ළඟදීම අපි ලංකාවේ පදිංචියට එනවා

0
761

රූකාන්ත හා චන්ද්‍ර‍ලේඛා සමග කතාබහක්

එක් එක් කාලවලදී හෙළ කලා අඹරේ බැබළුනු තරු අතරින් ඇතැම් අය රට හැර යාම දකින්නට ලැබුණා. මේ අතුරින් ඇතැම් අය ඉඳහිට ලංකාවට ඇවිත් තමන්ගෙ ප්‍රේක්ෂකයින්ගේ මතකය අලුත් කරන්න යම් යම් කලා කටයුතු වලට දායක වුණා. මේ විදියට විදෙස්ගතවූ කලාකරුවන්ගේ ලැයිස්තුවේ දෙන්නෙක් ඉන්නවා. ඒ රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍ර‍ලේඛා පෙරේරායි. ඒත් ඒ අය රටින් දුරස් වූ බවක් අපට දැනෙන්නේ නැහැ. වසර තුනකට වතාවක් ලංකාවට ඇවිත් ‘රූ සඳ රෑ’ ප්‍රසංගය පවත්වන මේ කලාකරුවන් ඒ එන සැම වතාවකම අලුත් ගීත සමුච්ඡයකුත් ප්‍රේක්ෂකයින්ට තිලිණ කරන්නට අමතක කරන්නෙ නැහැ. ඒ හිංදා යළි ඔවුන් දුරස්ව ගියත් රූකාන්ත චන්ද්‍ර‍ලේඛාගේ අලුත් ගීත හැමදාමත් ප්‍රේක්ෂකයින් අතර රැඳෙනවා. මේ හින්දමයි රසික ජනතාවත් එක්ක හැමදාමත් රූකාන්තයි චන්ද්‍ර‍ලේඛයි රැඳිලා හිටියේ.

මීට සති දෙකකට කළින් ආයෙමත් රූකාන්ත චන්ද්‍ර‍ලේඛා හා ඒ අයගේ බාල දියණිය වින්ඩි ලංකාවට ආවේ ‘රූ සඳ රෑ’ වෙනුවෙන්. දැන් විවාහවෙලා ලංකාවේ පදිංචි වෙලා ඉන්න රයිනිත් මේ අයට එකතු වුණා. රූකාන්ත චන්ද්‍ර‍ලේඛා රයිනි වින්ධි එක්ව ගී ගයන ‘රූ සඳ රෑ’ ගීත සැඳෑව ඊයේ (25 වැනිදා) සන්ධ්‍යාවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. තව දින කීපයකින් රූකාන්තයි, චන්ද්‍ර‍ලේඛයි, වින්ධියි ආයෙම ඇමෙරිකාවේ තම නිවහන බලා පිටත්වන්නට නියමිතයි.

රූකාන්තයි චන්ද්‍ර‍ලේඛයි ලංකාවට ආපු බව ආරංචි වූ මොහොතේ පටන්ම අපි ඒ අයව මුණ ගැහෙන්න කීපවිටක්ම උත්සහ කළත් මේ අය ප්‍රසංගයේ පුහුණුවීම් හින්දා ගොඩක් කාර්යබහුල වෙලයි හිටියේ. ඒත් රිද්ම පැමිණ හිතවතුන් වෙනුවෙන් මේ කලාකරුවන් දෙපළ කෙසේ හෝ අපේ කතාබහට එකතු කරගන්න අප උත්සාහ කළා. “රූ සඳ රෑ” ප්‍රසංගයට දින දෙක තුනකට කළින් එහි පුහුණුවීම් කරන තැනට අපි ගොඩවැදුණේ මේ අය හමුවන්න.
කිරුළපල ‘බර්ඩ්’ මාවතේ පිහිටි අඛිජ් මැදිරි සංකීර්ණයට අපි යනවිට එතන තිබුණේ බොහොම කාර්යබහුල ස්වරූපයක්. වාද්‍ය වෘන්දය වගේම කාර්මික ශිල්පීන් යුහුසුළුව තම තමන්ගෙ කටයුතුවල යෙදෙනවා. ඒ අතර රූකාන්තයි, චන්ද්‍ර‍ලේඛයි, වින්ඩියි තවත් කීපදෙනෙකුයි ගීත පුහුණුවට සූදානම්වනවා. ටිකක් වෙලා යද්දි රයිනිත් මෙතැනට ආවා. කාර්යබහුලව මෙම කටයුතුවල නිරතවන අතරේ මේ අය අපේ කථාබහට එකතු වුණේ හැමදාමත් හුරුපුරුදු සුහදශිලී බවින්.

“මේ විදියට ඉඳහිට හෝ ලංකාවට ඇවිත් රසික පිරිස් හමුවීම ලොකු සතුටක් නේද…?”
මම ඇහුවේ චන්ද්‍ර‍ලේඛාගෙන්. ඇය හිනාවෙලා මෙන්න මේ විදියට පිළිතුරු දුන්නා.
“ලංකාවෙන් දුරස්වෙලා හිටියත් අපි සංගීතයෙන් දුරස්වෙලා නැහැ. විදෙස් ගතවූ බොහෝ කලාකරුවො විවිධාකාර වෘත්තීන්වල නියැලෙනවා. ඒත් අපි ඇමෙරිකාවේදිත් නිරතවෙලා ඉන්නේ සංගීත ක්‍ෂේත්‍රය තුළමයි. නිතර ප්‍රසංග සඳහා රට රටවලට යනවා. ගීත නිර්මාණය කරනවා. ඒ විදියට නිර්මාණය වෙන ගීත තමයි මෙහෙ ඇවිත් පටිගත කරලා රසික පිරිසට තිළිණ කරන්නේ. ඒ හින්දා රටින් දුරස්වීමේ කණගාටුව තිබුණත් සංගීතයෙන් දුරස්වෙලා නැති හින්දා ඒ දුක නැතිවෙලා යනවා…”
චන්ද්‍ර‍ලේඛා පැවසුවා. මෙවර ගමනේදී තිළිණ කරන්නට බලා‍පොරොත්තු වන අලුත් ගීත ගැන අපි විමසුවේ රූකාන්තගෙන්.
“ඉදිරියේදි අපේ සංගීත ඇල්බමයක් නිකුත් කරනවා. අපේ අලුත් නිර්මාණ රැසක් ඊට ඇතුළත්…”
රූකාන්ත පැවසුවා. ශ්‍රී ලාංකීය සංගීතය තුළ පෙරළියක් කළ රූකාන්ත ගුණතිලකගේ හැම නිර්මාණයක්ම නැවුම් නිර්මාණ. මෙවරත් අලුත්ම විදියේ නිර්මාණ රැසක් ඔවුන් අපේ රසික හිතවතුන්ට දේවි. ඒ ගැන පුංචි කුතුහලයක් ඉතුරු කරන්නට හිතාගෙන අපි එම නිර්මාණ ගැන වැඩි විස්තර හෙළිකළේ නැහැ.

“රූකාන්ත, චන්ද්‍ර‍ලේඛා, රයිනි තුන්දෙනාගේම ගීත අතිශය ජනප්‍රියයි. ඒත් තවම ඒ අතරට වින්ඩි එකතුවෙලා නැහැ…”
මම පුංචි පැනයක් ඉදිරිපත් කළා.
“වින්ඩිට දැන් අවුරුදු දාහතයි. එයාගෙ අධ්‍යාපන කටයුතු හමාර වෙන්න තව අවුරුදු 4ක් වත් යන්න ඕන. ඒ හින්දා තමයි එයාගෙ සංගීත ජීවිතය සීමා කරලා තියෙන්නේ. එයාට සංගීතය පිහිටලා තියෙනවා. වින්ඩි ඒකට කැමතියි. අපේ පසුබිමත් එක්ක ඕනෑම අවස්ථාවක එයාට ගායනයට යොමු වෙන්න පුළුවනි. ඉතින් අධ්‍යාපනයට මුල්තැන දීලා පස්සේ ජනප්‍රිය වෙන්න කියලා තමයි අපි වින්ඩිට කියල තියෙන්නේ…”
රූකාන්ත ඒ විදියට කියද්දි චන්ද්‍ර‍ලේඛත් ඒ කතාවට එකතුවුණා.

“රයිනිගෙ වගේම වින්ඩිගේ හඬත් මගෙ හඬට සමානකමක් තියෙනවා. ඒත් අපි තුන්දෙනාගේ හඬවල්වල හා ගායනය තුළ පැහැදිලි වෙනසක් තියෙනවා. වින්ඩිට ඉහළ ස්වර පරාසවල ගයන්න පුළුවනි. මගේ හඬ ඒ විදියටම ඒ දෙන්නට තිබුණා නම් වැඩක් නැහැ. ඒ දෙන්නට තම තමංගෙ අනන්‍යතාවලින් යුතු හඬ පිහිටීම ගැන මම දෙවියන් වහන්සේට ස්තූති කරනවා… මේ හැර අලුත් ගීත අතරට වින්ඩිගෙ ගීතයකුත් එකතුවෙන්න ඉඩ තියෙනවා. අධ්‍යාපන කටයුතු හමාර කරලා තව වසර හතරකින් වින්ඩි ක්‍ෂේත්‍රයට එකතුවන විට ඇගේ ගීත ජනතාව අතර තියේවිනේ…”
රූකාන්තටයි චන්ද්‍ර‍ලේඛටයි ආදරේ කරන රසික රසිකාවියන් අතිවිශාල පිරිසක් මේ රටේ ඉන්නවා. තමං ආදරේ කරන කලාකරුවන් රටින් බැහැරව හිඳීම ගැන ඔවුන් කැමති නැහැ. ඒ අයට සතුටුදායක ආරංචියක් පවසන්නටයි මේ සූදානම.
“වින්ඩිගේ අධ්‍යාපන කටයුතු අවසන් වුණාට පස්සේ අපි ආයෙම ලංකාවේ පදිංචියට එනවා. දුව තනියම හින්දා ඒ කාලය තුළ චන්ද්‍ර‍ලේඛත් ඉඳීවි. මම ඊට කලින් එනවා…”

රූකාන්ත පැවසූ ඒ ආරංචිය සුවහසක් රසික පිරිසට සතුටුදායක එකක් වේවි. රූකාන්ත, චන්ද්‍ර‍ලේඛා, රයිනි හා වින්ඩි හතරදෙනාව ආයෙමත් ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රය තුළ රැඳිලා කරන ඇගේ නිර්මාණ රසික පිරිසට නැවුම් අත්දැකීමක් වේවි.

ඡායා : සිසිර හේමකුමාර ආරියවංශ කුලතිලක
Source : Lakbima