අපේ මනාපය ඔහුටය

0
703

අවුරුදු පැමිණි බව පවසන්නේ කොහායි. ජන්දය පැමිණි බව පවසන්නේ කෝලාහලයයි. අතින් පයින්, ගලෙන් මුගුරෙන්, කිනිස්‌සෙන් කඩුවෙන්, උණ්‌ඩයෙන් බෝම්බයෙන් ක්‍රියාවට නැංවෙන කෝලාහලය අවසානයේ ඇසට ඇසක්‌ හෝ හිසට හිසක්‌ ඉල්ලන තැනට පැමිණේ. බොහෝවිට එම තත්ත්වයට මුහුණදෙන්නේ ඉස්‌මුරුත්තාවට එන තරමට ‘ජන්ද උණ’ වැළඳුණු උදවියයි. නමුත් ඉන් මෙහා, ජන්දයක දායකත්වය ජන්ද අයිතියට පමණක්‌ සීමා වූ අහිසංක සාමාන්‍ය ජනතාව අමු අමුවේ පීඩා විඳි ජන්ද කෝලාහලයන්ද විය. ඒ වනාහි මහ පාන්දර සිට රෑ දෙගොඩහරියාමය දක්‌වා තොරතෝංචියක්‌ නොමැතිව යකඩ කටවල්වලින් මුදාහරින මනාප අංක රාවයයි. එය ජන්ද අපේක්‍ෂකයාට ජය සක්‌හඬක්‌ වුණිද, බහුතර සත්ත්වයාට එකම කන්දොස්‌කිරියාවක්‌ විය. මනාප අංකය පමණක්‌ නම් කම් නැත ‘දක්‍ෂ, අවංක, එඩිතර, කාර්යශූර, බුද්ධිමත්……..’ ආදී සිංහලේ අගනා වචන ලැයිස්‌තුවක්‌ ජන්ද සමයේදී මෙලෝ රහක්‌ නැතිව, කන්වලට වද දෙමින් ‘හෝල් සේල්’ විකිනුණි.

නමුත් දෙයියනේ කියා මෙවර මැතිවරණය කනට අමාරුවක්‌ නැත. සුවසේ අවදිවීමටද, සුවසේ නින්දටයැමටද හැකි මෙවන් ජන්ද සමයක්‌ ඉතිහාසයේ නොතිබූ තරමකි. වෙනදා ඇසෙන ශබ්ද කෝලාහලය මෙවර නැත. ප්‍රසිද්ධ රැස්‌වීමක හැරුණු විට ‘ලවුඩ්ස්‌පීකර්ස්‌ ‘ භාවිතය සඳහා අවසර නැත. එනිසා මේ අප ගෙවමින් පවතින්නේ ජන්ද සමයක්‌ යෑයි නොසිතෙන තරමේ නිසලතාවයක්‌ අවට තිබේ. අප අත්විඳින මේ නිස්‌කලංකයේ ගෞරවය පළමුව හිමිවිය යුත්තේ මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතාටය.

මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී මැතිරණ කොමසාරිස්‌වරයා විසින් ගෙන ආ නීති අතරින් බහුතරය ක්‍රියාත්මකභාවයට පත්කිරීමටද එතුමාට හැකිවිය. වෙනදා නීති තිබුණද ආණ්‌ඩු බලය ඇති අය මෙන්ම ආණ්‌ඩු බලය නැති අය විසින්ද හරිහරියට ඒවා උල්ලංඝනය කරන ලදී. නීතිය බොහෝ විට වචන හෝ වගන්තිවලට පමණක්‌ සීමා විය. නමුත් මෙවර නීතිය බොහෝ දුරට ‘නීතිය’ ලෙසින් ක්‍රියාත්මක වීමට පටන්ගෙන තිබේ.

නමුත්, ඉකුත්දා කොළඹ බ්ලුමැන්ඩල් පාරේ සිදු වූ වෙඩිතැබීමේදී එතෙක්‌ ගෞරවයට පාත්‍රවූ නීතියේ ක්‍රියාත්මකවීම තරමක්‌ අභියෝගයට ලක්‌විය. මන්ද එම වෙඩිතැබීම සිදුවන විට ජන්ද ප්‍රචාරක කටයුතුවලට යමින් සිටි හෙවත් ‘කැන්වසින්’ යමින් සිය ගණනක්‌ එහි සිටි බවට පසුව වාර්තා පළවන්නට විය. එහෙත් කැන්වසින් යන කණ්‌ඩායමක්‌ උපරිමය 25 කට සීමාවිය යුතු යෑයි මෙවර මැතිවරණ කොමසාරිස්‌වරයා නීතියක්‌ පනවා තිබේ. එසේ නම් ආණ්‌ඩු බලය ඇති අයට නීතිය එකවිදිහකටත්, ආණ්‌ඩුබලය නැති උදවියට නීතිය තවත් විදිහකටත් ක්‍රියාත්මකවන්නේ දැයි මෙහිදී තර්කයක්‌ මතුවීම වැළැක්‌විය නොහැකිය.

ඒ වුණත් මෙවර මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් ගෙන ආ එකී නීති හේතුවෙන් සිදුවන්නට නියමිතව තිබූ තවත් ‘බ්ලුමැන්ඩල් සිද්ධි’ ගණනාවක්‌ වැළකුණු බව අපගේ අදහසයි. ජන්ද ප්‍රචාරක පෙළපාලි සීමා කිරීම, අත්පත්‍රිකා බෙදාහැරීම සඳහා තහංචි පැනවීම, පෝස්‌ටර ව්‍යාපාරයට වැට බැඳීම හරහා ජන්ද උණෙන් ‘අං පටලවා ගැනීමට’ තිබූ අවස්‌ථා බොහොමයක්‌ වැළකුණි. නොවැළැක්‌විය හැකි සිදුවීම් කිහිපයක්‌ හැරුණුවිට මෑත ඉතිහාසයේ පළමු වරට ‘කැලෑ නීතියක්‌ නොවන නීතියක්‌ ‘ මගින් ජන්දයේ ‘ගාය’ අඩුකරනු ලැබ තිබේ.

මැතිවරණ නීති හැමදාම තිබුණි. නමුත් සිදුවූයේ නීති ක්‍රියාත්මක නොවීමය. දැන් දැන් නීතියට පණ එමින් පවතී. හැමවිටම මුවග සිනහවකින් සරසාගෙන සැහැල්ලුවෙන් වචන එළියට දැමුවද මහින්ද දේශප්‍රිය මහතාගේ වචන තුළ අපූරු සෘජු බවක්‌ රැඳී තිබේ. ඉකුත් ජන්දයේදී හොර ජන්ද දැමීමට පැමිණියහොත් දනිස්‌සෙන් පහළට නොව හිසටම වෙඩි තැබීමට හැකිවන බවට දේශප්‍රිය මහතා පැවසුවේ තමන් සමග සෙල්ලමට නොඑන ලෙසින් අවශ්‍ය පණිවුඩය, ඉතාම සරලව ප්‍රකාශ කරමිනි.

මැතිවරණ නීති ක්‍රියාත්මකභාවයට පත්කිරීමේ ප්‍රතිඵලය ලෙසින් මේ වන විට පැහැදිලිවම සිදුවීම් අවම වූ ජන්දයක ස්‌වභාවයක්‌ දිස්‌වෙමින් තිබේ. එමගින් නිදහස්‌ මනසකින් සිය මහජන නියෝජිතයා තෝරාගැනීමේ අවස්‌ථාව මහජනතාවට පිරිනැමෙනු ඇත. මේ ‘නිදහසේ’ ගෞරවයෙන් විශේෂ කොටසක්‌ මහින්ද දේශප්‍රිය මහතාට ලැබිය යුතුය.

Source : Divaina