත්‍ය ස්‌ථිර සේවකයෙක්‌ බවට ඔවුqන් පිළිsගැනීමටද මැලිවෙයි. නමුත් ආයතනයට ඔවුන්ගෙන් ලැබිය යුතු සේවය සහ ඉටුකළ යුතු වගකීම් නම් ස්‌ථිර සේවකයකුගේ තත්වයට වඩා බොහෝ ඉහළින් ඉටුවෙයි.

තවත් කරුණක්‌ වන්නේ කොයි වෙලේ තම රැකියාව අහිමි වේද කියා කියන්නටද නියෝජිතවරියන් දන්නේ නැත. සෑම විටකම සංවිධානය සහ වෙළඳ නියෝජිතයන් අතර මූල්‍ය ගනුදෙනු වන්නේ බැංකු ගිණුමක්‌ හරහා නිසා වේතන පත්‍රයක්‌ හෙවත් පේ ෂීට්‌ එකක්‌ සටහන් නොවෙයි. එමෙන්ම රැකියාවක්‌ කරන බවට එපොයින්ට්‌මන්ට්‌ ලෙටර් එකක්‌ හෝ වෙනත් නෛතික පිළිsගත හැකි ලියවිල්ලක්‌ නොලැබෙයි.

ජාතික අධ්‍යක්‍ෂක වරු අප් ලයිනර්ස්‌ හෙවත් ඉහළ තලයේ අයත් ඩවුන් ලයිනර්ස්‌ හෙවත් පහල තලයේ අයත් ස්‌වාධීන කොන්ත්‍රාත්කරුවන් සේවක බලකාය හෙවත් වර්ක්‌ ෆොaස්‌ යනුවෙන් විවිධ නම් වලින් මෙම සංවිධානයේ භාණ්‌ඩ විකුණන අයව අමතයි. බොහෝ කැපකිරිම් වලින් පසුව කාලයක්‌ ගිය තැන පහළ තලයේ අයෙකුට ඉහළ තලයට ළඟා විය හැකිය. ඒ සඳහා ඇය කළ යුතු ප්‍රධානම දෙය නම් කුමනාකාරයෙන් හෝ වෙළෙඳ භාණ්‌ඩයේ අලෙවිය වැඩි කර මුදල් වැඩියෙන් උපයා දීමයි පහළ තලයේ බඩු විකුණන දඟ කාන්තාවක්‌ හොඳින් ඒ දේ කරමින් වැඩි මුදලක්‌ ලබමින් ඉහළ තලයට ආසන්න වෙනවා නම් ඒ අයව කපා දමන්නටත් රැකියාව නැති කරන්නටත් වලි කන අප් ලයිනර්ලා මේවායේද නැත්තේ නොවේ. ඉන් ඔවුන්ට ලැබෙන එකම ප්‍රයෝජනය පහළිsන් එන ආදායම ඔවුන්ට Rජුවම ලැබීමයි.

මෙවැනි ජාලගත අලෙවිකරණ සංවිධාන කුමන අන්දමේ අසාධාරණයන් කළද කෙලෙස සේවක සේවිකාවන් ආතතනයෙන් නෙරපා දැමූවද අසරණ වන සේවකයන්ට නීතියේ සරණක්‌ නැති බව එසේ අසාධාරණයට ලක්‌වූ අය පවසයි. මෙවැනි අගතියට පත්වූ අය නීතිය ඉදිරියට ගියත් ඒ අයට එරෙහිව කරුණුq කියමින් තමන් හරි බව පවසන්නට එම සංවිධානය කුලියට ගන්නේ අති දක්‍ෂ සුප්‍රසිද්ධ නීති විශාරදයන්ය. එවැනි අය සමග හැප්පෙන්නට මුදල් නැති නිසා බොහෝ අය මුල් අවධියේම පෙරකලාසිය අකුළාගෙන සටන අතහැර දමති.

මෑතකදී සිට යළි යළිත් මෙවැනි අලුත් ජාලගත අලෙවිකරණ සංවිධාන රට තුළ බිහිවෙමින් පවතින බවට අපට තොරතුරු ලැබෙයි. ඒවායේ දැන් දැන් විකිනෙන්නේ සුවඳ විලවුන් හෝ සනීපාරක්‍ෂක තුවා පමණක්‌ නොව පරිප්පු කිලෝවේ සිට දඹදිව සංචාරය කරන ගුවන් ප්‍රවේශපත්‍ර බව දන්නෝ දනිති.

අවසන් වශයෙන් කියන්නට ඇත්තේ මෙකී ජාලගත ජංජාල වැඩ නිසා අවැඩක්‌ සිදුවන්නේ මුදල් වැඩියෙන් සොයන්නට ගොස්‌ දුකට පත්වන අපේ අක්‌කලාට අම්මන්ඩිලාට පමණක්‌ නොව රටේ ආර්ථිකයටද මහත් හානියක්‌ වන බවයි. අලුතින් පත්වූ ආණ්‌ඩුවේ ඇස්‌ මෙදෙසට යොමු වේවා යයිද කියන්නට කැමැත්තෙමි.

මිත්‍ර ශ්‍රී කරුණානායක
Source : Divaina