දොස්තර පුතාට මංගල සීනු හැඬවෙයි

0
662

දැන් ඉතින් මතෛක් සඟවාගෙන හිටපු ආදරවන්තිය ගැන හෙළිකරන්න.
ඇය චතුරිකා ප්‍රසාදිනී. චතුරිකයි මමයි මුලින්ම හමුවුණේ එක්තරා උසවයකදි.ඒ වෙද්දි මම විශ්වවිද්‍යාල අපේක්ෂකයෙක්. චතුරිකා පාසල් සිසුවියක්. මම හිතන්නේ ඈ දුටු මොහොතේම මගෙ හිතේ විශේෂත්වයක් ඇතිවුණා.

ඒ දැනහඳුනාගැනීම ප්‍රේමයකට හැරුණේ කොහොමද?
ඇගේ සොයුරන් දෙදෙනා සංගීතයට කැමතියි. චතුරිකා ගැන ආදරයක් ඇතිවුණාම මම සංගීතය හේතුවක් කරගෙන එයාගේ සහෝදරයන් දෙදෙනා එක්ක හිතවත් වුණා. අනික අපේ පවුල් අතර දුර ඥාති සම්බන්ධතාවයකුත් තියෙනවා. කොහොම හරි ඒ විදියට අපිට ළඟින් ඇසුරු කරන්න ලැබුණා.

මතකද ප්‍රදීප්ගෙ ආදරය චතුරිකාට පැවසූ මොහොත?
මතකයි… ඒත් පළමු වතාවට මගෙ ආදරේ ප්‍රකාශ කළාම ඇය ඒ ආදරය පිළිගත්තෙ නැහැ. ඒත්  මම උත්සාහය අතහැරියෙ නැහැ. දෙවැනි වතාවට ආදරේ පැවසුවම තමයි මට චතුරිකාගෙ ආදරේ ලැබුණේ.

ප්‍රදීප් ජනප්‍රිය චරිතයක් වුණේ චතුරිකාගේ ආදරේ ලැබුණට පස්සෙ?
ඔව්. මම සිරස සුපර්ස්ටාර් තුළින් ජනප්‍රිය වුණේ චතුරිකාගෙ ආදරේ ලැබුණට පස්සේ. හැබැයි මම ආදරේ වසන් කළේ නැහැ. මට ප්‍රේමවන්තියක් ඉන්න බව හැමදාම මාධ්‍යයට පැවසුවා.
ජනප්‍රිය චරිතයක් වෙලා කාන්තා ආකර්ෂණය වැඩිවුණාම චතුරිකා ඊට ප්‍රතිචාර දැක්වූයේ කොහොමද?
වක්‍රව වගේම සෘජුව මට ආදරය ප්‍රකාශ කළ ගෑනු ළමයිනුත්  හිටියා. මම ඒ හැම යෝජනාවක්ම ප්‍රතික්‍ෂේප කළා. චතුරිකා තුළ මා ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඇයත් මම වෙනුවෙන් කැපකිරීම් ගොඩක් කළා. ගුරු සේවයට හා හෙද සේවයට බැඳෙන්න ඇයට අවස්ථාව උදාවුණා. ඒත් මට අවශ්‍ය වුණේ මගෙ බිරිඳ විදියට ගෘහණියක් ලෙස ඉන්න කෙනෙක්. චතුරිකා ඒ හැම අවස්ථාවක්ම ප්‍රතික්‍ෂේප කළේ මම හින්දා.

අලුත් ජීවිතය ගැන කතාකළොත්…?
අක්කයි, නංගියි විවාහ වෙලා ගියාට පස්සේ රත්නපුරේ මහගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, මමයි. චතුරිකාවත් මම එකතු කරගෙන යන්නේ එහෙට. අපි දෙන්නා වෙනම ගෙදරකට ගියොත් අම්මලා තනිවෙනවා. දැනට මම බලංගොඩ රජයේ රෝහ‍ලේ සේවය කරන්නේ. නිවසේ ඉඳල තමයි එතැනට යන්නේ. රත්නපුරට මාරුවක් ගන්න තමයි හිතාගෙන ඉන්නේ.

දිගටම සංගීතය තුළ රැඳිල ඉන්නවාද?
ඔව්. අපි දෙන්නගෙ විවාහය වෙනුවෙනුත් මම ගීතයක් නිකුත් කළා. “ඔබ ගෙන් තරම්” නමැති ඒ ගීතය රචනය, ගායනය, සංගීතය මගේමයි. මම ඒ ගීතය ලිව්වේ චතුරිකා වෙනුවෙන්.

ඡායාරූප අනුග්‍රහය: ඉන්දික මල්ලවාරච්චි
ආරියවංශ කුලතිලක
Source : Lakbima