පුංචි ලෝකාන්තයක අසිරිය ලිප්ටන් සීට්‌

0
974

ලංකාව සුන්දර කඳුකරය සංචාරකයන් මවිතයට හා පත් කරන සුළු අසිරිමත් දර්ශනතලවලින් අනූන පෙදෙසක්‌. බොහෝ සංචාරකයන් ලංකාවට ඇදී එන්නේ මේ තරම් කුඩා රටක සැතපුම් සියයක්‌ ඇතුළත ඉතා අඩු දුරකදී ළ`ගා විය හැකි වෙනස්‌ දේශගුණික රටා ගැන සිතමින්. එමෙන්ම ලංකාවෙ කලාතුරකින් දක්‌නට ලැබෙන ඉතා මනරම් ස්‌ථාන ගැන ඔවුන් දක්‌වන්නේ මහත් උනන්දුවක්‌.

මේ පුර්වකථනය ලිව්වේ මෑතකදී මේ ලියුම්කරු ගිය අපේ රටේ එවැනි මනරම් කඳු මුදුනක ඇති අපූරු දසුනක්‌ ගැන කියන්නටය. කියන්නට යන කඳු මුදුනෙහි උස මුහුදු මට්‌ටමේ සිට අඩි 6000කටත් වැඩිය.

එය පිහිටුවා ඇති අසුන හඳුන්වන්නේ ලිප්ටන් සීට්‌ – Lipton Seat කියලයි. එය ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික විශිෂ්ට ගණයේ වැවිලිකරුවකුගේ නිර්මාණයක්‌. ව්‍යාපාරිකයකූ වගේම සෞන්දර්යවාදියකු වූ ලිප්ටන් මහතා, ඒබව ඔහු විසින් තෝරා ගෙන ඇති එම ස්‌ථානය මගින් මොනවට පැහැදිලි කරනව.

සොඳුරු බවින් නැහැවෙන මේ කඳු මුදුනේ ඔහු අසුනක්‌ පිළියෙල කර ඇත්තේ උදෑසනත් සන්ධ්‍යා කාලයේත් කඳුවැටියේ පහළින් දිස්‌වන සොබා සෞන්දර්යේ මිහිර විඳින්නයි.

liptonලිප්ටන් තෝමස්‌ ඉංග්‍රීසි ජාතිකයෙක්‌. 1848 මැයි 10 වැනි දා බ්‍රිතාන්‍යයේ ග්ලාස්‌ගොහි උපන් ලිප්ටන්ගේ කුඩා කාලය එතරම් සැපවත් එකක්‌ වෙලා නැහැ. ඔහුගේ දෙමාපියන් බොහෝ ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳි අය. ඔවුනට ග්ලාස්‌ගොහි කුඩා වෙළෙඳසලක්‌ තිබුණා. එහි අලෙවි කළේ හැම් බටර් හා බිත්තරයි. මේ නිසා ලිප්ටන්ට කුඩා කාලයේදීම නොයෙක්‌ රැකියාවල නියුතු වෙන්නට සිදුවුණා.

1864 දී ඔහු නැවක කැබින් බෝයි කෙනෙකු ලෙස සේවය කළ අතර අනතුරුව ගණකාධිකාරවරයෙකු, පොත් තබන්නෙකු, ගෙන් ගෙට ගොස්‌ භාණ්‌ඩ අලෙවිකරුවකු ලෙස සේවය කළා. ඉන්පසු නිව්යෝක්‌හි සහකාර තේ පරීක්‌ෂකවරයකු ලෙස ද වැඩ කළා.

1890 දී ලිප්ටන් ලංකාවට පැමිණෙන්aනේ වතු අධිකාරිවරයකු වූ ෙ-ම්ස්‌ ටේලර්ගේ ව්‍යාපාර කටයුත්තක්‌ සඳහායි. ඒ බ්‍රිතාන්‍ය පාලන සමයේදීයි. ලංකාවේ තේ වැවිලි ව්‍යාපාරය හා සම්බන්ධ වූ ඔහු, ලිප්ටන් වර්ගයේ තේ ලංකාවට හඳුන්වා දෙමින් දඹේතැන්න ස්‌ටේට්‌ Dambethenna Estate නම් දැවැන්ත තේ වතුයාය හා කර්මාන්ත ශාලාව ආරම්භ කළා. ඔහු මේ සඳහා පූනගල කඳු යායෙන් අක්‌කර 925 ක භූමියක්‌ ලබා ගත්තා. ඔහු තෝරා ගත්තේ පූනගල කඳු යායේ ඉතා සුන්දර බිම් පෙදෙසක්‌. කඳුයායේ මුදුනට ඔබ ළඟා වුවොත් ඔබ තවත් ලෝකාන්තයකට පැමිණියාක්‌ මෙන් ඔබට දැනේවි.

පූනගල කඳු මුදුන පිහිටා ඇත්තේ මුහුදු මට්‌ටමේ සිට අඩි 6000 ක තරම් උසකින්. එය අංශක 360 ක දර්ශනතලයකින් යුක්‌තයි. මේ කඳු මුදුන දුටු ලිප්ටන් එහි ඇති මායාකාරී මනස්‌කාන්ත දර්ශනයෙන් වශී වී ගියා. එම දර්ශනයට ඇළුම් කළ ඔහු විවේකයේදී එහි සිට එය නැරඹීමට අසුනක්‌ පිළියෙල කළා. එයට ලිප්ටන් අසුන Lipton Seat යයි නම් කළා.

ඔබ එම ස්‌ථානයට ළ`ගා වුණ දිනයේදී අහස ඉතා පැහැදිලිව තිබුණොත් ඔබ වාසනාවන්තයි. එසේ වුවහොත් ඔබ මවිත කරවමින් ඉතා දුරින් දිස්‌වෙන ත්‍රිකුණාමලය, මඩකලපුව, බදුල්ල, රත්නපුර, මොනරාගල, මාතර හා දෙවිනුවර, ආදී නගර ඔබට දැකගත හැකියි. එහෙත් අවාසනාවකට මීදුමෙන් හෝ වලාකුළින් අහස වැසී තිබුණොත් කිසිවක්‌ දැකගත හැකි වෙන්නේ නෑ.

එම දර්ශන නැරඹීම සඳහා හොඳම වෙලාව වන්නේ හිමිදිරි උදෑසනයි. උදේ 7 වන විට මිඳුම් ගැලීම ආරම්භ වී 8 හෝ 9 දක්‌වා පවතිනවා.

ගමන ආරම්භ කළ යුත්තේ හපුතලේ නගරයෙන්. එය ඌව පළාතේ බදුල්ල දිස්‌ත්‍රික්‌කයට අයත් මුහුදු මට්‌ටමින් අඩි 4695ක්‌ උසින් පිහිටි සංවර්ධනය වෙමින් පවතින නගරයක්‌.

ලිප්ටන් අසුන පිහිටි ස්‌ථානයට යැමට හපුතලේ නගරයේ සිට කි.මි 18 ක දුර ප්‍රමාණයක්‌ තිබනවා. දඹේතැන්නට කි.මි 9.5ක්‌ද එතැන් සිට කි.මි 9 ක්‌ද යා යුතුයි. කඳුවැටිය වටා බෑවුම ඔස්‌සේ කවාකාරව ඉහළ බලා දිවෙන මාවත දිගේ යන විට දකින්නට ලැබෙන දර්ශන සිනමා පටයක රූප රාමු මාරු වෙන්නාක්‌ මෙන් වෙනස්‌ වෙමින් ඇසට අසුවෙනවා.

ළා හිරු එළිය වැටී හරිත වර්ණයෙන් බබළන තේ පඳුරු අතර කඩිසරව දලු නෙලන ළඳුන් ද නිල් අහසේ පාවෙන සුදුපැහැති වලාකුළු ද දකිමින් මේ යන ගමන අහස්‌ ග`ග දිගේ සුර ලොව යන ලෙසක්‌ දැනුනොත් එය පුදුමයක්‌ නෙවි.

යාබද කඳු බෑවුමේ ඇති ලැයින් කාමර හා කුඩා නිවාස කුරුමිට්‌ටන්ගේ ජනපද නිවාස වගෙයි දිස්‌වෙන්නේ.

ගමන නම් බොහොම සුන්දර තමයි. ඒත් යන්නේ ඉතා උසින් පිහිටි කඳු ගැටියක නිසා තරමක්‌ අවදානම් බවකුත් නැතැයි නියන්න බැහැ. මාර්ගය බෙහෙවින් පටුයි. වාහන දෙකක්‌ මාරුවීම පරෙස්‌සමින් කළ යුතු වෙනවා.

රියදුරා මනාව පුහුණුව ලත් පලපුරුදු අයෙකු වීම අනිවාර්යයි.

යන මාර්ගයේ කඳුවැටිය පැත්තේ බැඳ ඇති ගල්බැමිවල තැනින් තැන සුදු පිරියම් කළ චතුරස්‍රාකාර කොටුවල පරිසරය හා මිනිසා අතර ඇති අවියොජනීය සම්බන්ධතාවය හා පරිසරයෙහි හා ජලයෙහි ඇති වටිනාකම දැක්‌වෙන රුවන් වැකි ඉංග්‍රීසි බසින් ලියා තිබෙනවා. ලිප්ටන් මහතා නිකම්ම ව්‍යාපාරිකයකු පමණක්‌ නොව කලාකාමි පරිසරවේදියෙකු බව ඉන් කියා පානවා.

අප ලිප්ටන් අසුන කරා ළ`ගා වූයේ පැය එකහමාරක පමණ ගමනකින් පසුවයි. අපට දැනුනේ අප කිසිදාක නොපැමිණි ලොවකට පැමිණ ඇති බවයි. අප කතා බහින් තොරව මවිත වූ ඇස්‌ ඇතිව අවට බලන විට අප දුටුවේ කඳුමුදුන සමස්‌ථ අහස්‌තලය විසින් වටකර ඇති බවයි. බිම බලන විට දුටුවේ පතුළ නොපෙනෙන ගැඹුරු ප්‍රපාතයක්‌ පහතින් ඇති බවයි. ලිප්ටන් අසුන ඉදිකර තිබුණේ කඳු වැටියේ ඉදිරියට නෙරා ගිය කොටසකයි.

මෙහි ඇත්තේ සුළෙ`ග් ඇති මුණු මුණුව පමණයි. අන් කිසිම හ`ඩක්‌ නැහැ. සියොතුන් මෙහි සරන්නේ නැහැ. කිසිදු මලක්‌ පිපුණු ළකුණකු=දු නැහැ. අධික සීතල ගත ගල් කරලා. මෙලොව ඉන්නා එකම මිනිසා තමාය පමණක්‌ යන හුදකලා හැ`ගීමක්‌ සිත තුළට පිවිසෙනවා. තමා නිදහස්‌. කිසිවක්‌ හිමි නැහැ. අයිතිය තබා ගැනීම දුකක්‌ බව පසක්‌ වෙනවා. සිත නිදැල්ලේ වලාකුළු සමග අහසේ පාවී යනවා. ගත පුළුන් රොදක්‌ මෙන් සැහැල්ලුවට දැනෙනවා. එය පොළොවෙන් ඉහළට ඇදී ගොස්‌ අහස්‌තලයේ රැඳී සිටිනවා වාගේ.

ලිප්ටන් අසුනේ ඉඳ විදේශීය පෙම් යුවළක්‌ පිළිසඳරෙහි යෙදෙනු පෙනෙනවා. ඔවුන් පැමිණි යතුරු පැදිය අසල නවත්වා තිබෙනවා.

‘අපි තායිලන්තයෙන්. ඔබේ රට හරි ලස්‌සනයි’

අසල ඉහළින් කඩ පුංචක්‌ තියනවා. උණු උණුවෙ රොටි කා උණු තේ බීමට ඔවුන් අප සමග එකතු වූණා. හදිස්‌සියේම අසල පඳුරු අතරින් වඳුරු කොල්ලකරුවකු එක විටම අපේ රොටියක්‌ රැගෙන පැන ගියේ අප භීතියටත් විනොදයටත් පත් කරවමින්.

ආපසු එද්දී මට සිතුණේ සඳ පහන් රාත්‍රියක නම් මෙතැන මොනතරම් රමණිය වෙත්දැයි යන්නයි. අර තේ වැවිලිකරු ගල් පවුරෙහි ලියා ඇති එක්‌ වැකියක්‌ද මගේ සිතේ සටහන් වුණා. ඒ මෙසේයි.

”මිනිසෙකු යහපත් අයෙකු වීමට සිතන්නේ නම් ඔහු විසින් ඉටු කළ යුතු ප්‍රථම කාර්යය වන්නේ සත්ත්ව හිංසාවෙන් වැළකීමයි. අප ජීවත්වන භූමිය එකම සමාජයක්‌ ලෙස සිතමින් එය ආදරය හා ගෞරවය පැතිර වීමට යොදා ගත යුතුයි.”

ලීලානන්ද වික්‍රමසිංහ
Source : Divaina