ශ්‍රී ලංකාව දැන් යන්නේ ග්‍රීසිය ගිය පාරේ

0
643

– කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න

* බදු ආදායම ණය වාරිකයටත් මඳි
* රටවල් දෙක ණය ගැනීම අතිනුත් සමානයි

දැන් මේ ඇරඹී තිබෙන්නේ අපේ රටේ දේශපාලකයන් ජනතාවට සහන දෙන්නට පොරකන සමයයි. නමුත් දේශපාලකයන් මේ සහන පොරොන්දු දෙන්නෙ අපිම ගෙවන බදු මුදලින් සහ අපේම දූපුතුන් ලෝකයට උකස්‌ කර ලබා ගන්න ණය මුදලින් බව දන්නේ ටික දෙනෙකි.

අද මහා ආර්ථික අර්බුදයක ගිලී ඇති ග්‍රීසියද ඒ විපතට වැටුණේ එරට දේශපාලකයන් මෙලෙස කටයුතු කිරීම නිසා යෑයි පවසන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න ශ්‍රී ලංකාවද දැන් එමගට පිවිස ඇති බවට අනතුරු අඟවයි.

ලබන මාසේ පවත්වන මහ මැතිවරණයටත් දැනටම විශාල පොරොන්දු මල්ලක්‌ හැම දේශපාලකයෙක්‌ විසින්ම ජනතාවට දීල තියෙනවා. ඔවුන් කියන විදියට ඔවුන් මේ මැතිවරණයෙන් ජයග්‍රහණය කළොත් මේ දෙනවයි කියන සහන ජනතාවට දෙන්න පුළුවන්ද?

අපේ රටේ සෑම මැතිවරණ වකවානුවකදීම බොහෝ දේශපාලකයන් ජනතාවට පොරොන්දු දෙන්නෙ රටේ නැති සම්පත් වෙන්දේසි කරන්නයි. ඡන්දයක්‌ ළංවෙනකොට අපේ රටේ දේශපාලකයෝ තමුන් දිනෙව්වොත් අරවා දෙනවා මේවා දෙනවා කියමින් ජනතාවට විවිධ පොරොන්දු දෙනවා. නමුත් මේවා දෙන්නෙ කොහොමද කියල ඒ අය ජනතාවට පැහැදිලි කරන්නෙ නෑ. දෙනවා කියන මේ සහන දෙන්න මුදල් හොයාගන්නා විදිහ කියන්නෙ නෑ.

මේක මේ අපේ රටේ එක පක්‌ෂයක්‌ එක ආණ්‌ඩුවක්‌ විතරක්‌ කරන දෙයක්‌ නෙමෙයි. 1948 අපේ රට නිදහස ලබපු දා ඉඳල පක්‌ෂ දේශපාලනය තුළ හැම පක්‌ෂයක්‌ම අඩු වැඩි වශයෙන් මේ පොරොන්දු දීමේ දේශපාලනය කරගෙන ආව. ඡන්ද දායකයො හුඟ දෙනෙකුට මේ දෙන පොරොන්දුවල ඇතුල් පැත්ත තේරෙන්නෙ නෑ. අපේ රටේ ඡන්ද දායකයො වැඩිදෙනෙක්‌ දේශපාලකයන් දෙන බොරු පොරොන්දුවලට රැවටෙන පිරිසක්‌.

දේශපාලකයො ඔය දෙනවයි කියන දේවල් දෙන්න පුළුවන්කම කියල බලන්න ඕන ආණ්‌ඩුවේ අයවැයට ගිහිල්ල. රටක ආණ්‌ඩුවේ වියදම් සඳහාත්, ජනතාවට සහන ලබාදීමටත්, පිටරටවලින් ලබාගත් ණය සඳහා වාරික ගෙවීම ආදිය සඳහාත් අවශ්‍ය මුදල් ලැබෙන්නෙ ඒ රටේ ජනතාව ගෙවන බදුවලින්. අද මේ අවස්‌ථාව වෙනකොට අපේ රට පිටරටවලින් අරන් තියෙන ණය වෙනුවෙන් ගෙවිය යුතු වාරිකය ගෙවන්න වත් අපේ රටේ මුළු බදු ආදායමත් මදි. රටක බදු ආදායමින් තමයි රටක්‌ ගෙනියන්නෙ. අයවැයෙන් රටේ සියලුම දේවල් කරන්න වෙන්කරන මුදල් ලැබෙන්නෙ බදු ආදායමෙන්. අපේ රටේ ඒ බදු ආදායම අරගෙන තියෙන ණයවල වාරිකය ගෙවාගන්න වත් මදි නම් ජනතාවට අලුතෙන් සහන දෙනවා තියා රාජ්‍ය වියදම්වලට වත් සල්ලි කෝ?

අද අපේ රටේ සියලු දේ කරන්නෙ පිටරටවලින් සල්ලි ණයට අරගෙන. රජයේ සේවකයන්ට පඩි ගෙවන්නෙත් පිටරටින් සල්ලි ණයට අරගෙන. දැන් ජනතාවට දෙන සහනාධාර ටික දෙන්නෙත් පිටරටින් සල්ලි ණයට අරගෙන. රටේ පාඩු ලබන ආයතන පවත්වාගෙන යැම සඳහා ආණ්‌ඩුවෙන් ඒ ආයතනවලට සල්ලි දෙන්නෙත් පිටරටන් ණයට අරගෙන. නොයෙක්‌ ආයෝජන සඳහා පාරවල් සෑදීම ආදී යටතල පහසුකම් ඇතිකරන්නෙත් පිටරටවලින් සල්ලි ණයට අරගෙන. එපමණකුත් නෙමෙයි පිටරටවලින් දැනට මේ අරගෙන තියෙන ණය සඳහා ගෙවිය යුතු වාරිකය ගෙවන්නත් සල්ලි හොයාගන්නෙ පිටරටින් ණයට අරගෙන. අද අපි ගත්ත ණයවල වාරිකය ගෙවාගන්නත් ණය ගන්න රටක්‌. එම නිසා මේ මැතිවරණයෙන් දිනුවොත් ජනතාවට මේ මේ සහන දෙනවා කියන දේශපාලකයො ඒවා දෙන්නෙ කොහොමද කියල ජනතාවට පැහැදිලි කළ යුතුයි.

පිටරටවලින් අසීමාන්තිකව ණය ලබාගැනීම නිසාත් ඒ ණය විධිමත්ව සංවර්ධන ක්‍රියාදාමයෙහි නොයෙදීම නිසාත් ග්‍රීසිය අද අතිවිශාල ආර්ථික අර්බුදයකට වැටිල තියෙනව. අපේ රටත් මේ ගමන් කරන්නේ එතැනටද?

රටක්‌ ණය ගත්තට කමක්‌ නෑ, නමුත් එය ඵලදායීව ආයෝජනය කළ යුතුයි. අපි බැංකුවකින් පෞද්ගලික ණයක්‌ ගන්නකොට ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කරල ගන්න ණය ඒ ව්‍යාපාරයේ යොදවල ඉන් ලැබෙන ආදායමින් ණය වාරිකයත් ගෙවල ලාබෙකුත් ගන්නව. රටක්‌ තව රටකින් ගන්න ණය මුදලුත් නිසි ලෙස ඒ ව්‍යාපෘතිවල යෙදෙව්වොත් ඉන් ලැබෙන ආදායමෙන් ණය වාරිකෙත් ගෙවල රටට ආදායමකුත් ලබාගන්න පුළුවන්. නමුත් අපේ රට පිටරටවලින් ණය අරගෙන කරපු ආයෝජන හැම එකක්‌ම එහෙම නෙමෙයි. ණය අරගෙන කරපු මහ විශාල ආයෝජනවලින් බලාපොරොත්තු වුණු ආදායම ලැබුණ නම් මේ විදිහට ණය වාරික ගෙවන්නත් ණය ගන්න වෙන්නෙ නෑ.

අනිත් කාරණය ඇයි අපේ රටට සිද්ධවෙලා තියෙන්නෙ සල්ලි ණයට අරගෙන ආයෝජන කරන්න? ආයෝජනය කරන්න ලෝකෙ ඕනතරම් ව්‍යාපාරිකයො ඉන්නව. ලෝකයෙ ආයෝජකයන්ගෙන් කිසිම හිඟයක්‌ නෑ. නමුත් ඇයි ඔවුන් අපේ රටට එන්නෙ නැත්තෙ? අපේ රටේ ආයෝජන පලදායි ලෙස සිදුනොවන බවයි එයින් පෙනෙන්නෙ. ණයට සල්ලි හොයාගෙන රටේ ආයෝජන සිදුකරන්න වෙලා තියෙන්නෙ ඒ නිසයි.

අපේ රටේ අද සිදුවෙන සමහර දේවල් දිහා බලන කොට මීට දශකයකට එකහමාරකට කලින් ග්‍රීසියේ ඇතිවුණු ආර්ථික තත්ත්වයට සමාන තත්ත්වයක්‌ අද අපේ රටෙත් ඇතිවෙමින් තිබෙන බවයි මට හිතෙන්නෙ. ග්‍රීසියේ අද තිබෙන තත්ත්වය දෙස බලන විට ඔවුන් යූරෝ බිලියන තුන්සීයක්‌ පිටරටවලට ණයයි. මේ ණය මුදල ඔවුන්ගේ බදු ආදායම සමග සංසන්දනය කරල බැලුවොත් සියයට හත්සියයක විතර මුදලක්‌. අද අපේ රට පිටරටවලට වෙලා තියෙන ණය ප්‍රමාණය බැලුවත් එයත් අපේ බදු ආදායමින් සියයට හත්සියයක විතර ප්‍රමාණයක්‌. ග්‍රීසිය ඒ තැනට වැටිල ටික කාලයක්‌ යනවිට ඒ කියන්නෙ 2010 විතර වෙනකොට ග්‍රීසියේ ආර්ථිකය සෘණ අගයකට පත්වුණා. දිගින් දිගටම ඔවුන්ගේ ආර්ථිකය කුඩා වුණා. ග්‍රීසියේ අද සෑම සිය දෙනෙකුගෙන් විසිපස්‌ දෙනෙකුට රැකියාවක්‌ නෑ. බැංකු සති ගණන් එක දිගට වහලා. බැංකු ඇරියොත් මිනිස්‌සු ඔවුන්ගේ සල්ලි ආපහු ගන්න එනවා. නමුත් බැංකුවලට දෙන්න සල්ලි නෑ. ඒ.ටී.එම්. මැෂින්වලින් දවසකට එක්‌කෙනෙකුට ගන්න පුළුවන් යුරෝ 60 ක්‌ විතරයි. ඒ.ටී.එම්. මැෂින් ළඟ හැමදාම දිග පෝලිම් තියෙනවා. ගිය මාසෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ යුරෝපා මහ බැංකුවට ගෙවිය යුතු ණය වාරික දෙකක්‌ ගෙවාගන්න ග්‍රීසියට බැරිවුණා. දැනට සති දෙකකට පමණ පෙර ග්‍රීසිය ඔවුන්ට ණය දෙන යුරෝපා රටවල කොන්දේසි ගැන ජනමත විචාරණයක්‌ පැවැත් වූවා. ඒ රටවල් පනවන කොන්දේසි බාරගන්නවද නැද්ද කියන යෝජනාව ජනතාවට ඉදිරිපත් කරල. ඒ සම්බන්ධයෙන් පැවැත්වූ ජනමත විචාරණයේදී අගමැතිත් ඇතුළුව රටේ ජනතාවගෙන් සියයට හැට එකක්‌ ඡන්දෙ ප්‍රකාශ කළේ ඒ කොන්දේසි භාර නොගන්නා බවටයි. ඒ ජනමත විචාරණයේ ප්‍රතිඵල ඉදිරිපත් කරල ග්‍රීසියේ අගමැති දැන් හදන්නෙ කොන්දේසි නැතිව යුරෝපා හවුලෙන් ණය ගන්නයි.

ග්‍රීසිය අද බරපතළ ආර්ථික අර්බුදයකට වැටුණත් ග්‍රීසියට උදව් කරන රටවල් ගණනාවකුත් තියෙනවා. කොන්දේසි නැතුව හරි ග්‍රීසියට ණය දෙන්න ඒ රටවල්වලට සිද්ධවෙලත් තියෙනවා. එයට හේතුව ග්‍රීසිය අද ඇදගෙන වැටෙන්නෙ තනියම නෙමෙයි. ඒ රටවලුත් එක්‌කයි. එයට හේතුව ග්‍රීසිය කියන්නෙ යුරෝ තනි මුදල් ඒකකය තියෙන යුරෝ කලාපයේ රටක්‌. ග්‍රීසියට ණය දීල තියෙන යුරෝ කලාපයේ රටවල බැංකුත් ග්‍රීසිය නිසා අද අර්බුදයකට වැටිල තියෙනවා. ග්‍රීසිය වැටුණොත් යූරෝ මුදල් ඒකකය සහිත මුළු යුරෝපයටම එය අර්බුදයක්‌. ඒ නිසා ග්‍රීසියත් එක්‌ක තමනුත් ඇදවැටෙන එකෙන් බේරෙන්න නම් ග්‍රීසිය ඇදවැටෙන එක වළක්‌වගන්න ඒ රටවලටත් සිද්ධවෙලා තියෙනවා. ග්‍රීසියත් අද එය ප්‍රයෝජනයට අරගෙන කොන්දේසි නැතිව රටවල්වලින් ණය ඉල්ලනවා. තමනුත් ගැලවෙන්න ඕන නිසා කොන්දේසි නැතිව හරි ණය දෙන්න මෙතෙක්‌ ග්‍රීසියට ණය දුන්නු රටවලටත් අද සිද්ධවෙලා තියෙනවා.

ගී්‍රසිය වැටුණෙ ඡන්දෙ බලාගෙන සීමාවක්‌ නැතිව ඕනම දෙයක්‌ ජනතාවට දෙන්න ලෑස්‌ති දේශපාලකයොයි, ආණ්‌ඩුවෙන් හැමදේම නිකං ගන්න බලා හිටපු ජනතාවකුයි ග්‍රීසියෙ හිටපු හින්ද. අවුරුදු 15 ක්‌ සේවය කරපු ආණ්‌ඩුවෙ සහ පෞද්ගලික හැම සේවකයකුටම ග්‍රීසිය පැන්ෂන් එකක්‌ දුන්න. මේ පැන්ෂන් එක ග්‍රීසිය වැටෙන්ඩ එක හේතුවක්‌ බවයි ආර්ථික විශේෂඥයන්ගෙ මතය. ඒවගෙම රටට වැඩකරන බව පෙන්වන නමුත් වැඩිපුරම නිකං ඉන්න සේවකයො ඉන්න ලෝකයේ මුල්පෙළේ රටක්‌ ග්‍රීසිය. ග්‍රීසියෙ පාලකයො ලෝකෙ රටවලින් ණයගන්න තමුන්ගෙ ආර්ථිකය ගැන බොරු ඉලක්‌කම් පෙන්නුව කියල දැන් චෝදනාවකුත් එල්ල වෙලා. ඒවගේම ග්‍රීසිය මුදල් වංචා හා දූෂණ අතිනුත් ලෝකයේ ඉහළම රටක්‌.

ගී්‍රසිය වැටුණ වළට නොවැටී අපට බේරෙන්න ක්‍රමයක්‌ නැද්ද?

අපේ රට දිහා අද බලනකොට අපිත් අද ග්‍රීසියට බොහෝ දුරට සමානයි. පිටරටවලින් ණය ගැනීම සම්බන්ධයෙනුත් ශ්‍රී ලංකාවත් ග්‍රීසියේ මට්‌ටමටම ඇවිත් තියෙනවා. අද ඡන්ද පොරොන්දුවලින් ජනතාවට සහන දෙන්න හදන්නෙ පිටරටවලින් ණයට අරගෙන. මෙහෙම ගියොත් අපට ග්‍රීසිය පහුකරන්න වැඩි කාලයක්‌ යන එකක්‌ නෑ. නමුත් භයානකම තත්ත්වය එය නෙමෙයි. ග්‍රීසිය වැටෙන්නෙ තවත් බලසම්පන්න රටවල් ගණනාවක්‌ සමගයි. ඒ නිසා තමුන් බේරෙන්න ඕන නිසා හරි ඒ බලවත් රටවල් ග්‍රීසියට උදව් කරනවා. නමුත් ශ්‍රී ලංකාව වැටුණොත් එහෙම උදව් කරල ශ්‍රී ලංකාව ගොඩගන්න රටක්‌ තියෙනවද?

ඒනිසා දේශපාලකයො මේ දෙන පොරොන්දු දෙන්න පුළුවන් ඒවද කියල ජනතාව කල්පනා කරන්න ඕන. ඔය කියන දේවල් දෙන්නෙ කොහොමද කියල ජනතාව දේශපාලකයින්ගෙන් ප්‍රශ්න කරන්න ඕන. අපේ රටේ ජනතාව බුද්ධිමත් නොවුණොත් රට ආර්ථික අගාධයකට යැම වළක්‌වන්න බෑ.

සාකච්ඡා කළේ – පාලිත සේනානායක

Source : Divaina